Naifmvlog

Naifm vlog Gossip and News

33ට බාල් නැටුවෙ නැති ජනිත් වික්‍රමගේ

ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරුගේ වැඩිමල් පුත් ජනිත් වික්‍රමගේ උපන් දිනය පසුගිය මස තිබුණා. පහුගිය අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් “JANU 29 Blood Donation” එක තමා තිබ්බේ. ඒ ගැන වගේම මේ දවස්වල ජනිත් මොනවද කරන්නේ කියලා අපි හිතුවා අහලා බලන්න… 1.මේ දවස්වල මොනවද වැඩ?  රෂ් චිත්‍රපටයේ විදෙස් ප්‍රදර්ශන කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඒවායේ ප්‍රවර්ධන කටයතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව සුරංග ද අල්විස්ගේ අලුත්ම චිත්‍රපටය වන ‘ද ගේම්’ චිත්‍රපටය අප්‍රේල් මාසය වෙද්දී තිරගත කරන්න සූදානමින් ඉන්නවා. මගේ එන්න තියෙන ෆිල්ම්වලින් හොඳම එකක් තමා ‘ද ගේම්’ කියන්නේ. ඒ ගැන හුඟක් බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒ එක්කම මේ අවුරුද්දේ තව චිත්‍රපට දෙකක වැඩ භාරගත්තා. ඒ දෙකත් ඉතාම හොඳ චිත්‍රපට දෙකක් ඉතින් හොඳ බලාපොරොත්තුත් එක්ක තමා 2020 අවුරුද්දේ වැඩ කරන්නේ.

2.පහුවුණේ කී වැනි උපන් දිනයද? 33 වැනි උපන් දිනය. 3. මේ පාරත් “JANU 29 Blood Donation” තිබ්බේ කොහොමද මෙහි ආරම්භය? “JANU 29 Blood Donation” තිබ්බේ නවවැනි පාරට. එකට හේතු කිහිපයක් තියෙනවා.ගොඩක් කලාකරුවන් උපන්දින පාටිවලින් සමරද්දී සමාජ ජාලවලින් මතයක් යවන්න උත්සහ කළා කලාකරුවන් උපන් දින සමරන්නේ පාටි දාලා කාලා බීලා නටලා කියලා. ඒ අය උපන් දින සමරන්නේ එහෙම හිතලා නෙවෙයි වෙන්න පුළුවන්. නමුත් සමාජගත වුණේ එහෙම. පෞද්ගලිකවත් මම ඒකට කැමති නැහැ. ඉතින් මට හිතුණා වෙනස් දෙයක් කරන්න සහ ඒ කරන දේ සැමට යහපත් දෙයක් වෙන්න ඕනේ කියලා. මගේ අම්මා තාත්තා පවා මේ කලාව තුළ ජීවත් වුණු අය. මේ වෘත්තීයට තියෙන්නේ මගේ ලොකු ගෞරවයක්. ඒ නිසාම තමා මගේ උපන් දිනේට මෙවැනි දෙයක් කළේ.

JANU 29 කියලා දැම්මේ ජනවාරි 29 නිසා. මම නැති දවසක වුණත් මෙහම දෙයක් තිබ්බනේ කියලා මතක් වෙයි. අනෙක් පැත්තෙන් අපි කරන දේ සමාජගත වෙනවා වැඩියි. පුළුවන් හැම මොහොතකම හොඳ දෙයක් සමාජ ගත කළ යුතුයි කියන තැන මම ඉන්නේ.කොහොමද ලැබුණු දායකත්වය? ගොඩක් හොඳයි. තරුණ පරම්පරාවේ ගොඩක් අය මේ “JANU 29 Blood Donation” සහභාගී වුණා. වෙනදට වඩා මෙවර ගොඩක් කලාකරුවන් ලේ දන් දුන්නා. ජනප්‍රිය වෙන්න කරා කියලා මේ දේ වුණත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ජනප්‍රිය වෙන්න හරි සමාජයට හොඳ දෙයක් කරනවා නම් ඒකෙ වරදක් නැහැ.

