Naifmvlog

Naifm vlog Gossip and News

සල්ලිකාරයො රවටන සැප වාහන සිහිනය

ලංකාව අමුතුම රටකි. ලෝකයම විනාශ වෙමින් සිටියදී පවා මොකක්දෝ හේතුවකට පණ රැකගත හැකි ලෙස මේ රට නිර්මාණය වී තිබේ. මහාද්වීපවලින් වෙන්වුවද ඒ සමීපයේ අපි ස්ථානගතව සිටිමු. රටේ සෑම කොනකටම සොබාදහමේ විශාලම විසබීජ නාශකය වන හිරු එළිය ඇති පදම් වැටේ. ආහාරයෙන් රට පෝසත්ව ඇති අතර කන්නට දෙයක් ඇත්තේම නැත්තම් රට වටේම මුහුදය. කොතරම් කුහක වුවද අනෙකාගේ විපතේදී මේ දූපතේ උන්ගේ පපු කැවුත්ත උණුවේ. ලෝකයේ ඇති අහිංසකම ආගම රටේ ප්‍රධාන ආගමයි. මේ සියල්ලෙන් සපිරි මේ රටේ සොබාදහම අමතක වී එක්කාසු වූ යමක්වේ. එනම්, කපටිකමයි. ලෝකයේ ඕනෑම සක්කරයකු අන්දවා ඔහුටත් නොදැනී ඔහු විකුණන්නට මේ දූපතේ සිටිනා ඇතැමුන් සමත්ය. මේ ලියැවෙන්නේද එවැනි කතාවකි. මේ ලියැවිල්ලේ නම් පමණක් සැබෑ සිදුවීමෙන් වෙනස් කොට ඇත.

චමිල සහ තිස්ස වසර ගණනක පටන් ගජ මිතුරෝය. ඔවුන් දෙදෙනාගෙන් තිස්ස වාහන අලුත්වැඩියා කොට විකිණීමේ ව්‍යාපාරයක් සිදුකරන අතර චමිලද හැකි අයුරින් ඊට සහාය ලබාදෙයි. චමිල දිනක් කොළඹ පැමිණි අවස්ථාවකදී ඔහුට එක් පුද්ගලයෙක් හදිසියේ හමුවිය. ඔහු නමින් සුදේවය. කොළඹ විමලධර්ම ඔරලෝසු කණුව අසලදී මුණගැසුණු මේ නව මිතුරා චමිලට අපූරු කතාවක් කීවේය. “උඹට කස්ටම් එකෙන් වාහන එහෙම ඕනෑ නම් කියපන්. මගේ ඉන්නවා මහත්තයෙක්. මිනිහට කස්ටම් එකේ කරන්න බැරිදෙයක් නෑ. ඔය කස්ටම් එකේ හිරවෙලා තියෙන ඕනෑ එකක් මිනිහ එළියට අරන් දෙනවා.” කස්ටම් එකේ වාහන තමයි බං ඕනෑ. අඩුවට ගන්න පුළුවන් නම් ඕනෑ එකක්. මගේ යාළුවෙක් ඉන්නවා වාහන බිස්නස් කරන.” චමිල මේ නව මිතුරාට එලෙස පැවැසුවේ තිස්ස ඔළුවේ තබාගෙනය. නව මිතුරාට කස්ටම් එකෙන් අඩුවට වාහන ගන්නටත් හැකි නම්, තම මිතුරාට ඒවා විකුණන්නටත් හැකි නම් මේ උදාවී ඇත්තේ අපූරු ව්‍යාපාරික අවස්ථාවකි. මේ කැරකැවෙන්නේ සල්ලිය. ඒවා ගත යුතුය.

