Naifmvlog

Naifm vlog Gossip and News

තෙල් සංස්ථාව හින්දන කෝටි ගානක ගැහිල්ල

මෙරට ලාභ ලබන රජයේ ආයතන පාඩු වෙන්නේ එහි සේවය කරන සමහරුන්ගේ වරදිනි. ඒ තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට ලාභ අපේක්ෂාවෙන් කරන කියන දේ අනුවය. එසේ කරන අය තමන් සේවය කරන ආයතනවලට මොන පාඩුවක් සිදු වුවත් තමන්ට වාසියක් සැලසේ නම් එම ආයතනයට කුමක් වුවත් කම් නැතැයි කියමින් වැඩ කරයි.එවැනි ආයතනයක් ගැන තොරතුරු පසුගියදා අපට දැනගන්නට ලැබිණි. ඒ ඛනිජ තෙල් සංස්ථාව තුළිනි. සියලුම වෘත්තීය සමිති මේ සඳහා විරෝධය පළ කළත් තෙල් සංස්ථාවේ කිහිප දෙනකු එකතුව මේ වැඩේ කරන බවට තොරතුරු තිබේ.කටුනායක සහ බියගම ආයෝජන කලාපයේ පිහිටි මහා පරිමාණ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන රැසක් සිය ආයතනයේ වාහන සඳහා අවශ්‍ය ඩීසල් ලබා ගත්තේ ඛනිජ තෙල් සංස්ථාව හරහාය.

එහිදී එම ආයතන සඳහා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයක් ලබා දුන්නේ රුපියල් එකසිය හතරක් වැනි මුදලකටය. ඒ සංස්ථාවට අයත් තෙල් බවුසර හරහාය. මෙහිදී ඒ ඒ ආයතනවලට තෙල් සැපයීමේදී ගෙනයන දුර ප්‍රමාණය අනුව ප්‍රවාහනයට ගෙවිය යුතු මුදල තීරණය වේ. මේ හරහා තෙල් සංස්ථාවට හොඳ ආදායමක් ලැබිණි. නමුත් දැනට වසර පහක පමණ සිට ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතු ආදායම ලැබෙන්නේ නැත. ඊට හේතු වී තිබෙන්නේ පෞද්ගලික කර්මාන්ත ශාලා, පෞද්ගලික ආයතනවලට තෙල් සංස්ථාව හරහා බෙදාහැරි තෙල් පෞද්ගලික තෙල් පිරහුම්හල් මඟින් බෙදා හැරීමට කටයුතු කිරීමය. එය සෑම තෙල් පිරවුම්හලකින්ම සිදුවෙන දෙයක් නොවේ. කොළඹ අවට ඇති පෞද්ගලික තෙල් පිරවුම්හල් තුනකින් සිදු කෙරෙන ක්‍රියාදාමයක් බවද කියැවේ.

අදාළ තෙල් පිරවුම්හල් තමන්ට අවශ්‍ය ඩීසල් ගෙන එනු ලබන්නේ සංස්ථාවට අයත් බවුසර මඟිනි. අදාළ පිරවුම්හල්වලට අයත් බවුසර මඟින් සංස්ථාවෙන් ඩීසල් ලබාගෙන ආයතනවලට ඩීසල් සපයන බවද වර්තා වේ. මේ හරහා රුපියල් 104ට තෙල් ලබාදී සංස්ථාව ලැබූ ලාභය එතැනින් අවසන් විය. සපුගස්කන්ද කොළොන්නාව පිහිටි තෙල් ගබඩාවලින් මෙම තෙල් ලබා ගන්නා බවද වාර්තා වේ. මේ ආකාරයට ඩීසල් ලීටර 13,200ක බවුසරයක් තෙල් පිරවුම්හලකට ලබා දීමේදී රුපියල් 30,000ක කොමිස් මුදලක් හිමිවෙයි. අදාළ පෞද්ගලික ආයතන වෙනුවෙන් දිනකට තෙල් බවුසර් 50ක් පමණ ලබා දෙන බවද වාර්තා වේ. එම බවුසර් 50 වෙනුවෙන් අදාළ තෙල් පිරවුම්හල්වලට දිනකට රුපියල් ලක්ෂ 15ක කොමිස් මුදලක් හිමිවෙයි. මෙය තෙල් සංස්ථාව කෙළින්ම ලැබූ ලාභයකි. නමුත් තෙල් සංස්ථාවේ කිහිප දෙනකුගේ වුවමනාව මත එම මුදල තෙල් සංස්ථාවට අහිමි වී තිබේ. තෙල් පිරවුම්හල් කිහිපයක් එකතුව කරන වැඩේ නිසා තෙල් සංස්ථාවට මෙම පාඩුව සිදුව ඇත. එසේම සංස්ථාව ලැබූ ලාභය අදාළ පිරවුම්හල් මඟින් ලබා ගනී. මේ අය තමන්ට අයිති බවුසර මඟින් අදාළ පෞද්ගලික සමාගම් වෙත ඩීසල් ලබාදී මෙම ලාභය ගනී. මෙසේ කරන විට සංස්ථාවට විශාල පාඩුවක් වී තිබේ. ඔවුන් තෙල් සංස්ථාවෙන් ලබන ලාභයට අමතරව මේ ලාභය ලබන බවද කියැවෙයි. මේ සඳහා බනිජ තෙල් සංස්ථාවේ වෙළෙඳ අංශයේ කිහිප දෙනකුගේ සහායද ලැබෙන බව කියැවෙයි.

