Naifmvlog

Naifm vlog Gossip and News

මාරක පිළිකාව ගැන මේ කරුණු පිළිබඳව ඔබ දැනුවත්ද?

පිළිකා යනු රෝග එකතුවකට දෙන පුළුල් යෙදුමකි. සෛල ටි්‍රලියන ගණනක් සෑදී ඇති මිනිස් සිරුරේ ඕනෑම තැනක පිළිකා ආරම්භ විය හැකිය. සාමාන්‍යයෙන් මිනිස් සෛල වර්ධනය වී බෙදී ශරීරයට අවශ්‍ය පරිදි නව සෛල සෑදේ. සෛල වයසට ගිය විට හෝ හානි වූ විට ඒවා මිය යන අතර නව සෛල ඒවායේ තැන ගනී. සෛල මියයන්නේ නැතිව එම සෛල පාලනය කළ නොහැකි ලෙස බෙදෙමින් වර්ධන වීමෙන් පිළිකා තත්ත්වය උදා වේ. සමහර පිළිකා වේගයෙන් සෛල වර්ධනයට හේතු වන අතර අනෙක් ඒවා සෛල වර්ධනයට හා බෙදීමට මන්දගාමී වේ. පිළිකා සෛල සාමාන්‍ය සෛලවලින් වෙනස් වන්නේ ඒවා පාලනයෙන් බැහැරව ආක්‍රමණශීලී වීම නිසාය. පිළිකා සෛල එක් ප්‍රදේශයක දිස්විය හැකි අතර පසුව වසා ගැටති හරහා පැතිරෙයි. එමෙන්ම පිළිකා සෛල රුධිරය හරහා ශරීරය පුරා විහිදිය හැකිය. මෙම පිළිකා වර්ධනය වනවිට පිළිකා සෛල කැඩී ගොස් රුධිරය හෝ වසා පද්ධතිය හරහා ශරීරයේ දුරබැහැර ප්‍රදේශවලට ගොස් මුල් ගෙඩියට වඩා දුරින් නව පිළිකා ඇති කරයි. පිළිකා සෛල ශරීරයේ අනෙකුත් කොටස්වලට පැතිරෙන ක්‍රියාවලිය මෙටාස්ටැසිස්  ලෙස හැඳින්වේ. මේ ලෙස ශරීරයේ අනෙකුත් ස්ථානවලට විහිදී ගිය පසු පිළිකාවක් පූර්ණ ලෙස සුව කිරීමේ හැකියාව නැතිවී යනු ඇත. පොදුවේ ගත් කළ, ශරීරයේ විහිදී ගිය පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමේ මූලික පරමාර්ථය වන්නේ පිළිකා වර්ධනය පාලනය කිරීම හෝ එයින් ඇතිවන රෝග ලක්ෂණ සමනය කිරීම පමණි.

බොහෝ පිළිකා රෝගීන් මිය යන්නේ එය ශරීරය පුරා විහිදීම නිසාය. ශල්‍ය කර්මයක් කිරීමෙන් පිළිකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැකිය. තවදුරටත් එම ස්ථානයේ තිබිය හැකි පිළිකා සෛල විකිරණ ප්‍රතිකාරයෙන් විනාශ කර දැමිය හැකිය. මේ සියලු දේ කළ ද පිළිකා සෛල ශරීරයේ විදිහීයාම වැළැක්වීම සඳහා ඖෂධ ප්‍රතිකාර කළ යුතු වනු ඇත.  පිළිකාවකට හේතු විය හැකි වෙනත් වෙනස්කම් සිදුවන්නේ බොහෝ විට තම ජීවන රටාව, ආහාරය සහ ඇබ්බැහි වූ පළපරුදු නිසාය. එහෙත්, උරුම වූ ජාන විකෘති නිසා පිළිකා සෑදෙන්නේ පිළිකා රෝගීන්ගෙන් සියයට 5-10 අතර ප්‍රමාණයකට පමණි. පිළිකාවලින් ඉතිරි සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් සිදුවන්නේ වයස්ගත වීම සහ දුම්කොළ දුම හා විකිරණ වැනි පාරිසරික සාධක නිසාය. කල්තබා හඳුනාගැනීම පිළිකා සුවයට උදව් වන බැව් බොහෝ විට අප අසා ඇතත්, එය සෑම විටම එසේ නොවන බව දැන් වැටහී ඇත. සමහර පිළිකා කොතරම් කලින් හඳුනාගත්ත ද, එයට ඒ මොහොතේදී ප්‍රතිකාර කළත් පසුව ප්‍රතිකාර කළත් එම රෝගියා පිළිකා රෝගයෙන් මිය යන දිනය වෙනස් වන්නේ නැත. මේ අනුව අනවශ්‍ය ලෙස වියදම් කරමින් සතියක් පාසා විවිධ පරීක්ෂණ කළත්, එහි ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵලය නැත. එයට අවශ්‍ය නිසි පරීක්ෂණ ඔබගේ වෛද්‍යවරයා නිසි වෙලාවට කරදෙනු ඇත.

