Naifmvlog

Naifm vlog Gossip and News

ජීවත්ව සිටියදීම අවයව දන් දෙන බුද්ධ පුත්‍රයක්

එක්තරා රමණීය වූද පිවිතුරු වූද වන අරණක් තුළ මේ සත්‍යය ද රහස ද සැඟව තිබිණ. එය එසේම තිබීයේවා. එය නමක් ගමක් නිකායක් හැටියට නාමකරණය කරන්නට හෝ සේයාරුවක් ලෙස ප්‍රදර්ශනය කරන්නට මට කැප නැත. උන්වහන්සේ ද එවැන්නකට රුචි නොවේ. එහෙයින් උන්වහන්සේ මේ කොදෙව්වේ කුමන හෝ අඳුරු වන ගැබක බවුන් වඩමින් සිටින බව පමණක් මම ඔබට කියමි.උතුම් අරමුණක් ද ප්‍රාර්ථනාවක් ද ඇතිව පාරමීදම් පුරන උන්වහන්සේ දහම් දෙසීමෙන් නොනැවතී තම ශරීර කොටස් දන්දීමේ පාරමිතාව පුරන්නට ධෛර්යසම්පන්න වී ඇති අයුරු ඔබ විස්මයට පත්කරනු නිසැකය. ජීවිතයේ අරුණෝදයේදීම ගිහිගෙය හැර ගොස් තවමත් 35 වැනි වියේ පසුවන උන්වහන්සේ මුලින්ම තම එක් වකුගඩුවක් දන් දුන්නේ මහනුවර මහ රෝහලේදී ය. ඉන් අනතුරුව අක්මාවෙන් කොටසක් ද අග්න්‍යාශය ද දන් දුන්නේ ඉන්දියාවට වැඩම කොට නාඳුනන රෝගීන් උදෙසාය. එහිදීම එක් පෙණහැල්ලක් ද ගිලනකු උදෙසා දන් දුන්හ. මිනිසකුගේ ශරීරයට අවශ්‍යම නැතැයි වෛද්‍ය විද්‍යාත්මකව කියනු ලබන පිත්තාශය දන් දී තිබෙන්නේ ශරීරයේ අවයව කිහිපයක් ම පිළිකා රෝගයෙන් ඔත්පළ වූ ජීවිතයක් පවත්වා ගෙන යනු සඳහා පිත්තාශයක් බද්ධ කළ යුතු යැයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කළ අසරණ රෝගියකු වෙනුවෙනි.පළමු බුද්ධ වචනයේ සිට අන්තිම බුද්ධ වචනය දක්වාම පෙන්වා ඇති අත්හැරීමේ ගුණය ආත්ම කොට සිටින උන්වහන්සේ හැම රාත්‍රියකම නින්දට යන්නේ හෙට දවසේ සියලු සත්වයන් වෙනුවෙන් වූ කරුණා පරිත්‍යාගය පෙරදැරි කරගෙනය. අත්හැරීම මූලික කොට ගෙනය. සම්මා සතියකට සමවැදි කලෙක මෙන් නිරාමිස සතුටකින් යුතුව ය.මේ ඝෝර කටුක සංසාරයේ දුක් දැක එය කෙළවර කරනු වස් අදිටන් කර ගනිමින් එමඟ වඩින මේ පින්වත් භික්ෂුව කිසියම් වූ ධ්‍යානලාභී උතුමකු දැයි කියන්නට මම පොහොසත් නොවෙමි. එය තේරුම් ගැනීමට තරම් මගේ සංසාර වයස මුහුකුරා නැතැයි මට සිතේ. උන්වහන්සේගේ අරමුණු සාක්ෂාත් කරගන්නා භව ගමනේ කොතැනකදී හෝ උන්වහන්සේ ඔබට ද මුණ ගැසුණහොත් එය මහත් භාග්‍යයක් වනු ඇත.

