Naifmvlog

Naifm vlog Gossip and News

ඔබේ දරුවාට උදැසන මේ දෙය ලබාදීම අනිවාර්යයි.

උදෑසන අහාර වේල කියන්නේ ඔබේ දරුවාගේ නිසියාකාර වර්ධනයට සෘජුවම බලපාන සදකයකි. මෙය දරුවාට මෙන්ම වැඩිහිටි මහලු සියලු දෙනාටම වැදගත් කරුණකි. උදෑසන ආහාරය දවසේ ක‍්‍රියාකාරිත්වයේ පදනම සලසන වටිනාම ආහාර වේලයි. එය පෝෂණවේදීන් විසින් පර්යේෂණාත්මකව සාක්ෂාත් කර ඇත. ඔබ දරුවාට හැබෑවටම ආදරේ නම් දරුවා කෙරෙහී ඔබේ ඇති සෙනෙහස, ආදරය අර්ථවත් කිරීමට ඔබට දවසේ මුලින්ම ලැබෙන අවස්ථාව වන්නේ යහගුණ පිරි පෝෂණීය උදෑසන ආහාරයක් ඔබේ දරුවා වෙනුවෙන් ලබා දීමයි. සමස්තයක් වශයෙන් අප කාටත් පොදු මේ උදෑසන ආහාරයේ වටිනාකම දරුවන් සම්බන්ධයෙන් ගත් කළ වඩාත් වැදගත් වෙයි. උදෑසන ආහාරය දරුවන්ට නම් නියමාකාරයෙන්ම ලබාදීම මව්පියන් පැහැර නොහැරිය යුතු වගකීමකි. උදෑසන ආහාරය හැදෙන දරුවන්ගේ කායික හා මානසික ක‍්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක නිරත වන අතර එය වඩාත් සැලසුම් සහගතව හා දෛනිකව  පැහැර නොහැර ලබාදිය යුතු ආහාරයයි. උදෑසන ආහාරය සැලැස්මකට අනූව පරිපූර්ණව ලබා ගන්නා දරුවන් නිරෝගී බවෙන් යුක්ත වන අතර ස්ථූලතාවය මන්දපෝෂණය ආදී අවදානම් සහගත රෝග වලට නිරාවරණය නොවන බව හෙළිදරව් වී තිබේ. උදෑසන ආහාරය මඟහරින දරුවන් රෝග වලට නිරාවරණය වන අවස්ථා වැඩිය. ඔවුන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තිය දුර්වලය. ඒ හැරුණූ විට ඉගෙණීමේ කටයුතු වලදී පසුබෑමක් පෙන්නුම් කිරීමට ඉඩ තිබේ. උදෑසන ආහාරය හොඳින් ගන්නා දරුවන් ඉගෙනීමේද සමාර්ථයන් වන අතර නව නිර්මාණකරුවන් බවට ඔවුන් පත්වීමේ ඉඩකඩ වැඩි බව හදුනාගෙන තිබේ.

ගුණවත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් දරුවන්ට ලබා දෙනවා වෙනුවට ඇතැම් මව්වරුන්ගේ තේරීම වනුයේ පහසුවෙන් පිසින්නට හැකි ආහාර වේලකි. උදේටත්, දහවලටත් වශයෙන් දෙවේලකට ආහාර පිසීමේදී බොහෝ විට ලඝු වන්නේ උදෑසන ආහාර වේලයි. මේ නිසාම දරුවන් උදෑසන ආහාරය පාසලේදී අනුභව කරන්නේ ඕලාරික මනෝ භාවයකිනි. දරුවාගේ කෑම පෙට්ටියෙන් අඩක්ම නැතහොත් ඊටත් වඩා ඉතිරි වෙන්නේ මේ නිසාය. මතක තබා ගන්න. ඔබේ දරුවා කෑම පෙට්ටියේ ඇති කෑම අනුභව නොකරනවා නම් මව්පියන් වන ඔබද ඊට වගකිව යුත්තේය. දරුවන් මේ ආකාරයෙන් උදෑසන ආහාරය ප‍්‍රතික්ෂේප කරන විට මව්පියන් ඊළඟට තිබෙන නරකම වරදට අනුබල දෙයි. ආපනශාලාවෙන් ස්නැක්ස්, තෙලෙන් බැදු රෝල්ස්, පේස්ටි‍්‍ර කන්නට දරුවන්ට මුදල් දෙයි. මේ ආපනශාලා ආහාර වේලට පැණි බීම එකක්ද අයත්ය. ගෙදරින් රැුගෙන යන පෝෂණීය ආහාරය වෙනුවට පිටි, තෙල් පිරි ආහාරයක් කුසගින්නට අනුභව කර පැණි බීම එකක් බොන්නට දරුවන් වඩා කැමතිය. පැණි බීම බෝතලයකට යොදන සීනි ප‍්‍රමාණය තේ එකකට, කිරි එකකට යොදන සීනි ප‍්‍රමාණය මෙන් දහ ගුණයකින් පමණ වැඩිය. මේ ආකාරයෙන් නිවෙසින් පරිබාහිරව සපයාගන්නා කෑම අනුභව කරන දරුවන්ගේ පරිවෘත්තීය ක‍්‍රියාවලිය නොබෝ දිනකින්ම විකෘති භාවයට පත් වෙයි. විශේෂයෙන්ම ශරීරයේ ග්ලූකෝස් පරිවෘත්තීය අසාමාන්‍ය වෙයි. දරුවන් මෙකල වැඩි වැඩියෙන් දියවැඩියාව වැනි රෝග වලට නතු වන්නට මේ පිටින් ගන්නා ආහාර හා පැණි බීම හේතු වන බව පැහැදිලි කාරණයකි.

