Naifmvlog

Naifm vlog Gossip and News

බිග් ෆුට් වීඩියෝව බොරුවක්ද

‘‘බිග් ෆුට්’’ හෙවත් යෝධ පාද ඇති මිනිසා ගැන ආන්දෝලනාත්මක කතා බහ දශක ගණනාවක් පුරාම සිදු වෙන්නක්. කැනඩාවේදී ‘‘සැස්කොච්’’ නමින්ද, උතුරු විස්කොන්ස්හි ලැකෝටා ඉන්දියානු අද්භූත සත්වයා නේපාලයේ හා ටිබෙටයේදී ‘‘යෙටී’’යන නමින්ද වේ. චීනයේදි ‘‘යෙරන් ’’ යනුවෙන්ද මේ අද්භූත සත්වයා හැඳින් වේ. උතුරු විස්කොන්ස්හි ලැකෝටා ඉන්දියානුවන් ‘‘ටියේ චින්කා’’ හෙවත් ‘‘යෝධ ලොකු අයියා යනුවෙන් හඳුන්වන්නේද ‘‘බිග් ෆුට්’’ යනුවෙන් හැඳින්වෙන අද්භූත සත්වයාය.මේ අතර ප‍්‍රයිමේටාවන් පිළිබඳ විශේෂඥ ජේන් ගුඩොල් සඳහන් කරන්නේ ‘‘බිග් ෆුට්’’යනු සාමාන්‍ය වානරයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල මුළු සිරුරම ලෝමවලින් වැසී ගිය ඇවිද යා හැකි සත්වයෙක් බවයි. මේ අදහසම තවදුරටත් සංවර්ධනය කරමින් ඇමරිකානු වන ජීවි සංරක්ෂණ සමාජයේ අධ්‍යක්ෂ සහ ලෝක ප‍්‍රයිමේටාවන් සුරැුකීමේ සංවිධානයේ අධ්‍යක්ෂ ‘‘ජෝර්ජ් ෂාලර්’’ සඳහන් කරන්නේ ගෙවුන වසර දහයක කාලයේදී හඳුනාගත් ප‍්‍රයිමේටා විශේෂ දහය අතරට මෙම ‘‘බිග් ෆුට්’’ද ඇතුළත් කළ හැකි බවයි.

නමුත් බිග් ෆුට් මිථ්‍යාවක් යැයි තර්ක ගොඩ නගන තවත් කණ්ඩායමක් සඳහන් කරන්නේ වසර මිලියන 65 කටත් පෙර මැමත් සහ ඩයිනෝසරයන්ගේ පොසිල හා ඇටකටු හමු වෙනවා නම් ‘‘බිග් ෆුට්’’හෝ ඊට සමාන සත්වයෙකුගේ පොසිලකරණයන් ගැන මෙතෙක් වාර්තාවන් නොලැබෙන්නේ මන්ද…? යන්නත් විමතියට හේතුවක් බවයි.මේ අතර ස්වදේශික රතු ඉන්දියානුවන් ජීවත් වුණ ලෙන්වලින් හඳුනාගත් සාක්ෂි අනුව තවත් පිරිසක් තර්ක කරන්නේ මෙම ලෙන්වල ඇති චිත‍්‍රවල ඇවිදින යෝධ වානරයෙකුගේ චිත‍්‍ර හමු වී ඇති අතර වාරයන් ජීවත් නොවුන මෙම කලාපයේ රතු ඉන්දියානුවන් විසින් හිතේ මවා ගත් කල්පිතයක් මේ අන්දමට සිතුවමට නැගීම විය නොහැකි දෙයක් බවයි. බටහිර ඇමරිකාවේ කැණීම්වල යෙදුන මෙම පුරාවිද්‍යාඥයින් ඔවුන්ගේ අදහස සාධාරණීය කරමින් කියන්නේ රතු ඉන්දියානුවන් අතර අදහස් සන්නිවේදන පවා ප‍්‍රබලව නොතිබි අතර ඔවුන් ජීවත්ව සිටි සෑම කලාපයකම ඇති සිතුවම් අතර මෙම යෝධ වානරයා දැක ගැනීමට ලැබීම නිසා පෙනී යන්නේ ‘‘බිග් ෆුට්’’යනු මනස් සිතුවමක් නොවන බවයි.බිග් ෆුට් ඇසින් දුටු බවට සාක්ෂි 2500 ක් පමණ 1820 සිට 1900 අතර කාලයේදී ලැබී තිබෙනවා. එතැන් පටන් බිග් ෆුට් ගැන පැවැති නිහැඬියාවෙන් ප‍්‍රයෝජන ලබා ගන්න ඇතැම් පිරිස් ඉදිරිපත් වීමට පටන් ගෙන තිබේ.1958 වසරේ ‘‘රේ වොලන්ස්’’ විසින් යෝධ වානරයෙකුගේ අඩි සලකුණක් බිග් ෆුට් ගේ යැයි ඉදිරිපත් කරමින් එය වීඩියෝ ගත කිරීමෙන් මේ ගැන ආන්දෝලනයක් ඇති වුණා.

