Naifmvlog

Naifm vlog Gossip and News

ලස්සනට ඉන්න සල්ලි අවශ්‍ය නැහැ – තරුෂි

දෙවැනි ඉනිම, නීල පබළු ටෙලිනාට්‍ය හරහා ඔබේ ආලින්දයට එන මෙම සුන්දර යුවතිය ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. වරක් දුටු විට දෙවරක් හැරී බලන්නට තරම් සුන්දර රුවැත්තියක් වන තරුෂි අපි අද ලස්සන රහස් පිටුව සරසන්න කැන්දාගෙන ආවෙමු. 1. කොහොමද තරුෂි?  හොඳින් වැඩ කෙරීගෙන යනවා. දැනට තෝරගත් ටෙලිනාට්‍ය කිහිපයක විතරයි නිරත වෙන්නේ. මොකද පුතා දැන් ටික ටික ලොකු වෙන නිසා එයා එක්ක වැඩි වෙලාවක් ගත කරන්න උත්සාහ කරනවා. 2. පුතාට දැන් වයස? අවුරුදු පහක්. 3. ළමයි ඉන්නවා කියලත් හිතන්න අමාරුයි ඔබේ සුන්දරත්වය දැක්කම? බොහෝ අය ඔය කතාව කියනවා. මම පෞද්ගලිකව හිතනවා කාන්තාවක් විවාහය, දරුවන් ලැබීම කියන ජීවිතේ වැදගත් සංධිස්ථානවලදී වෙනදාට වඩා තමන් ගැන හිතන්න ඕනේ කියලා. මොකද බිරිඳ ලස්සනට ඉන්නවාට සැමියා කැමති වගේම මාගේ අම්මා ලස්සනයි කියලා කියන්න දරුවෝ ගොඩක් ආසයි. 4.පුංචි පුතා ඔබව අගය කරනවාද?  අම්මෝ ඔව්. මගේ අම්මා ගොඩක් ලස්සනයි කිය කිය මාව ඉබිනකොට මට මාව ලෝකයක් අගය කරනවා වගේ දැනෙනවා.

5. ඔබ විශ්වාස කරන විදිහට ඔබට සුන්දර පෙනුමක් ලැබී තිබෙන්නේ?  මම හිතන්නේ පෙර ආත්මවල මම ගොඩක් පිං කරලා ඇති. දැනටත් මම විශ්වාස කරනවා අධ්‍යාත්මිකව අපි හිත නිරෝගිව, කිලිටි වෙන්න නොදී තියා ගත්තොත් ඒක බාහිර පෙනුමෙන් දිස්වෙන්න පටන් ගන්නවා කියලා. අනිත් දේ තමයි කාටවත් ඊර්ෂ්‍යා නොකිරීම. 6. ලස්සන වෙන්න සල්ලි තියෙන්නම ඕනේද?  ම්… නැහැ. පිළිවෙලට ඉන්න පිරිසිදුවට ඉන්න අපිට මුදල් අවශ්‍ය නැහැ. තියෙන එකම ඇඳුම හරි හෝදලා පිරිසිදුවට ඇඳලා හිසකෙස් පිළිවෙලට පීරලා ඉන්න පුළුවන්නම් අපේ බාහිර පෙනුම ලස්සනයි. මම හිතන්නේ අපි කොච්චර වයසට ගියත් ලස්සනට පිළිවෙලට ඉන්න පුළුවන්නම් ඒක හිතටක් ලොකු ආශිර්වාදයක්. වයසට යන එක නතර කරන්න බෑ. නමුත් නීරෝගිකම ආරක්‍ෂා කරගෙන උපතින් ලැබුණු සුන්දරත්වය ආරක්‍ෂා කර ගන්න එක ඕනෑම වයසකදී කරන්න පුළුවන්. 7.ඔබ විශ්වාස කරනවාද කාන්තාවකට ලස්සන වැදගත් කියා?  මෙහෙමයි. බාහිරෙන් ලස්සන කාන්තාව හදවතින්ම ලස්සනනම් ගොඩක් හොඳයි. නමුත් මා දකින බොහෝ කාන්තාවන් ලොකු ප්‍රතිරූපයක් සමාජය ඉදිරියේ පෙන්වන්න උත්සහ කළත් කට ඇරියාම ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා මම හිතනවා කාන්තාවකට කතා කරන විලාසය, කතා කරන්නේ මොනවාද කියන එක සුන්දර ප්‍රතිරූපයකට අත්‍යවශ්‍ය වෙනවා කියා.

