Naifmvlog

Naifm vlog Gossip and News

ආසියාවේ පැතිරෙන උග්‍ර විෂ සහිත දිලීරය

ලෝකයේ මෙතෙක් හමු වී ඇති මාරාන්තික දිලීර වර්ගවලින් එකක් පළමු වතාවට ඕස්ට්‍රේලියාවෙන් ද හමු වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.උග්‍ර විෂ සහිත රතු පැහැති මෙම දිලීර වර්ගය ‘ෆයර් කොරල්’ ලෙස හඳුන්වන අතර, මෙය මෙතෙක් කල් දැකගත හැකි වූයේ ජපානය සහ කොරියාවේ පමණි.ආසියාවේ වෙනත් ප්‍රදේශයක තිබුණ මෙම දිලීර වර්ගය ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවීමත් සමඟ එහි ව්‍යාප්තිය ගැන “අවධානය යොමු කළ යුතු” බව පරීක්ෂකයෝ පවසති.මෙම දිලීර වර්ගය ආහාරයට ගතහොත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් අක්‍රීය වීම මෙන්ම මොළයට හානි සිදු වීමට ඉඩ ඇත.පාරම්පරික ඖෂධයකට ලබා ගන්නා වෙනත් දිලීර වර්ගයක් යැයි වරදවා සිතා මෙම විෂ දිලීරයෙන් පානයක් සකසා පරිභෝජනය කිරීමෙන් මියගිය පුද්ගලයන් ගැන ජපානය සහ දකුණු කොරියාවෙන් වාර්තා වී තිබේ.

ජේම්ස් කුක් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පවසන පරිදි මෙම දිලීර වර්ගය ඇල්ලීමෙන් පමණක් ද ශරීරය ඉදිමීම, දැවිල්ල සහ චර්ම රෝගවලට ගොදුරු විය හැකිය.”පරීක්ෂකයන් හඳුනාගෙන තිබෙන සිය ගණනක් විෂ සහිත හතු වර්ග අතර, පුද්ගලයෙකුගේ සම තුළින් ශරීරයට විෂ ඇතුළු වන එකම වර්ගය මෙයයි,” ආචාර්ය මැට් බැරෙට් පැවසීය.’කෑන්ස්’ නගරය ආසන්නයේ පිහිටි වැසි වනාන්තරයක තිබූ මෙය ප්‍රදේශවාසියෙකු ඡායාරූපගත කර ඇති අතර, එම ඡායාරූපය මගින් අදාළ දිලීර වර්ගය හඳුනාගෙන තිබේ.චීනය, තායිලන්තය සහ පැපුවා නිව් ගිනියාවේ ද මෙම දිලීර වර්ගය දුටු බව වාර්තා වී ඇතැයි ආචාර්ය මැට් බැරෙට් පැවසුවේය.වසර දහස් ගණනකට පෙර මෙම දිලීරයේ බීජ සුළඟ මගින් පැතිරී ඇතැයි ඔහු සැක පහළ කරන්නේය.”බිම්මල් සොයා යන විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ දකින්න නැහැ….ඒ නිසා මේ වෙනකම් මෙය සොයාගත හැකි වුණේ නැහැ,” ඔහු බීබීසී වෙත පැවසීය.මෙම දිලීරය ඇතුළු මින් පෙර නොදුටු වර්ග විස්සක් පසුගිය සය මස තුළ ඕස්ට්‍රේලියාවෙන් සොයාගැනීමට හැකි වූ බව ඔහු තවදුරටත් පැවසීය.