Naifmvlog

Naifm vlog Gossip and News

පෝෂණය රැකෙන විදියට එළවලු උයාගන්නේ මෙහෙමයි

උයන්න දන්නවද? මේ ප්‍රශ්නෙට අපේ රටේ බොහෝමයක් දෙනා ඔව් කියන උත්තරය දෙයි. උයන්න දන්නව උනාට පෝෂණය රැකෙන්න උයන්න දන්නවද? මෙහෙම ඇහුවොත් හුඟ දෙනෙක් උත්තර දෙන්න කලින් ටිකක් කල්පනා කරයි නේද? උයන්නන් වාලෙ උයන්නෙ නැතුව අපි කන බොන කෑම බීම වල නියම පෝෂණය අපේ ශරීරයට ලබාගන්න පුළුවන් විදියට උයන්නත් දැනගන්න ඕන. අපි බොහොම දෙනෙක් හිතන්නෙ අමුවෙන් කන තරමට එළවළු වල පළතුරු වල ගුණ වැඩියි කියලනෙ, හැබැයි සමහර එළවළු පළතුරු වල ගුණ වැඩියෙන් ලබාගන්න පුළුවන් පිසීමෙන් කිව්වොත්? ඔව්, එහෙම දේකුත් තියෙනව. අපි අද මේ හදන්නෙ අපි පිසින ආහාර වල පෝෂණය උපරිමයෙන් රඳවගන්නෙ කොහොමද කියල උයන පිහින ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියල දෙන්න.

1. ගෙවත්තෙන් පිඟානට වෙළඳපලෙන් මිලදී ගන්න එළවළු පළතුරු ගැන ඒ හැටි විශ්වාසයක් නැති බොහොමයක් දෙනා දැන් දැන් ගෙවතු වගාව පැත්තට යොමු වෙලා තියෙනව. හැබැයි එක වර ඵලවැල නෙලාගෙන ගෙදර එකතු කරගන්නෙ නැතුව උයන්න ගන්න කොටම ගහෙන් කඩාගන්න එක වඩා සුදුසුයි කියලයි පෝෂණවේදීන් කියන්නෙ නම්. අතිරික්ත අස්වැන්නක් තියෙනව නම් හොඳින් සෝදල වියලාගෙන, පොලිතින් වලින් ආවරණය කරල, ෆ්‍රීසර් එකට දාන්න. මාස හයක් අවුරුද්දක් උනත් මේ විදියට එළවළු වල පෝෂණය රැකෙන විදියට කල් තියාගන්න පුළුවන්. කොහොම කළත් ගෙවත්තෙන් නෙලා ගන්න දේවල් ඒ මොහොතෙම පරිභෝජනයට ගන්න එක තමා වඩාත්ම සුදුසු.

2. නිවැරදිව කපන්න, කොටන්න, තලන්න වැඩි වෙලාවක් පිස ගන්න වෙන එළවළු වර්ග කුඩාවට කපනවට වඩා ටිකක් ලොකුවට කැබලි කපාගන්න එකෙන් පෝෂ්‍ය පදාර්ථ වැඩිපුර රඳවගන්න පුළුවන්. එළවළු කොයි විදියට කැපුවත් තියුණු මුවහතක් තියෙන පිහියක් නිතරම පාවිච්චි කරන එකෙන් කැපීමේදී ඉවත යන පෝෂ්‍ය පදාර්ථ අවම කරගන්න පුළුවන් කියලත් මතක තියාගන්න.ළූණු සහ සුදුළූණු නම් චොප් කරලා හෝ තලාගන්න එකෙන් Alliinase කියන එන්සයිමය නිදහස් වෙනව. මේ නිසා මේ ජාති දෙක හැකි තරම් චොප් කර හෝ තලාගෙන ආහාර වලට එක් කරගන්න එක වාසි දායකයි.

3. අල වර්ග පොත්ත පිටින් තම්බන්න බීට්, කැරට්, රාබු, අල, බතල වගේ අල වර්ග වල පොත්ත හොඳින් පිරිසිදු කරගෙන පොත්ත පිටින්ම තම්බා ගෙන පසුව පොත්ත ඉවත් කරගන්න එකෙන් ඒවායේ පෝෂණය වැඩිපුර රඳවගන්න හැකියාව තියෙනව. පොතු ඉවත් කරගන්නම අවශ්‍ය නම් පොත්තට ඉතාම ආසන්න වෙන්න යන්තමින් පොතු හැරගන්න එක තමා වඩාත්ම සුදුසු. මේ එළවළු වර්ග බොහොමයක වැඩිම පෝෂණයක් තියෙන්නෙ පොත්තේ සහ පොත්තට ඉතාම ආසන්නයෙයි.

