Naifmvlog

Naifm vlog Gossip and News

උඩු ගම් බලා ගිය දිරිය ගැහැනිය

මේ විසි එක් වන සියවසේ කාන්තාව සියල්ලන් පරදවා ලෝකයේ උසස් නිලතල හොබවන්නීය. විටෙක සියුමැලියි කියූ ඇය අද අත් කර ගෙන ඇති ජයග්‍රහණ ද බොහෝය. ශ්‍යාමලි පෙරේරා නම් ඇය ද මේ ගණයේ කාන්තාවකි. ඇය මෙරට ප්‍රථම මිනුම්පතිනිය වෙමින් ඉතිහාස ගතවන්නීය.- මිනින්දෝරුවරියක කිරීමේ ලොකුම හීනය තිබුණේ තාත්තාට – දුර පළාත්වල මනින්න ගියාම නැවතී සිටි එකම ගෙදරකවත් වතුර තිබුණේ නෑ; වතුර ගෙනාවේ දුර ඉඳලා.ශ්‍යාමලී චිත්‍රලේඛා පෙරේරා මෙරට ප්‍රථම සර්වේයර් ජනරාල් වරිය ලෙස පසු ගිය දා පත් වූවාය. සර්වේයර් ජනරාල් හෙවත් මැනුම්පති යනු ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ය. මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මැනුම්පති ලෙස කාන්තාවක පත්වන පළමු අවස්ථාව වන්නේ මෙයයි. ඇය පත්වන් පනස් වැනි මැනුම්පති ලෙස. අභිනවයෙන් මෙම තනතුරට පත්වන ශ්‍යාමලි මේ තනතුර හොබවන ප්‍රථම කාන්තාව ලෙසට ඉතිහාසයට එක් වන්නීය.

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙරට ස්ථාපිත කළ පළමු රාජ්‍ය දෙපාර්තමේන්තුවයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් එය 1800 වසරේ අගෝස්තු මස 2 වැනි දා මෙරට ස්ථාපිත කළේය. ප්‍රථම සර්වේයර් ජනරාල් වරයා වූයේ ජෝසප් ජොන්විල් (වර්ෂ 1800 – 1805) මහතාය. ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට දේශීය මුහුණුවරක් දෙමින් ප්‍රථම ලාංකික මැනුම්පතිවරයා ලෙස එන්.එස්. පෙරේරා පත් විය. වර්ෂ 1954 සිට 1958 දක්වා සිවු වසරක් එහි සේවය කළ එන්. එස්. පෙරේරා ප්‍රකට දේශපාලනඥයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරාගේ සොහොයුරෙකි. ප්‍රථම ද්‍රවිඩ ජාතික මැනුම්පතිවරයා වූයේ චෛත්‍යලිංගම් රාසරත්නම් ය. ඔහු 1958 සිට 1961 දක්වා සේවය කර ඇත. දෙපාර්තමේන්තු ඉතිහාසයේ “ජාතික ඇඳුමින්” සැරැසුණු එකම මැනුම්පතිවරයා වූයේ සී. ටී. ගුණවර්ධනය. වර්ෂ 1968 සිට 1970 දක්වා ඔහු සේවය කළේය. නව මැනුම්පතිනිය ලෙස පත් වූ ශ්‍යාමලි ඈ පැමිණි ගමන් මඟ පිළිබඳ අපට අදහස් දැක්වූයේ මෙලෙසිනි.“මගේ ගම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම. මගේ මව විදුහල්පතිනියක්. පියා අධ්‍යාපන නිලධාරියෙක්. මගේ තාත්තට ලොකු ආසාවක් තිබුණා මා මිනින්දෝරුවරියක් කරන්න. ඔහු හැම විටම ඒ සඳහා මා යොමු කළා .උනන්දු කළා කිව්වොත් නිවැරදියි.”ශ්‍යාමලී පෙරේරාගේ පියාගේ සමීප ඥාතියෙකු මිනින්දෝරුවරයෙක් ලෙස කටයුතු කළේය. මෙම ඥාති මිනින්දෝරුවරයාගේ රැකියාවේ හැඩයෙන් හා රැකියාවේ අසිරියෙන් ශ්‍යාමලිගේ පියා දැඩි ආස්වාදයක් ලැබුයේය. එනිසාම ඔහුට තම දියණිය මිනින්දෝරුවරියක් කිරිමේ සිහිනය හිතේ පැලපදියම් වී තිබිණි.

