Naifmvlog

Naifm vlog Gossip and News

ලංකාවෙ හදපු ඉලෙක්ට්‍රික් කාරයේ අවසානය

අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී.” මේ කියමන මොන තරම් පැරණි වුවත් ශ්‍රී ලාංකික අපට ඒ වග අමතකව ඇත. ඒ නිසා රට යන්නේ වළපල්ලටය. නමුත් අපට අමතක ගොස් තිබෙන එකී කියමන අමතකව නොගිය උදාර මිනිසකු අපට මුණගැසුණේ ඉකුත් සතියේය. ඔහු නමින් කපිල ද සිල්වාය. පනස් පස් හැවිරිදි කපිල සිවු දරු පියෙකි. කපිල ද සිල්වා මේ රටේ කීර්තිමත් පාසලක් වන කොළඹ ආනන්දයේ ශිෂ්‍යයෙකි. කොටින්ම ආදි ආනන්දියෙකි. අලුත් දෙයක් තනා ලොව දිනන්නට ඔහු තුළ ඇත්තේ පුදුමාකාර ඉලක්කයකි. අරමුණකි. ඒ අරමුණ වෙනුවෙන් ඔහු සටන් වදින්නේ කලක සිටය. කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා කාලයේ පටන්ම ඔහු ප්‍රාග් වෘත්තිය ලෙස මෝටර් රථ කාර්මික හා ලෝහ වැඩ අමතර විෂයක් ලෙස හදාරා ඇත්තේ අතේ පයේ වැඩ ඒ කාලයේ පාසල් විෂය මාලාවලට ඇතුළත් කර තිබූ නිසාය. කපිල ද සිල්වා පාසල් අධ්‍යාපනය නිම කළ පසු ජර්මන් කාර්මික ආයතනයට ඇතුළු වී කාර්මික දැනුම මුවහත් කරගත්තේ වාහනවලට තිබූ විශේෂ කැමැත්ත නිසාය. “අපේ තාත්තා සතුව වාහන කිහිපයක් තිබුණා. ඒ හින්දා පුංචි කාලෙ ඉඳන්ම මමත් වාහන ගැන උනන්දු වුණා.

මට හරිම ආශාවක් තිබුණා වාහනයක් හදන්න. මම mopet මෝටර් බයිසිකලයක් හදන්න කල්පනා කළේ ඒ අනුවයි. මම එකතු කරගෙන තිබූ උපකරණ ටික එකතු කරලා මෝටර් බයිසිකලයක ආකෘතියක් හැදුවේ මීට කාලයකට පෙරයි. 2004, 2005 වසරවලදී තමයි මම මුලින්ම ඉලෙක්ටි්‍රක් කාර් එකක් හදන්න කල්පනා කළේ. ඒ කාලයේ නව නිපැයුම්කරුවන් දිරි ගන්වමින් නව නිපැයුම් අගය කිරීම සඳහා සම්මාන පිරිනමන තරගයට මම මගේ නිර්මාණය ඉදිරිපත් කළා. ඒ අනුව 2005දී මගේ නව නිර්මාණය වූ ඉලෙක්ටි්‍රක් කාර් එකට ජනාධිපති සම්මානය හිමි වුණා. ඒ වන විට මෙරට ජනාධිපති ලෙස සිටියේ වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහත්තයි. මට රුපියල් 50,000ක මූල්‍යමය තිළිණයක්ද හිමි වුණා. ඇත්තටම එයින් මට ලොකු පන්නරයක් ලැබුණා. ලැබුණු මුදලට වඩා ඒ ඇගයීම මාව දිරිමත් කළා.” කපිල ද සිල්වා මහතා අතීත මතකය යළි අවදි කළේ එලෙසිනි.

මොහුගේ ඉලක්කය වූයේ පාරේ ධාවනය කළ හැකි ආකාරයට මෙකී ඉලෙක්ටි්‍රක් මෝටර් රථයට නීත්‍යනුකූල අවසරය ලබා ගැනීමයි. නමුත් මෙරට ඇතැම් දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට ඉඩ නොදීම නිසා ඒ නිර්මාණය කළ ඉලෙක්ටි්‍රක් මෝටර් රථය තාමත් මහ පාරේ දකින්නට නැත. රුපියල් ලක්‍ෂ අටකට දහයකට මිලදී ගත හැකි මේ කාර් රථය තුළ හතර පස් දෙනකුට ගමන් කළ හැකිය. පිටරටින් ඉලෙක්ටි්‍රක් මෝටර් රථය ආනයනය කිරීමේදී ලැබෙන කොමිස් මුදල්වලට ගිජු ඇතැමුන් දේශීයව මෙවැනි මෝටර් රථ නිර්මාණය කරන ඒවාට නීත්‍යනුකූල අවසරය ලබා නොදෙන බව තවත් චෝදනාවකි. කපිල ද සිල්වා ඒ මොන අභියෝග ආවත් සැලුණේ නැත.vවිදුලියෙන් ක්‍රියා කරන ගොල්ෆ් කාට් (ට්ධතට ඛ්චපබ) රථයක් නිර්මාණය කිරීමට ඔහු සිතන්නේ ඊට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් හෝ අනෙකුත් ආයතනවලින් අවසර ගත යුතු නැති නිසාය.

