Naifmvlog

Naifm vlog Gossip and News

රට හෙල්ලූ මාතර කුරුඳු රජා

ව්‍යාපාරික ලෝකයේ මාතරට ඇත්තේ සුවිශේෂී නමකි. ඒ ජාතික හා අන්තර්ජාතික වශයෙන් නමක් දිනූ ව්‍යාපාරිකයින් රැසක් මාතරින් බිහිවීම නිසා ය. මේ නම් අතර පියතිස්ස රූණගේ නමද මුල් තැනකට පත්ව ඇත. මාතර කුරුඳු සුවඳ ලොවට බෙදූ කුරුඳු රජු ලෙසින් හැඳින්වෙන පියතිස්ස රූණගේ ව්‍යාපාරික ලෝකය ජයගෙන ජීවිතයෙන් සමුගැනීම දක්වා ආ මඟ කටුක මෙන්ම සුන්දර වූවකි.මාතර කඹුරුපිටියේ උපත ලද පියතිස්ස රුහුණගේ දරුවන් සයදෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නාය. කුඩාපාත කනිටු විදුහලෙන් හා මාකඳුර මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු සපුගොඩ විද්‍යානිකේතන පිරිවෙනින් සාමාන්‍ය පෙළ හැදෑරීය. පසුව දෙයියන්දර මහ විදුහලෙන් වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඔහු විශිෂ්ට අන්දමින් සමත්විය.අධ්‍යාපන කටයුතුවලින් දස්කම් පෑ පියතිස්ස පාසලෙන් ඉවත් වී තම ව්‍යාපාරයක් පටන්ගන්නේ ඔහුගේ සිහිනයක් සැබෑ කර ගැනීමේ අරමුණිනි. දර කපා අලෙවි කර උපයා ගන්නා රුපියල් හත්දහසක මුදල ඔහුගේ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග් ධනය විය. සුළුවෙන් ආරම්භ කළ ව්‍යාපාරය දකුණේ කුරුඳු ගොවියාට අන්තර්ජාතික පිළිගැනීමක් ලබා දෙන තත්වයට පත්කරණ රූණගේ දකුණු ලක කුරුඳු අන්තර්ජාතික වෙළඳ පොළ යවන එකම ශ්‍රී ලාංකිකයා ලෙස සම්මාන පිට සම්මාන ලබමින් සිටියදී පසුගිය 29 දින ඇමරිකාවේදී අභාවප්‍රාප්ත වූයේ මුළු දකුණු ලකම ශෝකයේ ගිල්වමින්ය.

මියයනවිට හැට දෙවැනි වියේ පසුවූ පියතිස්ස රූණගේ මහතා ව්‍යාපාරික ලෝකයේ කිරුළ පළඳින්නේ සිය ආදරණීය බිරිඳ වූ රන්ජනී සෙනෙවිරත්න (61) මහත්මියගේ සහයෝගයත් සමඟය.“1977 අවුරුද්දේ උසස් පෙළ කරන කාලේ තමයි මහත්තයා හඳුනාගත්තේ. ඒ අතර ආදර සම්බන්ධතාවයක් ඇති වුණා. 1984 දී අපි විවාහ වුණා. 1985 දී තමයි කුරුඳු ව්‍යාපාරය ආරම්භ කළේ. මගේ දෙමාපියන්ගේ අතදීම තුළින් පොඩි මුදලකින් තමයි ඒ ව්‍යාපාරය පටන් ගත්තේ. මහත්තයා දර අලෙවිය තමයි මුළින්ම කළේ. පසුව කුරුඳු වෙළඳාමට එකතු වුණා” දිරියෙන් ගොඩනැගූ ව්‍යාපාරයත් තම ආදරණීය ස්වාමිපුරුෂයාත් පිළිබඳ රන්ජනී මහත්මිය කතාව ආරම්භ කළ ද වසර තිස්පහක් තමා සමග ආදරයෙන් බැඳීසිටි ස්වාමිපුරුෂයාගේ වෙන්වීම දරාගත නොහැකිවූවා ය. දෑසින් කඳුළුබිඳු රූරා වැටෙද්දී මඳක් නිහඬව සිටි රන්ජනී මහත්මිය කඳුළු පිසදමා යළි කතාව ආරම්භ කළාය. “මුලින්ම කොළඹ වීදිවලට කුරුඳු ගිහින් දාල ඉතිරි කරගත් මුදලින් බැංකු ණයකුත් අරගෙන අපේම කියා ලොරියක් මිලදී ගත්තා. 1996 දි තමයි අපේම කියල ඉඩමක් මිලදී ගත්තේ. එදා ඉදල ව්‍යාපාර දියුණු කරමින් ලැබෙන ලාභය යොදාගෙන ඉඩම් ගත්තා. වාහන ගත්තා. අපේම කියලා ගෙයක් හැදුවා. දරුවන් පස්දෙනාටම හොඳට ඉගැන්වූවා. ලොකු පුතාල දෙන්නා මාතර රාහුල විද්‍යාලයටත් දුවලා දෙන්නා මාතර සුජාතා විද්‍යාලයේ හා කොළඹ විශාඛා සහ මියුසියස් විද්‍යාලවලටත් ඇතුළු කර ඉගැන්වූවා.