එතෙක් ගිහි පැවිදි උභය පාර්ශ්වයට ම අගනා දහම් පූජාවක් ලෙස උන්වහන්සේගේ කතාව මම ඔබ වෙත ලියා තබමි.මතක ඇති පුංචි සන්ධියේ ඉඳන්ම මම පැවිදි වීමේ ලොකු ආශාවකින් සිටි බව මට මතකයි. අපේ අම්මල නම් කියන්නෙ පුංචි කාලෙ කහ පාට රෙද්දක්, මල් ගහක් දැක්කත් වඳිනව කියල. ඒ දවස්වල අපේ ගේ ඉස්සරහින් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි, සිල්මෑණි කෙනෙක් හරි වැඩියත් මම දුවගෙන ගිහින් අතින් අල්ලගෙන ගෙදරට එක්ක ගෙන එනව කියල. ඉතින් ඔය විදියට පැවිදි වෙන්න පුදුමාකාර වුවමනාවක් පුංචි කාලෙ ඉඳන්ම දැඩිව තිබුණා. නමුත් මවුපියන්ගෙන් ඒකට අනුග්‍රහයක් නම් ලැබුණෙ නැහැ.එක්දහස් නවසිය අසූහතරෙ අප්‍රේල් මාසෙ උපන් මම මූලික ශේ‍ර්ණියේ ඉඳන්ම ඉගෙන ගත්තෙ කොළඹ නාලන්දා විද්‍යාලයේ. 09 – 10 වැනි පන්තියෙදි විතර මම හිතුව සාමාන්‍ය පෙළ විභාගය කරල පැවිදි වෙනව කියල. ඒත් මට ඒකට අම්ම – තාත්තගෙන් අවසර ලැබුණෙ නැහැ. මම ගෙදරින් ගිහින් ඥාති ගෙවල්වලත් නැවතිලා හිටිය අවසර ලැබෙයි කියල. ඒත් මට ගෙදරින් බුරුලක් ලැබුණෙ නැහැ.දැන් ක්‍රමයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ පන්තියට ඇවිත්. ඒ වෙද්දි මම හිතුව මගේ ජීවිතය ගැන මං මගේ ම තීරණයක් ගන්නව කියල. මං හිතුව කොහොම හරි පැවිදි ජීවිතයට යනව කියල. ඉතින් උසස් පෙළ විභාගය ඉවර වුණු හැටියෙ යම් යම් ආරණ්‍ය සොයා යන්නට පටන් ගත්තා. භාවනා කරන්න මහමෙව්නා අසපුවට, මහරගම භික්ෂු මධ්‍යස්ථානයට ගියා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගෙ ජන විජය වැඩසටහන්වලට පවා ගියා. ඔය දේවල්වලට මගේ යාළුවො කීපදෙනකුත් මාත් එක්ක ආව. ඒ දේවල්වලට නම් ගෙදරින් එපා කිව්වෙ නැහැ.ඔය වෙනකොට උසස් පෙළ ප්‍රතිඵල ඇවිත්. මම ඉහළින් සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරිලා හිටියෙ. ඒත් මගේ පැවිදි අදහස කිසිම විධියකින් වෙනස් වුණේ නැහැ. මං තීරණය කළා ගෙදරින් යන්න. ඒත් ගෙදරින් අවසර දුන්නෙ නැහැ. මං යාළුවෙක් එක්ක බලෙන් වගේ ගිහිල්ල ආරණ්‍යයක නැවතුණා.ඔහොම ඉන්න කොට අම්ම – තාත්ත මට ක්‍රමයෙන් කැමැත්ත දෙන පැත්තට හැරෙන්න පටන් ගත්තා.

හැබැයි මම හිතනව ඊට කලින් පොඩි කාලෙ අවසර නුදුන්න එක හොඳයි කියල. මොකද උසස් පෙළ අවසන් වෙනකොට මම රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගෙ, මඩිහේ මහ නායක හිමියන්ගෙ, අම්පිටියේ රාහුල ලොකු හාමුදුරුවන්ගෙ, නාඋයනේ අරියධම්ම හිමියන්ගෙ පොත්පත් කියවල ජීවිතය කියන්නෙ මොකක්ද පැවිද්ද කියන්නෙ මොකක්ද කියන දේ තේරුම් ගෙන හිටියෙ. මුලින් සිවුරට තිබුණු සාමාන්‍ය කැමැත්තට වඩා යම් අවබෝධයක් මගේ හිතේ පිහිටලා තිබුණා. අවසානයේ මම අම්පිටියේ රාහුල ලොකු හාමුදුරුවන් යටතේ මහරගම ධර්මායතනයේදී පැවිද්ද ලබා ගත්තා. එතකොට වයස අවුරුදු 19යි. ඒ 2003 මැයි මාසයේ. ඊට අවුරුද්දකට විතර පස්සේ වැලිගම ඥානරතන, අම්පිටියේ රාහුල නායක ස්වාමීන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදාව ලැබුවා.