4.ජනප්‍රිය කලාකරුවන් දෙපළකගේ දරුවෙක් වීම ගැන මොකද හිතෙන්නේ? හොඳ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ලැබීම තමා මට ලැබුණු ලොකුම දායාදය. ඒ වගේම තමා ඒ අයගේ හැකියාව මට උරුම වීම. මම හැමදාම හිතන්නේ ලෝකයේ ඉන්න හොඳම අම්මා තාත්තා ඉන්නේ මට කියලා. 5. ජනිත් වෘත්තීය රංගන ශිල්පියෙක්ද? ඔව්. ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නම් රැකියාවක් කළා. නමුත් දැන් නම් රංගනය පමණයි වෘත්තීය. 6. පවතින්න පුළුවන්ද? සමහර අය වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා ජීවත් වෙන්න බැහැ කියනවා නේද? පුළුවන්. ඕක හදා ගත්ත කතාන්දරයක්. නළුවෙක් කියන්න පුළුවන් එකක රඟපෑවත්. හැබැයි සැබෑ නළුවෙක් කියන්නේ තමන්ට වටිනාකමක් හදා ගත්තු කෙනෙක්ට. එහෙම කෙනෙක්ට වෘත්තීය රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්. එකම දේ වෙනත් වෘත්තියක වගේ මාසෙට නිශ්චිත මුදලක් නැති එක. හැබැයි මාසයක් වැඩ කරලා ගන්න ගාණ අපි එක පැයකින් ගන්න පුළුවන්. ඒ තැන තමන් ගේ දක්ෂතා එක්ක හදා ගන්න ඕනේ. අනිත් අතට නළුවෙක් හෝ නිළියක් නෙවෙයි කවුරු වුණත් තමන්ගෙ ආදායමට සරිලන වියදමක් එක්ක ජීවන රටාව හදා ගන්න ඕනේ.

7.දැන් 33යිනේ. විවාහ වෙන්න අදහසක් නැද්ද? විවාහ වෙන්න ඕනේ. ඒකත් මම හිතන්නේ විවාහ වෙන්න ඕනෙමයි කියලා ඉක්මනට බඳින්න ඕනේ තැන මම නැහැ. ඉස්සර අම්මගේ තාත්තාගේ කාලේ වගේ බැඳීම් දැන් අඩුයි. දෙන්නෙක් අතර ප්‍රශ්න ඇතිවෙන එක සාමන්‍යය දෙයක් නමුත් පොඩ්ඩක් ඇත්ත නම් සැක කරලා ප්‍රශ්න දාගන්න තමා අද වෙද්දී දෙපාර්ශවයේම අය කරන්නේ. ඉතින් හොඳින් තේරුම් ගත් මේ කලා ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ඇතිව ගමනක් යන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මම සොබාදහම විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා හිතනවා හොඳම කෙනෙක් හොඳම වෙලාවේදී ලැබෙයි කියලා.

8.අනාගත බලාපොරොත්තු මොනවද? මේ අවුරුද්දෙම ආරාධනා ලැබුණු චිත්‍රපට 4න් දෙකක් භාර ගත්තා. මම හිතනවා හොඳටම කරන්න පුළුවන් චිත්‍රපට දෙකක් කියලා ඒ නිර්මාණ දෙක. ඒ එක්කම පොඩ්ඩක් විතර පුංචි තිරයට වඩා සිනමාවට වැඩි ඉඩක් දෙන්න හිතුවා. මම විශ්වාස කරනවා මහන්සිවෙලා වුවමනාවෙන් වැඩක් කළොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එක. ඒ විශ්වාසයෙන් මේ අවුරුද්දේ භාරගත්ත වැඩ ටික කරන එක තමා මූලික බලාපොරොත්තු.