Naifmvlog

Naifm vlog Gossip and News

කඳු මුදුනේ නටබුන් නගරයක තනිවම ජීවත්වන සීයා

අතීත රුහුණු මාගම් රාජධානිය වෙන් කළ දක්ෂීණ ගිර ප්‍රාකාරයේ එක් අන්තයකි. දකුණු පසින් උඩවලව වැව සමගම හම්බන්තොට දක්වාම සොඳුරු වටපිටාව මනාව දර්ශනය වෙයි .තවත් පසෙක දිස්වන්නේ ඔබරගල ගල්පාය වෙහෙර බින්ද යාය නටබුන් නගරයයි.කදුවැටියට සමීපව එදා ඵුස්සදේව මහා රහතන් වහන්සේ විසුවායැයි සැලකෙන හක්ගෙඩිගල කඳු පන්තියයි. අප සිටින්නේද අපූරු ස්ථානයකයි. ඒ යුග තුනක ජනාවාස විහිදුණු ගල්බොක්කයාය ආරච්චි වැයික්කියේය. සැපපුම්ගල අධිකරණ ශාලාව ආරච්චි නිවස වෙදගෙදර කට්ටඩි නිවස මහා ගමරාලගේ නිවස ඇතුළු නිවාස තුන්සිය හැට හයක වපසරියක් මෙකී වැයික්කිය පුරාවට විරාජමාන වෙයි. මැදගොඩ පහළගොඩ උඩහගොඩ මේ වැයික්කියට අයත් අතුරු ගම්මානයි. අද මේ සියල්ලම දිවා රෑ දෙකෙහිම බලා කියා ගන්නේ එක් හුදකලා මිනිසෙකු පමණි. ගොඩකවෙල කන්කානමලාගේ අප්පුහාමි මේ ගමේ තනිව ජීවත් වෙයි. ඉරිදා ලංකාදීපය මේ අපුරු හුදකලා මිනිසා සහ එහි අතීතය සොයාගෙන ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ බිසෝකොටුව හංදියේ සිට ගිරි දුර්ග වනදුර්ග ගල්ගිගිරියාවල්, කටු ළැහැබ සහිත අතිශය දුෂ්කර කන්දක් පාගමනින් තරණය කළේය. ගුගල් දුරමානයෙන් බැලූවිට හරියටම අප සැතපුම් හයක්ම මේ දුර්ගය තරණය කර තිබේ.පැය තුනකුත් මිනිත්තු තිහකුත් ගමනාන්තයට ගත විය.ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති කමල් මහතා මේ අපුරු හුදකලා මිනිසා පිළිබදව අපට ඔත්තුව සැපයූ අතර අපට මග පෙන්වන්නා වුවේ සුජිත් අමරවංශ මහතාය.කෙසෙල් පොල් කොස් එළවළු වර්ග ගොවිතැනින් සිය වැයික්කියම පෝෂණය කර තිබෙන්නේ සිය දෑතිනි.

එහි අක්කර සීමා මායිම් ඔහු නොදනී. වැයික්කිය පුරාම අතීත වාසීන් කළ වගාවන්ටද උරුමකාරයෙක් දැන් නැත. ඒ සියල්ලම බලා කියා ගැනීමට ඔහුට හැකියාවක් නැතිවා සේම අවශ්‍යතාවකුත් නැත. මේ මිනිසා සති දෙකකට වරක් පහළ ගමට එයි. ඒ එන්නේ ලු‍ණු සහ භුමිතෙල් ගෙනයාමට පමණි .ගොඩකවෙල කන්කානමලාගේ අප්පුහාමි මාමාට දැන් වයස හැත්තෑවකි .එහෙත් අතපය වෙර වීරිය හොදින් තිබේ. සියලු‍ම දෙනා ගම හැර ගියද අප්පුහාමි මාමා ගම දාල ගියේ නැත. ඒ ඇයි අප්පුහාමි මාමාගෙන් විමසුවෙමි.“මගේ අම්මා බලාගෙන මම මේ ගමේම හිටියා.මම උපන් ගම දාල යන්න මට කීයටවත් හිතුනේ නෑ අම්මා මට කියලත් තිබුණා පුතේ උඹ මේ තියන ඒව බලාකියාගෙන හිටින් කියල. අපේ අම්මාගේ පරම්පරාවම මේ ගමේමයි. තාත්තා පිටින් ආව කෙනෙක් .එයා අපි පොඩි කාලේ දාල ගියා .මම පොඩි කාලේ මේ වසමේ ගෙවල් තිහක් විතර තිබුණා. අනිත් අය ගම අත ඇරල ගිහින් එතකොටත්. අන්තිමටම ඉතිරි වුණේ සිරිබෝහාමි කට්ටඩි මාමගේ පවුලේ අයයි. එයාලත් 88 අවුරුද්දේ පහළට ගියා. මමයි අක්කයි මෙහේ ජීවත් වුණා. අක්ක රන්මැණිකේ වෙනම ගෙයක් හදාගෙන හිටියේ අවුරුද්දකට කලින් එයත් නැති වුණා. මමත් විවාහ වෙලා මට දුවෙක් ඉන්නවා. එයා දැන් බැඳල වෙන පළාතක ජීවත් වෙනවා. එයාල මෙහේ ඉන්නේ නෑ. මේ ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ඕනැම භෝගයක් වැවෙනවා. ඉඩකඩම් වලට නඩු හබ නෑ. වතුර තියෙනවා වනේ සතා සිව්පාවා පවා මගේ මිතුරො. මේ ගමේ ජීවත් වෙන්න ලැබිම හරිම වාසනාවක් මටවත් හිතාගන්න බෑ මිනිස්සු ඇයි මේ ගම දාල ගියේ කියල. මාසයකට වරක් ලු‍ණු ටිකක් භුමිතෙල් ටිකක් ගේන්න තමයි මම පහළට යන්නේ.” ඒ අපූරු මිනිසා පැවැසුවේ වේදනාත්මකවයි.සැබැවින්ම ඇයි මිනිසුනේ මේ ගම දාල ගියේ. අතීත මානවයන් සිය ජනාවාස සාදා ගැනීමේදි තෝරාගත්තේ කදුමුදුන් වල ජල මුලාශ්‍ර තිබෙන ස්ථානයි.