මං හිතන්නෙ මේ බොහෝ දේවල් සසර පුරුද්දත් එක්ක එනවා වෙන්න ඇති. පොඩි කාලෙ ඉඳන් මට කිසිම භෞතික දෙයකට ඇලීමක්, ගැලීමක්, බැඳීමක් තිබුණෙ නැහැ. සිත කියන දේ ප්‍රගුණ කරන පැත්තට යෙදෙන දෙයක්නෙ. ඒක ආශාව පැත්තට යොමු කළොත් ඒ පැත්තටමයි නැවත නැවත යෙදෙන්නෙ. අත්හැරීම පැත්තට යොමු කළොත් අත්හැරීමටමයි හිත බැඳෙන්නෙ, යොමුවෙන්නෙ. හිත යොමු වෙන්නෙ වෛර කිරීමට නම් වෛර කිරීමටමයි, රාගයට නම් රාගයටමයි හිත යොමු වෙන්නෙ. ඒක සිතේ ස්වභාවය.ඉතින් මට හැම තිස්සෙම කල්පනා වුණේ බොරු හීනයක් පස්සෙ, බොරු මිරිඟුවක් පස්සෙ අපි මේ යන්නෙ කියල. මොකද අපි මහන්සි වෙනව, ඉස්කෝලෙ යනව, පන්ති යනව, විශ්වවිද්‍යාලවල යනව, මට පේනව මවුපියො ගෙවල් හදනව, වාහන ගන්නව. ඒත් ඒ කවුරුවත් ඒ දේවලින් බලාපොරොත්තු වන තෘප්තිය නැති බව මට ඉස්සර ඉඳන් අවබෝධ වෙන්න පටන් ගත්ත. ඒ කියන්නෙ හැමෝම හැමදේම මිනිස්සුද සත්තුද කවුරුත් හැමදේම කරන්නෙ සතුට බලාපොරොත්තුවෙන්. ඒ දේ නොලැබෙන කොට කර ගෙන ගිය දේ නවත්තල තවත් අරමුණුවලට යනව. ඒකෙනුත් සතුටක් ලබන්න බැරි නම් තව දේකට යනව.

අරමුණෙන් අරමුණට හිත දුවන්නෙ යම් සතුටක් බලාපොරොත්තුවෙන්. නමුත් සිත සොයන සතුට නෑ. ඉතින් හැමෝම සතුට – සැපත සොයා යම් යම් දේ කළාට අපි හැම තිස්සෙම ඉන්නෙ අතෘප්තියෙන්, පසුතැවීමෙන්, කලබලයෙන්. එක්කො කේ‍රා්ධයෙන්, වෛරයෙන්. එහෙම නැත්නම් හිතේ කිසිම නිස්කලංක බවක් නැතිව. සමහර විට මම දැක්ක, බොහෝම ඉහළට ඉගෙන ගත්ත අය, ධනය හම්බ කරපු අය, දරු මල්ලො හදපු අයත් එහෙමයි.මේ විධියට ශරීර අවයව දන් දෙන්න සිත් පහළ වුණෙත් මහණ වෙන්නත් පෙර බොහොම ළාබාල අවධියේ ඉඳන් කිව්වොත් ඒක නිවැරදියි. පොඩි කාලෙ පත්තරවල දකින දේවල් රෝගීන් පිහිට ඉල්ලල දාන දැන්වීම්වලට මගේ හිත යනව. පුංචි කාලෙ අම්ම මට කියනව මතකයි තාත්තගෙ ඇඳුම් හෝදන්න ගත්තාම කලිසම් කමිස සාක්කුවල ඒ වගේ දේවලට ආධාර කරපු තුණ්ඩු කෑලි, ඔපරේෂන්වලට සල්ලි දාපු බැංකු පෝරමවල කොළ කෑලි තියෙනව කියල. ඉතින් මේ පත්තර බලද්දි මටත් හිතෙනව අනේ මටත් වකුගඩුවක් දෙන්න තිබුණ නම් හොඳයි කියල. ඒ අවුරුදු 13 _ 14 පමණ කාලෙදි පවා. ඉතින් මං ඒ ටෙලිෆෝන් අංකවලට කතා කරනව. ඒගොල්ල මගේ වයස අහනව. ඊට පස්සෙ මගේ වයස අහලා ඒගොල්ල පසුබානව. පුංචි ළමයෙක්නෙ උත්තරයක් දෙන්නෙ නෑ.මොකද ඒ කාලෙ වකුගඩුවක් දෙන්න අවශ්‍ය සාධක, සුදුසුකම්, තාක්ෂණය වගේ දේ ගැන අද තරම් ලොකු අවබෝධයක් තිබුණෙ නැහැ. පුංචි කාලෙ බෙහෙත් ගන්න ‍ෙදාස්තර මහත්තුරු ළඟට එක්ක ගියාමත් මං ඒ අයගෙන් අහනව. ඉතින් මට කියනව ඔයා තාම පොඩි ළමයෙක්, ඕව කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියල. හැබැයි අවුරුදු 18 _ 19 වෙද්දි මේ සම්බන්ධයෙන් අවබෝධය ලබා ගත්ත. බර කොච්චර ද වයස කීයක් වෙන්න ඕනද කියල. මොන වගේ කෑම ජාතිද කන්න ඕන, නොකා ඉන්න ඕන, මේකෙ අවදානම කොහොමද වගේ දේවල්.