Naifmvlog

Naifm vlog Gossip and News

තරුණයකුට කාලි මෑණි අනුහසින් සිතට සහනය ළඟා වූ හැටි

හලාවත. මුන්නේශ්වරම්, අයියනායක දේවාල පාරේ ප්‍රධාන පූජක මහේන්ද්‍රසාමි පවසන අන්දමට සියලු ලෝ සතුන් හට අසීමිත කරුණාව දක්වන දේව මාතාවක ලෙස මහ කාලි මෑණියන් හැඳින්විය හැකිය. එම කාලි මාතාවගේ ප්‍රබල ස්වරූපයක් ලෙස සැලකෙන ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවියද අසරණ වූවන්ට නිරතුරුවම පිහිට වන බව මහේන්ද්‍රසාමි පවසයි.කාලි මාතාව සහ ඇයගේ තවත් එක් වේශයක් වන ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් දේවිය සිතුවම් කිරීමේදී සිත්තරුන් ඇයට රෞද්‍ර පෙනුමක් ලබා දුන්නද ඇය මහ කරුණාවේ පිළිබිඹුවක් බව මහේන්ද්‍ර සාමිගේ අදහසය.මහේන්ද්‍රසාමි පවසන අන්දමට බිය උපදවනසුලු සිංහ මුහුණකින් හා පියකරු ස්ත්‍රී රූපයකින් සිත්තම් වී ඇති ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් වේශයට බැතිමතුන් දක්වන්නේ ඉමහත් බියකි. එසේ වුවද සියලු ලෝ සතුනට ඇය දක්වන්නේ ඉමහත් කරුණාවකි. සියලු ලෝ වැසියන්ට ඥානය ලබා දෙමින් ආත්මාවබෝධය පසක් කර දෙන මෙම දේවතාවිය නිරතුරුවම ලෝ වැස්සනට පිහිට වීම අරමුණු කරගෙන සිටින බව මහේන්ද්‍රසාමි කියයි.සොහොනක් පසුබිම් කරගෙන, මිනී ඔළු සතර වටේ තබාගෙන නිරතුරුව දැවෙන දර සෑයවල් මැද සැරිසරන සේ නිරූපණය කර ඇති මුත් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා දේවිය කරුණාවන්ත දේවතාවියක බව පොතපතේ සඳහන් වේ.

මෙලොව උපත ලබන ඕනෑම සත්ත්වයකු කෙදිනක හෝ මියයන බව පසක් කරන ලෝක ධර්මතාව පසුබිමේ දැක්වෙන මිනී ඔළු, සොහොන, දර සෑයවල් මඟින් හෙළි කරන බව ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මෑණියන් ගැන ලියැවුණු ‘Holy Divine Mother in Ferocious Form’ ග්‍රන්ථයේ සඳහන් වෙයි.ප්‍රත්‍යාන්ගිරා දේවිය සිතුවම් කර ඇති චිත්‍රවල හා මූර්තීන්වල සොහොන, මිනී ඔළු මඟින් දැක්වෙන්නේ ජීවිතයේ අනිත්‍ය බව එකී ග්‍රන්ථය සඳහන් කරයි. ලොව පවතින එම යථාර්ථය එම මූර්තීන් හා සිතුවම්වලින් හුවා දක්වන බව එකී ග්‍රන්ථය පෙන්වා දෙයි. එකී සංකේත මිනිසුන් බිය වැද්දීම අරබයා ඇතුළත් කර නොමැති බව තවදුරටත් විස්තර කොට ඇත.‘Holy Divine Mother in Ferocious Form’ ග්‍රන්ථයේ දැක්වෙන පරිදි ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා මාතාව සොබා දහමේ නියාමයන් හොඳින් අවබෝධ කළ දෙවඟනකි. ඉපදුණු සෑම ජීවියකුටම මරණය නියමය යන නියමය ඇය පෙන්වා දෙන බව එම ග්‍රන්ථයේ සඳහන් කරයි.දැඩි භක්තියෙන් යුතුව මෑණියන් අදහන බැතිමතුනට ඇය නොවරදවාම පිහිට වන බව මහේන්ද්‍රසාමිගේ අදහසය.

