Naifmvlog

Naifm vlog Gossip and News

මම පන්තියේ හැමදාම අන්තිමයා

*සාමාන්‍ය පෙළ ළං වෙනකම්ම මට ගණිතයට ලකුණු හයයි, හතයි විභාගෙ ළං වෙලයි මම හරියටම ගණං ඉගෙන ගත්තේ. *උසස් පෙළ විභාගෙ ප්‍රතිඵල ආවම ළමයි කතා වුණාලු අර හැම දාම අන්තිමය වෙන කෙනා ඉංජිනේරු පීඨයට යන්න පාස් වෙලා කියලා. “ගැහැනිය” යනු හුදෙක් රූප සුන්දරියක හෝ ලඳ බොළඳ සියුමැලි බියගුලු චරිතයක් හෝ නොවන බව පසක් කරන්නට අද සමාජයේ ඕනෑ තරම් උදාහරණ ඇත.දිරියෙන් ජයගත් පිරිමින් ගැන අප ඕනෑ තරම් අසා ඇත්තෙමු. ඒ අතර ගැහැනුන් සිටීම මේ සමාජයේ නම් බොහෝ විරලය. පිරිමියාට තරම් අභියෝග ජය ගැනීමේ ශක්තියක් නොමැති යැයි සලකා හැමදාමවත් සමාජයේ දෙවැනි තැනට ඇද දැමූ ගැහැනිය තර්ක, විතර්ක නින්දා අවමාන දුක වේදනාව තුළින් බාධක හැල හැප්පීම් නොතකා ගලන ගඟක් සේ නොසැලී සිටින්නීය.

තොටිල්ල පදවන ඇ​ගේ දෑතට පිරිමියාට වඩා අද ලෝකයේ අභියෝග ජය ගන්නට සමත් වී ඇත. ගැහැනියක තම වෘත්තියට සහ උගත් දැනුමට අවංක වී ඉන් නොනැවතී අභියෝග වෙනුවෙන් පෙනී සිටීමට පසුබට නොවන්නේ නම් ඇය සැබවින්ම යකඩ ගැහැනියකි. දේශපාලන අසූචි වළේ නොවැටී අණසකට නොනැමී හිස ඔසවා සිටි අවංක රාජ්‍ය නිලධාරිනිය වෙනුවෙන් අපි ද අද කතා බහ තුලින් ඉඩ කඩ වෙන් කලා. ඇය වාරි මාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තාක්ෂණ) දීපිකා ප්‍රියානි ත්‍රිමානවිතානයි.

අපි අතීතයෙන්ම කතා බහ ආරම්භ කරමු. “මගේ ගම තෙලජ්ජවිල. මගේ අම්මා වෛද්‍යවරියක්. තාත්තා විදුහල්පතිවරයෙක්. මගේ අම්මට අපි දරුවෝ හතර දෙනෙක්. අයියයි, මල්ලිලා දෙන්නයි මමයි. තෙලිජ්ජවිල අපේ ගම වුණාට මව්පියන්ගේ රැකියා නිසා. ඔවුන්ට මාරු වීම් ලැබෙන තැන් වලට අපිට නිතර යන්න වුණා. ඒ නිසා පාසල් කිහිපයකම මම අධ්‍යාපනය ලැබුවා. ඉතාම දුෂ්කර ගම්වල තමයි අපි වැඩිපුර ජීවත් වුණේ. එ් ගම් වල ගත කරපු කාලේ ඇත්තටම හරිම සුන්දරයි. අයියාගෙයි, මල්ලිලා දෙන්නගෙයි අස්සේ හැදුණු තනි කෙල්ල නිසා මාත් හැදුණේ කොල්ලෙක් වගේ. මට යාළුවන් විදියට ඇසුරු කරන්න ලැබුණේ අයියලාගේ මල්ලිලාගේ යාළුවෝ. ඒ කාලේ කොල්ලා වගේ ඇළේ දොළේ පැනලා නාන එක තමයි කළේ. ඉගෙන ගන්නවට වඩා මම ආස කළේ ඒ දේවල් වලට.”

