Naifmvlog

Naifm vlog Gossip and News

දිනුම දෙකෝටි තිස්නව ලක්‍ෂයයි

”මෙයට දෙසතියකට ඉහතදී ලොතරැයි දිනුමකින් රුපියල් දෙකෝටි තිස්නව ලක්ෂයක මුදලක් හිමිකර ගත් පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටියදී කටුගස්තොට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 21 දා අත්අඩංගුවට ගනු ලැබ තිබේ….” යන්නෙන් පුවත්පත්වල පළවූ කතාව සමග තරමක ආන්දෝලනයක් මහනුවර මහයියාව පැත්තේ දක්නට ලැබුණා.” කවුද මන්දා සමාජ ජාල වලයි පත්තරෙයි බොරු දාලා. ස්වීප් එක ඇදුන ළමයා බොහොම අහිංසකයි. ඔය කියන විදිහට කුඩු ගහන්නේ නෑ. හැමදාම මෙතනින් යන කොට ටිකට් ගන්නවා. ඒ ළමයා වැඩ කරන්නේ නගර සභාවේ. කවුරු මේ වගේ බොරු කතා හදලාද දන්නේ නැහැ….” මාරගහ ළඟ ටිකට් කූඩුවේ මුදලාලි බොහොම හිතේ අමාරුවෙන් කිව්ව.lotteryදෙකෝටි තිස්නව ලක්ෂයේ මහජන සම්පත ටිකට් එක විකුණලා තිබුණේ ඔය හිතේ අමාරුවෙන් කතා කරපු නුවර මහයියාවේ මාරගහ යට ටිකට් කූඩුවෙ එස්. රාජා බාලසිංහම් මහත්තයා. ටිකට් එක විකුණලා තිබුණේ 2019 නොවැම්බර් හත්වැනිදා.සල්ලි කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි මහ පුදුම දෙයක්. අතේ සතේ නැති වුණොත් ජීවිතේ එපා වෙනවා. මිනිස්සු ගෙඟ් මුහුදේ පනින්නේ ඒකනේ. ගොවියෝ වහ බොන්නේ…, තාත්තලා බෙල්ලේ වැල දාගන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ සල්ලි අතේ නැතිකොට.හැබැයි ඉතින්, සල්ලි වැඩි වුණාමත් ප‍්‍රශ්න. මිම්මට මැනලා සල්ලි වියදම් නොකළොත් අමාරුවේ වැටෙනවා. දෙකෝටියක් ඇදුන මිනිහා කුඩු බොන්න පුරුදු කරපු කතාව ආරංචි වුණෙත් ඒ විදිහට. ඒ නිසාම තමයි මහයියාව පැත්තේ ගිහින් කෝටි දෙක ඇදුන තරුණයාව හොයන්න හිතුවේ.කටුගස්තොට පොලිසියෙන් අල්ලලා නුවර මහෙස්ත‍්‍රාත් උසාවියේදි තුන්වැනිදා වෙනකල් කූඩුවට දැම්මේ, මහයියාවේ එම්. සී. වත්තේ අවුරුදු විසිහතරක් වුණ සෙල්වර්දොරේ ශිලාන් සහ එම්. සී. වත්තේ අවුරුදු තිස්නවයක් වුණ අබ්දුල් රිස්වි මොහොමඞ්. ශිලාන් දෙදරු පියෙක්. මේ දෙන්නා මාතලේ පාරේ සැක කටයුතු ලෙස රැඳී ඉන්න බවට ලැබුණ තොරතුරක් මත පොලිසිය දෙන්නාව අල්ලලා තිබුණා.

