Naifmvlog

Naifm vlog Gossip and News

බුදුන්වහන්සේ දේශනා නොකළ කිසිම දෙයක් මම ලියලා නෑ

‘හිම දිය නදිය’ සහ ‘හිම බිම අරණ’ නවකතා ද්විත්වයේ නම්වල කිසියම් සමාන බවක් තිබෙනවා?ඔව්, ඒ නම් දෙකම කිසියම් කාව්‍යාත්මක බවක් රඳවාගන්න මම උත්සාහ ගත්තා. කාව්‍යමය ස්වරූපයක් තියෙන මේ වගේ නම් මගේ පොත්වලට යොදන්න මම කැමැතියි. ඕනම නිර්මාණයක කාව්‍යමය බවක් දකින්නත් මම කැමැතියි. කෘතියක නමේ වුණත් කාව්‍යමය වශයෙන් නිර්මාණාත්මක බවක් තියෙනවා නම් ඒකට මම ආසයි. නිර්මාණාත්මක යමක් ලියන හැමකෙනෙක්ම කවියෙක් කියලයි මම නම් හිතන්නෙ. ඒ අනුව ලේඛකයාත් කවියෙක්. නවකතාකරුවාත් කවියෙක්. ඒ කාව්‍යමය බව නිර්මාණ රටාව තුළ උද්දීප්ත වුණොත් මම හිතන්නේ ඒ නිර්මාණය අනෙක් ඒවාට වඩා සුවිශේෂ සහ ආකර්ෂණීය තත්ත්වයකට පත්වෙනවා කියලයි. මේ නවකතා දෙකේදිම කාව්‍යමය ස්වභාවයෙන් ගලාගෙන යන නම් යුගලක් විදිහට මේ නම් දෙක යොදන්න මට අවශ්‍ය වුණා.නවකතා රචනයේදී ඔබ කාව්‍යාත්මක බස්වහරකට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනෙනවා?ඔව්, පුංචි කාලයේ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවියෙක් වෙන්න. මගේ වැඩිම කැමැත්ත තිබුණේ කවියටයි.මගේ ජීවිතේ වීරයන් වුණෙත් කවියො. රත්න ශී‍්‍ර විජේසිංහ වැනි අය. ඒ නිසා කවි කියවීම සහ කවිය කෙරෙහි තියෙන දැඩි ඇල්ම නිසා නවකතා රචනයේදී පවා මම ලියන හැම වාක්‍යයක්ම කවීත්වයෙන් අනූන වාක්‍යයක් විදිහට ගොඩනඟන්න මම ඉතාම කැමැතියි. එවිට මතු වන කාව්‍යමය චමත්කාරයෙන් මම ඉතාම තෘප්තිමත් වෙනවා.

මගේ අතින් කාව්‍යමය ගුණයෙන් පිරි වාක්‍යයක් ලියැවුණොත් ඒ ගැන මම සතුටු වෙනවා. මම නිරන්තරයෙන් පුරාණ කාව්‍ය සම්ප‍්‍රදාය වගේම නූතන කාව්‍ය සම්ප‍්‍රදායත් හදාරමින්, කියවමින් ඉන්න කෙනෙක් නිසා කාවේ‍යාක්ති බහුල රචනා ශෛලියට මම නිරායාසයෙන් යොමු වෙනවා කියලා මට හිතෙනවා.මේ නවකතාවේ පුනරුක්තිය නමැති උපක්‍රමය යොදාගෙන ඇත්තේ විශේෂ හේතුවක් ඇතිවද?මේ නවකතාවේදී පුනරුක්තිය බොහෝ විට යොදාගෙන තියෙන්නේ දෙබස්වලදී පමණයි. දෙබස්වලදී එවැනි පුනරුක්තියක් රඳවා ගන්න මම උත්සාහ කළේ බුදුන් වහන්සේගේ කතා ශෛලිය එය වන නිසායි. ඒ කතා ශෛලිය මම උපයෝගී කර ගන්නේ පාලි කථන ක්‍රමය ආශ‍්‍රයෙන්.සූත‍්‍ර දේශනාවල පුනප්පුනං වශයෙන් සඳහන් වන්නේත් එයමයි. එහිදී සිදුවන්නේ සමහර දේවල් නැවත නැවත ප‍්‍රකාශ කිරීමයි. ඒක පුනරුක්තිය කියනවාටත් වඩා යමක් වෙනස් විදිහකට නැවත අවධාරණය කිරීමක් හැටියට දකින්න පුළුවන්. ඒක බුදුන් වහන්සේ යම් කිසිවෙක් සමඟ සංවාද කිරීමේදී, යම්කිසිවෙක් සමඟ සාකච්ඡා කිරීමේදී, යම්කිසිවකුට ධර්මය දේශනා කිරීමේදී භාවිත කරපු ශෛලියයි.ඒවගේම, ඒක උන්වහන්සේගේම ශෛලිය හැටියටත් සලකන්න පුළුවන්.