“මෙහෙමයි මචං වෙන්නේ. කස්ටම් එකේ ලොකු ලොකු වාහන තියෙනවා දඩ ගෙවාගන්න බැරිව හිරවෙලා. ඔන්න ඕවා තමයි මේ ගන්න සෙට් කරන්නේ. පොඩි ගාණක් වියදම් වෙනවා. හැබැයි ගෙඩිය පිටින් ලාභයි. ඕවා ඔක්ෂන් දාන්න කලින් පන්නගන්න ඕනෑ.” නව මිතුරා අල්ලේ තබා චමිලට සුබ සිහින මවන්නට විය. දැන් චමිලට මේ කතාව තිස්සට කියන තෙක් ඉවසිල්ලක් නැත. වැඩේ දිගටම ගියොත් චමිලත් තිස්සත් කෝටිපතියන්ය. නව මිතුරාගේ ගම සබරගමුවේ ඇඹිලිපිටියේය. ඔහු ඇඹිලිපිටිය යන්නට පිටත් වූ පසු චමිල වහාම තිස්සට ඇමැතුමක් ගත්තේය. “අඩෝ.. මරු වැඩක් සෙට් වුණා. මිනිහෙක් ඉන්නවා. පොර දන්නවා කස්ටම් එකේ ලොකු ලොකු ඩයල්ස්. මිනිහා කිව්වා එයාලට කියලා කස්ටම් එකේ දඩ ගෙවන්න බැරිව හිරවෙලා තියෙන වාහන එළියට අරන් දෙන්නම් කියලා. අපිට ඩබල් කරලා විකුණන්න පුළුවන් නේ බං…“ඔය කිව්වාට ඕවා ෂුවර් නෑ. අපි එහෙම ඕවා ගන්නකම් ඔය වාහන ගෙනාපු මිනිස්සු නිකම් ඉන්නේ නෑනේ බං…”

තිස්ස ඊට පිළිතුරු ලෙස මතු කළේ මෙතෙක් අවධානය යොමු නොවූ කාරණයකි. වරායේ හෝ රේගුවේ යම් දඩ මුදලක් නිසා සිර වී තිබෙනා වාහන නිෂ්පාදිත රටේ සිට දැන් තිබෙනා තැන දක්වා පැමිණෙන්නට නම් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල්ද තිබේ. විශේෂයෙන් රථයේ නිෂ්පාදිත සමාගමට රථයේ සැබෑ වටිනාකම ගෙවිය යුතුය. එවන් තත්ත්වයක් යටතේ කිසියම් හේතුවකට රේගුවේ සිරවී තිබෙන වාහනයක් එය මෙරටට ගෙන්වූ පාර්ශ්වය හැරෙන්නට වෙනත් අයකු නිදහස් කරගන්නවා නම් එය එතරම් පහසු නැත. බොහෝවිට එම රථයේ නීත්‍යනුකූල ලිපි ලේඛන ඇත්තේ රථය ඇණවුම් කළ තැනැත්තා ළඟ විය හැකිය. චමිල වහාම දුරකථන ඇමතුමක් ගත්තේ ඔරලෝසු කණුව ළඟදී මුණගැසුණු ඇඹිලිපිටියේ සුදේවටය. “දැන් අර කිව්ව විධියට වාහන රේගුවෙන් නිදහස් කරගන්න ගියාම ඒ වාහන ගෙන්වපු මනුස්සයාට මොකද වෙන්නේ.” එයා නිකම් ඉන්නේ නෑනේ එයාගේ වාහනේ වෙන කවුරු හරි අරන් යනකම්…

“කවුද කිව්වේ එයාට නිකම් ඉන්න වෙනවා කියලා. අපි එයාට කතා කරලා එයාගේ ගාණත් ගෙවලා තමයි මේක එළියට ගන්නේ. එයා දැන් වාහනේ එළියට ගන්නේ නැත්තේ මේකට ගෙවන්න වෙන දඩය ගෙවන්න බැරි නිසානේ. එයාට මෙච්චර දුරක් මේක ගේන්න ගිය වියදම අපි දීලා තමයි රේගුවෙන් ෂේප් එකේ එළියට ගන්නේ.” මෙය තිස්සට කියූ කල තිස්ස ඊටත් දුන්නේ එතරම් සුන්දර උත්තරයක් නොවේ. “ඉතින් බලපන් චමීරයා. වාහනේ එහෙන් ඕඩර් කරද්දී ගෙව්ව ගාණත් අපි ඒ මනුස්සයාට දෙනවා නම් රේගුවෙන් ඕක නිදහස් කරගන්න ගෙවන්න වෙන ගාණත් ගෙවනවා නම් ඇත්තටම බං අපි අර වාහනේ ගෙන්වපු එකා ගෙවන්න බෑ කියලා අතෑරලා තියෙන මුළු වියදමම ගෙවලානේ. එතකොට ඔය වාහනේ ලංකාවේ මාකට් එකේ වටිනාකමට වැඩි ගාණක් වෙන්න පුළුවන්.” රේගු කපුකමේ යෙදී සිටිනා චමීර නැවත ඇමැතුමක් ගත්තේ ඇඹිලිපිටියේ සුදේවටය. “මචං, මේක හරියන්නේ නෑ. මම උඹලාව කස්ටම් එකේ සර්ගේ ගෙදර එක්ක යන්නම්. එයාගේ ගෙදර තියෙන්නේ කෝට්ටේ. උඹලා ඔය ප්‍රශ්න එයාගෙන්ම අහගනිල්ලා!”