ඇය ඉගෙනුම ලැබුවේ කොළඹ දේවි බාලිකාවේය. “දේවි බාලිකා විද්‍යාලයේ ඒ යුගයේ විදුහල්පතිනිය ලෙස සිටියේ කල්‍යාණි ද සොයිසා මැතිනිය. ඇය තමයි මගේ ජීවිතේ හැඩ ගැස්සුවේ. එතුමිය මට අම්මා කෙනෙක් වගේ. එතුමියගේ මඟ පෙන්වීම මගේ ජීවිතේට නොලැබුණා නම් මට අද ඉන්න තැනට එන්න බෑ. මට හිතෙන්නේ එහෙමයි. ඒ තරමටම ඇයගෙන් ලැබුණ උනන්දු කිරීම උපදෙස් මගේ ජීවිත ගමනට බලපෑවා. ඇය මට මගේ ගමන යන්න නිරන්තරවම දිරි දුන්නා. අද දවසේ මම එතුමිය ආදරයෙන් සිහිපත් කරනවා” නව සර්වේයර් ජනරාල් ශ්‍යාමලී පෙරේරා සිය පාසල් ජීවිතය සිහි අතීතය සිහි කරමින් පවසන්නීය.“යොවුන් වියේදී මා ටී 14 නමැති කණ්ඩායමේ මිනින්දෝරුවරියක ලෙස පුහුණුව සඳහා පත්වීම් ලබාගත්තා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වන්නේ මේ අතරතුරය. එහි දී මම එනම් 1983 වසරේදී භෞතික විද්‍යා උපාධිය සඳහා දැක්වූ විශේෂ කුසලතාව වෙනුවෙන් කුමාරස්වාමි ත්‍යාගය හිමිකර ගත්තා.

මිනින්දෝරු දෙපාර්තමේන්තු ඉතිහාසය පුරාම මිනින්දෝරු වෘත්තියෙහි නියළුණේ පිරිමි. ඒ වුණත් 1980 වසරේ ජනවාරි මස 01 වැනි දා මිනින්දෝරු පුහුණුව සඳහා තරුණයන් හැත්තෑ පහක් සමඟ මා ඇතුළු තරුණියන් විසිපහක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බඳවා ගත්තා. එවක මිනින්දෝරුවරුන් පුහුණු කිරීමේ එකම ආයතනය වූ දියතලාවේ රමණීය භූමි භාගයක පිහිටි මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ තමයි අපි නේවාසිකව ඉගෙනුම ලැබුවේ. ඒ තමයි මිනින්දෝරු සේවයට කාන්තාවන් එක් වූ පළමු අවස්ථාව.”ශ්‍යාමලී පෙරේරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ආධුනික සහකාර මිනින්දෝරු අධිකාරි වරියක ලෙස පුහුණුව සඳහා එක් වූවාය. ඒ 1985 වසරේ දීය. දියතලාවේ පිහිටි මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය වෙත එක් වූ ආධුනික සහකාර මිනින්දෝරු අධිකාරි කණ්ඩායම විසි දෙදෙනකුගෙන් සමන්විත විය. පසු කාලයේ ශ්‍යාමලී පෙරේරා විවාහ ගිවිස ගන්නේ ද තමා සමඟ එකටම පුහුණුව සඳහා එක් වූ තරුණ ආධුනික සහකාර මිනින්දෝරු අධිකාරිවරයෙකු වූ පැරකුම් ශාන්ත සමඟය. ඔහු දැනට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සර්වේයර් ජනරාල් ලෙස කටයුතු කරන්නේය.ශ්‍යාමලී පෙරේරා දියතලාව මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය හි නේවාසික පුහුණුවෙන් පසු ක්ෂේත්‍ර පුහුණුව සඳහා රත්නපුරය දිස්ත්‍රික්කයට අනුයුක්ත කෙරුුණි. පසුව සහකාර මිනින්දෝරු අධිකාරිවරියක ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයට ස්ථාන මාරු වන්නීය.

