Naifmvlog

Naifm vlog Gossip and News

කම්මලේදී තැළෙන අසරණ ජීවිත

මෙරට මුල්ම කර්මාන්තය ලෙස සැලකෙන කම්මල් කර්මාන්තයේ ඉතිහාසය වසර තිස්අට දහසක් තරම් පැරණිය. මහා සම්මත මනු රජ දවස යුදමය කටයුතු සඳහා අවි ආයුධ තැනීම මූලික කරගෙන මෙම කර්මාන්තය ආරම්භ වූ බව සැලකේ.‘වෛජයන්ත් රසය තන්ක්සරය’ නමැති ග්‍රන්ථයේ මෙරට තුළ ඇති අවි ආයුධ තැනීමේ කර්මාන්තය පිළිබඳව ඓතිහාසික තොරතුරු බොහොමයක් සඳහන්ව ඇත. එහි සඳහන් තොරතුරුවලට අනුව මහනුවර, මාතලේ, අටකලම්පන්න හා රුහුණ යන ප්‍රදේශවල මුලින්ම මෙම කර්මාන්තය ආරම්භ වී ඇත. යුධමය වාතාවරණයක් පැවැති අවස්ථාවල යුද්ධය සඳහා අවශ්‍ය කරන සියලු ආයුධ තැනීම මෙන්ම, සාමාන්‍ය අවස්ථාවල දී කෘෂි උපකරණ සහ අවශ්‍ය කරන ගෘහ උපකරණ තැනීම ද කම්මල්කරුවන් විසින් කරගෙන ගොස් ඇත.මෙරට ආරම්භ වූ මුල්ම කර්මාන්තය ලෙස කම්මල් කර්මාන්තය මේ වන විට අභාවය කරා යමින් පවතී. කලකට පෙර හැම ගමකම අඩුම ගණනේ එක් කම්මල්ලක් හෝ කම්මල් කිහිපයක් දක්නට ලැබුණි. නමුත් අද වන විට ගම්මාන දහයකටවත් එක කම්මලක් දැකගත නොහැකි තරම් ය. මේ රටේ අද වන විට සිටින්නේ පාරම්පරික කම්මල්කරුවන් ඉතා සුළු පිරිසකි. යන්ත්‍රානුසාරයෙන් නිපදවන නවීන උපකරණ වෙළෙඳපොළ ආක්‍රමණය කර තිබීමත්, අමුද්‍රව්‍ය සොයාගැනීමට ඇති දැඩි දුෂ්කරතාවත් නිසා ඔවුහුද මෙම සාම්ප්‍රදායික කර්මාන්තය අතහැර වෙනත් ජීවන වෘත්තීන් කෙරෙහි යොමුවෙමින් සිටිති.වසර 42 ක කාලයක් කම්මල් කර්මාන්තයේ නිරතව සිට අදටත් එම කර්මාන්තය රැකගන්නට වෙහෙසෙන ගාල්ල, උඩුගම නගරයේ කම්මලක් පවත්වාගෙන යනු ලබන දෙදරු පියකු වන උඩුගම, කඩවීදියේ පදිංචි කේ.එල්.ඒ. සරත් මහතා මෙසේ කීය.මම වසර 42 ක කාලයක සිට කම්මල් කර්මාන්තය කරගෙන යනවා.