8. සුන්දරත්වය ආරක්‍ෂා කර ගන්න තරුෂි ගෙදරදි මොනවාද කරන්නේ කියලා දැන ගන්නත් කැමතියි? හැමදාම නොවුණත් මම, මම නියැලිලා ඉන්න ක්ෂේත්‍ර දෙක නිසාම ලැබුණු සුන්දරත්වය ආරක්‍ෂා කර ගන්න ගොඩක් උත්සහා කරනවා. දිනපතාම වතුර ගොඩක් බොන එක දින චර්යාවේ කොටසක්. ඊට අමතරව අලිගැටපේර, දොඩම්, අඹ, දූරියන් වගේ පලතුරුවලට මම ගොඩක් ආසයි. සතියකට දින තුනක් වගේ පිපිඤ්ඤා ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා සීනියි, ලුණු ටිකකුයි දාලා බොනවා. එම පානයෙන් ශරීරය අභ්‍යන්තරව සිසිල් වෙනවා වගේම, සමේ පෙනුමත් ගොඩක් ලස්සන වෙන්න බලපානවා. අලිගැටපේරවලට ගොඩක් ආස නිසා නිතරම කෑමට එක්කර ගන්න උත්සාහ කරනවා. නිවසේ ඉන්න දවසට ඩයට් ප්ලෑන් එකක් කරනවා නම් ගොඩක් වෙලාවට මම උදේට කන්නේ ඕට්ස්වලට කෙසෙල් ගෙඩියක් දාලා. දවල්ට බාස්මති බත් කෝප්පයකට එළවළු, පළා, මස් හෝ මාළු එක්කර කෑමට ගන්නවා. රාත්‍රියට ඉතාම සුළු ආහාරයක් ගන්නවා. ඔය වගේ තමයි කෑම බීම පාලනය වෙන්නේ. ඇඟේ හැඩය තියාගන්න ව්‍යායාම කරන්න ජිම් එකකටනම් යන්න ලැබෙන්නේ නෑ. නමුත් ඉඩක් ලැබුණාම ඇවිදින්න යනවා. සමට වගේම නිරෝගිකම ආරක්‍ෂා කර ගන්න ඉඳහිට බෙලිමල්, රණවරා මල් තම්බලා බොනවා. තැඹිලි බොන්නත් මම ගොඩක් ආසයි.

9.විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?  ඔව්. මවක් බිරිඳක් කියන දේ වගේම මගේ සිරුරට ගැලපෙනවාද මම සහභාගි වෙන තැනට ඒ ඇඳුම කොච්චර දුරට ගැලපෙනවාද කියලා නිතර හිතනවා. කොහොමටත් ලොකු ලොකු විලාසිතාවලටනම් මම කොහොමටත් කැමති නෑ. 10. ඔබට වඩාත් ගැලපෙන පාට? දුඹුරු, කළු, මෙරූන් වගේ පාට ඇන්දාම මට ගොඩක් ලස්සනයි. 11. ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව? අයිශ්චර්යා රායිගේ පෙනුමට මම ගොඩාක් ආසයි. 12. කාන්තාවකගේ සුන්දරත්වය නැතිවෙන්න බලපාන දේවල් මොනවාද? මම හිතන්නේ තමන්ට තමන් ගැන විශ්වාසයක් නොමැති වීම. ජීවිතයට ප්‍රශ්න එන එක ස්වාභාවිකයි. දුක අතරින් අපි හිනා වෙන්න පුළුවන්නම් ජීවිතේ යථාර්ථය දකින්න පුළුවන්නම් ඒක තමයි විය යුත්තේ. දුකක් ආවාම ඒ දුක නැති වෙනකම් අඬලා එක යටපත් කරලා ආයේ එන ඊළඟ මොහොතට සුබවාදීව මුහුණ දෙන්න ඕනේ.

13. අධ්‍යාත්මිකව සිත හදා ගන්න මොනවාද කරන්නේ? උදේ හවස බුදුන් වැඳලා මම ප්‍රාර්ථනා කරන්නේ මගේ හිතේ යම් කිලිටි සිතුවිල්ලක් ඇත්නම් ඒ සියල්ල යටපත් කරන්න හිත හදාගන්න උදව් කරන්න කියලා. හිතට නරක සිතිවිලි ආවාම හිත හරිම බරයි වගේ දැනෙනවා. නරක සිතුවිලි ඈත් වුණාම ජීවිතේ හරිම නිදහස්. බෞද්ධයකු විදිහට උදේ හවස සියලු සත්වයන්ට මෙත් වැඩීම දෛනිකව සිදුවෙනවා.