අප උදෑසන ආහාරයට ඉඳගන්නේ රාත‍්‍රියේ පැය 8-10ක පමණ කාලයක් ආහාර වර්ජිතව සිටීමෙන් අනතුරුවය. රාත‍්‍රියේදී මේ ආකාරයේ විවේකයක් අවශ්‍ය වනවා මෙන්ම අනතුරුව උදෑසන එළැඹෙන්නේ වැඩෙහි නිරත වන ඊළඟ පැය 12-16ක පමණ කාලයක් සඳහා අවශ්‍ය පෝෂණයේ පදනම සලසන ආහාර වේලකි. උදෑසන අප ලබාග න්නා ආහාරයෙන් ශරීරය බොහෝ දෑ අපේක්ෂා කරයි. උදෑසන ආහාරය හරියට නැතිනම් දවස මුළුල්ලේ ශරීරයේ තානය පවත්වා ගැනීමට බාධා පැමිණෙයි. එය ශරීරයේ දුර්වලභාවයක් කුසීත බවක් උදාසීන බවක් ඇති වීමටද හේතුවකි. මනෝ භාවයන්, ධාරණය මතක තබා ගැනීම හා ස්මරණය ආදී ක‍්‍රියාවන්ටද උදෑසන ආහාරයේ සෘජු බලපෑමක් තිබේ. දවසෙන් තුනෙන් එකකට අවශ්‍ය කැලරි අගයන් හා පෝෂණීය අවශ්‍යතාවයන් පිරිමසන්නේ උදෑසන ආහාරයයි. මේ නිසා නිසැකයෙන්ම උදෑසන ආහාරය පරිසමාප්ත පෝෂණයකින් හෙබි ආහාරයක් සේ සකස් කිරීමට මව්පියන් සැළකිළිමත් විය යුත්තේය. උදෑසන ආහාරයට ධාන්‍ය අඩංගු විය යුත්තේ එහෙයිනි. ප්‍රෝටීන… තන්තුමය ආහාර වලින් මේ උදෑසන ආහාරය හෙබි විය යුතුවාක් මෙන්ම යහමින් එළවළු පළතුරුද ඊට එක් වෙනවා නම් හොඳය. මේ ආකාරයෙන් සියළු පෝෂණීය අංග වලින් යුක්ත උදෑසන ආහාරයක් දරුවා වෙනුවෙන් සැලසුම් විය යුතුය. ආහාරයේ මහා පෝෂක ලෙස සැළකෙණ කාබෝහයිඩ්‍රේට හා පිෂ්ඨය අවශ්‍යතාවයන් සපුරාලීමට ධාන්‍ය වලින් සමන්විත ප‍්‍රධාන ආහාරය හේතු වෙයි. මේ නිසා රසය මෙන්ම ගුණයද අන්තර්ගත වන සේ බත් ටිකක්, වෙනත් ධාන්‍ය ආහාරයක් මුං ඇට, කව්පි ආදී ඇට ආහාර ලබාදීම සුදුසුය. ධාන්‍ය ආහාර දරුවාගේ පෝෂණීය අවශ්‍යතාවයන් සපුරාලන අතරේ උද්යෝගයෙන් දවස ගත කිරීමට, නිර්මාණශීලිත්වය අවදි කිරීමට මෙන්ම ධාරණ ශක්තිය වැඞීමටද උපකාරී වෙයි. මේ නිසා පිරිපහදු කළ පිටි වලින් තැනූ ආහාර වෙනුවට ධාන්‍ය ආහාර ලබාදීම සුදුසුය. අවසන එළවළු පළතුරු කැබැල්ලක්ද කෑමට හුරු වෙනවා නම් වඩාත් හොඳය. විවිධ රසයන්ගෙන් යුක්තව විවිධ සූප ක‍්‍රම අනුගමනය කරමින් දරුවාගේ පිරිය වඩන උදෑසන ආහාර වේලක් ඔබගේ දරුවා වෙනුවෙන් පිළියෙල කිරීමට මව්පියන් දැනට වඩා උත්සුක විය යුතුය. එවිට උදේ ආහාරය සතුටින් ලබාග න්නට දරුවන් නිරායාසයෙන් පෙළඹෙනු ඇත. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැනගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.