Naifmvlog

Naifm vlog Gossip and News

පුරන් වූ කුඹුර අස්වැද්දූ පාසල් සිසුවෝ රටටම ආදර්ශයක්

මෙරට පාරම්පරික ගොවිතැනට වසර දහස් ගණනාවක ඉතිහාසයක් ඇත. එය ගොවිතැනක්මෙන්ම ගොවි සංස්කෘතියක් ද විය. මෙම පාරම්පරික ගොවිතැන් පද්ධතිය නියමාකාරව අවබෝධ කර ගැනීමට නම් එය අනුගමනය කළ යම් යම් මූලධර්ම තේරුම් ගැනීම , ඒවා විශ්ලේෂණාත්මකව බැලීම ප‍්‍රයෝජනවත් විය හැක.මෑත කාලයේ බොහෝ දෙනෙකු කතාකරන ”පාරිසරික ගොවිතැන” ,”තිරසර ගොවිතැන” , ”ප‍්‍රති උත්පාදනගොවිතැන” ආදී නම් වලින් හඳුන්වන ගෙවිතැන් ක‍්‍රම අනුගමනය කරන්නේද එම පාරම්පරික ගොවිතැනේ යම් යම් අංග ලක්ෂණයන්ය. බොහෝ විද්වතුන් වර්තමානයේ විවිධ නම් වලින් හඳුන්වන ඉහත කී ගොවිතැන් ක‍්‍රම පාරම්පරික ගොවිතැනේ සහ ස්වාභාවික පරිසර පද්ධතිය වල මූලධර්ම වල සංයෝජනයක් , මිශ‍්‍රණයක් හෝ සංකලනයක් ලෙස හඳුනාගෙන ඇත.

1868 නාවලපිටිය ලූල්කඳුර වත්තේ පළමු තේ පැළය සිටුවීමත් සමඟ ශ‍්‍රී ලංකාවේ ජනතාවට එතෙක් උරුමව තිබූ පාරම්පරික ගොවිතැනට මුල් වරට බලපෑමක් ඇති කළේය. එතෙක් තිබූ ස්වයංපෝෂිත ආර්ථික සංස්කෘතිය වෙනුවට තනි බෝග වගාව හා අපනයන කෘෂිකර්මයට මඟ පෑදුනි. අපනයන බෝග වගා කළ සීමිත ප‍්‍රදේශයක මෙම තත්ත්වය දක්නට තිබුනත් 1960 ගණන් අවසානයේ පමණ හඳුන්වා දුන් ”හරිත විප්ලව” තාක්ෂණය හා එම තාක්ෂණ කට්ටලයත් , 1977 න් පසුව කැඳවාගත් විවෘත ආර්ථිකයත් , අපේ පාරම්පරික ගොවිතැන සමස්ත වශයෙන් මුලිනුපුටාදැමීමට සමත් විය. පාරම්පරික ගොවිතැන ප‍්‍රාථමික , ඵලදායි නොවන දෙයක් ලෙස, එම භාවිතයන්දුර්භික්‍ෂයකට ඇද දමන ගොවිතැන් ක‍්‍රමයක් බවත් හඳුන්වා දීමට ඔවුහු සමත් වූහ.

ඇල්පිටිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් කරන්දෙණිය බන්දුල සේනාධීර මහ විදුහලේ උසස් පෙළ හදාරන සිසුන් පිරිසක් විසින් අවුරුදු 25ක් තිස්සේ පුරන්ව ගිය විදුහල් භූමියට අයත් කුඹුරක් පසුගියදා අස්වද්දන ලදි. පැරණි සංස්කෘතික අංග සමඟ පසුගියදා (6) අස්වැන්න නෙළීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි. හෙළ සිරිතට අනුව ආගමික චාරිත්‍රවලින් අනතුරුව පැරණි ආකාරයට ශ්‍රමය උපයෝගී කරගෙන ගොයම් පයින් පෑගීමෙන්ම වී ලබා ගැනීම සිදුකරන ලදි. මෙම කුඹුර අස්වැද්දීමේ කටයුතු නවීන වගා ක්‍රමයක් වන පැරෂුට් ක්‍රමය යටතේ සිදුකළ අතර මෙම ක්‍රමය යටතේ සාමාන්‍ය ආකාරයට ලැබෙන අස්වැන්නට වඩා දෙගුණයක් අස්වැන්න ලබා ගැනීමට හැකිවූ බව මේ අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්වරු පවසති. මෙහිදී ගෙවිලියන් ඇඹුල රැගෙන පැමිණි අතර එය බෙදාදීම් සිදු කිරීම කරන ලදි.