Naifmvlog

Naifm vlog Gossip and News

තමන්ගේ එකම හීනය සැබෑ කරගන්න තවමත් ඉගෙන ගන්න නීති ශිෂ්‍යාව

රටක ජීවනාලිය බදු තරුණ පරපුර අද එදාට වඩා දියුණුයි. ඔවුන්ගේ හැඟීම්, හැසිරීම් දියුණු මටටමක පවතී. අද නවීන තාක්ෂණය සමග තරග කරන ඔවුන්ගේ සිතුම් පැතුම් විවිධාකාරයි.
ම තරුණ තරුණියන්ගේ රුචි අරුචිකම් සහ ඔවුන්ගේ හදවත්වල තෙරපී ඇති විවිධ කාරණා සොයා අපි අලුත් පරපුර සමග පුංචි සංවාදයක යෙදෙන්නට තීරණය කළා.
මුලින්ම අපි ඒ වෙනුවෙන් සම්බන්ධ කර ගත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි නීති විද්‍යාල ශිෂ්‍යාවක වන දේශානි නඳුනිකා.
මුලින්ම දේශානිගේ ළමා කාලය ගැන දැන ගන්න කැමතියි.

පොඩි කාලේ මම ගොඩක් දඟකාර චරිතයක්. ඒ වගේම වසයි. හරියට තරහ යනවා. ගොඩක් දෙනෙක් කියනවා මම ඒ කාලේ හරි නපුරුයි කියලා. මොකද මාව ඒ කාලේ කට්ටිය වඩා ගනිද්දි හැමෝගෙම අතට යන්නෙ නැහැලු. කැමති අය ළඟට ගියත් අකමැති කෙනෙක් වඩා ගත්තොත් අඬනවා, හපනවා, සූරනවා, කෙළ ගහනවා වගේ දේවල් කරලා. ඉතින් ඒ කාලේ ඒවත් එක්ක බලද්දි අද වෙද්දි ලොකු වෙනසක් මගේ ජීවිතේ ඇති වෙලා කියලා හිතෙනවා. මොකද මම එන්න එන්න වයසින් වැඩි වෙද්දි ගොඩක් අහිංසක වුණා.

දේශානිට සහෝදර සහෝදරියො කව්ද ඉන්නේ?

මට ඉන්නෙ එකම සහෝදරියයි. ඇයට අවුරුදු 22ක් වෙනවා.

සහෝදරයන්ට ආසයිද?

අම්මෝ ඔව්. ඇත්තටම ගොඩක් ආසයි. විශේෂයෙන්ම අයියා කෙනෙකුට ගොඩක් ආසයි. මට තවමත් අදටත් අයියලා ඉන්න නංගිලා දැක්කම ගොඩාක් ඊර්ෂ්‍යා හිතෙනවා. මොකද මට අයියා කෙනෙක් නැති නිසා. ඒක ඉතින් මගේ ලැබීම තමයි. ඒ ගැන ලොකු දුකක් තියෙනවා ඇත්තටම.

පාසල් කාලය කොහොමද ගෙවුණෙ?

පාසල් ගිය මුල් කාලෙදී මං දඟ කළා. පිරිමි ළමයින්ට ගහලාත් තියෙනවා. ඊට පස්සේ ටිකින් ටික වයසට යද්දි ගොඩක් අහිංසක වුණා. පාසල් කාලේ යාළුවොත් එක්ක එකතු වෙලා ගොඩක් පිස්සු වැඩ කරන්න නම් ලැබිලා නැහැ. මොකද මම පාසල් ගියේ ලයිසියම් විදුහලට. ජාත්‍යන්තර පාසල් අතරින් ලයිසියම් කියන්නේ නීති තදින්ම තිබුණු පාසලක්. නිදහස ගොඩක් අඩුවෙන් තිබුණෙ. ඒ වගේම මම ශිෂ්‍ය නායිකාවකුත් වෙලා හිටියා. නමුත් පිස්සු වැඩ නොකරම හිටියේ නැහැ. පාසලේදී පන්ති කට් කරලා තියෙනවා. ඒ වගේම ටියුෂන් පන්ති කට් කරනවා. ඒ කට් කරලා චිත්‍රපටි බලන්න යනවා. ගෝල්ෆේස් යනවා. ඒ වගේ දඟ වැඩ නම් තියෙනවා.