කතාකරුවෙක් විදිහට උන්වහන්සේගේ පාලි කතා විලාසය සිංහලෙන් ලිවීමට ගත් උත්සාහයක් මගේ මේ නවකතාවේ තියෙනවා.ඒ සංවාද වෙනස් විදිහට ලියනකොට බුදුන් වහන්සේගේ සංවාද කලාව මොන තරම් අපූර්වතරද කියලා හිතෙනවා.මේ නවකතාවට ඉතාම අප‍්‍රකට තොරතුරු රාශියක් ඇතුළත් වී තිබෙනවා?ඔව්, මම ලියපු නවකතා දෙකටම බුද්ධ චරිතය සහ ඒ ආශි‍්‍රත අප‍්‍රකට තොරතුරු රාශියක් ඇතුළත් වෙනවා. ඒ තොරතුරු කිසිවක් ප‍්‍රසිද්ධියට පත්වෙලා තියෙන බුද්ධ චරිතවල නැහැ.බුදු හාමුදුරුවො ඇත්තටම මේවා කියලා තියෙනවද කියලත් සමහරු විමතියට පත්වෙලා මගෙන් අහලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ නවකතාවලට ඇතුළත් වෙලා තියෙන ලිංගිකත්වය සම්බන්ධ දේවල් ගැන එහෙම බොහෝ අය මගෙන් විමසනවා. ඒවා සඟවා තබන ලද, වහලා තියෙන ලද, ප‍්‍රකට නොකරන ලද දේවල් විධියටයි මම දකින්නෙ.ඒ වගේ අප‍්‍රකට තොරතුරු සොයාගෙන යෑමේ නොතිත් කුහුලක් මට තිබුණු නිසා එවැනි අප‍්‍රකට තොරතුරු පිළිබඳව හොඳට කියවලා, හදාරලා මේ පොතට මම ඒවා සුදුසු පරිදි යොදාගෙන තියෙනවා. පුංචි කාලයේ ඉඳලම බුදු දහම ගැඹුරින් හැදෑරීම සඳහා මා තුළ තිබුණු ඇල්ම සහ කුතුහලය නිසා තමයි එවැනි අප‍්‍රකට දේවල් හොයාගෙන යන්න මම උත්සාහ කළේ.බුදුන් වහන්සේ දැඩි ස්වරයෙන් භික්ෂුන් වහන්සේලා අමතන අයුරුත් මේ කෘතියේ දැක්වෙනවා?බුදුන් වහන්සේ ඇත්තටම දැඩි ස්වරයෙන් එවැනි යම් යම් දේවල් කියපු අවස්ථා තිබිලා තියෙනවා.