ඉන් අනතුරුව දිගහැරෙන්නේ මේ රථ නාඩගමේ වඩාත් සුන්දර ජවනිකාවය. සුදේවගේ මඟ පෙන්වීම මත තිස්ස හා චමීර මුලින්ම ගියේ රේගුවේ රථගාලටය. ඔවුන් දෙදෙනා සමඟ පැමිණි සුදේව කවු‍ෙදා් රේගුවේ සර් කෙනෙකුට එක දිගට දුරකථන ඇමැතුම් ගත්තේය. අවසානයේ එකී රේගුවේ සර් පැමිණියේය. අපි ඔහු පියල් ලෙස හ¾දුන්වමු. පියල් ලෙහෙසි පහසු සර් කෙනෙක් නොවේ. හේ රේගුවේ බලවත් අයෙකි. එය ඔප්පු කරන්නට පියල් මුලින්ම කළේ තමන්ගේ තනතුර හා අදාළ කාරණා සහිත රේගු හැඳුනුම්පත චමීර-තිස්ස කට්ටුවට පෙන්වීමය. දැන් සැක සංකා අවසන්ය. තමන් ඉදිරිපිට මේ වැඩ සිටිනා තැනැත්තාගෙන් යමක් කරගත හැකිය. මෙතෙක් නාට්‍යයේ දෙබස් කියූ සුදේවගේ දෙබස් මෙතැනින් අවසන් වන අතර පියල්ගේ දෙබස් ආරම්භ වේ. “වාහන අරන් දෙන්න පුළුවන්. වාහනේ ලංකාවට ගෙන්වපු කෙනාට සම්පූර්ණ මුදලම ගෙවන්න ඕන නෑ. එයාට ගෙවන්නේ පොඩි ගාණක්. එහෙම හරි ගාණක් ගන්න කැමැති අය අපි දන්නවා. ගොඩාක් තියෙන්නේ වාහනේ ගේන්න ඕඩර් එක දැම්මාට කස්ටම් එකේ ගාණ ගෙවාගන්න සල්ලි නැතිවුණු සිද්ධි. කස්ටම් එකෙන් මේක නිදහස් කරගන්නත් නිකම්ම බෑ. ඒකට ලියකියවිලි ටිකක් හදන්න ඕන. ඒක ඔයාලට කරන්න තේරෙන්නේ නෑනේ. ඒකට ඉන්නවා කෙනෙක්. මම එයාව හ¾දුන්වලා දෙන්නම්. එයා දන්නවා ඔය ගේම් එක ගහන්න හදන්න ඕන ඒවා ඔක්කොම. එයාගේ ලියකියවිලිවලින් ලේසියෙන් වාහනේ එළියට ගන්න පුළුවන්.”