කොහොම හරි මුලින්ම වකුගඩුවක් දන් දෙන්න යෙදුණෙ මෙන්න මේ විධියට. මං පැවිදි වුණාට පස්සෙ වැඩසිටියෙ මහනුවර බෝවලවත්ත වජිරාරාම ආරණ්‍යයේ. ඔය ආරණ්‍යයේ හිටිය වකුගඩු දන් දුන්නු ස්වාමීන් වහන්සේලා දෙනමක්. මං කිව්ව මගේ හිතේ මේ වගේ තදබල කැමැත්තක් තියෙනව මට වයස, ජාතිය කිසිම භේදයක් නෑ ඕනම කෙනකුට. දැන් සමහර කෙනෙක් කැමැතියිනෙ පොඩි දරුවකුට, තරුණ කෙනකුට එහෙම නැත්නම් සිංහල බෞද්ධ කෙනකුට දෙන්න.

මට එහෙම එකක් නැහැ. ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ තව තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්නනෙ. මම කැමැතියි මගේ ලේ වර්ගය බී පොසිටිව් මට රෝගියෙක් සොයා දෙන්න කියල. ඒ කිව්ව දවසට පහුවදාම මම මාතලේ ආරණ්‍යයක් තියෙනව අපේ චේතියගිරි ආරණ්‍යය කියල. ඔය චේතියගිරි ආරණ්‍යයට වැඩම කරල ඉන්න කොට අර ස්වාමීන් වහන්සේ කෙනෙක් මට කතා කරල කියනව ‘බී පොසිටිව්’ වකුගඩුවක් අවශ්‍ය තරුණ දරුවෙක්ගෙ ඥාතීන් ඇවිත් ඉන්නව, ඒ අය පත්තරෙත් දාල සාර්ථක වෙලා නැහැ. මේ ආරණ්‍යයට සොයාගෙන ඇවිත්. මෙයාට දෙන්න කැමැතියි ද කියල. මං මේ ළමය කවුද කින්දමන්ද විස්තර මොකවත් ඇහුවෙ නැහැ. මං දැකලත් නැහැ. ටෙලිෆෝන් එකෙන්ම කිව්ව ඒ ගොල්ලන්ට වචනෙ දෙන්න මං සියයට 100ක් කැමැතියි කියල. පහුවදාම මං නුවරට වැඩම කළා. වැඩම කරල පරීක්ෂණ එදාම පටන් ගත්ත.ඉතින් ඒකත් හරි පුදුමයි. කිසිම පරීක්ෂණයක් ප්‍රතික්ෂේප වෙන්නෙ නැතිව දෙන්නාගේම වාර්තා ගැළපුණා. මට මතක හැටියට පරීක්ෂණ 40 ගණනක් තිබුණ කරන්න. ඒ කාලෙ මාස ගණනක් ගියා. ඒක කළේ මහනුවර මහ රෝහලේ හිටපු වකුගඩු ශල්‍ය වෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්මය. ශල්‍යකර්මය කළේ 2005 අගෝස්තු 21 වැනිදා.ඉතින් කලින් දා රාත්‍රියේ මට හිතුණෙ මං අවුරුදු ගාණක් මහන්සි වෙලා බලාපොරොත්තු වුණු ප්‍රතිඵලේ හෙට ලැබෙනව නේද කියල. සමහර පරීක්ෂණ තියෙනව ඔපරේෂන් එකටත් වඩා වේදනාකාරියි. අමාරුයි. තවත් බාධක ආවා. බාධක කියන්නෙ අපේ ගෙදර මේක දැනගෙන ඉස්පිරිතාලෙට දැනුම් දීල තිබ්බ මේකට විරුද්ධ වෙන්න, ස්වාමීන් වහන්සේ ඔත්පළ වේවි, අඩපණ වේවි කියල. ඉතින් අම්ම ඇවිල්ලා මේකට විරුද්ධත්වය පළ කරලා. ඊට පස්සෙ වෙනත් ක්‍රමයකින් ගෙදරටත් හොරෙන් ශල්‍යකර්මය කළේ. අවුරුද්දක් විතර ගියාම තමයි අම්මල දැනගත්තෙ.කොහොම වුණත් මං එදා ඉඳල අවදානම් ගන්න කැමැති කෙනෙක්. බියක් නෑ. දරාගන්න පුළුවන් ඕනෑම දෙයක්. ඕනෑම දෙයකට කැප වෙන්න පුළුවන් ස්වභාවයක් සිවුරත් එක්කම මගේ හිතට ආව. මුලින්ම ඔය විදියට තමයි වකුගඩුව දන් දුන්නෙ. ඊට පස්සෙ තමයි අක්මාව කොටස දන් දෙන්නට අවස්ථාව ලැබුණෙ.ඉතින් වකුගඩුව දන් දුන්න අවස්ථාවෙ ඉඳන් මං හිත හිතා හිටියෙ අක්මාවෙ කොටසක් දන් දෙන්න.