ඒ වෙලාවේ හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් එක්දහස් හයසියයක් මේ දෙන්නා ළඟ තිබුණ බව පොලිස් නිලධාරීන් උසාවියේදි කියාසිටියා. ඒ හින්දාම දෙන්නාට දඬුවම් ලැබුණේ පනස් හතර යටතේ.අල්ලාගෙන යද්දි දෙන්නා බැලූවේ කොහොමහරි පොලිසියෙන් ගැලවෙන්න. දෙන්නා අතේ තිබුණ කුඩු වල බර අනුව කුඩු ගහන්න නෙවෙයි බෙදන්න හිටියා කියලා පොලිසිය සැක කරලා තියෙනවා. මොකද ප‍්‍රමාණයත් ටිකක් වැඩියි නේ. ඒත් මේ දෙන්නා ”අපි මේවගේ වැඩ කරන්නේ නැහැ. කෝටි ගණන් ටිකට් ඇදිලා අපේ අතේ ඇති තරම් සල්ලි තියෙනවා. මේ තුට්ටු දෙකේ වැඩ අපි ළඟ නෑ” වගෙ කතා කිය කිය ගිහින් තියෙනවා. දෙන්නාව අල්ල ගත්ත මාතලේ පාරේදි ඇහුණ අය එහෙම කිව්වා.කොහොම හරි මහනුවර මහෙස්ත‍්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහත්තයා මේ දෙන්නාව මාර්තු තුන්වැනිදා වෙනකල් කූඩුවට දැම්මා. කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතත්තයාගේ උපදෙස් මත දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.ඒ සිද්ධිය එහෙම වෙද්දි ටිකට් කූඩුවේ රාජා කියපු අපබ‍්‍රංස කතාවත් එක්ක ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද බලන්න ශිලාන්ගේ ගෙදර යන්න හිතුවා. මහයියාව තැපැල් කන්තෝරුව ළඟට යද්දි කලල්ඞීන් හම්බබුණා. එයා ඒ පැත්තේ නොදන්න කෙනෙක් නැහැ. එම්. සී. වත්තද එම්. ටී. වත්තද අහුමුළු නෑර දන්න කලල්ඞීන් මාව දැක්ක ගමන් ”හරි වැඬේනේ මේ වත්තේ සංජීවන් මල්ලි ගැන පත්තරේ බොරු කතාවක් ගිහින්නේ. මගේ හිතටත් හරි අමාරුයි කියලා කිව්වා. ..” වැඬේ ලොකුවටම හරහට ගිහින් කියලා මටත් ඒ වෙලාවේ තේරුණා.මං ආවේ ඒ වැඬේට තමයි කියද්දි, කලල්ඞීන්ගේ මුණේ හිනාවක් ඇදුනා. යං යං මං ගෙදරට එක්කං යන්නං කියපු කලල්ඞීන් සංජීවන්ගේ ගෙදරට යනකල් හමුවුණ හැමෝටම මේ ගැන කිය කියා මාව එක්කං ගියා.

එම්. සී. වත්ත ඇතුලේ ෆ්ලැට් එකේ තුන්වැනි තට්ටුවට ගිහින් එක ගෙදරකට තට්ටු කරපු කලල්ඞීන් එයා උපන් දෙමළ භාෂාවෙන් මං ගැන විස්තර කිව්වා. ගේ ඇතුළේ හිටපු හැමෝම ඉස්සරහට ඇවිත් මාව ඇතුළට එක්කං ගියා.”බලන්නකෝ අපේ දරුවාට වුණ දේ. වැරදි කතාවක් පත්තරේ ගිහින්. අපේ ළමයා කවදාවත් ඔය ජරාව බොන්නේ නෑ. ඒ ළමයා මහන්සි වෙලා නගර සභාවේ වැඩ කරනවා. හැමදාම බැලූවේ අපේ සතුට. එහෙම දරුවාට රටේ කතාවක් හැදුනා…” කියලා වයස හැටතුනක විතර පිරිමි කෙනෙක් විලාප තිව්වා.බලද්දි ඒ සංජීවන්ගේ තාත්තා… කදුරුවේලි සෙල්වදොරේ. අම්මා ජේ. චිත‍්‍රා එයාත් බොහොම දුකෙන් මා දිහා බලාගෙන හිටියා. ඔන්න තාත්තා කතාව පටන් ගත්තා.lottery3මට ළමයි පස් දෙනෙක් ඉන්නවා. පිරිමි ළමයි හතරයි එක ගෑණු ළමයයි. මගේ ලොකු පුතා සෙල්වදොරේ ශිලාන් (24). එයා අපේ අකැමැත්තෙන් විවාහ වුණා. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා. මං එයාව ගෙදරට ගන්නේ නැහැ. අපිට විරුද්ධව විවාහ වුණ හින්දා. එයත් මේ වත්තේම උඩ පැත්තේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඔය පොලිසියෙන් අල්ලාගෙන ගිහින් තියෙන්නේ එයාව තමයි.මගේ දෙවැනි පුතා සෙල්වදොරේ සංජීවන්. එයාගේ වයස විසිතුනයි. ඒ දරුවාට තමයි මහජන සම්පත කෝටි ගානක් ඇදුනේ. එයා සිගරට් එකක්වත් බොන්නේ නැති හොඳ දරුවා. හැමදාම බලන්නේ අපිට කරදරයක් නැතුව ඉන්න ක‍්‍රමයක්. එයයි තුන්වැනි පුතා මෝහන්රාජ් දෙන්නා නගර සභාවේ වැඩට යනවා. ඒ දෙන්නා තමයි නංගිව මල්ලිව බලන්නේත්.ඉස්සර සංජීවන් කෑම උයන තැනක වැඩ කළා. මෝහන්රාජ් නගර සභාවේ වැඩට ගිහින් එතන වැඩ හොඳයි රජයේ රස්සාවක් කියලා විස්තර කියලා තමයි සංජීවන් කැමති කරගෙන එතනට දා ගත්තේ.