පොඩි පුතා ඉගෙනගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. පසුව පස්දෙනාම උසස් අධ්‍යාපනයට විදේශ ගත වුණා. පශ්චාත් උපාධි අරගෙන තමයි ඒ අය නැවත ඇවිත් ව්‍යාපාරයට සම්බණ්ධ වුණේ. 2012 පුතාල දෙන්නට ව්‍යාපාරය කරගෙන යන්න භාර දුන්නා”තම ස්වාමිපුරුෂයාගේ සැලසුම්ගත වැඩපිළිවෙළ පිළිබඳ රන්ජනී මහත්මියට ඇත්තේ හොඳ මතකයකි “ අපි 1999 දී තමයි පළවෙනි බඩු තොගය පිටරට යැව්වේ. ඉන් ලොකු ලාභයක් තිබුණා. ඉන්පසු දිගින් දිගටම පිටරටට බඩු යවන්න පටන් ගත්තා. පසුව එය සංවර්ධනය වී රටවල් විසි දෙකකට අපේ කුරඳු යවන්න පුරුදු කර ගත්තා.ඉන් නොනැවතී ගම්මිරිස් තල, කරුංකා, ගොරකා සහ කරාබු නැටි වගේ දේවලුත් පිටරට යවන්න පටන් ගත්තා. ඊට අමතරව කුරුඳු කොළවලින් තෙල් අරගෙන ඒවා රට යැවීම ආරම්භ කළා. ඒවා අදටත් මහා පරිමාණයෙන් කරගෙන යනවා. අපිට දැන් කුරුඳු අක්කර සියයක් තියෙනවා. තේ අක්කර විසි පහක් තිබෙනවා. දැනට අපේ ලඟ සේවකයින් පන්සිය හැත්තෑ පහක් වැඩකරනවා. ඒ සේවක සංඛ්‍යාවෙන් යැපෙන ප්‍රමානය දෙදහස ඉක්මවා සිටිනවා. ඊට අමතරව වක්‍ර රැකියා අවස්ථා දෙදහස් පන්සියයකට අධිකව ගොඩනැගී තිබෙනවා. අවුරුදු තිහ හතලිහක් අපි සමඟ එකට වැඩකරපු සේවක මහත්වරු ඉන්නවා. අපි ඒ අයට ගෙවල් හදාදී වාහනත් ලබා දී තිබෙනවා. ඒ වාගේම හත්තයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා ගම්මිරිස් වලින් හා තල වලින් තෙල්හිඳ ලොකු ආදායමක් ගන්න පුළුවන් කියා. පිටරටින් යන්ත්‍රසූත්‍ර ගෙනැවිත් කුරුඳු වලින් ටොෆි, කේක් 2020 දී හඳන්න තමයි සූදානමින් හිටියේ. ඒ තුළින් සේවක සංඛ්‍යාව දෙදහස දක්වා වැඩිකරන්න බලාපොරොත්තුවෙන් හිටියා.

