Naifmvlog

Naifm vlog Gossip and News

පාසල් නිල ඇඳුමින් මම කොටි කඳවුරටත් ගියා

යුද්ධයෙන් ඉතිරි වුණේ අහිමිවීම් විතරයි. විනාශයන් විතරයි. පිළිතුරක් නැති ප්‍රශ්න, නොසන්සිඳෙන වේදනාවන් විතරයි. අපේ ජීවිතවල හොඳම කාලය යුද්ධයට බිලි වුණා. ඒ නිසා අපේ දරුවන්ගේ ජීවිත නැවත කවදාවත් එවැනි විනාශයක පැටලෙන්න ඉඩ දිය යුතු නැහැ.” ඒ ඇගේ පැතුමයි. මුලතිවු ප්‍රදේශයේ දී අපට හමුවූ ඇගේ නම කවීතා නොවුණත් අපි ඇයට එසේ කියමු. හතළිස් තෙවැනි වියේ පසුවන ඇගේ ජීවිතයේ මතක ගොන්නට නිදහසේ ගලන්නට ඉඩදෙනු වස් අපි ඇගේ නම් ගම් පසෙකින් තබමු.

වීරත්වය සොයා යාම – “එතකොට මට වයස අවුරුදු 13යි. ඒ 1990 අවුරුද්ද. අපි වෙනදා වගේම ඉස්කෝලේ ගියා. පන්තියේ හිටියේ ළමයි විසිදෙනයි, එයින් 13ක් ගැහැනු ළමයි. දහතුන්දෙනාගෙන් එක්කෙනෙක් විතරක් ඉතිරි කරලා අපි දොළොස් දෙනාම ඉස්කෝලේ යුනිෆෝම් පිටින්ම ඉස්කෝලේ ඉස්සරහා තිබුණු එල්ටීටීඊ කඳවුරට ගියා. අපි තියලා ගිය යාළුවාගේ අම්මාට හිටියේ එයා විතරයි. ඒ නිසා එයා හැර අපි ඔක්කෝම සංවිධානයට බැඳෙන්න තීරණය කළා.” ඇය සිනාසෙමින් ඇගේ ළමා වියේ දී ගත් තීරණයක් මතකයට නැගුවාය. යුද්ධයේ අවසන් කාලය වන විට එල්ටීටීඊ සංවිධානයට බලහත්කාරයෙන් රැගෙන ගොස් බඳවා ගත් ළමා සොල්දාදුවන් පිළිබඳ පුවත් අප අසා තිබුණ ද ඊට පෙර සිටම සංවිධානයට ස්ව කැමැත්තෙන් ළමා සොල්දාදුවන් ලෙස එක් වූ අය ද සිටිය හ. කවීතා ඇතුළු මිතුරියන් පිරිස ද ළමා වියේදීම ස්ව කැමැත්තෙන් සංවිධානයට එක්වූ අය වූහ. ඇය පවසන්නේ ළමා වියේ සිටි ඔවුන්ට සංවිධානයේ සිටි අක්කලා අයියලා වීරයන් සේ පෙනුණු බව ය. ඔවුන්ගේ ඇඳුම් විලාශයන්, ශරීර ශක්තිය ආදී සියල්ල යොවුන් වියේවූ ඔවුන්ගේ සිත් ආකර්ෂණය කළ බව ය, අසල්වාසී නිවෙස් වල ඇතැම් අය ද සංවිධානයට එක් වූ පුවත් වැඩිහිටි පිරිස් කතාබස් කරනු ඇසුණු විට ද පාසල ඉදිරිපිට වූ කඳවුරේ සාමාජිකයින් ඇසගැටෙන විට ද සංවිධානයට එක්වීමට ඔවුන් තුළ වූ කැමැත්ත දළු ලා වැඩුණු බව ය. එවැනි බොහෝ ආකර්ෂණීය වූ හේතු සාධක මත එදා පන්තියේ මිතුරියන් එක්ව එකම තීරණයකට පැමිණි බව ඇය අද සිනාසෙමින් සිහි කරන්නේ වැඩිහිටියෙකු වෙනත් කුඩා දැරියන් පිරිසකගේ දඟකාර තීරණ සිහි කරන විලසිනි. “අපි එදා සංවිධානයට බැඳෙන්න යනවා කියලා වෙනත් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අපි කාටවත් කිවුවේත් නැහැ. මගේ පවුලේ කිසිම කෙනෙක් සංවිධානයට බැඳිලා තිබුණේ නෑ. පවුල්වල අයට කිවුවොත් යන්න ඉඩදෙන්නේ නැති නිසා අපි කිසිම කෙනෙකුට කිවුවේ නැහැ.” කවීතාට එක් බාල සහෝදරයෙක් හා සහෝදරියන් හයදෙනෙක් සිටියෝ ය. ඒ කිසිවකු සංවිධානයට සම්බන්ධ වූවෝ නොවූ හ.