ඔහොම ඉන්න කොට මට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණගැසුණා අනුරාධපුරේ වැඩ ඉන්න බදුල්ලේ අරියවංශ කියල. ඒ ස්වාමීන් වහන්සේ සිංගප්පූරුවට වැඩම කරල වකුගඩුවක් සහ අක්මාවේ කොටසකුත් දන් දීලයි හිටියෙ. ඉතින් මං ඒ දේ ආදර්ශයක් කර ගත්තා.ඒ ඔස්සේ මං හරියට හෙව්ව අක්මාව දන් දෙන ක්‍රමයක් ගැන. පත්තරේ තියෙන ඒව බල බල විස්තර සොයනව. ඒ අයට කතා කරනව. පරීක්ෂණවලට යනව. ඒ වෙනකොට අක්මා බද්ධ කිරීමේ ක්‍රමයක් ලංකාවෙ හරියට ආරම්භ වෙලා තිබුණෙ නෑ. මං මේ කියන්නෙ 2006 අවුරුද්ද ගැන.වකුගඩුව දන් දුන්නටත් පස්සෙ තමයි මං මුලින් ම ලේ දන් දෙන්න පටන් ගත්තෙ. වකුගඩුව දන් දෙන කොට ලේ දන් දීල තිබුණෙ නැහැ. ඉතින් මං අක්මා රෝගීන් හමුවෙනව. ඒ අයත් එක්ක ගිහින් මූලික පරීක්ෂණ කරනවා. ඒත් සාර්ථක තත්ත්වයකට පත් වුණේ නැහැ. එක්කො පරීක්ෂණ වාර්තා ගැළපෙන්නෙ නැහැ. එහෙම නැත්නම් කල්ගත වෙන කොට රෝගියා මිය ගිහින්. ඔය වගේ දේවල්. ඊට පස්සෙ මං දැනගත්ත මේ දේ ඉන්දියාවෙදි මීට වඩා පහසුවෙන් කරන්න පුළුවන් කියල. හැබැයි එතකොට ඉන්දියාවෙ නීතියක් තිබුණ ලේ ඥාති කෙනකුට විතරයි දෙන්න පුළුවන් කියල. ඔය විදියට මේක දැන් කල් යමින් තිබෙනවා.ඉතින් ඔය වෙද්දි මම ඕස්ට්‍රේලියාවෙ පන්සලකට වැඩම කළා. ගංගොඩවිල සෝම හාමුදුරුවො ආරම්භ කළ මෙල්බර්න්වල ඩෙරික් ශාන්තමුනි සම්බුද්ධ විහාරයට. ඒ ඉන්න කොට මං දැක්ක ලංකාවෙ පත්තරේක අක්මා කොටසක් ඉල්ලල, රෝගියෙක් දැන්වීමක් දාලා තියෙනව.මං හිතුව මේක මට හොඳ අවස්ථාවක්. ඒ වෙනකොට කොළඹ මහ රෝහලේ වෛද්‍ය මන්දික විජේරත්න මහත්මය අක්මා බද්ධ කිරීම ආරම්භ කරල තිබුණෙ. ඉතින් මං එතුමාට ඊමේල් කරල ඕස්ට්‍රේලියාවෙ ඉඳල මගේ අතින් වියදම් කර ගෙන පරීක්ෂණ කරල ටිකට් හදාගෙන ඒ වෙනුවෙන්ම ලංකාවට ආව. දායකයන්ගෙන් මගේ පැවැත්ම පිණිස ලැබෙන මුදල් මේව. මං ඒව කිසිම දවසක මගේ පෞද්ගලික දේකට යොදවල නැහැ. ගෙදරට ශත 05ක් දීල නැහැ. පිරිකරක්වත්.