ඒ කාලේ තිබුණු දක්ෂතා මොනවද?

පාසල් කාලෙ එහෙම ලොකු දක්ෂතා තිබුණේ නැහැ. සාමාන්‍ය මට්ටමක තිබුණෙ. ඉගෙනීමට කටයුතු කළා. අමතරව පිහිනුම් කළා. නර්තනය හැදෑරුවා. එ්ත් හැමදේම දිගටම කරගෙන ගියෙ නැහැ. එක එක කාලෙට විවිධ දේවල් කළා. උසස් පෙළ කාලෙදි නම් ටිකක් වෙනස් වුණා. ඒ කාලෙදි කථික තරග, විවාද තරග ආදියට සම්බන්ධ වුණා. ඒවගෙන් විශිෂ්‍ට ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.

මම විද්‍යා විෂයන් හැදෑරුවත් මට මේ අංශයෙන් දක්ෂතා තියෙනවා කියලා හිතුණු නිසා තමයි නීතිය හදාරන්න ගත්තේ.

එහිදී ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදු වුණා කිව්වා නේද?

මම ජාත්‍යන්තර පාසලකට ගිය නිසා මම කළේ ලන්ඩන් සාමාන්‍ය පෙළ. පසුව මට සාමාන්‍ය විදියටත් සාමාන්‍ය පෙළ කරන්න වුණා නීති විද්‍යාලයට යන්න සිංහල වලට ”C” සාමාර්ථයක් අවශ්‍ය නිසා. උසස් පෙළ විද්‍යා විෂයන් කරගෙන යද්දි මට හිතුණා මට හරියන්නේ නීතිය කියලා. එ් නිසා තමයි පෞද්ගලික විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා නීතිය හදාරන්න හිතුවෙ.

එහිදී මම බාහිර උපාධියක් කළේ. ඒක UK උපාධියක්. අපි අවුරුදු 4ක් නීති උපාධිය කළාට පසුව නැවතත් ලංකාවෙ නීති විද්‍යාලයට යන්න ඕනෑ. නීති විද්‍යාලයේ අවුරුදු 3 ක් ඉගෙන ගන්න ඕනෑ. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ එක අවුරුද්දක් ගත්තොත් විෂයන් 8 ක් තියෙනවා කරන්න. ඒ තුළින් එක් විෂයක් හෝ අසමත් වුණොත් නැවත විෂයන් අටම ලියන්න ඕනෑ. එවැනි නීති කිසිම විශ්වවිද්‍යාලයක නැහැ. විෂයන් අටම සමත් වුණත් ප්‍රතිශතය 50% අඩු නම් මුළු විභාගයම නැවත කරන්න ඕනෑ. ඒ නිසා මම අවුරුදු 7, 8ක් තිස්සෙ තවම ඉගෙන ගන්නවා. මම වෙනත් උපාධියක් කළා නම් මේ වෙද්දි සෑහෙන ඉදිරියට යන්න තිබුණා.

අපි බාහිරව උපාධිය හදාරණ නිසා නීති විද්‍යාල ඇතුළෙ ලොකු නොසලකා හැරීමකුත් සිදු වෙනවා. විභාගවලට ලියන්න සටහන් දෙන්නෙ නැහැ. ඒ අවශ්‍ය කරුණු ලබා දෙන්නේ නැහැ. නීති විද්‍යාල ඇතුළෙ ඉන්න අයට විතරයි ලෙක්චරස්ලාගෙ සැලකිල්ල තියෙන්නේ. අදාළ සටහන් ඔවුන්ට ඊමේල් සහ වට්ස්අප් වැනි සමාජ ජාලා ඔස්සේ පෞද්ගලිකව ලබා දෙනවා. ඉතින් අපි කොහොමද විභාග ලියන්නේ. ​ෙලක්චර්ස්ලා අපි ​නොසලකා හරිනවා. එ්ක ලොකු අසාධාරණයක් නීතිය බාහිරව හදාරණ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට.

දේශානි නීතිඥවරියක වීමේ හීනය සැබෑ කරගත්තම මොනවද රට වෙනුවෙන් කරන්න බලපොරොත්තු වෙන්නේ?