එතකොට ඉංජිනේරු හීනය සැබෑ වුණේ කොහොමද? “ඇය මහ හඬින් සිනා සුණාය. ඉංජිනේරුවෙක් වෙනවා කියා විශ්වවිද්‍යාලයකටවත් යන්න මගේ තුන් හිතකවත් තිබුණේ නැහැ. පාසල් කාලේ ඉගෙන ගන්න එතරම් දක්ෂ ළමයෙක් නෙමෙයි. මම පන්තියේ හැමදාම අන්තිමයා. ගණන්වලට ලකුණු 10 ට වැඩියෙන් කවදාවත් අර​ගෙන නැහැ. ඉස්සර මට නීරසම විෂය ගණන්. අම්මයි තාත්තයි ඉතින් පළු යන්න බණිනවා. මම ගාණකටවත් ගන්නේ නැහැ. පස්සේ සාමානය පෙළ ළං වෙන්න මාස කිහිපයක් තියලා අම්මා ළඟට අරගෙන කියලා දීලා පාඩම් කෙරෙව්වා. මම දඟ මල්ල, ඉතින් එක මොහොතක් එක තැනකට වෙලා වැඩක් කරන්නේ නැහැ.

​කොහොම හරි පන්තියේ හැමදාම අන්තිම ලකුණු වල හිටපු මම සාමාන්‍ය පෙළ දී ගණන් වල සම්මානයක් ගත්තා. යාන්තමින් ඒක ගත්තෙත් අම්මාගේ මහන්සිය නිසා. ගණන් බැරි මං මාස කිහිපයකින් සාමාන්‍ය පෙළ ගණන් පාස් වුණාම අයියෝ අවුරුදු ගාණම බේරුණේ කරලා තියෙන්නේ කියලා දුක හිතුණා. මගේ තාත්තගේ මල්ලි (බාප්පා) භෞතික විද්‍යා ගුරුවරයෙක්. එයාත් මට හරියට උදව් කළා ඉගෙන ගන්න. සාමාන්‍ය පෙළ පන්තියට එනකම් ගණන් වලට ලකුණු 7 ක් 8 ක් ගත්ත මම උසස් පෙළට ගණිත අංශයෙන් ඉදිරිපත් වුණාම ඉස්කෝලේ සමහරු පුදුමත් වුණා. අපේ ගෙදර මව්පියන් රැකියා කරපු නිසා ආර්ථික ප්‍රශ්න තිබුණෙත් නැහැ. ඉල්ලපු හැමදේම දුන්නා. අපි හතර දෙනාට තිබුණේ ඉගෙන ගන්න.”

පාසලේ බාහිර ​දේවල්වලට දක්ෂතා දැක්වුවද? “මොන පිස්සුද? මම ක්‍රීඩාවට දක්ෂත් නැහැ. සංගීත, නැටුම් වලට දක්ෂත් නැහැ. පන්තියේ අන්තිම පේළියට වෙලා කතා කිය කිය ළමයි ගුරුවරු හිනස්සපු එක තමයි මම කරේ. හැබැයි පන්තියේ අන්තිම පේළියේ ජීවිතෙන් හරි සුන්දර අද්දැකීම් ටිකක් මට ලැබුණා. ඇත්තටම මම වගේ ළමයෙක් ඉංජිනේරුවෙක් වේවි කියලා කිසිම කෙනෙක් හිතුවේ නැහැ.

උසස් පෙළ ප්‍රතිපල ආපු දවසේ අපේ අම්මා ඉස්කෝලේ ළඟ බස් හෝල්ට් එකේ ඉන්න කොට ළමයි වගයක් කියනවලු. හරි පුදුමයි බං ඉස්කෝලේ අර ත්‍රිමානවිතාන කියා හැමදාම පන්තියේ අන්තිමයා වෙන ළමයා. අනිත් එවුන්ටත් පාඩම් කරන්න දෙන්නේ නැති එකී, ඉංජිනේරු පීඨයට යන්න පාස් වෙලා කියලා. අම්මා ඉතින් ඉවසගෙන ගෙදර ඇවිල්ලා ඔන්න ඉස්කෝලේ ඔයා ගැන හිතාගෙන ඉන්න විදිහ කියලා බැනගෙන බැනගෙන ගියා.