පියල් එලෙස කාරණා පැහැදිලි කරමින් යද්දී චමීරත් තිස්සත් සාවධානව අසා සිටියහ. ඔවුන් දැන් “පියල්” සර්ට බැතිබරය. සර් මේ කරන්නට සූදානම් වෙන්නේ ලේ නැදෑයකුවත් නොකරනා තරමේ උපකාරයකි. මෙතරම් පහසුවෙන් කස්ටම් එකේ වාහන එළියට ගන්නට හැකිනම් හා එම වාහනවලට ගෙවිය යුත්තේද අඩු මිලක් නම්, ඒවා විවෘත වෙළෙඳපොළේ සැබෑ වටිනාකමට අලෙවි කර ඉපැයිය හැකි ආදායම ගැන තිස්ස මනසින් ගණන් හදන්නට විය. “දැන් ඇතුළේ හිරවෙලා තියෙනවා ලෑන්ඩ් කෘසර් ජීප් පහක්. ම8 වර්ගයේ ඒවා. ඒ ටික ගන්න පුළුවන්. එකක් සාමාන්‍යයෙන් කෝටි දෙකක් තුනක් වගේ වෙන්නෙ.” පියල් ඉන් අනතුරුව කීය. මේ කියනා ලෑන්ඩ් කෘසර් ම8 රථය යනු අපේ රටට මහා දැවැන්ත සේවයක් කරනා දේශපාලකයන් ඔබේ දෙපා මුලට පැමිණෙන වාහනයයි. ඔබේ අපේ සල්ලිවලින් රැගෙන හෙට අනිද්දා පැමිණ ඔබට අං තට්ටුවක් පලඳවා නැවත සැප ගන්නට පාර්ලිමේන්තු යන්නට නියමිත වාහනයි. එය විවෘත වෙළෙඳපොළේ කෝටි 7/8ක පමණ වටිනාකමක් සහිත එකකි. තිස්සත් චමීරත් එය හොඳින් දනිති. එහෙව් වාහනයක් කෝටි තුනක් නොව කෝටි පහක් ගෙවා ගත්තද අත උඩින් ලාභය.

“ඉන්න මම ඔයාලට ඒකේ ෆොටෝස් පෙන්නන්න. ඒ වාහන ටික දැන් ඇතුළේ හිරවෙලා තියෙන්නේ”යි කියමින් පියල් තම ජංගම දුරකථනයේ ඇති ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් පෙන්වීය. ඒවාට අනුව අලුත්ම ලෑන්ඩ් කෘසර් රථ කිහිපයක් කන්ටේනර් පෙට්ටි තුළම තබා ඇත. තිස්ස සහ චමීර කෙළ ගිලින්නට වූහ. එකකින් කෝටි හතරක් තිබුණත් මේ පහෙන් පමණක් කෝටි විස්සක්. යකෝ අපි ගොඩනේ..” තිස්ස ඒ වෙනුවෙන් අවශ්‍ය ඉක්මන් පියවර ගන්නට කතා කළේය. “පියල් සර්. අපි දැන් වුණත් අවශ්‍ය සල්ලි ගෙවන්නම්. ඊට කලින් අපි කවද්ද අර ලියකියවිලි හදන කෙනාව හමුවෙන්න යන්නේ.” දැන් තමන් ඉදිරියේ මේ සිටිනා නරයින් දෙදෙනාගේ ලෝභය හා තෘෂ්ණාව අවදිවූ බව පියල් වටහාගත්තේය. දැන් මේ ගොනුන් දෙන්නා කෝටි කිහිපයක් ලාභයක් සිතෙන් ගණන් හදාගෙන පියල්ට අවශ්‍ය පරිදි නටන්නට සූදානම්ය. “එයා ඉන්නේ රාගම. මම එයාට කතා කරලා බලලා ඔයාලට දවසක් කියන්නම්. එදාට එන්නම්. මම එක්ක යන්නම්”.

ඉන් අනතුරුව එළැඹෙන්නේ ලියකියවිලි සාදන්නාගේ කතාවයි. ඔහු නමින් ලෝරන්ස්ය. ලෝරන්ස්ගේ නිවෙස පිහිටා ඇත්තේ රාගමය. රාගම පොලිසිය ආසන්නයේය. රාගම ඔහුගේ නිවෙසටම තිස්ස හා චමීර යුවළ එක්කාගෙන ගිය පියල් ලෝරන්ස්ට ඔවුන් හ¾දුන්වා දුන්නේය. ලෝරන්ස් මේ කාරණාවලට දක්ෂයකු බව පෙනිණි. ලෝරන්ස් එතැන් පටන් තමන් එලෙස නිදහස් කරදුන් වාහනවල ජාතක කතා කියන්නට විය. තිස්සත් චමීරත් සාදුකාර දුන්න. පියල් බලා සිටියේය. “එහෙනම් ලෝරන්ස් මහත්තයා. අපිට වැඩේ කරලා දෙන්න. අපි ඕන වෙලාවක රෙඩි.” නිවෙසින් එන්නට සූදානම් වී තිස්ස එසේ කීවේය. “මම ඉක්මනනට මේ ටික හදන්නම්. මුලින් මිලියන දෙක තුනක් ඕන වේවි. ඉතිරි සල්ලි පස්සේ හරි දෙන්න පුළුවන්.” සතියක් ගතවූ සැණින් ලෝරන්ස් දැනුම් දුන්නේ ලියකියවිලි සූදානම් කියාය. ඒ අනුව තිස්ස හා චමීර යුවළ පිටත්ව ගියේ රේගුවේ පියල් සර් බැහැදකින්නටය. පියල් සර් ඔවුන්ට එන්නට කීවේ රේගුව තුළ වූ නිලධාරීන්ගේ ආපනශාලාවටය. දැන් ඉතින් කිසිදු අවිශ්වාසයක් නැත. රේගු නිලධාරීන්ට පමණක් වෙන්වූ මෙම කැන්ටිමට එන්නට පින් කළ යුතුය. පියල් සර් නිසා නොවෙන්නට මෙලෙස එනවා බොරුය. පියල් සර් රේගුවේ ප්‍රබල අයෙකි. තමන් වැන්නවුන් මෙලෙස මෙම කැන්ටිමට ගෙන්වා ගන්නට හැක්කේ එබැවිනි.

