Naifmvlog

Naifm vlog Gossip and News

ජහුටා ගැන හරියටම දැනගන්න

දෙබස් කථන මුද්‍රා නාටක, ගීත නාටක හෝ ජහුටා යන මේ වචන ඔබ අසා තිබේ ද? මේ අපේ රටේ පවතින එක් සුවිශේෂී කලාවක්. අපේ රටේ බොහෝ පිරිසක් අසා නොමැති, රට පුරාම ප‍්‍රචලිත නොවන නාට්‍ය විශේෂයක් ලෙස සඳහන් කළ හැකිය. ඇතුගල්පුර සර්ධාපති නමැති රාජ්‍ය නැටුම් කණ්ඩායම නියෝජනය කළ නර්ථනවේදියෙකු මෙම නාට්‍ය කලාවේ පුරෝගාමියා වශයෙන් සැලකේ. ජහුටා කලාව ප‍්‍රභවය ලබන්නේ කුරුණෑගල පුරවරයෙනි. නාට්‍ය කලාව ආරම්භයෙන් පසු වාරියපොළ පනාදරගම විමලරත්න නමැති ශිල්පියකු නාට්‍ය කණ්ඩායම් කිහිපයක් සකසාගෙන ගීත නාටක රඟ දැක්වීම සිදුකිරීම ආරම්භකර තිබේ. මීට දශක හතකට අටකට පමණ පෙර කුඹුරු අස්වනු නෙළා ගෙට ගත් අපේ ගොවියන්ට විවේකය විනෝදයෙන් ගතකිරීම සඳහා විනෝදාත්මක මාධ්‍යය එතරම් ගම් තුළ තිබුණේ නැත. සිනමා කලාව රට තුළ පැවැතියත් එය ගම්මුන්ට ඉතා දුරස් මාධ්‍යයක් විය. වයඹ පළාතේ කුරුණෑගල, වාරියපොළ, සියඹලංගමුව, ගල්ගමුව සහ පුත්තලම ආදී ප‍්‍රදේශවල අපේ ගැමියන් තමන්ගේ රසවින්දනයට තෝරාගනු ලැබුවේ ගීත නාටක කලාවයි. පසු කලෙක එය අනුරාධපුරය, මාතලේ ආදී ප‍්‍රදේශවලටත් ව්‍යාප්ත විය.ගීත නාටක කලාව යනු එම කලාව හා බැඳුණු සම්ප‍්‍රදායකින් යුක්ත වූ සුවිශේෂ කලාවක් ලෙස හැඳින්විය හැක.

මෙයට ‘ජහුටා’ යන නාමය ආරම්භක අවධියේ දී යොදනු ලැබූ නමක් නොවේ. එය සාමාන්‍ය සමාජයෙහි කෙනකු විසින් භාවිතයේ පහසුවට යොදාගනු ලැබූ නමක් ලෙසට සඳහන්කළ හැකිය. නමුත් පසු කලෙක ජහුටා යන නමෙනුත් ගීත නාටක කලාව හැඳින්වීම ඇරඹුණි. ජහුටා රඟ දැක්වෙන්නේ එළිමහනේ සකස්කරගත් කවාකාර රංග භූමියකය. ජහුටාවක් ගමක් තුළ රඟ දක්වන්න සතියකට පමණ පෙර සිට සූදානම් වන අපේ ගම්මුන් රඟමඬල හා අවට වටපිටාව සුදුසු ලෙස සකස් කිරීමෙන් පසුව, කරත්තයක ශබ්ද විකාශන යන්ත‍්‍රයක් බැඳගෙන ගම පුරාත් අවට ගම්වලත් ප‍්‍රචාරයක් යවන්නේ ජහුටා රඟ දක්වන ස්ථානය හා දිනයන් සඳහන් කරමිනි. ආරම්භක අවධියේ දී දින 5ක් හෝ 6ක් පමණ එක දිගට ජහුටා රඟ දැක්වුණි. නමුත් පසු කලෙක එය දින 2ක් හෝ 3ක් රඟ දැක්වීමට යොමු විය. ගීත නාටක රසවින්දනයට ඇළුම්කළ ගැමියන් ඉතා කැමැත්තෙන් ජහුටා රංග පොළට එක් රොක් විය. එළිමහනේ කවාකාර භූමිය වටා පැදුරු එළාගෙන බිම වාඩි වී නාට්‍ය නැරඹීම සම්ප‍්‍රදායකි. ගීත නාටකයක නළු නිළියන් 15ක් 20ක් අතර ප‍්‍රමාණයක් රංගනයේ යෙදේ. ආරම්භක සමයේ කාන්තාවන් රංගනයේ නොයෙදුණු අතර කාන්තා චරිතත් රඟ දක්වනු ලැබුවේ පිරිමි නළුවන් විසිනි. නමුත් පසු කලෙක නාට්‍ය කලාවේ විකාශනයත් සමඟ කාන්තාවන් රංගනයට දායක විය. ගීත නාටකයක රංගනයේ යෙදෙන ප‍්‍රධාන නළු නිළියන් කිහිප දෙනෙකි. එනම්, රජතුමා, බිසව හෝ කුමරා, කුමරිය සහ විහිළු සපයන්නෙක් එනම් කවටයෙක් ද නිත්‍ය චරිත වේ. වේදිකාව පසෙකින් සිටින වාද්‍ය වෘන්දය හා දෙබස් කථන ශිල්පීන් නාටකය පුරාම දෙබස් හා සංගීතය සැපයීම සිදුකරනු ලබයි. කවටයා හැර සෙසු චරිත අංග චලනය පමණක් කරනු ලබන අතර ඔවුන්ට දෙබස් සපයන්නේ දෙබස් කථන ශිල්පීන් ය. නමුත් කවටයා අවස්ථාවට උචිත ලෙස තමා විසින්ම දෙබස් හැසිරවීම සිදු කරනු ලබයි.