අැත්තටම උසස් පෙළ පන්තියට ආවම මාව වැටුණේ ​හොඳට ඉගෙන ගන්න පුළුවන් සෙට් එකක් එක්ක. එයාලා එක්කම තිබ්බම මට මෙලෝ දෙයක් බැහැ. ඒත් මම දාලා ගියේ නැහැ. කොහොම හරි මේක කර ගන්න ඕන කියලා හැඟීමක් ආවා. ගොඩාක් මහන්සි වුණා. ඒත් පාස් වේවි කියලා හිතුවේ නැහැ. ඒ වෙන කොට ඇත්තටම ඉංජිනේරුවෙක් කියන්නේ කවුද? එයාලා මොනවද කරන්නේ? කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. ඉංජිනේරු පීඨයට තේරුණාම මම පුදුම විදියට බය වුණා. මට එදා රෑ එළි වෙන කල් නින්ද ගියේ නැහැ. මට මොනවා වේවිද කියලා හිතුණා. මොකද ඒ වෙන කොට මම දන්න එකම රැකියාව වුණේ ගුරු වෘත්තියයි, වෛද්‍ය වෘත්තියයි විතරයි.”

කොහොමද විශ්වවිද්‍යාල ජීවිතේ? “1982 දී මම එනවා. මොරටුව විශ්වවිද්‍යාලයට මාව කැම්පස් එකට එක්ක ඇවිල්ලා බෝඩිමක නතර කරලා යන කොට අම්මයි තාත්තයි කිව්වේ එක දෙයයි. මෙච්චර කල් දැන් පිස්සු නැටුවනේ. මේකවත් හරියට කරන්න කියලා එයාලා ගියා. ඒ කියපු විදියට පළමු අවුරුද්ද හිටියා. දෙවැනි අවුරුද්දේ ආයෙම පිස්සු නටන්න ගත්තා. දෙවැනි අවුරුද්දේ ඔක්කොම තිබුණේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි බැරි නිසා විභාග ඇණ ගත්තා. දෙවැනි අවුරුද්දෙදි ආයෙම පසු බැස්සා. බැහැ කියලා අතෑරියේ නැහැ. පස්සේ ඉතින් ටික ටික ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලයේදී මට ගොඩක් එක එක පොත් කියවන්න ලැබුණා. ඒ දේවල් වලින් මම ලෝකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිත ගැන මටත් ඕන වුණා සමාජය වෙනුවෙන් හඬක් නඟන්න, වැඩක් කරන්න පුළුවන් කාන්තාවක් වෙන්න.

ඒ කාලේ කැම්පස් එකේ මම හරි චණ්ඩියෙක්. කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලන්ට කතා කරන විදිහ මට මාර ඇලජික්. කැත කතාවෙන් ගෑනු ළමයින්ට හිරිහැර කරන එකට මම හරිම විරුද්ධයි. අපහස කරනවට, රැග් කරනවට, ගෑනු ළමුන්ට අසාධාරණ වෙනවට මට හරිම තරහක් ඇති වුණා. මට හැකි සෑම විටකම එම අසාධාරණ කම් වෙනුවෙන් පෙනී සිටියා. ඒවට විරුද්ධ විශ්වවිද්‍යාල ඇතුළේ හරියට අරගල කළා. ඒකට මට ගෑනු ළමයි ගොඩක් දෙනෙක් එකතු වුණා. පස්සේ මම හදා ගත්තා කැම්පස් එක ඇතුළේ කාන්තා සංවිධානයක්. ඒ කාලෙත් විශ්වවිද්‍යාලේ ගෑනු ළමයින්ට පීඩාවන් හිරිහැර සිද්ධ වුණා. අදත් ඒවා විශ්වවිද්‍යාල ඇතුළේ වෙනවා. ඒවට මම බය නැතුව විරුද්ධ වුණා. ඒ කාලේ ගෑනු ළමයි කරදර වුණාම මාව හොයා ගෙන ඇවිල්ලා කියනවා. මම ඉතින් චණ්ඩියා වගේ ගිහිල්ලා ඇන ගෙන එන වෙලාවලුත් තියෙනවා. මම ඒ කාලේ යකෙකුටවත් බය නැති කෙල්ලෙක්. බයේ ඉන්න අය වෙනුවෙන් හඬක් නඟන්න මට ඕන වුණා. ඔහොම ඉන්න කොට එක කාලෙක විශ්වවිද්‍යාල වැහැව්වා. ගෙදරිනුත් වියදම දුන්නේ හරියටම ගාණට. ඉතින් යාළුවොත් එක්ක මම රස්සාවක් හෙව්වා. ඔය අතරෙදි මාර්ග සංවර්ධන හා නිර්මාණ ඉදිකිරීම් සමාගමක වැඩ කරන්න ලැබුණා. ඒ වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථය ඉදිකරන ව්‍යාපෘතියේ. ඒකෙ තිබුණ ට්‍රැක්ටර්, ඩෝසර් බර වාහන පදවන්න මම පුරුදු වුණා. පිරිමි කරන වැඩ ගෑනුන්ටත් කරන්න පුළුවන් කියන දේ මට ඔප්පු කරන්න ඕන වුණා. ඒ අත්දැකීම් මම හරිම කැමැත්තෙන් වින්ඳා.”