මෙවැන්නක් සනාථ කරන සිද්ධියක් ගැන පොළොන්නරුවෙන් එහා අෑත දුරබැහැර ගමක තරුණයෙක් අප දැනුවත් කළේය.‘මම අවුරුදු 15 ඉඳලා කාලි මෑණියන් විශ්වාස කරනවා. දැන් මගේ වයස අවුරුදු 26යි. මම ගෙදර ඉස්සරහ පහනක් තියල මෑණියන්ට යාතිකා කරනවා. මට ස්ථිර රස්සාවක්, මුදල් හදල් තිබුණේ නෑ. ඔය අතරෙදි තමයි ‘ඉරිදා මව්බිම’ පත්තරේ පළවෙන කාලි මෑණියන්ගේ අනුහස් පිළිබඳ ලිපි පෙළ කියවන්න ලැබුණේ.මම බොහොම අමාරුවෙන් මුදල් සොයාගෙන මුන්නේශ්වරමට ගිහින් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට ගියා. මහේන්ද්‍රසාමි හමුවෙලා මගේ අසරණකම ගැන කිව්වා. මෑණියන්ට කන්නලව් කළා. බාර වුණා. මාස තුනක් ගියේ නෑ එක්තරා ආයතනයක මට රස්සාවක් ලැබුණා.ඒ රක්‍ෂණ නියෝජිත තනතුරක්. රැකියාවක් නැතිව සිටි මට ඒක ලොකු සහනයක් වුණා. මම හැමදාම මෑණියන් වෙනුවෙන් ගෙදර පහන තිබ්බා. ඉඩ ලැබුණු හැම වෙලාවකම මුන්නේශ්වරම් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිලට යනවා.දැන් ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා කෝවිල අංගසම්පූර්ණ මහ කෝවිලක් ලෙස හදාගෙන යනවා. දැන් බොහෝදුරට කෝවිලේ වැඩ අවසන්. තව මාසයකින් දෙකකින් විවෘත කරාවි. කෝවිල විවෘත කළාට පසු ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් ප්‍රතිමාව කිරිවලින් නැහැවීමට මට ආශාවක් ඇති වුණා.

ඒකට ලොකු වියදමක් යනවා. මම මෑණියන්ට බාරයක් වුණා ඒකට ඉඩ දෙන්න කියලා. මම මේ ගැන සාමිටත් කිව්වා.මගේ ප්‍රාර්ථනාව, අධිෂ්ඨානය සඵල කරන්නටදෝ මට දැන් ලොකු එකවුන්ට් එකක් ලැබෙන්න යනවා. ඒක හරි ගියොත් මට කෝවිල විවෘත කළාට පස්සේ මෑණියන් නාවන්න පුළුවන්. මෑණියන් කිරි වතුරෙන් නාවන්න ඉඩ ලබා දෙන්නැයි මම හැමදාම මෑණියන්ට යාතිකා කරලා පහනක් තිබ්බා. දැන් මට අර ‘එකවුන්ට්’ එක ලැබුණම ඒ ආදායමෙන් ඒක කරන්න පුළුවන්. මගේ ප්‍රාර්ථනාව, බලාපොරොත්තුව ඉෂ්ට වේගෙන එනවා. මට හරිම සතුටුයි‘ ඔහු කියාගෙන ගියේ බොහෝ සතුටෙනි.මේ සම්බන්ධව මහේන්ද්‍රසාමි පැවැසුවේ මෙලෙසිනි. ‘ඔය කතාව සම්පූර්ණ ඇත්ත. ඔය දරුවා ප්‍රත්‍යාන්ගිරා කෝවිලට මුලින්ම එන කාලේ ආපසු යන්න බස් වියදමවත් තිබුණේ නෑ. බොහොම අගහිඟකම් මැද තමයි ජීවත් වුණේ.හැබැයි මෑණියන්ට තියෙන විශ්වාසය අතහැරියේ නෑ. මෑණියන් වෙනුවෙන්ම කැපවෙලා හිටියේ. දැන් මෑණියන් එයාගේ මුහුණ බැලුවා. මේවා කොහොමද වෙන්නේ? බොරු කියලා කියන්න පුළුවන්ද? මේවා අපේ ඇස් ඉදිරිපිට වෙන දේවල්. අපි නොවෙයි කියන්නේ. ඒ දරුවයි කියන්නේ. මෑණියන්ගේ පිහිටෙන් ඒ දරුවට හොඳ කාලයක් උදාවේවි.