රජයේ ආයතනයක් පාඩු යැයි කියමින් පෞද්ගලීකරණයට උර දෙන මොහොතක තෙල් සංස්ථාවේ සේවකයන් මෙය නවතා දැමීමට ඉහළ බලධාරීන්ව දැනුවත් කළද ඊට මේ වනතෙක් පිළියමක් ලැබී නැති බවද කියැවෙයි. නමුත් මේ සිදුවන අසාධාරණය වෙනුවෙන් තෙල් සංස්ථාවේ සේවකයන් හඬක් නැඟුවත් පසුගිය වසර පහ තුළ යහපාලනයේ බලපෑම් මත බොහෝ දේ යටපත් වී තිබේ. අදාළ පිරවුම්හල් බවුසර් දහයක් යොදාගෙන දිනකට ලෝඩ් පනහක් අදින බවද කියැවෙයි. වැඩිපුරම තෙල් අදින්නේ සපුගස්කන්දෙන් බවද වාර්තා වේ. මෙමඟින් මසකට තෙල් සංස්ථාවට වන පාඩුව 45,000,000කි. අදාළ පිරවුම්හල් මඟින් පෞද්ගලික ආයතන වෙත ඩීසල් ලබා දීමේදී බියගම වෙළෙඳ කලාපයේ සහ ආසන්නයේ ඇති ආයතන වෙත නොමිලේ ප්‍රවාහනය කරන බවටද වාර්තා වේ. එසේම අනෙක් ආයතන වෙත තෙල් සැපයීමේදී ප්‍රවාහන වියදම්ද අය කරන විට ඒ සෑම ලාභයක්ම යන්නේ අදාළ තෙල් පිරවුම්හල් වෙතය. මේ සියලුම මුදල් තෙල් සංස්ථාවට කෙළින්ම ලැබෙන ආදායම්ය. නමුත් තෙල් සංස්ථාවේ කිහිප දෙනකුගේ වුවමනාව මත මසකට රුපියල් කෝටි 4.5ක ආදායමක් අහිමි කරමින් කරන මේ වැඩේ දැන්වත් නවතා දැමිය යුතුය. එසේ නොවන්නට තෙල් සංස්ථාවට හිමිවෙන ලාභය නැතිවෙනු ඇත.

අදාළ ගනුදෙනුව සිදු වෙන්නේ කෙසේද කියා තෙල් සංස්ථාවේ සේවකයෝද දන්නේ නැත. ඒ සඳහා උපකාර කරන්නේ තෙල් සංස්ථාවේ වෙළෙඳ අංශයේම පිරිසක් බවද කියැවෙයි. සංස්ථාවේ බවුසර මඟින් අදාළ ආයතන වෙත තෙල් සැපයීම පාඩු බවට පෙන්නා මෙසේ තෙල් පිරවුම්හල්වලට පෞද්ගලික ආයතනවලට තෙල් සැපයීමේ අයිතිය ලබාදී ඇතැයිද වාර්තා වේ. එහෙත් තෙල් සංස්ථාවේ සේවකයන් පවසන්නේ සංස්ථාව සතු බවුසර මඟින් පෞද්ගලික ආයතන වෙත තෙල් සැපයීමට හැකි බවයි. එමඟින් මසකට රුපියල් කෝටි 4.5ක ආදායමක් ලබා ගත හැකි බවයි. මෙවන් අයථා ක්‍රියා නිසා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන බවද එහි සේවකයෝ කියති. කෘෂිකර්ම අමාත්‍යාංශයට නිශ්චිත ස්ථානයක් තිබියදී රුපියල් කෝටි ගණනක් මහජන මුදල් නාස්ති කොට බිල්ඩිමක් ගත් වැඩේට සමානව තෙල් සංස්ථාවේ පෞද්ගලික අංශයට ඩීසල් සැපයීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක වන බවද එහි සේවකයෝ කියති.

අදාළ පිරිවුම්හල්වලට තෙල් සැපයීම සිදුවන ක්‍රියාදාමය තවම සොයා ගත නොහැකි බවටද සේවකයෝ කියති. නමුත් මහා පරිමාණයෙන් වංචාවක් සිදු වන බවට ඔවුහු චෝදනා කරති. දිනකට බවුසර් 50ක් ලෙස ගණනය කළත් සමහර දිනකට තෙල් සංස්ථාවෙන් ලෝඩ් 75කට වඩා අදාළ පිරවුම්හල් ඩීසල් අදින බවද වාර්තා වේ. අදාළ තෙල් පිරවුම්හල්වලට වැඩිපුර ඩීසල් සැපයීමේදී ඒ ගැන සොයා බැලීමට බලධාරීන් ක්‍රියාත්මක් නොකරන්නේ ඇයිද යන්න ගැටලුවකි. නමුත් මේ ක්‍රියාදාමය නිසා තෙල් සංස්ථාවට වසරකට විශාල වශයෙන් පාඩු සිදුවන බව පෙනේ. මේ පාඩුව ගැන තෙල් සංස්ථාවේ වෙළෙ¼ද අංශයේ අයට නම් පොඩි මුදලක් වනු ඇත. නමුත් රටක් ලෙස ගතහොත් මෙය ජනතා මුදල් හොරා කෑමකි. පිරවුම්හල් තුනකට විශාල ලාභ ගෙන දෙමින් කරන මේ වංචාව දැන්වත් නතර විය යුතුය. ඊට දැන් කාලය එළැඹ තිබේ.