“අඩි හතක් දිග, පළලින් අඩි හතරක් විශාල ගොල්ෆ් කාට් ඉලෙක්ටි්‍රක් රථය සාර්ථක වන්නේ එනිසාය. මේ වන විට කොළඹ ෂැංගි්‍රලා හෝටලයේ, නාවික හමුදාවේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේ, කන්කසන්තුරේ හමුදා කඳවුරේ මෙන්ම රට පුරා පිහිටි විවිධ හෝටල්වල භාවිතය සඳහා කපිල නිර්මාණය කළ ගොල්ෆ් කාට් ඉලෙක්ටි්‍රක් මෝටර් රථය භාවිතයට ගෙන ඇත. කප්ලා (Capla) මෝටර් රථ සමාගම වාණිජ්‍යය හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇත. මුල්ලේරියාව ප්‍රදේශයේ මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පිහිටුවා තිබේ. දැනට තරුණයන් කිහිපදෙනකුට රැකියා ලබාදීමටද මොහු සමත්ව සිටී. කපිල ද සිල්වා මහතා දැන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයකි. “ඇත්තටම ඇයි අපි අපේ දේවල්වලට ප්‍රමුඛත්වය දෙන්නේ නැත්තේ. මම ඉලෙක්ටි්‍රක් මෝටර් රථයක් නිර්මාණය කළා. නමුත් මේ අය එය පාරේ ධාවනය කරන්න අවශ්‍ය අවසරය දෙන්නේ නෑ. මට ඒ සඳහා අවස්ථාව දෙන්නේ නම් ඉල්ලුමට සැපයුම දෙන්න සූදානම්.

ඉදිරි වසර තුන හතරක කාලය තුළ අපේ රටේ නිපදවන ඉලෙක්ටි්‍රක් මෝටර් රථයක් පිටරටකට විකුණලා විදේශ විනිමය ලබාදීමේ සිහිනයක් මට තියෙනවා. නමුත් මේ වන විට ඉලෙක්ටි්‍රක් වාහන ආනයනයට අදාළ තීරු බදු සීමා පහළ දමලා. අපි දේශීයව නිපදවන ඉලෙක්ටි්‍රක් කාර් කර්මාන්තය විනාශ කරලා දාන්න ඒක හේතුවක්. නමුත් මම මෙතෙක් ආ ගමන වගේම ඉදිරි ගමනක්් යන්න සූදානම්. මගෙ ලොකු පුතා හිරාන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් මට උදවු කරනවා. පොඩි පුතා චෙරන්ත එයා ඇමෙරිකාවේ. නදීෂ පුතා හදිසියේ අනතුරකට ලක් වෙලා අපෙන් වෙන් වුණා. මෙරනි දුව අපි ළඟ ඉන්නවා. අපිට මේ ඉලෙක්ටි්‍රක් කාරයයි ඉලෙක්ටි්‍රක් ගොල්ෆ් කාට් එකයි දියුණු කරගන්න අවශ්‍යයි. මම ඉලෙක්ටි්‍රක් ත්‍රි රෝද රථයකුත් නිෂ්පාදනය කළා. අපේ රටේ නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය දිය යුතු කාලය ඇවිත්. ආයෙත් මේ වගේ කාලයක් එන්නෙ නෑ. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයගෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්තයගෙත් අවධානය මේ කෙරෙහි යොමු කළ යුතුයි. හිටපු මුදල් ඇමැති රවි කරුණානායක දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න අපිව දිරි ගැන්වුවා. නමුත් ඒ ඇමැති ධුරය හදිසියේ වෙනස් වුණා. දැන් ගිය දේ ගියා. දැන්වත් අපි මේ දේශීය නිර්මාණවලට අවස්ථාව දිය යුතුයි.” කපිල ද සිල්වා මහතා කියා සිටී.

ශිරාන් රණසිංහ