Naifmvlog

Naifm vlog Gossip and News

සෙම්ප්‍රතිශ්‍යාව, නියුමෝනියාව දක්වා යන හැටි.

උණ සෙම්ප්‍රතිශ්‍යාව නොසෑදුණ කෙනෙකු නැත. මේ වන විට කී වතාවක් නම් අපි උණෙන් සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා විඳ ඇත්ද? බොහෝ විට එය වැඩි කරදරයක් නොකර ඉබේම සුව වී ගියද තවත් විටෙක එසේ නොවේ. අප බලා‍පොරොත්තු වන ඉක්මනට සුවය ගෙන නොදී බොහෝ පීඩා පමුණුවමින් දිගින්දිගටම ප්‍රතිකාර ගන්නට සිදුවන තැනට පවා මේ සුළු සෙම්ප්‍රතිශ්‍යාව පත්වන අවස්ථා තිබේ. සෙම හටගත් විටදී ඉන් පීඩාවට පත්වන්නේ පපුවයි. හුස්ම ගැනීම සහ පිට කිරීම යනු අප අවට ඇති වාතය නාස් පුඩු තුළින් ඇද පපුව තුළට ගැනීමත් එහි ඇති වාතය නැවත පිටකර හැරීමත්ය. උගුරෙන් පහළට වාතය ගමන් කරන්නේ ඇඟිල්ලක් පමණ පළල බටයක් තුළිනි. එම තනි බටය පපුවට ඇතුළුවන විටම දෙකට බෙදී දෙපසට විහිදි යමින් නැවත තවත් කුඩා කුඩා බට ගණනාවකටම බෙදී යයි. ඒවා ගසක අතු ආකාරයට බෙදි ගියද ලක්ෂ සංඛ්‍යාත නාල සමූහයකි. පෙණහලු තුළින් ‍ලේ ගමනාගමනය සිදුවන විටදී මේ සෑම කුහරයක් විසින්ම ‍ලේ වලට ඔක්සිජන් වාතය මුදාහරිනු ලබයි. සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුන අයෙකු එක් කිවිසුමක් බැහැර කරන විටදී සෙම, සොටු, කෙළ බිඳිති සමග විෂබිජ සහ වෛරස් අති විශාල ප්‍රමාණයක් අවට පරිසරයේ වාතයට එකතු කරයි. එවැනි නොයෙක් ආකාරයන්ගෙන් අපට නොපෙනෙන බැක්ටීරියා වෛරස් විශාල වශයෙන් අපි ගන්නා හුස්ම ‍පොදට එකතු වේ. එලෙස ශරීරයට ඇතුළු වන වෛරස්, බැක්ටීරියා ශ්වසන මාර්ගයේ බිත්තිවල තැන්පත් වූ වහාම අපේ ශරීරයේ ඇති ඉතා කුඩා ෙසෙල විවිධ උපක්‍රම යොදමින් ඒවා පලවාහැරීමේ සටනකට අවතීර්ණ වේ. සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ වැටුණත් නැතත් දින කිහිපයකින් රෝගය සුව වී යන්නේ මේ සටනේදී ශරීරය ජය ගැනීම නිසාය. නාසයෙන් දියර ගලමින් ඇඟපත රිදුම් දෙමින් හුස්ම මාර්ගය ඉදිමෙන්නට පටන් ගන්නේ වෛරස් විෂබිජ වලට එරෙහි මෙම සටන ආරම්භ වීමත් සමගය.

හුස්ම මාර්ගයේ උනන දියර බැහැර කිරීමට කැස්ස කිවිසුම් යෑම හට ගනී. එවිට පෙණහැල්ලෙන් කොටසක් සෙම සහ සැරව වලින් සම්පූර්ණයෙන්ම පිරී යෑම සිදුවේ. අප නියුමෝනියාව ලෙස හඳුන්වන්නේ මෙම තත්ත්වයයි. සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝගී තත්ත්වයකින් ඇරඹී එය නියුමෝනියාව වැනි බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වන්නට බලපාන හේතු මොනවාදැයි දැන් අපි විමසා බලමු. රෝග කාරක බැක්ටීරියාවේ ඇති ප්‍රබලත්වය බොහෝවිට මෙවැනි තත්ත්වයක් ඇතිකරවිය හැකියි. ඒ සඳහා දෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ දුර්වල නම් එවිටද බැක්ටීරියා බලසම්පන්න වී රෝගී තත්ත්වය වර්ධනය විය හැකිය. ඊට අමතරව රෝගියාගේ ශරීරය දුර්වලනම් දියවැඩියාව හෝ වෙනත් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නේ නම් සහ රෝගී තත්ත්වය පිළිබඳව රෝගියා සැලකිලිමත් නොවූයේ නම් නියුමෝනියා තත්ත්වයක් දක්වා රෝගය උත්සන්න විය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව පවතින විටදී නෑම නියුමෝනියාවට හේතු වන බව වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වී නැති වුවද නියුමෝනියාව වැලඳුන සෑම රෝගියෙකුගෙන්ම පාහේ කරන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින විට නෑම, වැස්සට තෙමීම පිළිබඳව පවසා තිබේ. මෙවැනි නියුමෝනියා තත්ත්වයක් එක්ස් කිරණ ඡායාරූපයක සුදු පැහැ ගුලියක් ආකාරයට ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි. මෙලෙස පෙණහලු ආක්‍රමණය කරන විෂබිජ එතැනින් නොනැවතී විවිධ වූ විෂද්‍රව්‍ය දිගින් දිගටම පිට කරද්දි ශරීරය අන්ත අසරණ තත්ත්වයට පත්වේ. විෂබිජ ‍ලේ වලටද එකතු වූ විට ‍ලේ ගමන අඩාල වේ. සමහර විට යාබද පෙණහලු කොටස් වලටද විෂබිජ පැතිර යන අවස්ථා තිබේ. එවිට රෝගියා තව තවත් අසාධ්‍ය තත්ත්වයට පත්වේ. මෙවැනි අවස්ථාවකදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නම් කුමන විෂබිජ වර්ගය ශරීරගත වී තිබේද යන්නත් ඒවා බලහීන කරවිය හැකි ප්‍රතිජීවක ඖෂධය කුමක්ද යන්නත් හඳුනා ගැනීම වෛද්‍යවරයාගේ දක්ෂතාවයයි. රෝහල් ගත කර දින ගණනාවක් ප්‍රතිජීවක ඖෂධය රුධිර ගත කරන විටදී සුව අතට හැරෙන්නට බොහෝ විට රෝගියාට හැකියාව තිබේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැකගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.