පිළිකා වර්ග 100කට වඩා තිබේ. පිළිකා වර්ග සාමාන්‍යයෙන් නම් කරනු ලබන්නේ පිළිකා ඇතිවන අවයවය හෝ පටක පදනම්කොටගෙන ය. උදාහරණයක් ලෙස පෙනහලු පිළිකා පෙනහලු සෛලවලින් ආරම්භ වන අතර මොළයේ පිළිකා මොළයේ සෛලවලින් ආරම්භ වේ. පිළිකා, සෑදෙන සෛල වර්ගය අනුව ද විස්තර කළ හැකිය. පිළිකාවක් ය යන්න මරණීය දඬුවමක් නොවේ. එය තවත් එක් රෝගයක් පමණි. අනෙකුත් රෝගවලින් මෙන් නොව මෙම රෝගයෙන් මියයාමේ ප්‍රවණතාව තරමක් ඉහළ ය. පිළිකා යනු පුද්ගලයෙකුගෙන් පුද්ගලයාට පහසුවෙන් පැතිරෙන බෝවන රෝගයක් නොවේ. එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පිළිකා පැතිර යා හැකි එකම අවස්ථාව වන්නේ ඉන්ද්‍රිය හෝ පටක බද්ධ කිරීමයි. අතීතයේ පිළිකා වැලඳුණු පරිත්‍යාගශීලියෙකුගෙන් ඉන්ද්‍රියයක් හෝ පටකයක් ලබාගන්නා පුද්ගලයෙකුට අනාතගයේදී බද්ධ කිරීම හා සම්බන්ධ පිළිකාවක් ඇතිවීමේ අවදානම වැඩි විය හැකිය. අද වනවිට, පුද්ගලයෙකුගේ “ආකල්පය” ඔහුගේ හෝ ඇයගේ පිළිකාවෙන් වර්ධනය වීමේ හෝ මියයාමේ අවදානමට සම්බන්ධ කරන බවට ඒත්තු ගැන්වෙන විද්‍යාත්මක සාක්ෂි නොමැත. ඔබට පිළිකාවක් තිබේ නම්, සමහර විට දුක, කෝපය හෝ අධෛර්යමත්වීම සාමාන්‍ය දෙයකි. ධනාත්මක ආකල්පනයක් ඇති පුද්ගලයින් සමාජ සම්බන්ධතා පවත්වාගැනීමට සහ ක්‍රියාශීලීව සිටීමට වැඩි ඉඩක් ඇති අතර ශාරීරික ක්‍රියාකාරකම් සහ චිත්තවේගීය සහයෝගය ඔබේ පිළිකාව සමග සාර්ථකව කටයුතු කිරීමට උපකාරී වේ. මෙම වටිනා තොරතුරු ඔබගේ මිතුරන්ටද දැක ගැනීම සදහා මෙම පොස්ට් එක ශෙයා කරන්න.