මායි නෝනයි මේ වත්තට ඇවිත් අවුරුදු විසිපහක්. අපි ඉස්සර හිටියේ පූර්ණවත්තේ. මමත් නගර සභාවේ වැඩකළා ඉස්සර. දැන් වැඩ කරන්න බැහැ. දරුවෝ පස්දෙනා හදන්න මම මොනතරම් මහන්සි වුණාද…”මේ වෙලාවේ සංජීවන් ගෙදර හිටියේ නැහැ. ගෙදර අය කිව්වේ වැඩට ගිහින් කියලා. සංජීවන්ගේ ජංගම දුරකථනයට කතා කරලා එන්න පුළුන්ද ඇහුවාම ”දුර වැඩකට ගියා එන්න වෙන්නේ නැහැ” කියලා සංජීවන් කිව්වා.මෝහන් රාජ් සංජීවන්ගේ මල්ලි සංජීවන් එක්කම ඉන්න යාළුවෙක් වගේ සහෝදරයෙක් එයා විස්තර කියන්න පටන් ගත්තා.”අපේ දෙවැනි අයියා.. මිනිස්සු එක්ක ගොඩාක් හොඳයි. හැමෝටම උදව් කරනවා. එයා හැම වෙලාවෙම බැලූවේ කොහොමහරි ගොඩයන විදිහක්. හැමදාම ටිකට් ගන්නවා…. මිටියක් විතර. වැඩපොළේදිත් ගන්නවා මාරගහ යට, වගේම තව අහුවෙන තැන්වලදි ටිකට් ගන්නවා. කොහොමත් දවසකට රුපියල් හත් අටසියයකම ටිකට් ගන්න අයියා පුරුදු වෙලා හිටියා. මමත් ටිකට් ගන්නවා. කවදා හරි අපට ලොකු ගාණක් ඇදෙයි කියලා මට විශ්වාසයක් තිබුණා.මටයි අයියාටයි එක ඉලක්කම එහා මෙහා වෙලා ලක්ෂ දහය ලක්ෂ විස්ස මිස් වුණ වෙලාවල් හුඟක් තිබුණා. දැනට මාස අටකට විතර උඩදි එක ටිකට් එකකට රුපියල් දහදාහක් තිබිලා. ටිකට් එකට තියෙන්නේ දෙදාහයි කියලා රුපියල් දෙදාහ දීලා එවලා තිබුණා. සීය දාහ දෙදාහ ඇදෙන වෙලාවල් නම් ඕනෑ තරම් තිබුණා.තවත් සැරේක ගොවිසෙත මගේ එක ඉලක්කමයි වැරදුනේ. ඒ වෙලාවෙත් අයියා කිව්වා කොහොම හරි ටිකට් එකක් ඇදෙයිම කියලා. ….. අපි දෙන්නාම ටිකට් ගන්නවා. මාමත් (අම්මාගේ මල්ලි) ටිකට් ගන්නවා. එයාට ලක්ෂ දහයක් ලැබිලා තිබුණා ගිය මාසේ. කොහොම හරි අපි කාටවත් කරදරයක් නැතුව ඉන්න තමයි බලන්නේ…”චිත‍්‍රා කියන්නේ සංජීවන්ගේ අම්මා. සංජීවන් මේ ලෝකෙම අල්ලපු දවසේ පළවෙනියෙන්ම සතුට බෙදා ගත්තේ අම්මාත් එක්ක.