එකී ජල මුලාශ්‍රයන් නොසිඳෙන පොකුණු තවමත් කාලයේ වැලිතලාවෙන් සැඟවුණ ගමට ජීවය සපයයි. කඳු මුදුනේ පුරන්වුණු වෙල්යායන් අතඇරි ගිය පොල්වතු කොස් දෙල් සහිත ඉඩකඩම් මේ සියල්ලන්ගෙන්ම සශ්‍රීකත්වයක් මේ ගමට ලබා දෙන්න ඇතැයි මනාව පසක් වෙයි.ගල්බොක්කයායේ ගමේ අවසන් වරට විසූ වෙදමහත්මා ඩි.එච්.මුදලිහාමි (93) අද රෝගී තත්ත්වයෙන් පසුවන නිසා ඔහු එක් තැන් වි සිටින්නේ සංඛපාල සිය පුතුණුවන්ගේ නිවසේහිය. සිය ගමෙහි අතීතය පිළිබඳව ඔහු සඳහන් කළේ මෙලෙසිනි .“මම අවුරුදු 65ක් ම ජීවත් වුණේ ගල්බොක්කයාය මගේ උපන් ගමේ. මගේ පොඩි කාලේ ගෙවල් හැට පහක් තිබුණා. ගමේ ගෙවල් 366ක් තිබුණා කියල අපේ ආතා අපිට කියල තියනවා. ආතගේ ආතලත් ඒ ගමේමයි. අපිට මතක කාලෙ ගමේ තිබුන ගෙපල් ටික ගණන් කළා. අපිට ගෙවල් 320ක ගෙපල් ගණන් කරන්න පුළුවන් වුණා. ගමේ ළමයි කීප දෙනෙක් කන්ද එහා පැත්තේ තිබුණ උල්පත ඉස්කෝලේට ගියා .මිනිස්සු කන්ද උඩ ගෙවල් හදාගෙන ගොවිතැන් කරන්න සංඛපාල තිත්තවැල්පත කොළඹගෙආර පැති වලට ආව උදේට පහළට ඇවිත් හවස ට කදු මුදුනේ තිබුණ අපේ ගෙවල්වලට ගියා ඒ කාලේ මේ සංඛපාල පැත්තෙවත් වෙන ගෙවල් නෑ අපි හේන්වලට හදාපු වාඩි තිබුණේ. එහෙම හේන් කොටන්න පහළට ඇවිත් තමයි ගම තනිවුණේ. මම 1952 තමයි පහළට ආවේ. ඒ කාලේ ඔයකන්ද උඩ අපේ වසමට යන්න ගම්සභා පාරකුත් තිබුණා. අපේ ගමේ නඩු ශාලාවකුත් තිබුණා. මට මතකයි සුද්දයි මඩුවන්වල දිසාවෙයි අශ්වයා පිටේ ඇවිදින් මේ නඩු ශාලාවේ නඩු අහනවා ලෙඩක් දුකක් හැදුණත් පහළට යන්න අවශ්‍ය වුණේ නෑ. ගමේ වෙදගෙදරට ආව හුනියමක් තනිකම් දෝසයක් වුණොත් සිරිබෝහාමි කට්ටඩි අයියගේ ගෙදරට ගියා. සර්පයෙක් දෂ්ට කළොත් අපේ ගෙදරට ආව. සුළු ආරවුලක් වුණොත් සිගාමුනුගේ දියෝනිස්හාමි ආරච්චි මහත්තයාගේ ගෙදරට ගියා මේ ඔක්කොම මේ ගමේ තිබුණා ඔහු කීවේය.