ඊළඟට ඔබ බැඳෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට? “ඔව්. ඔය අතරේ විශ්වවිද්‍යාල කටයුතුත් අවසන් කර ගන්නවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට ඇවිල්ලා අවුරුදු 18 කට පස්සේ මට ලැබෙනවා ගාල්ල මාතර දිස්ත්‍රික් වාරි මාර්ග අධ්‍යක්ෂ ධුරය. ඒ ධුරය ලැබුණම මම ඉස්සෙල්ලම ගියේ පුංචි කාලේ අපි හැදුණු ගමේ ඇළ දොළ බලන්න. ඇලේ දොලේ නටපු කෙනෙක් විදිහට. මට ඒවා ගැන හරිම කැක්කුමක් තිබුණා. ඒ දවස් වලට ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවම ජීවත් වුණේ ගස් වැල් ගංඟා ඇළ දොළ එක්ක. අවුරුදු 18 කටත් ඒ ගංඟා ඇළ දොළ බලන්න ගියහම මට ඇත්තට ඇඬුණා. දිගටම වැලි හාරලා ගඟ ඇළ අපේ මිනිස්සුම විනාශ කරලා තිබුණා. එදා ඉඳලා ගිං ගඟ නිල්වලා ගඟ පරිස්සම් කරන්න මම හරියට මහන්සි ගත්ත. මම ඒකට පොලිසි, පාතාල මැරයෝ, දේශපාලනඥයෝ එක්ක හරි හරියට හැප්පුණා. 2015 නෙළුව පොලිසියට විරුද්ධව ඒ පොලිසියෙම මම පැමිණිල්ලක් දැම්මා. පරිසර විනාශය ගැන කරපු පැමිණිලි පැහැර හැරියා කියලා. ගිං ගඟ දිගේ දකුණේ දේශපාලනඥයෝ තුන් දෙනෙක් මැරයෝ දාලා වැලි ගොඩ දැම්මා. මම මැරයෝත් පොලිසියත් එක්ක හැප්පිලා දකුණේ වැලි ගොඩ දාන ඒවා සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා.

ඊට පස්සේ දෙල්ලව නෙළුව කුඩා ජල විදුලි බලාගාරයක් හදන්න හැදුවා. ඒක හැදුවානම් ලොකු පරිසර විනාශයක් වෙනවා. ගම් 4 ක් මේ අපරාධයෙන් බේරගන්න තනි ගෑනියෙක් විදිහට මම සටන් කළා. හිටපු ජනාධිපති ඇවිල්ලා රැස්වීමක් කැඳවලා මේ ගැන කතා කළා. මැති ඇමැතිවරු හා ලොකු ලොක්කෝත් මේකේ කිසිම පරිසර හානියක් නැහැ කියලා සේරමලා ආණ්ඩුවෙන් දෙන කුට්ටිය සාක්කුවේ දාගෙන ව්‍යාපෘතිය හොඳයි කිව්වා. මේ ව්‍යාපෘතිය බොරු වාර්තාවක් මේක කළොත් මහා පරිසර විනාශයක් වෙනවා කියලා මම එදා රැස්වීමේදී ජනාධිපතිතුමාට තේරුම් කළා. ඊට පස්සේ මට දේශපාලනික, මැර වශයෙන් විශාල ලෙස තර්ජන ආවා. වසර 5 ක් ගාල්ල මාතර අධ්‍යක්ෂවරිය වෙලා ඉඳලා. එතන දූෂණ වංචා වළක්වන්න හඬක් නැගුවා කියලා දේශපාලන අධිකාරීන්ගේ බලපෑම් වලින් මාව ඉවත් කළා. එදා ආපු තර්ජන ගර්ජන වලට බයේ ගෙදර ගියා නම් අද ගිං ගඟ හෝ නිල්වලා ගඟ අපට නෑ. එදා මම සටන් කරලා නතර කරපු පරිසර හානිය දැන් ආයෙම වෙනවා. ඒ ගැන ලොකු දුකක් දැනෙනවා.