මගේ තාත්තා වගේම මගේ සීයත් කම්මල් රස්සාව කරගෙන ගියා. මෑතක් වන තුරු තිදෙනෙකු මගේ කම්මලේ වැඩ කළා. ප්‍රමාණවත් ආදායමක් නොමැති නිසා එයින් දෙදෙනෙකු ඉවත් කරන්නට මට සිදුවුණා.අපි කම්මලේ හදන හැම උපකරණයක්ම දැන් නවීන යන්ත්‍ර උපයෝගී කරගෙන නිපදවෙනවා. ඒවා චීනය ඇතුළු බොහෝ රටවලින් මෙරටට ආනයනය කර අඩු මුදලකට පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙනවා. ඒවායේ තිබෙන ආකර්ෂණීය පෙනුමට අපේ අය රැවටිලා ඒවා මිලදී ගන්නවා. විදේශ රටවලින් ආනයනය කර වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පිහියා ඇතුළු බොහෝ උපකරණවල ප්‍රමිතියක් නැහැ. අපි නිපදවන උපකරණ වගේ ඒවා බොහෝ කාලයක් භාවිත කරන්නත් බැහැ. වෙළෙඳපොළේ අලෙවියට තබා තිබෙන පිහි වැනි උපකරණවල මුවහත ඉතා කෙටි කාලයකින් නැතිවී යනවා. එවිට ඒවා මුවහත් කරගන්න අපි ළඟට අරගෙන එනවා. ඒවා මුවහත් කිරීමට තළන විට චීනච්චට්ටි මිශ්‍ර නිසා ඒවා කුඩුවෙලා යනවා.අපි වැඩිපුරම බඩු නිෂ්පාදනය කරන්නේ වාහනවලින් ඉවත් කරන කැඩුණු දුනුකොළ උපයෝගී කරගෙනයි. එයිනුත් කාර්, වෑන්, ලොරි සහ කැන්ටර් ඉවත්කෙරෙන දුනුකොළ පමණයි අපිට ප්‍රයෝජනයට ගත හැකිවන්නේ.දුනුකොළ සොයාගැනීමට නොහැකිකම මෙම කර්මාන්තයේ නිරත සියලු දෙනාටම විශාල ගැටලුවක්ව පවතිනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නම් කැඩුණු දුනුකොළ ඕනතරම් තිබෙනවා. කම්මල් වැඩට ඒ දුනුකොළ හොඳට ගැළපෙනවා. රජයේ වගකිවයුතු නිලධාරීන් මැදිහත් වී එම දුනුකොළ සාධාරණ මුදලකට කම්මල්කරුවන්ට ලබාදෙන්නට කටයුතු කරනවා නම් එය ඉතා වටිනවා.මම වැඩිපුරම තේ කප්පාදු කරන කපන පිහි, මල්කපන පිහි, මේස පිහි, කැති, පොරෝ, අලවංගු ආදීය වැඩිපුර නිෂ්පාදනය කරනවා. මල් මදින පිහියක් රුපියල් 1800කට අලෙවි කරනවා. දවසකට මල් මදින පිහි දෙකක් හදන්න පුළුවන්.

අපි හදන බඩු වලින් මල් කපන පිහි සහ තේ කපන පිහි විශේෂයි. අපි හදලා දෙන මල් කපන පිහියකින් දක්ෂ මල් මදින්නො රුපියල් ලක්ෂයකට වඩා හම්බකරපු ආකාරය අපටත් ඇවිත් කියලා තියෙනවා. තේ කප්පාදු කරන පිහි සහ කටුපොල් කපන පිහි හැමෝටම හදන්න බැහැ. නියම ක්‍රමවේදයකට අනුව ඒය කළ යුතුයි. පන්නරය තැබීමත් ඒ අනුවම කළ යුතුයි.මම කම්මල් කර්මාන්තය කරන්න පටන් අරගෙන වසර 21 ක් වෙනවා. මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. මම වැඩිපුරම හදන්නේ මේස පිහි, මාළු කපන පිහි, මට්ටම් කපන පිහි ආදීය යි. ඉස්සරනම් උදලු සහ අලවංගු පවා හැදුවා. අපි හදන හැම බඩුවක්ම අද වෙන විට වෙළෙඳ පොළේ විකුණන්න තිබෙනවා. වෙළෙඳ පොළේ තියෙන යන්ත්‍රානුසාරයෙන් නිපදවා ඇති එම බඩු අපේ බඩු වල මිල ගණන් වලට වඩා බොහෝ අඩුයි. නමුත් එම බඩුවලින් වැඩි කාලයක් වැඩ ගන්න බැහැ. ඉස්සර අපි හදන තරමක් බඩු විකුණුනා. දැන් බඩු හදලා ඒවා විකුණන්න බැරුව මාස ගණන් බලා ඉන්න අපට සිදුවෙලා.රජ කාලයේ පටන්ම මේ දක්වාම පැවත එන එකම කර්මාන්තය ලෙස කම්මල් කර්මාන්තය හැඳින්විය හැකියි. මුල් කාලයේ කම්මලට කියලා තියෙන්නේ කිණිහිරිය කියලා. කම්මල්වල වැඩ කරන කොට එ්කේ ශබ්දය කිලෝමීටරයක් තරම් ඈතට ඇසුණා. ඉස්සර කාලේ බොහෝ දෙනා එම හඬ ඔස්සේ ඇවිල්ලා තමයි කම්මල හොයාගෙන බඩු හදාගෙන ගියේ.අපි මේ කර්මාන්තය ආරම්භ කරන කාලයේ කරගන්න බැරි තරමට වැඩ තිබුණා. එකල කම්මල් කර්මාන්තය කරල හොඳ ආදායමක් ද ලබාගත්තා. ඒ කාලේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන සියලු උපකරණ හැදුණේ ගමේ කම්මලේ.