ඒ අතර තමයි මහත්තයා ලෙඩ වුණේ” රන්ජනී මහත්මියගේ නෙතින් යළිත් කඳළු කඩාහැලෙන්නට පටන්ගත්තාය.දනුෂ් දිලංක රූණගේ (31) පියතිස්සගේ දෙවැනි පුත්‍රයා ය. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දේශීය හා විදේශීය අධ්‍යාපනයක් ලබා ඇති දනුෂ් අද සිය වැඩිමහල් සොයුරු රවිඳු ප්‍රියනාත් රූණගේ සමග එක්වී රූණගේ ව්‍යාපාරයේ පෙරට ගෙනයමින් සිටින්නේ ය. “මගේ පියා ව්‍යාපාර පටන්ගත්තෙ ඉතාමත්ම ප්‍රාථමික අවදියෙන්. 1985 දී තමයි මුලින්ම ව්‍යාපාර වලට පිවිසෙන්නේ. ඊට පෙර හෝටල්වල වේටර්වරයෙක් හැටියටත් වැඩ කරල තියෙනවා. එවැනි දුෂ්කර අතීත එක්ක තමයි මේ ගමන පටන් අරන් තියෙන්නෙ. 1985 දී ඉතාමත් සුළුවට පටන් ගත්ත කුළු බඩු ව්‍යාපාරය අම්මගේ උදවු ඇතිව වෙනත් ස්ථානයක ආරම්භ කළා. 1999 අවුරුද්දේ පළමු බඩු තොගය මෙක්සිකෝවට නැව් ගතකරන්න අපට හැකි වුණා.අද වෙනකොට ලෝකය පුරා රටවල් රැසකට අපි සුළු අපනයන භෝග යවනවා. තාත්තා අපට නිතරම කියපු දෙයක් තමයි ‘‘පුතේ කිසිම දවසක කිසිම වෙලාවක උත්සාහය අත්හරින්න එපා, හැම දේකම අවසානයක් දකින්න කියලා. අවසානය දකිනකල් උත්සාහ කරන්න කියන එක. ඒක තාත්තගෙ චරිතෙ හැම වෙලාවෙම අපි දැක්කා යම් කිසි දෙයක් පටන් ගත්තොත් ඒක අනිවාර්යෙන්ම අවසන් කරල තමයි තාත්තා නවතින්නෙ. මොන බාධක ප්‍රශ්න ආවත්. කරගෙන ආ වැඩේ මඟ නතර කරන්නේ නෑ” දනුෂ් තුළ ඇත්තේ පියා පිළිබඳ ලොකු ආඩම්බරයකි. පියා සමඟ එක්ව වැඩ කිරීමෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එහා ගිය ව්‍යාපාරික ඥානයක් දනුෂ් එක්කරගෙන ඇත.“අපේ ගෙදරම අඩි විස්සයි විස්ස වගේ කාමර කෑල්ලක තමයි මුලින්ම කුළුබඩු මිලදී ගත්තෙ.