පාසලෙන් කඳවුරට – පාසල් නිල ඇඳුමෙන්ම එල්ටීටීඊ කඳවුර වෙත යන මේ සිසුවියන් කණ්ඩායම තමන්ට සංවිධානයට බැඳීමට අවශ්‍ය බව කඳවුරේ සිටි අයට දන්වා තිබුණි. තවදුරටත් ඉගෙනීමට ඇති කැමැත්ත අකමැත්ත පිළිබඳ එහිදී ඔවුන්ගෙන් විමසා තිබුණත් තමන්ට ඉගෙන ගැනීමට ඕනෑ නැති බවත් සංවිධානයට එක්වීමේ කැමැත්තෙන් පසුවන බවත් ඔවුහු පැවසූහ. පාසල් පැමිණි පාපැදි වලින්ම ඔවුහු ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ කඳවුරක් වෙත යැවීමට කඳවුරේ සිටි අය කටයුතු යොදා තිබුණි. එහිදී ඔවුන්ට පාසල් නිල ඇඳුම් වෙනුවට වෙනත් ඇඳුම් සැපයූ බවත් එතැන් සිට වාහනයකින් කිලාලි ප්‍රදේශයේ පිහිටා තිබූ පුහුණු කඳවුරක් වෙත රැගෙන ගිය අයුරුත් කවීතා සිහිපත් කළා ය. ඒ අතර ඔවුන්ට කුමක් සිදුවූවාදැයි නොදැන නිවෙස්වල අය භීතියට පත්වීම වැළැක්වීමට ඔවුන් සංවිධානය හා එක්වූ බවට සංවිධානයෙන් නිවෙස් වලට දන්වා තිබුණි. “කිලාලි කඳවුරේ දී අපේ පුහුණුවීම් ආරම්භ වුණා. පුහුණුව ටිකක් අමාරු වුණත් සංවිධානයට බැඳීම ගැන කනගාටුවක් හිතුණේ නැහැ. අපට අවි ආයුධ පුහුණුවත් ලැබුණා. ඒවා ඉගෙන ගැනීමට ආශාවත් තිබුණා. විවේක වෙලාවට අපි විනෝදයෙන් කාලය ගත කළා. ඉරිදාත් නිවාඩුයි. එදාට අපි පත්තර බලනවා, විවේකයෙන් ඉන්නවා.” පුහුණු කාලය පිළිබඳ ඇය සිහිකළේ එලෙසිනි. පුහුණුවීම් අවසන් වූ පසු පවුලේ අයට කිලාලි කඳවුරට විත් ඔවුන් හමුවීමට අවස්ථාව ලැබුණු බව ඇය පැවසුවා ය. මව කදුළු වගුරද්දී කනගාටුවට පත් වුවත් නිවසේ ගෙවෙන ඒකාකාරී ජීවිතයට වඩා මෙම තෝරා ගැනීම වීරෝධාර බවත් එය වඩා යහපත් වනු ඇති බවටත් ඇය එදා විශ්වාස කළ බව කවීතා කීවා ය.