ලෝරන්ස්ද මේ මොහොතේ එම ස්ථානයට පැමිණියේ සැකසුවා යැයි කියනා ලියකියවිලිද රැගෙනය. තිස්ස – චමීර යුවළට මේ කියන ලියකියවිලි ගැන මෙලෝ හසරක දැනුමක් නැත. මේ සෑදුවා කියා රැගෙන විත් ඇත්තේ කුමක්දැයි ඔවුන් හාංකවිසියක් දන්නේ නැත. නමුත් ඔවුන්ට ලෝරන්ස් මහත්තයා ෂුවර්ය. “මේ තියෙන්නේ ඩොකියුමන්ට්ස් ටික. මුලින්ම අපිට මිලියන 1.2ක් දෙන්න. ඒ ටික වාහනේ අයිති කෙනාට දීලා කරගන්න වැඩ ටිකක් තියෙනවා.” පියල් – ලෝරන්ස් යුවළගේ එම දැනුම්දීම මත තිස්ස එවෙලේම එකී මුදලට අදාළව චෙක්පතක් ලියුවේය. එම චෙක්පත ඔහු විසින්ම බැංකුවෙන් මාරු කර මිලියන 1.2ක මුදල නැවත රේගුවේ නිලධාරීන්ගේ ආපනශාලාවටම පැමිණ ලෝරන්ස්ට ලබාදුන්නේය. රේගුවේ සර්ලා මෙවන් කළු සල්ලි අල්ලන්නේ නැති පුයර බබාලා නිසා ලෝරන්ස් එය ලබාගත් බව පෙනිණි. එය පළමු දවස විය. ඉන් පසුව නැවතත් රුපියල් මිලියන 1.2ක මුදලක් ලෝරන්ස් පියල් කට්ටුවට ලබා දුනි. මුදල් ගෙවා අවසානයේ සති කිහිපයක් තුළ වාහන එළියට රැගෙන දෙන බව ඔවුහු කීහ. සති මාස විය. වාහන නැත. යුවළ දැන් දුරකථනයට පිළිතුරු දෙන්නේද නැත. චමීරගේ හා තිස්සගේ ලෑන්ඩ් කෘසර් සිහින බොඳ වෙන්නට විය.

තෘෂ්ණාව නිසා දැකිය යුතු සමහර දෑ නොදැක ඇතිවග පෙනෙන්නට විය. අවසානයේ ඔවුන් ගොස් නතර වූයේ කොළඹ වංචා දූෂණ විමර්ශන කොට්ඨාසයේය. එම කොට්ඨාසය ක්‍රියාත්මක වී පියල් සර් එක්කාගෙන ආවේය. ඔහු මුලින්ම කිව්වේ තමන් රේගුවේ කිසිම රැකියාවක් නොකරන අයකු බවය. එසේනම් රේගු හැ¾දුනුම්පතක්.?එය තමන්ට සකස් කර දුන්නේ ලෝරන්ස් බව කියූ පියල් අදාළ මුදල් සියල්ල ලබාගත්තේද ලෝරන්ස් බව කීය. දැන් ලෝරන්ස් හා ඇඹිලිපිටියේ සුදේව ගැන පොලිසියේ අවධානය යොමුව තිබේ. ඉදිරියේදී ඔවුන්ද නීතිය හමුවට රැගෙන එනු ඇත.