“හරිම දුෂ්කරයි. ඒත් හරිම සුන්දරයි. කෑම්ප් ජීවි‍තේ නෙ. ගිං ගඟ නිතර පිටාර ගලනවා. සමහර වෙලවට උදේ ගිය තැන්වලින් එන්න බෑ ගංවතුර ගලලා. අපි නතර වෙලා හිටපු ගෙවල් වල වතුර නැහැ. සහායට හිටපු අය තමයි වතුර ගෙනැත් දෙන්නේ. ඒ ගෙවපු ජීවිත හරිම දුෂ්කරයි. නමුත් අපි බොහෝම සහයෝගයෙන් කටයුතු කෙරුවා. ඒ කාලේ හිටපු මිනින්දෝරුවරු, මිනින්දෝරුවරියො හරිම එකතුයි. වැඩ කරලා ඉවර වුණාට පස්සේ විනෝදයෙන් කාලය ගෙවනවා. කෑම්ප් ජීවිතේ හරිම විනෝදයි. ඒ තරම්ම රසවත්!” ශ්‍යාමලී පෙරේරා සිය සොඳුරු අතීතය මෙනෙහි කරන්නාහ. එවකට ගාල්ල දිස්ත්‍රික්කය භාරව සිටි මිනින්දෝරු අධිකාරි දිවංගත ඩී. රත්නායකයන්ගෙන් ලද සේවා සහයෝගය හා මඟ පෙන්වීම ද ශ්‍යාමලී අද කෘතවේදීව සිහි කරන්නීය.කලක් ඇය දියතලාව මැනුම් හා සිතියම් ගත කීරීමේ ආයතනයට ස්ථාන මාරු ලැබ එහි කථිකාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. කලකට පසු කොළඹ ප්‍රධාන කාර්යාලයට ස්ථාන මාරුවක් ලබා පැමිණෙන ශ්‍යාමලී පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතු සඳහා නෙදර්ලන්තය බලා පිටත් වන්නීය. ඒ සිය සැමියා වූ පැරකුම් ශාන්ත මහතා ද සමඟය. පැරකුම් ශාන්ත මහතා ද එහි දී පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වූයේය.මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුළ විවිධ තනතුරු දරමින් ඉහළට පැමිණි ඇය ප්‍රධාන කාර්යාලයේ විවිධ ව්‍යාපෘති තුළ නියැළුණාය. කලක් කළුතර දිස්ත්‍රික්කය භාර ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකෙවරිය ලෙස ද සේවය කළ ඇය, කාගේත් සිත් දිනාගත් නිලධාරිනියකි. 1999 වසරේ දී රාජ්‍ය කළමනාකරණය පිළිබඳව පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද ලබා ගත් ශ්‍යාමලි මිනින්දෝරු දෙපාර්තමේන්තුව තුළ විවිධ විශේෂිත ව්‍යාපෘති ගණනාවකට නායකත්වය දුන්නාය.

පුරුෂ වපසරියක වූ මෙරට මිනින්දෝරු සේවයට කාන්තාව එක් වූයේ 1980 වසරේදී ය. මෙරට හැම සංවර්ධන කටයුත්තකදීම මුලින්ම ක්ෂේත්‍රයට ගිය පුද්ගලයා වූයේ මිනින්දෝරුවරයාය. එහි දී ඔහු විඳි දුක් ගැහැට අපමණය. මිනින්දෝරුවරයාගේ රැකියාව තුළ කිසිඳු මැසිවිලි නොවීය.“මගේ සේවා කාලය අවුරුදු 35කට ආසන්නයි. ඉතිහාසයේ අපේ දෙපාර්තමේන්තුව රටට විශාල සේවයක් කළා. හරිම විනයක් පිළිවෙළක් ඇති දෙපාර්තමේන්තුවක්. මෙය මට ලොකු අභියෝගයක්. මම මිනින්දෝරු දෙපාර්තමේන්තුවට බැ‍ඳෙන දවසෙ නම් කීයටවත් හිතුණේ නැහැ සර්වේයර් ජනරාල් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ තනතුරට පත් වූ පළමු කාන්තාව විදිහට මට මේක ලොකු අභියෝගයක්. මගේ තාත්තා අද ජීවතුන් අතර සිටියේ නම් බොහෝ සතුටු වේවි. ඔහුවත් කිසි දිනෙක සිතන්නට නැතිව ඇති මා මෙවැනි තනතුරකට දිනෙක පත් වේවි කියලා.” නව මැනුම්පතිවරිය සිය දෙපාර්තමේන්තුව ගැන ආඩම්බර වෙමින් පවසන්නීය.ඇය පුතුන් දෙදෙනෙකුගේ මවකි. වැඩිමල් පුත් ශ්‍යාමන්ත පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි. දෙවන පුත් තරුෂ තෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකි.