Naifmvlog

Naifm vlog Gossip and News

චීන සෙල්ලම් බඩු එන එක අඩුවෙයි නේද දැන්වත් අපේ සෙල්ලම් බඩුවලට තැනක් ඒවී

චීන සෙල්ලම් බඩු එන එක අඩුවෙයි නේද දැන්වත් අපේ සෙල්ලම් බඩුවලට තැනක් ඒවී කියලා හිතනා. 1990 විතරනම් මේ සෙල්ලම් බඩුවලට හොඳ තැනක් තිබ්බා. වර්තමානයේ එය නැතිවෙලා, පරිසර හිතකාමී කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු නිෂ්පාදනය කර අලෙවි කරන ලක්මන් රාජපක්ෂ මහතා ඉකුත්දා පුත්තලම නගරයේදී එම සෙල්ලම් බඩු එකලස් කරමින් සිටියදී ‘ඉරිදා දිවයින සංග‍්‍රහය’ට පැවසීය.පුත්තලම නගරයට මා ගිය අවස්ථාවක මාළු මාකට් එක අසල මා හට ලක්මන් රාජපක්ෂ මහතා පසුදින අලෙවිය සඳහා පුංචි මල් කරත්ත හා අනෙක් කරත්ත එකලස් කරමින් සිටියදී හමු විය.මේ පිළිබඳව රාජපක්ෂ මහතා සමග කථා කළ විට ඒ මහතා සඳහන් කළේ 1989 සිට මේ දක්වා රට පුරා ගමන් කරමින්, පයින් ඇවිදිමින් පරිසර හිතකාමී කුඩා ළමුන්ගේ සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන කර අලෙවි කිරීම සිද්ධ කරනවා.

මගේ ස්ථිර පදිංචිය කඩවත ඉහළ බියන්වල පන්සල ආසන්නයේ. සද්දේ ඇහෙන සෙල්ලම් කරත්ත හා සද්දේ ඇහෙන මල් කරත්ත හදනවා. මේවායේ අමුද්‍රව්‍ය ගොඩාක් ජාතිය දිරා පත් වෙනවා.පුත්තලම් නගරයට මීට දින කිහිපයට පෙර මල් කරත්ත 100 ක් හා සද්ද ඇහෙන සෙල්ලම් කරත්ත 200 කොටස් රැගෙන පුත්තලම පැමිණ ඇති රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ, දැන් අවුරුදු 31 ක් රට පුරා විවිධ ස්ථානවලට යනවා. හැබැයි නුවරඑළියේ වැනි සීතල පරිසරයට එහෙම මම කවදාවත් ගිහිල්ලා නෑ. මොකද මේ තියන රබාන පෙඟුනොත් සද්දේ නෑ. විවිධ උත්සව අවස්ථාවලටත් යනවා පොඩි ළමුන්ට තමයි මේ සෙල්ලම් බඩුව වටින්නේ මෙහි කිසිදු පරිසර හානියක් වන දෙයක් නෑ. දැන් චීනයෙන් ගේන ඒවා වගේ පරිසරය විනාශකාරී දේවල් නෑ. මෙහි අඩංගු සියල්ල පරිසර හිතකාමීයි.වත්තල හුණුපිටිය කාහේන ප‍්‍රදේශයේ මගේ පවුලයි තවත් කිහිප දෙනෙකුයි තමයි මෙහි අඩංගු සියලූ දෑ අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ. මම එක් නගරයක් ඉලක්ක කරගෙන කෑලි 300 විතර අරගෙන බස් එකෙන් ඇවිල්ලා තැනක් සූදානම් කරගෙන එතන ඉඳලා දිනපතා 50 60 හදාගෙන වෙළඳාම් කරන්න ගම් නියම් ගානේ යනවා.මට ඒ අතරින් පුත්තලම විශේෂයි. මට මතක ඇති විදියට 1990 විතර කාලයේ මම මේ කරත්ත රැගෙන පුත්තලමට ඇවිත් ඉන්නකොට, ඒ කාලයේ කරත්තයක් රු10/= යි. පොඩි ළමයෙක් රු. 1000 කොළක් අරගෙන ඇවිල්ලා කරත්තයක් ඉල්ලූවා.

මම ඒ ළමයාගෙන් ඇහුවා සල්ලි කොහෙන්ද කියලා. පස්සේ ඒ ළමයත් එක්ක මම ඒ නිවසට ගියා. මේ පිළිබඳව ඒ දෙමාපියන්ට කිව්වා. ළමයට දෙමාපියන් කරත්තයක් අරන් දුන්නා. මම ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් කළ නිසා අද වන තුරු පුත්තලමට මම ආපුහම මට ඉන්න තැනක් එයාලගේ ව්‍යාපාර ස්ථානයකින් ඉඩ දීලා තියෙනවා. මම ඒ නිසා මගේ මේ රට පුරා ඇවිදින රස්සාවට පුත්තලම අමතක වන්නේ නෑ. වර්තමානයේ මේ දෙවල් හදා ගන්න අමුද්‍රව්‍ය සූදානම් කිරීමත් අපහසු කාර්යක්. ඒත් එක්කම අපේ මේ කර්මාන්තයට චීනයෙන් සෙල්ලම් බඩු ගෙනාවට පස්සේ පහරක් වැදුනා. කවුරු හරි උදව් කළොත් මෙය තවදුරටත් ලස්සනට කරන්න, වැඩිදියුණු කරන්න පුළුවන්. දැන් නම් මේ මල් කරත්තයක් රු. 150/= ක්, අනෙක් කරත්තයක් රු. 100/= අලෙවි කරනු ලබයි. දිනකට පාරේ තොටේදී හමුවන අහිංසක දුප්පත් ළමුන් කිහිප දෙනකුට මම මුදල් ගන්නේ නැතිව දීලා එනව. ඒ ළමයි පුදුම සතුටක් භුක්ති විඳිනවා දැක්කම මට හරි සතුටුයි.