ඔහු ගමෙහි අතීතය පිළිබඳව සිහිකළේ මෙලෙසිනි. “මේ ගම කොයිතරම් පරණද කියල මට කියන්න අමාරුයි දුටුගැමුණු රජතුමාගේ ඵුස්සදේව යෝධයාගේ ඥාති පරපුරත් අපේ ගමේමයි කියල අපේ වැඩිහිටි අය කියනවා මට ඇහිල තියනවා . සංඛපාල නින්දගම ඵුස්සදේව යෝධයට දෙන කොට අපේ ගමට ආසන්න අක්කර 30කුත් එකතු වෙලා තියනවා. අපි පුංචි කාලේ තිබුණ පොල්ගස් වලින් හිතාගන්න පුළු‍වන් ගම කොයි තරම් පරණද කියල ආකාසයෙන් බාගයක් කරටි නැමුණ පොල් ගස් තිබුණා .අපි පුංචි කාලේ අපේ මුතුන් මිත්තන් වවල තිබුණ කොස් බෙන ඇතුළේ වැලිබත් උයාගෙන කෑවා මතකයි. ඒ තරම්ම ගමේ අතීතයක් තිබුණා තවමත් කාගෙවත් අවධානය යොමු නොවුණ පහන් වැටිගල කියන ගරාවැටුණ විහාරය තිබුණේත් මේ කන්ද මුඳුනෙමයි ඒ විහාරය කොයි කාලේ හැදුව එකක් ද කියල අපි දන්නේ නැ . අපි පුංචි කාලේ බඩු මුට්ටු ගන්න කොළඹගෙආර පොළට ආවේ ගමේ නඬේ එක්කමයි .පාන්දර හතරට කලින් කෙසෙල් කන් එළවළු මලු‍ අරගෙන සැතපුම් ගල ළඟට අපි හැමෝම එකතු වෙනවා එතන තේ කඩයකුත් අපිට කලින් තිබිල තියනවා .සැතපුම් ගලට අපි හැමෝම එකතු වුණාම පන්දම් පත්තුකරගෙන පොලිමට පොළට එනවා. පොළට අපි ගෙනාව බඩු දීල මාසයකට සතියකට ඕනැ කරන ආම්පන්නත් අරගෙන ආයෙත් කණ්ඩායම සැතපුම් ගල ළඟට ඇවිත් එතන තිබුණ දියපිල්ලෙන් නාගෙන දවල්ට කෑමත් කාල තමයි අපේ ගෙවල්වලට යන්නේ “පාරම්පරිකව සිය ජන්ම භුමිය කරගෙන ගල්බොක්කයාය වසමේ විසූ සියලු‍ම දෙනාට පාරම්පරික නිජභුමි උරුමය නිත්‍යානුකූලවම හිමි වි තිබේ. ගම අතහැර මීට වසර පනහකට පමණ එපිටදි පහළට පැමිණියත් සිය ඥාති පරපුරේ උරුමය රැඳී සියලු‍ම නිත්‍යානුකූල ලිපි ලේඛන දෙමටහැත්තගේ ජයවර්ධන (85) සතුව ඇත ඔහු සිය ගම්පළාත පිළිබඳව කතා කළේ නිත්‍යානුකූල ලිපි ගොනු තෝම්බුද අප හමුවේ දිගඅරිමිනි.“ගල්බොක්ක යාය වසමේ දැන් ඉන්නේ එක්කෙනයි .එදා ගෙවල් 366 ක් තිබුණ කියල පැහැදිලි සාක්ෂි තියනවා.