අවිගත් ළමාවිය – කිලාලි පුහුණුවෙන් පසු එකිනෙකාගේ දක්ෂතා මත විවිධ අංශවල තවත් පුහුණුවීම් ලැබී තිබූ අතර ඒ අනුව ඇයට වෛද්‍ය ප්‍රතිකාර කිරීම් අංශයේ ද පුහුණුව ලැබීමට අවස්ථාව හිමිව තිබුණි. යාපනය රෝහලේ දී ද පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවූ බවත් බෙහෙත් ප්‍රථමාධාර සම්බන්ධයෙන් ඇය නව දැනුම එක් කර ගත් අයුරුත් සිහි කළා ය. “මට වයස අවුරුදු 15 වෙද්දී මම යුද බිමේ සටන් කරන්න ගියා. දරුණු යුද ගැටුම් ගණනාවකටම සම්බන්ධ වුණා. ඒ අතරතුර කිසිවකු නොදැකිය යුතු විධියේ භයානක සිදුවීම් මම දැකලා තියනවා, එවැනි අත්දැකීම් ලැබිලා තියනවා. සටන් කරන අතරේ තුවාල වන අයට ප්‍රතිකාර කිරීමේ කටයුතුත් ඒ අතර සිදු කළා.” ඇය යුදබිමේ මතකයන් අතර සැරිසැරුවා ය. සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන් විවිධ වැඩසටහන් වලදී සහ යුද ගැටුමකට යෑමට පෙර සිදුවන අදහස් විමසීම් වලදී ද වාර ගණනාවක් හමුව තිබෙන බව ඇය පැවසුවා ය. ඇගේ යුදබිමේ මතක අතර ඉතා අමිහිරි හා භයංකර මතකයන් ද බොහෝ විය. ඇය මතකය පීරා වචන වලට පෙරළුෑ එවැනි සිදුවීම් අකුරු වලට පෙරළිය හැක්කේ කෙසේ දැයි අපි නොදන්නෙමු. එබැවින් ඒ ඇතැම් වදන් අකුරු නොකරමින් හිස් අවකාශයට මුසුවන්නට අපි ඉඩහරිමු. ඇය ඒ සියල්ල අද සිහිපත් කරන්නේ කිසිසේත් චංචල නොවූ එකම තාලයකට ගලා යන ස්වරයකිනි. ඇගේ දෑසේ ද වූයේ නොවෙනස් බැල්මකි. යොවුන් වියේ සිට ලබා තිබූ අමිහිරි අත්දැකීම් සම්භාරය දෙස අද ඇය උපේක්ෂා සහගත ලෙස බලා සිටින සෙයකි. වෙඩි වැදී මිය යනවාට වඩා පණ පිටින් යුදහමුදා භාරයට හසුවීම භයානක දෙයක් ලෙස ඔවුහු සිතූ බව ඇය පැවසුවා ය. එබැවින් යුදහමුදාව යටතට පත් නොවී කෙසේ හෝ තම ඉලක්කයන් වෙත යා යුතු යැයි යන අරමුණින් සිටි බව කවීතා කීවා ය.