එහෙත් රේ වොලන්ස් තමාගේ මරණාසන්න මොහොතේ මේ ගැන පාපොච්චාරණය කරමින් කියා සිටියේ එම වීඩියෝ දර්ශනය තමා විසින් සකස් කරන ලද එකක් මිස බිග් ෆුට් නොවන බවයි. 2004 වසරේදී පෙප්සි සමාගමේ බෝතල් නිෂ්පාදකයෙකුව සිට විශ‍්‍රාම ලබා සිටින ‘‘බොබ් හිරොමනිස්’‘කියා සිටියේ බිග් ෆුට් දර්ශනයන්හි ගෝරිල්ලෙකුගේ වේශයෙන් එදා පෙනී සිටියේ තමන් බවයි.තවත් අවස්ථාකදී එක්තරා පුද්ගලයෙකු විසින් ශාන්ත හෙලන්ස් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණ අතර එම ස්ථානයේ වගුරු වුණ මඬේ යෝධ පා සටහනක් පැවැති අතර මෙම පා සලකුණු පලතුරු ආහාරයට ගැනීමට පැමිණි බිග් ෆුට් ගේ විය හැකි බවට තර්ක කළත් 2000 වසරේ මෙම සිදුවීමත් බොරුවක් බැව් පසුව හෙළි විය.ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ ‘‘සෝල්ට් ෆෝක් ස්ටේට් පාක්’’’ ප‍්‍රදේශයේ සංචාරයේ යෙදුන මිතුරන් දෙදෙනකු විසින් හදිසියේම මෙම උද්‍යාන ප‍්‍රදේශයේ ඇවිද යන ලෝමවලින් පිරුන සිරුරක් ඇති දැවැන්ත ගෝරිල්ලෙකු වැනි අමුතු සත්ව රූපයක් දැක එය ඩ්‍රෝන කැමරාවට හසු කර ගැනීමට උත්සාහ කළත් කැමරාව ක‍්‍රියාත්මක කරද්දී බිග් ෆුට් දැක ගැනීමට ලැබී නැති බව ඔවුන් සඳහන් කරනවා. එහෙත් ඇසුන විවිධ ශබ්ද අනුව ඒ බිග් ෆුට් විය හැකි යැයි මේ දෙදෙනා සඳහන් කරනවා.මේ කතාවට තවත් අතුරු කතා එකතු කරමින් වයස අවුරුදු 56 ක පුද්ගලයෙකු සඳහන් කරන්නේ ඔහු වයස අවුරුදු 14 දී බිග් ෆුට් දුටු බවත් ඔහුගේ නැගණිය 1999 දී මේ ප‍්‍රදේශයේදීම බිග් ෆුට් දැක ඇති බවයි. මිතුරන් දෙදෙනාගේ වීඩියෝව මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ බෙදා හැර තිබුණත් අතීත සිදුවීම් නිසා මේ වීඩියෝවත් තවත් එක් දර්ශනයක් බවට පත්ව තිබෙනවා.