Naifmvlog

Naifm vlog Gossip and News

මේ උපදෙස් පිළිපදින්න. හිරු රශ්මියෙන් ඔබේ සම ආරක්ෂා කරගන්න.

මේ දිනවල අදික හිරු රශ්මියක් පවතින කාලවකවානුවකි. හිරු රශ්මිය පැවතුනද එදිනෙදා කර්යයන් අපට සිදුකල යුතු වේ. හිරු රශ්මියට නිරාවරණය වීමෙන් ඔබගේ සම අවපැහැ වීමට ඇති ඉඩකඩ බොහෝයි. මෙම දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු වීම ගැහැනු-පිරිමි, බාල-මහලු කොයි කාටත් පොදුවේ මුහුණ පාන්නට සිදු වන තත්ත්වයක් බවට පත්වෙලා. දැඩි හිරු රශ්මිය සමට සිදු කරන හානි බොහොමයි. මෙයින් ප්‍රධාන වන්නේ සම පිළිස්සීමයි. එමෙන්ම දහදිය අධික ලෙස පිටවීම නිසා සම වියළීම, විජලනය, අධික තෙහෙට්ටුව මෙන්ම මේ හේතු ගණනාව නිසාම ඇතිවන අසහනකාරී බව නිසා නිතර කේන්ති යාමද දකින්නට පුළුවන්. මේ සියලුම ගැටලු සඳහා ආයුර්වේදයේ ප්‍රතිකර්ම හා සත්කාර බොහොමයක් පවතී. සමේ රතු වීම්, බිබිලි දැමීම වැනි දේ කුඩා දරුවන් හා ළදරුවන්ට ඇතිවන තවත් ගැටලුවකි. මේ සඳහා රත්මල් කැකුළු, කොහොඹ, වෙනිවැල්, සමන් පිච්ච තැම්බූ ජලයෙන් ඇඟ සේදීම සුදුසුයි. මෙය වඩාත් සුදුසු වන්නේ ළදරුවන් සඳහා ය. එමෙන්ම නිතර නිතර දියර වර්ග පානයට දීම හා ස්වභාවික පරිසරයේ සිසිල් සුළං වැදීමට සැලැස්වීම ඉතා වැදගත් වේ. කාන්තාවන්ට විශේෂයෙන් සම පිළිස්සීම අවම කිරීමට සමට ගැළපෙන සන් ක්‍රීම් එකක් භාවිත කිරීමට මතක තබා ගන්න. අනෙකුත් දිනවලට වඩා මේ දිනවල වැඩි ජල ප්‍රමාණයක් පානය කිරීම ඔබගේ සෞඛ්‍යයට මෙන්ම රුව රැක ගැනීමට ද වැදගත් වේ. එමෙන්ම හැකි සෑම අවස්ථාවක ම සිරුර සිසිල් කරන ශාකසාර පාන වර්ග ගැනීම ද මේ දිනවල දී සිරුරේ දාහය නිවීමට මෙන්ම සෞඛ්‍යයට ද සුදුසු ය.

බාහිරව සම සිසිල් කිරීම සඳහා හොඳ ස්ක්‍රබ් එකක්කර සමට හොඳ පැක් එකක් යෙදීම කළ යුතුයි. ඒ සඳහා කොහොඹ පොතු කුඩු, සදු හඳුන් කුඩු, වෙනිවැල් කුඩු, දේවදාර කුඩු, අගිල් කුඩු, එළකිරි හා පිපිඤ්ඤා යුෂ, කෝමාරිකා යුෂ සමඟ හොඳින් මිශ්‍රකර පැය විසිහතරක් තිබෙන්නට හරින්න. පසුව සිරුර කොහොඹ සහ කහ තැම්බූ වතුරෙන් සෝදා ඉහතින් සඳහන් කළ ආලේපය ගල්වා හොඳින් ස්ක්‍රබ්කර මඳ වේලාවක් සිරුරට උරා ගැනීමට තබන්න. මෙම ආලේපනය සිරුරේ වියළුණාට පසුව සෝදා හරින්න. ඉන්පසු නෙල්ලි කුඩු, නාමල් රේණු, ලොත් සුඹුල්, මුංඇට පිටි, ඕලු පිටි, කෝමාරිකා යුෂ, පිපිඤ්ඤා යුෂ හා පොල් වතුර සමඟ හොඳින් මිශ්‍රකරගන්න. මෙම ආලේපනය සිරුරේ ආලේප කොට වියළුණාට පසුව සෝදා හරින්න. දහදිය දැමීම හැමටම සිදු වුවද ඇතැම් අයගේ දහදිය ඉතා දුර්ගන්ධයෙන් යුක්තයි. එමනිසා පොදු ස්ථානවල දී මෙන්ම පොදු ප්‍රවාහන සේවාවල දී පමණක් නොව ඇතැම්විට නිවෙසේ දී පවා අපහසුතාවට පත්වන්නට සිදු වේ. එම නිසා පහතින් සඳහන් ප්‍රතිකර්මය සිදු කිරීමෙන් ඔබට පහසුවෙන් ම දහදිය දුර්ගන්ධයෙන් මිදීමට හැකියාව ලැබේවි. බෙලි කොළ, කොලං කොළ, සැවැන්දරා මුල්, දෙහි පොතු කුඩු, අගිල්, සුවඳ කොට්ටං හොඳින් කුඩුකර දහදිය එකතුවන කිහිළි වැනි ස්ථානවල ආලේප කරන්න. මඳ වේලාවක් තබා සෝදා හරින්න. අව් රශ්මියට පිළිස්සුණ මුහුණේ සම සඳහා කහ පැහැති දොඩම් ගෙඩියක් ලෙලි ගසා එම පොතු හොඳින් අව්වේ වියළා කුඩුකර ගන්න. මෙයට එළකිරි, මී පැණි, පොල් වතුර ස්වල්පයක් ආදිය මිශ්‍රකර මුහුණේ ආලේප කරන්න. එය වියළුණාට පසුව සෝදා හරින්න. මේ ප්‍රතිකර්ම සිදු කිරීම මඟින් ඔබට මේ අපහසුකාරී දැඩි හිරු රශ්මිය නිසා සිදුවන අපහසුතාවන් අවමකර ගැනීමට හැකියාව ලැබේවි. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැනගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.