සමහර තැන් තියෙනවා. අපි කතා කළොත් අපිට අහිමි වෙන දේවල් වැඩියි. එහෙම නේද? ඔව්. සාමාන්‍ය රජයේ සේවකයෝ ඔක්කොම කරන්නේ තමන්ට අයත් ප්‍රදේශය උඩින් අත පත ගාන එක. මම මට අයිති ප්‍රදේශ ගැන හොඳ අවබෝධයක් අරගෙන තමයි රාජකාරියේ යෙදුණේ. අද එහෙම අය ඉන්නේ ටික දෙනයි.මගේ සේවා කාලය දැන් වසර 28 ක්. කාන්තාවක් විදියට විශාල අභියෝග රැසකට මට රැකියාවේදී මුහුණ දෙන්න වුණා. වැඩ කරන්න ලැබුණු කාලේ ලැබෙන වැටුපට ණය නැතුව වැඩ කළා. අදටත් මම එහෙමයි. විශ්‍රාම ගිය දවසට මට දුක් වෙන්න දෙයක් නැහැ. මම මගේ වෘත්තියට සාධාරණයක් කරලා තියෙනවා. එක එක කාලවල්වලදී මම ණයයි. මොකද වැඩ කරන්න ලැබුණ කාලේ නිදි මරාගෙන වැඩ කළා. කැපිලි කෙටිලි දාලා පැත්තකට දාපු කාලවල් වල බණක් දහමක් කරගෙන හිටියා. ලොකු පුටුවක මම වාඩි වෙලා හිටියට රැකියාවේ මම වැඩිපුරම විඳලා තියෙන්නේ දඬුවම්. වැරදි කරලා නෙමෙයි. අසාධාරණයට, දූෂණයට, විනාශයට විරුද්ධ වෙලා. කටපියා ගෙන හිටියොත් ලැබෙන වරප්‍රසාද වැඩියි. ඒත් මට කටපියන් ඉඳලා පුරුදු නෑ.

අපිට කොයි තරම් දේවල් කරන්න හීන තිබුණත් විවාහයෙන් පස්සේ සමහර දේවල් හීන විතරක්ම වෙනවා. ඇත්තටම ඔව්. ගොඩක් කාන්තාවන්ට ජීවිතේ සීමා වෙන්නේ විවාහයෙන් පස්සේ. ඒත් මගේ සැමියා මගේ වෘත්තිය සහ මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. නම කේ.ඩී. හෙට්ටිආරච්චි අපට දරුවෝ නැහැ. මේ රටේ හැම දරුවෙක්ම මම හිතන්නේ මගේ දරුවන් කියලා. ජීවිතේ ගැන පසු තැවීමක් නැහැ. ජීවිතේ සමහර දේවල් ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. ඇත්තටම මට සැමියාව මූණ ගැහෙන්නේ මගේ එවකට හිටපු ප්‍රධාන අධ්‍යක්ෂතුමියගේ යාළුවෙක් විදිහට. අවසානයේ රස්සාවට ගාලු ඇවිල්ලා පරස්ථාවක් ගාල්ලෙන්ම කර ගත්තා. ඇය යළි සිනාසුණාය. ඒ අවංක සැහැල්ලු සිනහව හැමදාම පවතීවායි සිතමින් අපි සත්‍ය ගැහැනියගෙන් සමුගතිමු.

නදීශා අතුකෝරළ