බුදුන් වහන්සේ නොකියපු කිසිම දෙයක් මේ පොතට අන්තර්ගත කරලා නැහැ. විනය පිටකයේ එවැනි අවස්ථා ගැන සඳහන් වෙනවා. ඒත්, ඒ ගැන සාමාන්‍ය බෞද්ධ ජනතාව අතරින් වැඩි පිරිසක් දන්නේ නැහැ. බොහෝ වෙලාවට විනය පිටකය කියන එක තියෙන්නේ බෞද්ධ ප‍්‍රජාවගේ පරිශීලනයෙන් තොරවයි. විනය පිටකයේ උන්වහන්සේ භික්ෂුන්ට දඬුවම් කරපු හැටි, භික්ෂුන්ට නින්දා කරපු හැටි, භික්ෂුන්ට ගර්හා කරපු හැටි සඳහන් වෙනවා. ඒවගේම, භික්ෂුන්ට දඬුවම් දීපු හැටිත් සඳහන් වෙනවා. බුදුන් වහන්සේ ඒ තරම් සැරපරුෂද කියලත් සමහරුන්ට හිතෙන්න ඉඩ තියෙනවා. උන්වහන්සේ නායකයෙක් විදිහට සෘජුව සිටිය යුතු තැන්වල සෘජුව ඉඳලා අදහස් ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒවගේම තීන්දු අරගෙන තියෙනවා. උන්වහන්සේට යෙදෙන එක නමක් තමයි නිග්ගහියවාදී අනනුශාසක කියන්නේ. උන්වහන්සේ සමහරුන්ට නින්දා කරලා අනුශාසනා කරලා තියෙනවා. එහෙම අනුශාසනා කරපු අවස්ථාවලදී උන්වහන්සේ ඇතැම් භික්ෂුන්ව ශාසනයෙන් නෙරපන්න කියලා කියපු අවස්ථාත් තියෙනවා. ඒවා ඇත්තටම පැහැදිලිවම විනය පිටකයේ තියෙනවා. විනය පිටකය ඇසුරින් තමයි මම එවැනි අවස්ථා ගොඩනඟලා තියෙන්නෙ.

මේ නවකතාවට ඇතුළත් ඇතැම් කරුණු නිසා ආන්‍ෙදා්ලනාත්මක තත්ත්වයන් ඇතිවුවහොත් ඒවාට මුහුණදීමට ඔබ සූදානම්ද?ඉතාම පැහැදිලිව සූදානම්. මම මේවා ආවාට ගියාට ලියලා නැහැ. උඩින්පල්ලෙන් ලියලත් නැහැ. මනාව සූත‍්‍ර අධ්‍යයනය කිරීමෙන් සහ ති‍්‍රපිටකය හැදෑරීමෙන් පසුව තමයි මේ හැමදෙයක්ම ලියලා තියෙන්නේ. ඒ නිසා ඕනම තැනකදි කොහෙද මේක තියෙන්නෙ කියලා ඇහුවොත් මට ඒක නිදර්ශන සහිතව පෙන්නා දෙන්න පුළුවන්. මේ අහවල් සිදුවීම ගැන ති‍්‍රපිටකයේ හෝ වෙනත් තැනක මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්.ඒ නිසා මම මේ නවකතාව ලියලා තියෙන්නේ ඕනම විවාදාත්මක මැදිහත්වීමකට මුහුණදෙන්න සූදානමින්. මේ නවකතාවට මම කිසිම දෙයක් අතින් දාලා ලියලා නැහැ. යම් යම් කරුණු මත පදනම්ව පරිකල්පනය මෙහෙයවමින් නිර්මාණය කරපු ඇතැම් දේවල් මේ කෘතියට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම පරිසරය සහ සමහර සිද්ධි පරිකල්පනය කරලා තියෙනවා. ඒ ඇරෙන්න අනෙකුත් සියලුම දේවල් පිටකාගත කරුණු.බුද්ධ චරිතය පාදක කරගනිමින් මෑත කාලයේ බිහි වූ සෙසු නිර්මාණ ගැන ඔබේ අදහස කුමක්ද?ඒ ඇතැම් නිර්මාණ සමඟ එකඟ වෙන්න නම් අපහසුයි. මෑත කාලයේදී නිර්මාණය වූ ඇතැම් නිර්මාණ ඔස්සේ බුද්ධ චරිතය නිවැරදි අයුරින් ඉදිරිපත් කෙරෙනවා කියලා මම විශ්වාස කරන්නෙ නැහැ.