විහිළු තහළු, දෙපිට කැපෙන වචන සහ යටි අරුත් ඇති වචන ඔහුගේ මුවෙන් නිතරම පිටවේ. ඔහුගේ පරමාර්ථය පේ‍්‍රක්ෂකාගාරයට හාස්‍යය, විනෝදය ලබා දීමයි.එමෙන්ම ගීත නාටකයක් තුළින් ඉස්මතු වන ප‍්‍රධාන රසයන් තුනකි. එනම්, හාස්‍ය රසය, වීර රසය හා ශෘංගාර රසයයි. ප‍්‍රධාන නළුවා සහ නිළිය සෑම විටම රඟ මඬල මත ඉදිරිපත් කරන්නේ අතිශය ශෘංගාරාත්මක නර්ථන, රංගන විලාසයන් ය. මෙම නාට්‍ය කලාවේ අනන්‍ය ලක්ෂණ අතර එහි රංග ශෛලිය ඉතාමත් වැදගත් වේ. උඩරට, පහතරට මෙන්ම භාරතීය රංගන, ගායන, නර්ථන ශෛලීන්වල සම්මිශ‍්‍රණයක් ලෙස ගීත නාටක කලාව සැකසී ඇත. ඇඳුම් පැළඳුම්, ගමන් තාල, නර්ථන වින්‍යාස මෙන්ම නාද මාලා සහ භාවිතකරන වචන ආදී සියල්ලම සම්ප‍්‍රදායන් රැුසක පොදු බවක් පෙන්නුම් කරයි. එමෙන්ම භාරතයේ සහ ලංකාවේ ප‍්‍රසිද්ධ ගී තනුවලට අනුව, නාට්‍යයට උචිත ලෙස වචන යොදා නාට්‍යයේ ගීත ගායනා කිරීමත් මෙම නාට්‍ය කලාවේ දී සිදුවේ. එමෙන්ම යොදා ගන්නා වාද්‍ය භාණ්ඩ අතර ද සුවිශේෂී වූ භාණ්ඩ කිහිපයකි. රබාන, තාලම් පට, බට නලාව, සර්පිනාව, ගැට බෙරය සහ ඩොල්කිය ප‍්‍රධාන වාද්‍ය භාණ්ඩ ලෙස භාවිත කරයි. වර්තමානය වන විට වෙනත් නවීන සංගීත භාණ්ඩ ඇතැම් විට යොදාගනු ලැබුවත් සාම්ප‍්‍රදායික භාණ්ඩ යොදාගැනීමට අමතක කරන්නේ නැත. ගීත නාටක සඳහා කතා වස්තුව ගොඩනඟා ගැනීම සඳහා ඓතිහාසික සහ ආගමික කතා මූලාශ‍්‍ර කරගනී. මුල් කාලයේ දී කෙටි නාට්‍ය, දිගු නාට්‍ය වශයෙන් නාට්‍ය දෙකක් රඟ දැක්විය. කෙටි නාට්‍ය ලෙස සාම ජාතකය, බොහෝ විට රඟ දැක්වුණි. එය පැය දෙකක් පමණ රඟදක්වා ඉන්පසු දිගු නාට්‍යය රඟ දැක්වීම මධ්‍යම රාත‍්‍රියට ආසන්න වූ විට ආරම්භ වේ. දිගු නාට්‍ය සැකසෙන්නේ ජාතක කතා, මහා භාරතය, රාමායණය ආදිය මූලාශ‍්‍ර කරගෙන ය. රැුයක් පහන්වන තුරුම රඟ දැක්වෙන නාට්‍යයක් ආරම්භ කිරීමට පෙර සිදුකෙරෙන තවත් අනිවාර්යය ක‍්‍රියාවක් වේ. ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි. යනුවෙන් හඬ නඟන සල්පිලක් නැත්නම් වෙන්දේසියක් පැවැත්වීම සිදුකරයි.