ඔක්කොම වියදම් කරන්නෙ අනුන්ගේ දුක් කරදරවලට.මන්දික ‍ෙදාස්තර මහත්තය කොච්චර දක්ෂ වුණත් පුහුණුව තිබ්බත් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් අක්මා කොටසක් අරන් රෝගියකුට බද්ධ කරන තරමට ඒ වෙනකොට අපේ වෛද්‍ය අංශ දියුණු වෙලා තිබුණෙ නැහැ. ඒ හින්ද අන්තිමේ ඒ අවස්ථාවත් මඟහැරුණා.හැබැයි මම උත්සාහය අත්හැරියෙ නෑ. පිටරට කෙනෙක්ට හරි දන් දෙන්න උත්සාහ කළා. වතාවක් කෙනෙක් චීනෙ ඉඳන් ඊමේල් එකක් එවල තිබුණ. ඉන්දුනීසියාවෙ ඉඳන් එවල තිබුණ. කවුරු හරි කෙනෙක් වැඩිපුර ජීවත් වෙන්නනෙ මේ උත්සාහ කරන්නෙ. එයා ලෝකෙ මොන රටක කවුරු වුණත් කමක් නැහැ. කොයි විදියෙන් ගත්තත් ඒ දන්දීම පින්කමක්. ඉතින් මං ඒවටත් මගේ වියදමින් පරීක්ෂණ කර කර වාර්තා යැව්ව. ඒ හැම වතාවෙම මොකක් හෝ නොගැළපීමක් තිබුණා.හැබැයි 2017 අවුරුද්දෙ මං තීරණය කළා මේ අක්මා කොටස දන්දීමේ කටයුත්ත කොහොම හරි කර ගන්නව කියල. ඔය අතරෙ මගේ ඉතිරි වකුගඩුවෙ යම් පොඩි අසනීප තත්ත්වයක් ආව. දැන් එකයිනෙ තියෙන්නෙ. හැබැයි අර එකක් දන් දුන් නිසා ඇතිවුණු තත්ත්වයක් නම් නෙවෙයි. වෙනත් බාහිර හේතුවක්. ඔය දේට ප්‍රතිකාර ගන්න මට බැංගලෝරයට යන්න සිද්ධ වුණා.ඒ වෙනකොට අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩහිටිය වකුගඩුවක් දන් දීල අනුරාධපුරේ ගල්ගමුව ප්‍රදේශයේ ගල් ලෙනක භාවනානුයෝගීව වැඩ වාසය කරමින්. ඒ ස්වාමීන් වහන්සේගෙ අක්මාවෙ යම් ප්‍රශ්නයක් ආව. හැබැයි බද්ධ කිරීමට තරම් එකක් නොවෙයි. යම් බරපතළ අසනීප තත්ත්වයක්. ඒ පරීක්ෂණ සහ වියදම් සඳහා උන්වහන්සේට සුවපත් වෙන්න කෝටියකට වඩා වියදම් වෙනව. ඉන්දියාවෙදියි ශල්‍යකර්මය කළ යුතුව තිබුණේ. උන්වහන්සේ ප්‍රසිද්ධියට කැමැති නෑ. භාවනා කරමින් ගල්ලෙනක වැඩහිටියෙ. විශාල මුදලක්. ජීවිතේ නැති වුණත් කමක් නැහැ කියල උන්වහන්සේ හිත හදාගෙනයි හිටියෙ. විශාල මුදලක් නෙ.මං කල්පනා කළා අද සමාජීය වශයෙන් ශාසනික වශයෙන් විශාල පිරිහීමක්නෙ තියෙන්නෙ. සිල්වතුන් ගුණවතුන් තමයි බොහොම දුර්ලභ. ඒ වගේ භික්ෂුවක් රැක ගන්න ඕන. ඒකට අපි පෞද්ගලික මට්ටමින් මුදල් එකතු කළත් ලොකු ගාණක් එකතු කර ගන්න බැරි වුණා.