Naifmvlog

Naifm vlog Gossip and News

තරුණ පෙනුම වයසට ගියත් තියාගන්න යෝගා රහස්.

පුරාණ ඉන්දියාවේ ආරම්භ වූ කායික, මානසික හා ආධ්‍යාත්මික භාවිතාවක් ලෙස යෝග හඳුන්වනවා. යෝග ඉතිහාසය විමසන විට යෝග පිළිබඳ ඇති පැරණිම සඳහන වන්නේ චතුර්වේදයෙන් එකක් වන සෘග්වේදයේ ඇති සඳහනයි. දැනට ලෝකයේ භාවිත වන යෝගා ක්‍රමය වන්නේ පතංජලීගේ යෝගා සූත්‍ර පොතේ සඳහන් යෝගා ක්‍රමයි. සිතිවිලිවල අවසානය හෙවත් ‘යෝගාශ් චිත්ත වෘත්ති නිරෝධා’ ලෙස යෝගා හඳුන්වා තිබෙනවා. දැනට ඉතා ප්‍රචලිත යෝගා ක්‍රම පිළිබඳ ප්‍රවීණ යෝගාචාරිණී කුමාරි වාහලතන්ත්‍රි මහත්මියගෙන් අප කරුණු විමසුවා. මෑත කාලයක සිට යෝග ව්‍යායාම වැඩි වශයෙන් ව්‍යාප්ත වනවා. මෙයට හේතුව කුමක්ද? බොහෝ දෙනෙක්ට දැඩි කාර්යබහුලත්වය නිසා කායික, මානසික, ආධ්‍යාත්මික සහනය අහිමි වී තිබෙනවා. බොහෝදෙනෙක් බෝ නොවන රෝගවලට හා අධික තරබාරුව යන රෝගවලට ගොදුරුවෙලා. මේ සියල්ලටම එකම තැනකින් සහනයක් ලබාගන්න යෝග මධ්‍යස්ථාන වෙත යොමුවෙනවා. ඇත්තටම යෝග කියලා කියන්නෙ මොකක්ද? කායික, මානසික හා ආධ්‍යාත්මික භාවිතාවක් ලෙස කෙටියෙන් යෝග හඳුන්වන්න පුළුවන්. යෝගා යන වචනයේ තේරුම ඒකාත්මික, සම්බන්ධ වීම, සංයෝජනය වීම. ආත්මය පරමාත්මය සමග සම්බන්ධ වීම යෝගා මගින් සිදුවෙනවා. එය උත්තර (උතුම්) සත්‍ය සමග ඒකාත්මික වනවා. ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ දැනුම සොයන කෙනකුට විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙසත් යෝගා හඳුන්වන්න පුළුවන්.

යෝග කිසියම් ආගමක කොටසක්ද? නැහැ, කිසිසේත්ම නැහැ. යෝග යනු ආගමක් හෝ ආගමක කොටසක් නොවෙයි. එය ස්වාධීන ආධ්‍යාත්මික විමුක්ති මාර්ගයක්. ඕනෑම ආගමක් අදහන අයෙක්ට යෝගා සුදුසුයි. යෝගා පුහුණු වීමට වයස් සීමාවක් තිබෙනවාද? යෝගා පුහුණුවට වයස් සීමාවක් හෝ ස්ත්‍රී, පුරුෂ භේදයක් නැහැ. සාමාන්‍යයෙන් වයස 8න් ඉහළ ඕනෑම පුද්ගලයකුට යෝග පුහුණු විය හැකියි. රෝගාබාධ ඇති පුද්ගලයන්ට හා ගර්භණී මව්වරුන්ට යෝගා පුහුණුවීම්වල යෙදීම සුදුසුද? රෝගාබාධ ඇති පුද්ගලයන්ට හා ගර්භණී මව්වරුන්ට සුදුසු ව්‍යායාම තිබෙනවා. මේ තත්ත්වයේ පසුවන අයට යෝග ව්‍යායාම පුහුණුවෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් අධික තරබාරුව නිසා දණහිස් වේදනාව ඇති අයෙක් දණහිසට ව්‍යායාම නොකර ශරීරයේ අනෙක් ස්ථානවලට ව්‍යායාම කර ශරීරයේ බර අඩුකර ගැනීමෙන් දණහිසේ ඇතිවූ වේදනාව නැති වීම පෙන්වා දෙන්න පුළුවන්. ගර්භණී මව්වරු යෝගා ව්‍යායාම කිරීම තුළින් ඇය දරාගෙන සිටින දරු ගැබ සැහැල්ලුවෙන් දරාගැනීමට හැකි වෙනවා. යෝග ව්‍යායාමවල ප්‍රධානම දෙයක් ලෙස ලිහිල් වීම, සැහැල්ලු වීම හැඳින්විය හැකියි. මවට වැඩි අපහසුවක් දැනෙන්නේ ඇගේ මාංශපේශී තදව පිහිටන විට. යෝග ව්‍යායාම තුළින් මාංශපේශී ලිහිල් කර ඒ අපහසුව මගහරවනවා. යෝග ව්‍යායාම පුහුණුවන්නන් විශේෂිත වූ ආහාර රටාවක් අනුගමනය කළ යුතුද?

ඔව්. සාමාන්‍යයෙන් යෝග පුහුණු වීමට පැය 3 1/2කටවත් පෙර සිට ආහාර නොගෙන සිටිය යුතුයි. වෙනත් ආකාරයකින් පැවසුවොත් ආහාර ගෙන පැය 3 1/2කට පසුව තමයි යෝගා ව්‍යායාම කළ යුත්තේ. තවත් දෙයක් තමයි වැඩි වශයෙන් සාත්වික ආහාර ගත යුතුයි. හැකිනම් මස් මාංශ භාවිතය නතර කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. මෙම ක්‍රම පුහුණුවන්නන් අනුගමනය කළ යුතු පියවර, එසේත් නොමැති නම් මාර්ගයක් තිබෙනවාද? යෝගාවල ගුරුකුල රාශියක් තිබෙනවා. අෂ්ඨාංග යෝගා මාර්ගය යෝගියෙක් ගමන් කළ යුතු මාර්ගය ලෙස අප හඳුන්වනවා. යෝගා පුහුණුව ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? යෝගා පුහුණුවෙන් ශරීරයේ නම්‍යශීලීත්වය, ශක්තිය වර්ධනය වෙනවා. කායිකව මෙන්ම මානසිකව නිරෝගී වෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරීත්වයට වැඩි අවධානයක් යොමු කිරීම නිසා නිරායාසයෙන්ම බාහිර අලංකාරය ඇතිවෙනවා. මානසික ඒකාග්‍රතාව ඇතිවන නිසා තමන්ගේ වැඩ කටයුතු සාර්ථකව නිම කරගත හැකි වෙනවා. පාඩම් කටයුතුවල නිරත වන ශිෂ්‍යයන්ට මෙය ඉතා වැදගත් එක අරමුණකට සිත යොමු කිරීමට මෙන්ම ධාරණ ශක්තිය වර්ධනය කරගැනීමට උපයෝගි වෙනවා. යෝගා තුළින් ලැබෙන මානසික සුවය හැම දෙනෙක්ටම වැදගත් බවද කිව යුතුයි.