අනුරාධපුර රාජධානියේ ඉඳලම ජනතාව ගල්බොක්කයාය ගමේ ඉදල තියනවා .මහත්තයල හොයල බලනවනම් මේ කඳු මුඳුන් උඩ ප්‍රාග් ඓතිහාසික අපේ මානවයොත් හිටිය කියල සාක්ෂි හොයා ගන්න පුළුවන් වෙයි. මේ අවට පුරා විද්‍යා කෑනීම් කළත් ඔය කඳුවල ඒ කිසි දෙයක් කරල නෑනේ. කඳුමුදුනේ තාමත් හිඳෙන්නේ නැති දිය දහරාවන් පොකුණු තියනවා මහත්තයල දකින්න ඇති. ඒ නිසාම තමයි අපේ මුතුන් මිත්තෝ ජීවත් වෙන්න ඔය කදු මුඳුන් තෝරාගෙන තියෙන්නේ අපි පුංචි කාලේ ගම අදට වඩා හරිම ලස්සනයි ගොඩමඩ ගොවිතැන දෙකම කඳු මුඳුනේ සිද්ධ වුණා. කන්ද වටේට තමයි ගම්මානය විහිදිලා තිබුණේ. අපේ ආතාල පොඩි කාලේ ගමේ දාහකට වඩා ජනතාවක් ඉඳල තියනවා. අද තමයි ගම වල් බිහිවෙලා තියෙන්නේ. එදා පුස්සදේව මහා රහතන් වහන්සේ සංඛපාල විහාරස්ථානයේ ඉන්න කාලේ ගල්බොක්කයාය ගමේ අය තමයි ඇවිත් ඇප උපස්ථාන කරල තියෙන්නේ. කාලයකින් පසුව ගමේ ජනශූන්‍ය වුණාට පසුව යළි පවුල් දෙකක් ඇවිත් මේ ගම්මානයේ පරම්පරාව ඇති කරල තියනවා. මගේ තාත්තාගේ තාත්තගේ නම දෙමටහැත්තගේ හිංහාමි. එයාගෙත් තාත්තගේ නම එළඳහාමි. එයත් ගල්බොක්කයායේම උපන් කෙනෙක්. මගේ අම්ම දෙමට ඇත්තගේ හිංඑතනා. ඉංග්‍රීසින්ට රට යටත් වුණාට පස්සෙ 1870 හතර වැනි ආඥාව යටතේ පංගු ක්‍රමයකටත් අපේ ඉඩම් අයිතිය තහවුරු වෙලා තියනවා ඒ ලේඛනත් මා ළග තියනවා .1936 අබේකෝන් ඉඩම් කොමසාරිස් තුමා කොමසාරිස් විභාගයත් තියලත් මේ ඉඩම්වල අයිතිය අපට තහවුරු කරල තියනවා. කඳුමුදුනේ හිටිය අපට ඉඩම් අයිතිය උරුම වුණත් අපේ නිජබිම දාල අපි පහළට ආවා. ඒ ගමේ අපි ගෙවපු කුඩා කාලය හරිම සුන්දරයි. ඒත් ඒ සුන්දර අතීතය අපේ ජීවිත කාලයේ ආයෙත් උදාවෙන්නේ නෑ. එක මිනිහෙක් හරි තාමත් ගමේ ඉන්නවා කියල දැනගන්න ලැබිම හරිම සතුටක්. ලෝකයේ කවුරුත් දැනගෙන හිටියේ නෑ.” ජයවර්ධන මහතා සිය ලිපිලේඛන අප හමුවේ තබමින් පැවසීය.කාලයේ වැලිතලාවෙන් වැසී ගිය අතීතයේ මතකයන් මේ ගම්තුලානේ තවමත් පවති .කදුකරයක් මුඳුනේ තිබෙන මෙකි සොඳුරු ගම දැක බලාගෙන අප්පුහාමි මාමාගෙ නිවසේ රැයක් ගත කර කන්ද උඩ පොකුණෙන් දිය පහස නිවාගෙන පරිසරය විඳගැනීමට අවකාශ ඕනෑම අයෙකුට තිබෙන්නා සේම ගල්පොතු වල පවා භෝග හටගන්නා මේ කඳුකර ගම වගා කිරීමට හෝ මෙහි පදිංචි වීමට ඉඩහසර තිබේ. ඒ වෙනුවෙන් සිය නීත්‍යනුකූල ඉඩකඩම් නොමිලේ ලබා දීමටත් මෙගම හැර ගිය ඉඩම් හිමියෝ කැමැත්තෙන් සිටිති. ගමන දුෂ්කරයි එහෙත් දුෂ්කරතාව තුළ සැඟවි තිබෙන සුන්දරතාව පැමිණ විදිය යුතුම දෙයකි .පරිසර හා පුරා විද්‍යා ඇස යොමු විය යුතු තැන් බොහෝය. සංචාරක ආකර්ෂණය යොමු කළ හැකි තැන් බොහෝය. අතීත ගම යළි ගල්බොක්කයායේ නිර්මාණය වනු දැකීම සිය එක ම සිහිනය බව පැවැසුවේ දිවා රෑ දෙකෙහි මේ ගම ආරක්ෂා කරන අප්පුහාමි මාමයි.