ඒ කාලයේ යුද්ධ කරන්න අවශ්‍ය කඩු, දුනු, ඊතල, හෙල්ල පවා හැදුණේ කම්මලේ.අපි කම්මල් කර්මාන්තය සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ වාහනවලින් ඉවත් කරන කැඩුණු දුනුකොළයි. ඒවා දැන් හොයාගන්න ඇත්තේ නැහැ. මෙතෙක් කලක් අපි මේවා සොයාගෙන ආවේ ගාල්ල, මාතර සහ වැලිගම යන නගරවල ගිහිල්ලා පරණ යකඩ එකතු කරන කඩවලිනුයි. යකඩ රත් කරන්න ගන්න පොල්කටු අඟුරු සොයාගැනීම පවා අති දුෂ්කරයි. පොල්කටු අඟුරු කිලෝවක් රුපියල් අසූවක් පමණ වෙනවා. වාහනවලින් ගමට එන පිරිස් පොල් කටු මිලදී ගෙන යාම නිසා පොල්කටු සොයාගන්න ඇත්තේ නැහැ.මම වසර 13ක කාලයක් ලංගම කාර්මික ශිල්පියෙකු ලෙස වැඩකළා. කම්මල් කර්මාන්තයට කුඩා කළ පටන් ම තිබූ ආසාව නිසා ඉන් ඉවත් වී මගේම කම්මලක් කරන්න පටන්ගත්තා. මේ වන විට කම්මල් කර්මාන්තයට යොමු වී වසර 18ක් වෙනවා. මම දැන් කාටවත් අත නොපා දරුවන් තුන්දෙනෙකු බලාගෙන හොඳින් ජීවිතය ගෙනියනවා. හැබැයි මගෙන් පස්සෙ නම් මේ කර්මාන්තය කරගෙන යන්න කෙනෙක් ඇත්තේ නැහැ. මට ඉන්න එකම පුතා මේකට කැමති නැහැ. අනාදිමත් කාලයක සිට පැවත එන කම්මල් කර්මාන්තය දැන් හොඳටම අභාවය කරා ගිහිල්ලා. කිසිම තරුණයෙක් මේ කර්මාන්තයට යොමු වෙන්න කැමති නැහැ.මුල් කාලයේ විල් අරටු සහ ගල්අඟුරු යකඩ රත් කරන්න යොදා ගත්තා. දැන් පොල්කටු අඟුරු යොදා ගන්නවා. පොල්කටු අඟුරු සකස්කර ගැනීමට පොල්කටු සොයා ගැනීමත් දැන් ලේසි නැහැ. ගෙයක් ගෙයක් ගානේ යමින් පොල්කටු එකතු කරගෙන යන පිරිස් නිසා අපේ කර්මාන්තයට අවශ්‍ය කරන පොල්කටු සොයා ගැනීමටත් අපහසු කාර්යයක් වෙලා.අපි ළඟට ඇවිල්ලා බොහෝ දෙනා හදා ගෙන යන්නේ කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය උපකරණ සහ ගෘහස්ත කටයුතු සඳහා අවශ්‍ය උපකරණ. වැඩිපුරම පිහි වර්ග හැදීම, කැති, පොරෝ සහ අලවංගු ආදීය මුවහත් කිරීම මා කරගෙන යනවා. කලකට පෙර රුපියල් 200 ට අලෙවි කළ පිහියකට දැන් රුපියල් 400 ක් වත් ගන්න ඕන. අමුද්‍රව්‍ය සොයා ගත නොහැකි වීමෙත්, ඒවායේ මිල ගණන් ආදීය ලෙස ඉහළයාමත් කම්මල් කර්මාන්තය සඳහා භාවිත කරන සියලුම උපකරණවල මිල ගණන් ඉහළයාමත් අපට දරාගන්න බැහැ.