දහදුක් විඳලා සල්ලි හම්බ කරලා ගෙයක් දොරක් නඩත්තු කරන මනුස්සයකුට හිතේ හැටියට මුදලක් අතට ලැබෙනවා කියන්නේ රටක් රාජ්ජයක් නෙවෙයි ලෝකයක් ඇල්ලූවා වගේ හැඟීමක් හිතට එන දෙයක්. ඩා දිය මහන්සිය කියන්නේ සල්ලි. දැන් සල්ලි නැතුව කරන්න පුළුවන් හුස්ම ගන්න එක විතරයි. උණු වතුර වීදුරුවටත් රුපියල් විස්සක් ගන්න රටේ හුස්ම පොද හරි තවමත් නිදහසේ ගන්න ලැබෙන එක සතුටක් . සංජීවන් මේ සියල්ලක්ම උදේ හවහා අත්විඳින කෙනෙක්. පවුලේ වැඩිමලා ගෙදරින් එලියට බැස්සාම අම්මා තාත්තා නංගි මල්ලිලාගේ වගකීම කරට එන්නේ කරදඬු උස්වුණ ඊළඟ පිරිමියාට. ඒ බර කරේ තියන් යන සංජීවන්ට කෝටි දෙකහමාරක් ඇදුනා කියන්නේ ලෝකෙම ඇල්ලූවා වගේ දෙයක් තමයි. ඒ අස්සේ අයියා කරපු වැරදි වලට මල්ලිගේ නම ගෑවුණාම පොලව පලාගෙන යන්න තරම් දුකක් ඇති නොවෙන්නේ කාටද? සංජීවන්ට දැනුන දුක හරියටම තේරුම් ගත්තේ අම්මා.ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ හත්වැනිදා ගත්ත ටිකට් සේරම පුතා බැලූවේ පහුවෙනිදා. එදා එයා කලින් ගෙදර ඇවිත්. එද්දි මම නානවා. නාලා එනකල් ඉඳලා එයා මාව බදාගෙන… අපේ ප‍්‍රශ්න සේරම ඉවරයි අම්මා. මට පුළුවන් ඔයාලාව සතුටින් තියන්න. නංගිට හොඳ අනාගතයක් හදන්න. මල්ලිට උගන්නන්න… මගේ ඔළුවට ලොකු සැනසීමක් දැනෙනවා අම්මා…. කියලා මාව බදා ගත්තා. එයා අපිට කොයිතරම් ආදරේද….? එහෙම ළමයාට කතාවක් හැදුන එක ගැන මට හරිම දුකයි. අපේ පවුලටම දුකයි….”පුතා රාජා කොළඹ එක්කං ගියා. එයා චෙක් එක බැංකුවට දැම්මා. කෝවිලේ ලොකු පූජාවක් කළා. එදාම කෝවිලේ ස්ලැබ් එක දාගන්න සල්ලි දුන්නා. අයියා ශිලාන්ව එක්කගෙන ඇවිත් රට යනවාද ඇහුවා. මොනවා හරි කරලා ගොඩ යන්න කියලා කතා කළා. තුන්වැනියාගේ ණය වගයක් තිබිලා ගෙවලා දැම්මා. තාත්තාට සල්ලි දුන්නා. දැන් එයා බලාගෙන ඉන්නේ අපිව කොහේ හරි හොඳ ගෙදරකට එක්ක යන්න. මගේ පුතාට වරදින්නේ නැහැ. ඇස්වහා කටවහ පිච්චෙන්න තමයි මේ නරක දේවල් ඇහෙන්නේ….. අම්මා කිව්වා.දැන් සංජීවන්ට තියෙන්නේ දියුණුව ගැන හිතන කාලේ. කවුරු කොහොම මොනවා කිව්වත් තමන් තනිව නැගී සිටියොත් පුළුවන් වෙයි දියුණු වෙන්න..