ජීවන සහකරු හමුවීම – ළමා වියේ සිට තරුණ විය කටුක යුද බිමක ගෙවී යද්දී තම ජීවන සහකරු ද ඇයට හමුවන්නේ යුදබිමේ දී ම ය. එහෙත් එල්ටීටීඊ සංවිධානය ප්‍රේම සම්බන්ධතා ඇතිකර ගැනීමට තරම් නිදහසක් හිමිකර දුන් ස්ථානයක් නොවූ බව ඇය කීවා ය. “ මම ඔහුව කීප වරක් දැකලා තිබුණා. ඔහු ප්‍රහාරක කණ්ඩායමක නායකයෙක්. අපි හිනාවුණත් කතා කරලා තිබුණේ නෑ. සංවිධානය ඇතුළේ තද නීති රීති තිබුණා, සම්බන්ධතා ඇති කරගන්න බැහැ. පස්සේ, කනගරායන්කුලම් වල යුදහමුදාව එක්ක ඇතිවූ ගැටුමක දී ෂෙල් පීස් එකකට ඔහුගේ පිටේ ලොකු තුවාලයක් වෙලා තිබුණා. ඒ වෙලාවේ මම ඔහුට ප්‍රතිකාර කළා. මුලින්ම අපි කතාබස් කළේ එතකොට යි. ඉන් පස්සේ මම කිලිනොච්චියේ යුධ ගැටුමකට යද්දී, මට යමක් කීමට ඇති බවත්, යුද්ධයට ගිහින් නැවත මම ආවාට පසු ඒ බව කියන බවත් ඔහු මට කිවුවා. මම නැවත ආ පසු මාව විවාහ කරගන්න කැමති බව ඔහු අපේ ගෙදරට ගිහින් කිවුවා. මට ආදරය කරනවා, විවාහ වෙන්න ඕනෑ කියලා ඔහුගේ නායකයාගෙන් ඔහු ඉල්ලීමක් කර තිබුණා. ඔහුට ඊට අවසර ලැබුණා. කණ්ඩායම් නායකයෙක් සහ ජ්‍යෙෂ්ඨයෙක් නිසාත් එහෙම ඉල්ලීමක් කරන්න පුළුවන්කම ඔහුට ඒ වෙද්දී තිබුණා. ඒ නිසා ඔහුට අවසර ලැබුණා. නමුත් මට වඩා ජ්‍යෙෂ්ඨ අය සිටි නිසා මට එහෙම ඉල්ලීම් කරන්න බැහැ. මගේ අම්මා මුලින් කැමති වුණේ නැහැ. මොකද සංවිධානයේ කෙනෙක් එක්කම විවාහ වුණාම පස්සේ කාලයේ දී ප්‍රශ්න ඇතිවෙයි කියලා අම්මා බය වුණා. ඒත් ඔහු විවාහය පිළිබඳ කෙළින්ම ගෙදරින් ඇහුව නිසා තාත්තා ඒ ගැන කැමැත්තෙන් හිටියා. 2000 අවුරුද්දේ අපි විවාහ වුණා.” කවීතා සිනාසෙන දෑස් දල්වාගෙන ඒ සුන්දර මතකයන් යළි සිහිපත් කළා ය. ඇගේ සැමියා ද සංවිධානයට එක්වී තිබුණේ 1985 වසරේ ඔහුට අවුරුදු 14ක් තරම් වූ ළමා වියේ දී ය.

අවතැන් වීම – විවාහයෙන් පසු කවීතා එල්ටීටීඊ සංවිධානයට සමුදෙන්නී ය. එතැන් සිට ඇය කිලිනොච්චියේ ධර්මපුරම් හි සැමියාගේ මාපියන්ගේ නිවසේ කල් ගෙවන්නී ය. යුදබිමේ සිටි ඇගේ සැමියා නිවාඩු දින වල නිවසට පැමිණ ඔවුන් සමග කාලය ගෙවූ බව ඇය කියන්නී ය. ඇය පුතුන් දෙදෙනෙකු ද ලබන්නී ය. කාලය සමග යුද්ධය දරුණු අතට හැරෙද්දී ඔවුන් සියලුදෙනාගේ ජීවිත අවදානම් අඩියකට වැටුණු අයුරු ඇය විස්තර කළා ය. ෂෙල් වැටීමෙන් යාබද නිවසේ සිටි පවුලක් මියගිය අයුරු ඇය සිහි කළා ය. ඒ අනුව 2009 වසරේ මාර්තු මාසයේ දිනක අවුරුදු හතක් සහ අවුරුදු දෙකක් වයසැතිව සිටි පුතුන් දෙදෙනා ද සැමියාගේ මාපියන්, තම මාපියන්, ඥාති හිතවතුන් හා අසල්වාසීන් ද සමග කවීතා ජීවිත රැක ගැනීම සඳහා ගේ දොර අතහැර දමා ගිය අයුරු සිහිපත් කළා ය.