දවාලට කඩේ වැඩ. රෑට නිදාගන්නේත් ඒකෙමයි. එහෙම පියවරෙන් පියවර ඉදිරියට ඇවිල්ල තමයි තාත්තගෙ නොනවතින උත්සාහයත් එක්ක මේ තියෙන තත්ත්වයට ආවේ. තාත්තා කිසිම දවසක නිකං හිටියේ නෑ. තාත්තා අකමැතිම දවස තමයි නිකං ඉන්න සිද්ධ වෙන දවස. හැමදාම මොනවා හෝ වැඩක් කරන එක තමයි තාත්තාගේ ප්‍රධානම ලක්ෂණය වුණේ. අම්මයි තාත්තයි එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය අද තිබෙන තත්ත්වයට ගෙනාවේ. අපේ පවුලේ දරුවෝ පස් දෙනයි. ඒ පස් දෙනාටම උපරිමයෙන්ම අධ්‍යාපනය ලබා දුන්නා”පියතිස්ස රූණගේ උත්සාහවන්තකම නිසාම පෙරට ආ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කරන්න ඇගැයීමක් ලැබෙන්නේ 2005 වසරේදීය. ඒ වසරේ ලංකාවේ විශිෂ්ටතම ව්‍යාපාරිකයා සම්මානය හිමිකර ගැනීමය. ඉන්පසු දෙස් විදෙස් සම්මාන රැසකින් ව්‍යාපාරය ඇගැයීමට ලක්වන්නේ ය. “‘‘2015, 2016 අවුරුදු දෙකේ කුළුබඩු අංශයෙන් නිෂ්පාදන අගය එකතු කිරීම් තුළින් රන් පදක්කම් දෙකක් හිමිකර ගත්තා. 2012 අග භාගය වනවිට මමයි යියයි විදේශීය අධ්‍යාපනය නිමා කර ඇවිත් හිටියේ. අපි පූර්ණකාලීනව ව්‍යාපාරයට සම්බණ්ධ වුණා. තාත්තා ව්‍යාපාර ඉදිරියට ගෙනයන හැටි අපිට පෙන්වූවා. ජීවිතයේ අවසන් දින කීපයත් අපිට ව්‍යාපාර පිළිබඳ උපදෙස් දෙන්න තාත්තා අමතක කළේ නෑ” දරා ගැනීම ඇති පිරිමියකු වුවත් දනුෂ්ගේ දෙනෙතින්ද කඳුළු වැටෙන්නට පටන් ගත්තේය.

කඹුරුපිටියේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය උදය සෙනෙවිරත්න පියතිස්ස රූණගේ හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු ආරම්භයේ සිට හොඳින් දන්නා අයෙකි. ව්‍යාපාරය ආරම්භයේ සිට දිනෙන් දින දියුණු වෙමින් ලෝකය දිනද්දී තම පවුල, තම ගම හා අවට ප්‍රජාව පිළිබඳවත් සොයා බලන්නට කිසි දින අමතක නොකළ ආකාරය පිළිබඳ උදය සෙනෙවිරත්න මහතාට ඇත්තේ හොඳ මතකයකි “රූණගේ කියන්නේ නෑදෑ හිත මිතුරන්ට හොඳින් සලකපු කෙනෙක්. දෙපාර්ශවයේම හොද සෙනෙහසක් තිබුණා. දෙපාර්ශ්වයේම මවුපියන් හොඳින් රැක බලා ගත්තා. ගමට කළ සේවයත් විශිෂ්ටයි. තරුණ තරුණියන්ට රැකියා දුන්නා. ගමේ පන්සල්වලට උදව් කළා. නැඟී එන ව්‍යාපාරිකයින්ට අත දුන්නා. සිංහ සමාජයෙන් අලෙවි කළ ටිකට් පතක දිනුමකට මම ජර්මනියට ගියා. මට ඒක අදවගේ මතකයි. පසුව සිංහ සමාජයට බැඳී වැඩ කරන අතර ඇමරිකාවට ගියා. ඒ ගමනේදි එයා පෞද්ගලික වියදමින් මෙක්සිකෝවට ගිහින් තමයි අපේ කුරුඳු එහෙට යවන්න මඟ පාදා ගත්තේ. එතැන් සිට මෙක්සිකෝවට කුරුඳු යවන්න පටන් ගත්තා. ව්‍යාපාරය අද තියෙන තත්ත්වයට ගෙන ආ ආකාරය හරිම ක්‍රමාණුකූලයි. සැලසුම් සහගතයි. අලුතින් ව්‍යාපාර වලට එන අයට මෙතුමාගෙන් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන්. කලින් සැලසුම්කර ලස්සනට තම අරමුණට යෑමේ හැකියාව රූණගේට තිබුණ” උදය සෙනෙවිරත්න පවසයි.එහෙත් ලෝකයේ කුමන සැප සම්පත් තිබුණද අප දිනක ඒ සියල්ල අත හැර යා යුතුය. රූණගේ ද කියා පෑවේ ඒ දහමේ යථාර්ථයයි. වේටර්වරයකු ලෙස සේවය කළ ඔහු අවසානයේ අන්තර්ජාතික සම්මාන පවා ලැබීය. අප ආදර්ශයට ගත යුත්තේ ඔහු ආ ගමන් මඟය.