ඒ හීනය සැබෑ කර ගත්තට පසුව සමාජය වෙනුවෙන් ලොකු දේවල් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අපේ රටේ බොහෝ දේවල් පිළිබඳ කිසිදු දියුණුවක් නැහැ. හැම තැනින්ම වැටිලා ඉන්නේ. නමුත් මිනිස්සු හිතාගෙන ඉන්නේ අපි සෑහෙන්න දියුණුයි කියලා. නමුත් අප්‍රිකානු රටවලුයි, දකුණු ආසියාතික රටවලුයි එක්ක ගත්තම ඒක නෙවෙයි ඇත්ත. අපේ රට අන්ත පහළ මටටමක තියෙන්නේ.

නීතිඥවරියක විදියට උපරිම සාධාරණය ඉටු කරන්න කැමතියි. මුදලට යටත් නොවී කප්පම් දූෂණ වංචාවලට යටත් නොවී මගේම ගමනකින් සාධාරණ ඉදිරි පියවරක් තබන්න තමයි මට ඕනෑ.

විශේෂයෙන්ම බුද්ධාගම රැක ගන්නට මගේ ආගම වෙනුවෙන් උපරිමයෙන් කැප කිරීමෙන් වැඩ කරනවා. මට පුළුවන් උපරිමේ ආධාර උපකාර කරලා හොඳ දෙයක් කරන්න කැමතියි.

දේශානි විවේක වෙලාවට මොකද කරන්නේ?

මම ඇත්තටම ගොඩක් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. මම දැනට ගුරුවරියක් විදියට සා.පෙළ සහ උසස් පෙළ ශිෂ්‍යාවන්ට ඉගැන්වීම් කරනවා. ඒකත් ඇත්තටම මට ලොකු සතුටක්. ඉතින් රැකියාව කරන්න ගත්තම වැටුප් ලැබුණු ගමන්ම මම කරන්නෙ මගේ යාළුවො එක්ක එකතු වෙලා කෑම කඩවලට ගිහින් විවිධ කෑම වර්ග කාලා ඒවා අත්හදා බලන එක. දැන් ඒක මගේ විනෝදාංශයෙක් වෙලා. මම ගොඩක් කැමැතියි බර්ගර් ජාති සහ කේක් වර්ග කන්න.

ඒ වගේම මම ඇඟ හැඩට තියා ගන්න එක ගැනත් ගොඩක් සැලකිලිමක් වෙනවා. ඒ නිසා ජිම් යනවා. සුම්බා පැත්තටත් යොමු වෙලා ඉන්නවා. ඉතින් විවේකයක් ලැබුණම සින්දු අහනවා. නටනවා. ඒවා තමයි කරන්නෙ.

දේශානි මිශ්‍ර පාසලකටනෙ ගියේ. එහිදී වැඩිපුර ආශ්‍රය කළේ ගැහැනු යාළුවොද? පිරිමි යාළුවොද?

මට වැඩිපුර ඉන්නේ පිරිමි යහළුවෝ තමයි.

එ්කට හේතුව?

හේතුව ඇත්තටම පිරිමි ළමයි එක්ක ඉන්න හරි ලේසියි. ඔවුන්ගේ ඊර්ෂ්‍යාව කුහකකම වෛරය ක්‍රෝධය අඩුයි. සැහැල්ලුවෙන් සතුටෙන් ඉන්න පුළුවන්. ඕනෑම දේකදි ඕනෑම වෙලාවක උදව් කරනවා. මට ගැහැනු යාළුවො ඉන්නවා. එ්ත් ටික දෙනයි.

ගැහැනියට ගැහැනියක්ම වළ කපනවා කියලා කතාවකුත් තියෙනවනෙ නේද?

ඔව්. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. මට ඇත්දැකීමෙන්ම කියන්න පුළුවන්. යාළුවො එක්ක තරහක් නෙමෙයි. අපි වැඩ කරන තැන්වල වුණත් අත්දැකලා තියෙනවා ඒ දේ. ඒ නිසා පිරිමි යාළුවො ආශ්‍රය කරන එක හිතටත් පොඩි සැනසීමක්.

අාදරය ගැන මොකද හිතෙන්නේ?