“අපි ධර්මපුරම් ඉඳලා විශ්වමඩු, වල්ලිපුනම්, පොක්කනයි දක්වා ආවා. ඒ වෙද්දී අපේ කෑම ඉවර වෙලා. ගන්න තැනක්වත් නෑ. උතුරු ප්‍රදේශයට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය නතර කරලා තිබුණා. හාල් ටිකක්, පරිප්පු විතරයි අපට ලැබුණේ. ඒවා උයාගෙන කෑවා. තැඹිලි ගෙඩියක් වුණත් රු. 500ක් විතර වුණා. මුදල් ප්‍රශ්නයත් තිබුණා. කණ්ඩායමක් එකට එද්දී ආහාර ප්‍රශ්නය දරුණුවට දැනුණා. එන අතරමග සමහර අය දරුණු තුවාල වලට ලක්වෙලා හිටියා. සමහරු අතරමගදී ෂෙල් වැදිලා මැරුණා.” යුද්ධය අවසාන දින කීපය වන විට ඔවුහු කාරයිමුල්ලිවයික්කාල්, වෙල්ලමුල්ලිවයික්කාල්, වඞ්ඩුවාකල් විඩත්තල්තිව් වෙත පිවිස තිබුණි. 2009 මැයි 16 රාත්‍රියේ ඇගේ සැමියා ද පැමිණ ඔවුන්ට එක්වූ බව ඇය පැවසුවා ය.

අහිමිවීම් හා අතුරුදන්වීම් – “2009 මැයි 18 වෙද්දී ගොඩාක් ළමයි, මිනිස්සු ෂෙල් වැදිලා මැරුණා. යුද මුක්ත කලාප විධියට නම් කරලා තිබුණු ප්‍රදේශ වලදීත් මිනිස්සු මිය ගියා, හැම තැනම මියගිය සිරුරු තිබුණා. දෑත් දෙපා අහිමි වුණු අය හිටියා. මිනිස්සු සුදු කොඩි අරගෙන හමුදාව ඉන්න පැත්තට ගියා. මැයි 17 වන දා අපි ඔක්කොම හමුදාව ඉන්න පැත්තට ගියා. ජොසෆ් ෆ්‍රැන්සිස් පියතුමාත් මගේ මහත්තයාත් ඇතුළු තව කණ්ඩායමක් හමුදාවේ අයට භාර වුණා. ඔවුන්ව හමුදාවෙන් සීටීබී බස් එකක දාගෙන ගියා. පියතුමාත් එක්ක ගිහින් භාර වුණු නිසා අපිට විශ්වාසයක් තිබුණා. එයා නැවත එයි කියලා අපි හිතුවා. ඒත් එදායින් පස්සේ මම මගේ මහත්තයාව තවම දැක්කේ නැහැ. ඒ බස් එකේ එදා ගිය අයට මොකද වුණේ කියලා අපි තවම දන්නේ නැහැ. මහත්තයා එක්ක එකට යුදබිමේ හිටි සමහර අය පුනරුත්ථාපනය වෙලා නිදහස්වෙලා ඇවිත් එළියේ ඉන්නවා. ඒත් එදා පියතුමා එක්ක භාර වුණු අයට මොකද වුණේ කියලා තවම දන්නේ නැහැ. අපි හැමතැනකටම පැමිණිලි කළා. ඒත් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන කිසිම කෙනෙක් තවම අපිට හරි පිළිතුරක් දීලා නැහැ. මහත්තයා භාර වුණේ රජයට යි. ඒ නිසා අපිට පිළිතුරු දෙන්න ඕනෑ රජය යි. දැන් පත්වී ඉන්න ජනාධිපතිවරයා තමයි ඒ කාලයේ ආරක්ෂක ලේකම්. ඔහු මේවාට පිළිතුරු දෙන්න ඕනෑ. මගේ මහත්තයා එදා භාර වුණේ එල්ටීටීඊ සංවිධානයට නෙමෙයි, රජයේ හමුදාවට යි.” කවීතා පවසන්නී ය. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පසුගිය දිනක දී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ද පිළිගත නොහැකි බවත් එම ප්‍රකාශය නිවැරදි කරගන්නා ලෙසත් අතුරුදන්වූ තමන්ගේ පවුල්වල අය වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීම නොව ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න හෙළිදරවු කරන ලෙසත් ඉල්ලමින් පසුගිය දිනවල ඔවුන් උද්ඝෝෂණ ද සිදුකළ බව ඇය කීවා ය

