Naifmvlog

Naifm vlog Gossip and News

පොල් කෑවොත් හදවත ලෙඩ වෙයි ද?

පොල්කිරි හෝ පොල්තෙල් වලින් හෘදරෝගවලට ඇති අවදානම වැඩි බව පැවසෙන්නේ එහි ඇති සංතෘප්ත මේදය නම් වූ මේද කොටස් නිසායි. ඇතැම්හු පොල් වල ඇති සංතෘප්ත මේදය අනිත් ආහාරවල ඇති සංතෘප්ත මේදයට වඩා වෙනස් නිසා හෘදරෝග අවදානම අඩුබව පවසති. කාලාන්තරයක් තිස්සේ පොල්කිරි, පොල්තෙල් හා පොල්සම්බෝල හදවත් රෝගවලට සම්බන්ධ දැයි ජනතාව අතර කුහුලක් ඇත. එහෙත් විද්වතුන් එයට විවිධ ප‍්‍රතිචාර දක්වන නමුත් මේ දක්වා ස්ථිරසාර විද්‍යාත්මක මතයක් දක්වා නැත. ඒ අතරම කටුපොල් හෙවත් ෆාම් වලින් නිස්සරණය කරන ෆාම්තෙල්, පිළිබඳව ද භයංකාරත්වයක් දක්වන ලිපි හා සමාජ මාධ්‍ය සටහන් පාරිභෝගිකයා තවදුරටත් මංමුලා කරවයි. අද වෙළෙඳපළේ ඇති තෙල් වර්ග වලින් එළවළු තෙල්, ලෙස පොදුවේ හැඳින්වෙන්නේ මේ ෆාම්තෙල්ය. පොල්තෙල් වලට මිල අඩු ෆාම් තෙල් මිශ‍්‍රකර විකුණන බවට ද පැමිණිලි ලැබී ඇත. දිගුකාලයක් පුරා පොල්තෙල් හා කිරි භාවිත කිරීම ලාංකික ආහාර රටාවේ සුවිශේෂී ලක්ෂණයකි. විශේෂයෙන්ම පොල්කිරි නැති වෑංජනය රස නැති බව අපි දන්නෙමු.

පොල්තෙල් හා පොල්කිරි වල ඇති මේද සංයුතියේ වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ එහි ඇති ජල ප‍්‍රමාණයේය. පොල්කිරි ලබා ගන්නා ක‍්‍රමය අනුව එහි ජල ප‍්‍රමාණය තීරණයවේ. මිටිකිරි ලෙස ජලය නොයෙදූ පොල්කිරි වල සියයට 40 ක් පමණ මේදය ඇත. ජලය එකතු කරනවිට මේදය ප‍්‍රතිශතයක් ලෙස අඩුවේ. පොල්තෙල්වල සියයට 99ක්ම මේදය වේ. උණු වතුරෙන් පොල්කිරි මිරිකාගත් විට වැඩි ප‍්‍රමාණයක් මේදය එකතුවේ. වෙළෙඳපළේ ඇති පිටිකළ පොල්කිරිවල මේදය සියයට 60ක් පමණ වේ. පොල්කිරි හෝ පොල්තෙල් වලින් හෘදරෝගවලට ඇති අවදානම වැඩි බව පැවසෙන්නේ එහි ඇති සංතෘප්ත මේදය නම් වූ මේද කොටස් නිසායි. ඇතැම්හු පොල් වල ඇති සංතෘප්ත මේදය අනිත් ආහාරවල ඇති සංතෘප්ත මේදයට වඩා වෙනස් නිසා හෘදරෝග අවදානම අඩුබව පවසති. එහෙත් මෑතකදී පළවූ විද්‍යාත්මක සඟරාවලට අනුව එසේ හෘදරෝග අවදානම අඩු බව පැවසීමට ප‍්‍රභල සාක්ෂි නොමැති බව සඳහන්වේ.

