Naifmvlog

Naifm vlog Gossip and News

පිස්‌සු සාදන ඊයම් ලෝහය ගැන ඔබ දැනුවත්ද

රෝ මය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරමින් සිටි බව ලෝක ඉතිහාසයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ කතාවකි. මෙතරම් ආපදාවක්‌ වෙද්දී ඔහු සතුටු වන්නේ කෙලෙසද යන්න ගැටලුවක්‌ නොවේද? ඔහු සිහි බුද්ධියෙන් සිටියා විය නොහැක. යම්කිසි මානසික ව්‍යාකුලතාවක්‌ තිබුණා විය හැක. රෝම ඉතිහාසයේ භූ සම්පත් භාවිතය සලකා බැලීමේදී මේ හා සැසඳෙන අපූරු ඛනිජයක්‌ ගැන සඳහන් වන බව අපට පෙනී යයි. ඒ වෙන කිසිවක්‌ නොව අධික ලෙස ඊයම් ලෝහය භාවිත කිරීමයි. රෝමානුවන් ඊයම් ලෝහය භාවිත කරන ලද්දේ ජලාපවහන කටයුතු සඳහා වන අතර ඊයම් වලින් සාදන ලද -ඊයම් සීනි, වයින් රස ගන්වන්නට භාවිත කළ බව සඳහන් වේ. ඊයම් යනු විවිධ ඇනායන හා සම්බන්ධ වූ සංයෝගයක්‌ ලෙස සොබාවික පරිසරයේ මුණගැහෙන ඛනිජයකි. ගැලීනා (galeena) ලෙස හඳුන්වන්නේ ඊයම් සල්µයිඩයයි.

ඊයම් සල්ෆෙටය ද ඊයම් කබෝනේටය ද සොබාවික පරිසරයේ දක්‌නට ලැබෙන අතර ඊයම් උකහා ගැනීම සඳහා වැඩිපුරම ලොව භාවිත කරන ඊයම් ඛනිජය වන්නේ ගැලීනා ඛනිජයයි.ඊයම් යනු බැර ලෝහ ගණයට වැටෙන ලෝහයකි. බැර ලෝහ සොබාවික පරිසරයේ දක්‌නට ලැබුණ ද ශරීරගත වීම සෞඛ්‍යමය ගැටලු ඇතිකරන මූලද්‍රව්‍ය වෙයි. ඊයම් ශරීරගත නොවිය යුතු ලෝහයක්‌ ලෙස හඳුනාගෙන ඇත. ඒ මන්ද යත් එමගින් මිනිසාගේ ස්‌නායු පද්ධතියට හානි සිදුකරන බැවිනි. ඊයම් ශරීරගත වීම එනිසා යම් කිසි ආකාරයකට මිනිසාගේ මනස විකෘති කරන්නට හැකියාවක්‌ ඇති බව පැහැදිලි වේ.ස්‌වභාවික පරිසරයේ ඊයම් ඉහත කී ඛනිජ ලෙස පවතින අතර අවසාදිත ගොනු අතර නිධිගත වීමේ සම්භාවිතාවක්‌ ඇත. එනමුත් ප්‍රාථමිකව ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණ සමග බිහිවන අතර ඒවායේ ජිර්ණය සහ ඛාදනය අවසදිතකරණය සඳහා හේතුවෙයි. අඩු උෂ්ණත්වයකදී පහසුවෙන් උණුවන ඛනිජයකි. එනිසා ඉතා පහසුවෙන් උකහා ගැනීමේ හැකියාව ඇත. සොබාවික පරිසරයේ පවතින අනෙකුත් රසායනයන් සමග ප්‍රතික්‍රියා කර වෙනත් ඊයම් ඛනිජ බවට පත් වීමේ හැකියාව පවතී. ජීර්ණ ප්‍රතික්‍රියා මඟින් ඊයම් සල්ෆෙටය සහ ඊයම් කාබෝනේටය බවට ද පත් වෙයි. එම සඳහා කිසියම් ආකාරයකට ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ද බලපාන බව සඳහන් වෙයි.ඊයම් පතල් පිළිබඳ පැරණි තොරතුරු යකඩ යුගයේ සිටම සඳහන් වනමුත් බහුල භාවිතය සිදුවන්නේ 17 වැනි සහ 18 වැනි සියවස්‌ වලදී මෙන්ම ඊට පෙර කල රෝමානුවන් විසින් ද බව ඉතිහාසයේ සඳහන් වෙයි. 19 වැනි සියවසේදී ද ඊයම් බහුල භාවිතය පිළිබඳව සඳහන් වේ.

ඊජිප්තු වැසියන් ඊයම් අංජන සාදා ගැනීම සඳහා භාවිත කර ඇත.වර්තමානයේදී ඊයම් භාවිත වන්නේ වෙඩි උණ්‌ඩ නිෂ්පාදනයට, බැටරි නිෂ්පාදනයට වාගේම විවිධ පයිප්ප වර්ග නිෂ්පාදනයට ද යොදා ගැනේ. ඊයම් තරමක්‌ වැඩි බරකින් යුක්‌ත නිසා බෝට්‌ටු සහ නැව්වල බර තුලනය සඳහා -තුලන බෝල (ballast) නිෂ්පාදනය සඳහා ද යොදා ගනී. ඒ වාගේම බරක්‌ අවැසි කිමිදුම් කරුවන්ගේ බඳපටි සඳහා ද භාවිත කරයි. ඊයම් ලෝහය ඉතා අඩුවෙන් ජීර්ණයට ලක්‌වෙන නිසා ගැඹුරු ජලයේ/මුහුදේ භාවිත කරන විදුලි කේබල ආවරණයට ද යොදා ගනි. තීන්ත නිෂ්පාදනයේදී ද ඊයම් අංශු යොදා ගනී.ඊයම් අංශු ඉතා පහසුවෙන් වායුගෝලයට මුක්‌ත වීමේ හැකියාව ඇත. එනිසා දූවිලි අංශු සමග බැඳෙන ඊයම් අංශු ඉතා පහසුවෙන් මිනිසාගේ ශ්වසන පද්ධතිය ඔස්‌සේ දේහගත වීමේ හැකියාව ඇත. එමෙන්ම ජලයට ද පසට ද පමණක්‌ නොව ජෛව ගෝලයට ඇතුළු වීමේ හැකියාව ද ඇත. බොහෝ විට පොසිල ඉන්ධන භාවිතය නිසා ද කර්මාන්ත නිසා ද ඊයම් වායුගෝලගත වීම පහසුවෙන් සිදුවේ. ඊයම් යනු ජෛව සංචායනය විය හැකි බැර ලෝහයකි. එනිසා කුඩා ප්‍රමාණවලින් පවා එකතු වීම දිනෙක ප්‍රබල ලෙස බලපාන ගැටලු ඇති කරන්නට හේතුවෙයි.ලොව වැඩිපුරම ඊයම් නිෂ්පාදනය කරන රටවල් වන්නේ චීනය, රුසියාව ඇමෙරිකා එක්‌සත් ජනපදය, පේරු රාජ්‍යය, මෙක්‌සිකෝව ඉන්දියාව යනාදී රටවල් වෙයි.