ගීත නාටකය පැවැත්වෙන අතරතුරත් වරින් වර සල්පිල් භාණ්ඩ වෙන්දේසිය සිදුවන්නේ හරිම රසවත් ලෙස වචන හරඹයක යෙදෙමිනි. එමෙන්ම නාට්‍ය රඟදැක්වෙන අතරතුර වරින් වර ඩොල්කි, සර්පිනා තාලයට ගීතයක් ගැයීමට ගම්මුන්ට අවස්ථාව ලබාදෙමින් ආධුනික ගීත ප‍්‍රසංගයක් ද පවත්වනු ලබයි. වර්තමානය වන විට වෙනස්කම් සිදුවුවත් අතීතයේ දී දින ගණනක් පැවැත්වූ මේ කලාව ගමට සොමිය ගෙනා හොඳම ක‍්‍රමය ලෙස ගම්මුන් හැඳින්වී ය. ගීත නාටක කලාව වර්තමානය වන විට අභාවයට යමින් පවතින කලාවක් බවට පත්ව තිබේ. නාට්‍ය කලාව පිළිබඳ දැනුමෙන් හා ගුණාත්මක බවෙන් අඩු පුද්ගලන් අතට මෙම නාට්‍ය කලාව පත්වීම නිසා එය අභාවයට යෑමට මූලික හේතුවක් විය. එමෙන්ම ගමට රූපවාහිනිය ක‍්‍රම ක‍්‍රමයෙන් ආගමනයත් සමඟ ගීත නාටක වටා රොක් වූ පේ‍්‍රක්ෂකයන් ඈත් වන්නට විය. තරුණ පරපුර තුළ මෙම කලාව පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා ඒ පිළිබඳ අවධානය නොදැක්වීම ද තවත් එක් හේතුවකි. නමුත් මෙම නාට්‍ය කලාව අප සමාජයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වූ කලාවක් නොවේ. මෙයට ඇළුම් කරන පිරිසක් තවමත් ගම්වල සිටිති. වයඹ පළාතේ ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශ‍්‍රිතවත්, අනුරාධපුරය, මාතලේ ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් තවමත් ඇතැම් අවස්ථාවල ගීත නාටක රඟ දැක්වේ. බොහෝ විට වෙසක්, පොසොන් කාලවලදී පන්සල කේන්ද්‍රකොටගෙන සිදුකෙරෙන පිංකම් මාලාවලදී ත් ගීත නාටකයක් සංවිධානය කිරීමට අමතක කරන්නේ නැත. අතීතයේ මෙන් දින ගණනක් පුරාවට රඟ නොදැක්වෙන අතර එක් දිනක් හෝ දින දෙකක් ජහුටාවක් වර්තමානයේ දී රඟ දැක්වේ.

එමෙන්ම ගීත නාටක කලාව හා පරම්පරාගත බැඳීමක් ඇති වාරියපොළ ප‍්‍රදේශයේ තවමත් ඒ හා සම්බන්ධව නාට්‍ය කණ්ඩායම් කිහිපයක් තම රංගන කටයුතුවල යෙදේ. එම නාට්‍ය කණ්ඩායම්වල නළු නිළියන් හා වාද්‍ය වෘන්දය ඇතුළු පිරිස වෙනත් වෘත්තීන්වල නියැළෙන අතර තමාට ආරාධනා ලැබෙන ඕනේම ප‍්‍රදේශයකට ගොස් නාට්‍ය රඟදැක්වීම ඔවුන් සිදුකරනු ලබයි. නමුත් තව දුරටත් සාර්ථකව මෙම කලාව ඉදිරියට පවත්වාගෙන යෑමට අභියෝග රැුසක් පවතී. එළිමහනේ රඟදැක්වීම හේතුවෙන් පරිසරයෙන් ඇතිවන බාධා, අවම පහසුකම් යටතේ රංගනයේ යෙදීමට සිදුවීම, වෘත්තියක් ලෙස දිගු කාලීනව නාට්‍ය රඟ දැක්වීමට අවශ්‍ය ලෙස ආදායමක් නොලැබීම, රඟ දැක්වීම සඳහා ලැබෙන අවස්ථාවන් අවම වීම, වර්තමාන පරම්පරාව මෙම කලාව කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වීම ආදීය ප‍්‍රධාන වශයෙන් ගීත නාටක කලාවේ අනාගතය ශුභ නොවීමට බලපාන හේතු වේ. නමුත් අපේ රටේ පවත්නා මෙවැනි කලා අභාවයට යන්න නොදී මතු පරපුර සඳහා සංරක්ෂණය කරගැනීමට අපගේ අවධානය යොමුවනවානම් එය කෙතරම් වටිනා හා සුන්දර ක‍්‍රියාවක් බවට පත්වේවි ද?