යළි ගැටගැසෙන ජීවිතය – මැයි 18 වන දින ඔවුන් ද වවුනියාවේ කඳවුරකට රැගෙන ගොස් තිබූ අතර එහි මාස 6ක කාලයක් රැඳී සිටීමෙන් පසු 2010 වසරේ දී මුලතිවුවල නැවත පදිංචි කිරීම් සිදුවද්දී මුලතිවු පිහිටි තම මාපියන්ගේ ඉඩමකට පැමිණ නැවත ජීවිතය ආරම්භ කර තිබුණි. එතැන් සිට ඇය දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ද සොයා බලමින් ජීවිතය ගැට ගසන්නී ය. විවිධ කෑම වර්ග සාදා වෙළෙඳසැල් වලට සපයමින් ද යම් ආදායමක් උපයන්නී ය. තම පවුලේ අය මෙන්ම සැමියාගේ මාපියන් ද තවමත් ඔවුන්ට සහාය ලබා දෙන්නේ ය. පියා ගැන යම් මතකයක් වැඩිමහල් පුතුට තිබුණත් බාල පුතු එකල ළදරුවෙකු වූයෙන් ඔහුට පියා පිළිබද මතකයක් නොමැති බව ඇය කියන්නී ය. “සමහර වෙලාවට කල්පනා කරද්දී පරණ සියල්ල මතකයට ඇවිත් ගොඩාක් දුක හිතෙනවා. එහෙම වෙලාවට වෙන දෙයක් කල්පනා කරන්න අමාරුයි. ඒ වෙලාවල දී මම දරුවන් ගැන හිතන්න පටන් ගන්නවා. ඒ අයගේ අනාගතය ගැන හිතනවා. එතකොට දුක්ඛිත මතකයන් තුනී වෙලා යනවා.” කවීතා සුසුමක් හෙලුවා ය.

යුද්ධය සියල්ල අහිමි කරද්දී සැමියා සතුව තිබූ කිසිවක් හෝ ඔහුගේ සේයාරුවක් හෝ අද ඇය සතුව තිබුණේ නැත. ධර්මපුරම් සිට ගේ දොර අහිමිව එන අතරමග ආහාර හිඟයෙන් හෙම්බත් වෙද්දී ඔවුහු උසුලාගෙන පැමිණි ලියකියවිලි ආදී සියලු දේ බෑග්වල දමා පොක්කනයි ප්‍රදේශයේ දී වළක් හාරා ඒ තුළ තැන්පත් කරන්නේ පසු කාලයක ගැනීමේ අරමුණිනි. යුද්ධය අවසන්ව පසු කාලයක එහි ගිය විට ඒ සියලු ලියකියවිලි ඡායාරූප ආදිය කළපු දියෙන් තෙත්ව විනාශ වී තිබූ බව ඇය පවසන්නී ය. “යුද්ධය එක්ක හැමදේම නැතිවුණා. විවාහවූ දවසේ මහත්තයා මගේ ගෙලේ දැම්ම තාලිය විතරක් අදත් මගේ ළඟ තවම තියනවා.” කවීතා පැවසුවා ය. රත්තරන් වලින් කොටියකුගෙ දත් දෙකක් ආකාරයට එය නිමවා තිබූ එය එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් විවාහ වන විට මනාළියට පළඳවන්නක් බව ඇය එය අප වෙත දක්වමින් මිමිණුවා ය.