4. ජූස් නෙවෙයි ස්මූති බොන්න අමුවෙන් ආහාරයට ගන්නා එළවළු හෝ පළතුරු වල ජූස් එක පෙරලා ගන්නවට වඩා සම්පූර්ණ එළවළුවම හෝ පළතුරම බ්ලෙන්ඩ් කරල ස්මූති එකක් විදියට ලබාගන්න එක වඩාත් පෝෂ්‍යදායකයි. පළතුරු සහ එළවළු වල තන්තුමය ගුණයද විටමින් B1, B5, ෆෝලේට් සහ විටමින් C වැනි පෝෂණ කොටස්ද වැඩිපුර ශරීරයට ලබාගන්න මේ විදිය උදව් වෙනව.

5. අමුවෙන්ද උයලද? කැරට් ජූස් බිව්වම සුදු වෙනව ලස්සන වෙනව කියල පුළුවන් තරම් කැරට් ජූස් බීලා අමුවෙන් කැරට් අලයක් හාවෙක් වගේ හප හප ඉන්න එක හොඳයි කියල අපේ ගෑණු ළමයි හිතුවට ඇත්තටම කැරට් වල පෝෂ්‍ය පදාර්ථ නිදහස් වෙන්නෙ තම්බල ගත්තම. කැරට් වගෙම තක්කාලිත් පිසීමෙන් තමා වැඩි පෝෂණයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම කොළ පැහැති එළවළු වර්ග සහ පළා වර්ගත් ඒවායේ කොළ පැහැය නැති වෙනකම් තම්බන්නෙ හෝ මලවන්නෙ නැතුව, යන්තම් රත් කිරීම පමණක් ප්‍රමාණවත්. පළා කොළ මැල්ලුමක් හදන කොට හට්ටිය රත් වෙන්න තියල ඒකට කොළ ටික එකතු කරන් යන්තම් කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරල තෙත රෙද්දක් උඩින් තියාගන්න එකෙන් පළාව පැහැය වෙනස් නොවී තියාගන්න පුළුවන්.

6. තම්බන්නෙ කොහොමද? වතුරට දාල එළවළු තම්බන එකෙන් එළවළු වල පෝෂ්‍ය පදාර්ථ වලින් වැඩි ප්‍රමාණයක් ඒ වතුරට එකතු වෙලා අපතේ යනව. මේ නිසා වඩා සුදුසුම හුමාලයෙන් තම්බාගන්න එක. වතුරට දාල එළවළු තම්බගන්න එක කළ යුතුම නම් ඒ වතුර ටික ඉවත නොදමා වෙනත් පිසින ආහාරයකට හෝ සුප් එකක් වැනි දේකට යොදාගන්න පුළුවන්.

7. මේ විදියට ජෝඩු කිරීමෙන් වැඩි පෝෂණයක් බතල, නිවිති, කැරට්, වට්ටක්ක, හතු වගේ එළවළු පොල්තෙල් ඔලිව් තෙල් සහ බටර් වගේ මේදයන් එක්ක එක්ව පිස ගැනීමෙන් ඒවායේ අඩංගු විටමින් ඒ, කේ, ඩී සහ ඊ වැනි පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් ශරීරයට උරාගැනීමට උදව් වෙනව.නිවිති, පරිප්පු, සෝයා බෝංචි වගේ දේවල් වල තියෙන යකඩ වඩා පහසුවෙන් ශරීරයට උරාගන්න නම් දෙහි, ලෙමන්, දොඩම් වැනි විටමින් සී අඩංගු දෙයක් ඒ ආහාර වලට එක් කරගන්න ඕන.

8. කපන්න කලින් සෝදන්න සමහරු එළවළු කැපුවට පස්සෙත් වතුරට දාල සෝදල ගන්නව. මේකෙන් වෙන්නෙ එළවළු වල තියෙන පෝෂණයෙන් වැඩි කොටසක් සේදිලා යන එක. මේ නිසා එළවළු පළතුරු වර්ග කපන්න කලින් හොඳින් සෝදාගන්න.

9. එළවළු කපල තියන එක සුදුසුද? එළවළු පළතුරු වර්ග භාවිතයට ගන්න කිට්ටුවම කපාගන්න එක තමා වඩාත්ම සුදුසු. කැපූ එළවළු පළතුරු වැඩි වෙලාවක් වාතයට නිරාවරණය වීමෙන් ඒවායේ පෝෂණයට හානි වෙන්න පුළුවන්.

10. වතුර අඩුවෙන් පාවිච්චි කරන්න එළවළු පිසගන්න කොට හැකි තරම් අඩු ප්‍රමාණයක වතුර එක් කරගන්න. හොද්දක් හදන කොට එළවළු ටික තැම්බෙන්න වැඩි වතුර ප්‍රමාණයක් එක් කරගන්න එකෙන් වැඩි වෙලාවක් ලිපේ තියන්න සිද්ධ වෙනව. ඒකෙන් වැඩි පෝෂණ කොටසක් වතුර සමඟ වාෂ්ප වෙන්න පුළුවන්. ඒ වගේම ඕනම එළවළුවක් පියනකින් වහල තම්බගන්න එකෙන් වාශ්පය පිටවීම අඩු කරනව වගේම ඉක්මණින් පිසගන්නත් පුළුවන්.