ආදරය ගැන කතා කළොත් අද පවතින තත්ත්වය ගැන එතරම් පැහැදීමක් නැහැ. මොකද අද බොහෝ දෙනෙක් හොයන්නෙ ආදරයට වඩා කාමය. ඒ නිසා තමයි අද 60%කට වඩා දික්කසාද වැඩි වෙලා තියෙන්නේ. ඒක ඇත්තටම හරි කනගාටුදායකයි.

අද ගොඩක් අඩු වයසින් බඳිනවා. ඒ වගේම හරි ඉක්මනින් දික්කසාද වෙනවා. කසාදයෙන් පිට වෙනත් සම්බන්ධතා ගෙනියනවා. ඉතින් අද කෙනෙක්ව තෝරා ගන්නත් බයක් තියෙනවා. විශ්වාස කරන්න අමාරුයි.

ඒ කාලේ සුන්දරයි කිව්වනේ. ඉතින් ගෙදරට හොරෙන් මල් කඩලා එහෙම තියෙනවද?

අම්මෝ ඔව්. මල් කඩලා තියෙනවා කියන්න බැරි තරම්. පාසල් යන කාලේ අපි හරි බොළඳයිනේ. ඉතින් මම ෆෝන් එකක් ළඟ තියා ගත්තෙත් ගෙදරට හොරෙන්. එක දවසක තාත්තා මගේ ෆෝන් එකක් කුඩු කරලත් තියෙනවා.

ඒ කාලෙ ඉතින් මගෙ පෙම්වතා අරන් දුන්නු ෆෝන් එකක් තමයි ළඟ තියාගෙන හොරෙන් මල් කැඩුවෙ. ඒත් අම්මට හැමදේම අහුවුණා. කවදාවත් හොර වැඩක් කරන්න ලැබුණෙ නැහැ. ඉතින් පාසල් කාලේ අවසන් වෙනකම් මට ගෙදරින් නිදහසක් දුන්නෙ නැහැ. නමුත් විශ්වවිද්‍යාලයට යද්දි එයාලම මට ෆෝන් එකක් අරන් දුන්නා. මොකද ලෙක්චර්ස් ගිහින් ගෙදර එද්දි රෑ වෙනවනෙ.

එදා ඒ දාපු නීති රීති ගැන අද මොකද හිතෙන්නේ?

ඇත්තටම මම ආදරයක් හොයා ගත්තත් ගෙදරින් කැමති කෙනෙකුට තමයි කැමති වෙන්නේ. මොකද ගෙදර අය අමානුෂික විදියට විරුද්ධ වුණේ නැහැ මට කවදාවත්. විරුද්ධ වුණේ සාධාරණ හේතු මත. ඒ කාලේ පෞද්ගලිකව මගෙ සම්බන්ධතාවලට ගෙදරින් අකමැති වුණා. ඒ කාලෙදි මට හිතුණා ඇයි මෙයාලා මෙහෙම කරන්නේ කියලා.
අපේ ජීවිත එක්ක සෙල්ලම් කරනවද කියලා හිතුණා. නමුත් දැන් මට තේරෙනවා ඒ හැමදේම වුණේ හොඳට කියලා. ඒගොල්ලන්ට මල් තියලා වඳින්න ඕනෑ. ඒවට විරුද්ධ වුණාට. මොකද මගෙ ගෙදරින් කේන්දරවලට, කුලවලට වගේ දේට අකමැති වුණේ නැහැ. ඒවට සාධාරණ ​හේතු තිබුණා. අද ගොඩක් අය කියනවා ආදරේට මිල මුදල් රැකියාව උගත්කම වගේ දේවල් බලපාන්නේ නැහැ කියලා. නමුත් ඒ දේ නෙමෙයි ඇත්ත.

අද සල්ලි නැත්නම් ආදරේ පෑල දොරින් පලා යනවා. ඒ වගේම උගත්කමත් බලපානවා. මම උගත් වෙලා අාදරය කරන කෙනා උගත් නොවුණොත් බැන්දට පස්සේ ඒවාත් ප්‍රශ්න. මේ දේවල් සම්බන්ධයෙන් එදා අපට නොතේරුණත් අද හොඳ අවබෝධයක් තියෙනවා. ගෙදරින් වුණත් නිතරම කියන්නේ විවාහය කියන දේ හදිසියෙ නැතිව හරි විදියට අවබෝධයෙන් කරගන්න කියලා.