පොල්තෙල් වල ඇති මේදය අපගේ යහපත් කොලෙස්ටරෝල් හෙවත් (HDL) කොලෙස්ටරෝල්, වැඩි කරන බව පවසයි. එය සත්‍ය නමුදු සංතෘප්ත මේදය නිසා අයහපත් හෙවත් (LDL) කොලෙස්ටරෝල්, වැඩි වන බව පෙන්වා දී ඇත. ඒ අනුව ගත් කල සමස්තයක් ලෙස පොල් වලින්,තෙල් හා කිරි යන දෙවර්ගයෙන්ම හෘදරෝග අවදානම වැඩි වන බව පෙනී යයි. (LDL) කොලෙස්ටරෝල් අපගේ ශරීරය තුළ නිපද වෙන්නකි. මේ සංයෝගය වැඩි වූ විට එය හෘදයට රුධිරය සපයන රුධිර නාළ අවහිර කරමින් මේදය ලෙස තැන්පත් වේ. කාලයත් සමඟ මේ ඉතා සිහින් රුධිර නාළ අවහිර වීමෙන් හෘදයට රුධිරය සැපයීම අඩාල වේ. අවසන් ප‍්‍රතිඵලය වන්නේ හෘදයේ පේශී කොටස් මිය යෑමයි. එවිට හෘද ක‍්‍රියාකාරීත්වය අඩාල වීමෙන් හෘදයාබාධ (heart attack) ඇතිවේ. (HDL) කොලෙස්ටරෝල් වැඩි වූ විට මෙම අවදානම අඩු වන්නේ මුත් (LDL) ඊට වඩා හානියක් ඇති කරයි. මේ නිසා අවසන් ප‍්‍රතිඵලය ලෙස දැක්විය හැක්කේ අධිකව පොල්තෙල් හා පොල්කිරි භාවිතය හෘදරෝග සම්බන්ධයෙන් හිතකර නොවන බවයි. පොල්තෙල් හෘදයට හිතකර බවට පළවන වාර්තා බොහොමයක් පළවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. ඔවුන්ගේ ආවේණික ආහාරයේ ලෝරික් අම්ලය නැමැති පොල්තෙල් හා කිරිවල බහුලව ඇති මේද අම්ලය ඇතුළත් වන්නේ ඉතා මද වශයෙනි. එම නිසා ඇමරිකානුවන්ගේ ආහාර රටාව ආසියාතිකයින් ගේ ආහාර රටාව හා සමකළ නොහැක.

පොල්තෙල් හා පොල්කිරි බහුලව භාවිත කරන රටවල් අතර ශ‍්‍රී ලංකාව, පිලිපීනය, ඉන්දියාවේ කේරළය හා ආසියානු ෆැසිපික් රටක් වන පොලිනීසියාව ප‍්‍රමුඛ වේ. මෙවැනි රටවල ඇමරිකාවට වඩා එළවළු, පලතුරු, හා මාළු අනුභව කරනු ලැබේ. තවද පොල්තෙල් වල ගුණාත්මක භාවය දක්වන පර්යේෂණ වැඩි ප‍්‍රමාණයක් කර ඇත්තේ සතුන් යොදා වන අතර, ප‍්‍රමාණවත් ලෙස මිනිසුන් භාවිත කර පර්යේෂණ කර නොමැත. අනිත් පසින් අසංතෘප්ත මේද බහුලව පවතින තෙල් වර්ග එදිනෙදා පරිභෝජනය තුළින් හෘදරෝග අවදානම අඩුවන බව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම මධ්‍යධරණී රටවල භාවිතවන ඔලිව් තෙල් හෘදරෝග අවදානම අඩු කරන බව පෙන්වයි. ඔලිව් තෙල් භාවිත කරන රටවල ජනගහනයේ හෘදරෝග වැළඳීම මේදය අඩු ආහාර භාවිතයට ගන්නා ජන කොටස් වලටත් වඩා අඩු බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. මෙයින් පෙන්වන්නේ ඇතැම් තෙල් වර්ග (ඔලිව් තෙල්) වැනි හෘදරෝග අඩු කරන බවයි. හෘදරෝග අඩු කිරීමට තෙල් අඩුවෙන් කන්න යැයි කීම වර්තමානයේ එතරම් පිළිගන්නා මතයක් නොවේ. සිරුරට යහපත් මේද වැඩි වශයෙන් ගත්විට ද හෘදරෝග අඩුවේ. එහෙත් පොල්තෙල් හා පොල්කිරි වලින් මෙම ප‍්‍රතිඵලය ලබා ගත නොහැක.

එසේ නම් ලාංකිකයන්ට සුදුසු කුමන තෙල් වර්ගය ද අපේ සුපුරුදු ආහාරවල රසය ගැනීමට පොල්කිරි භාවිතය කාලාන්තරයක් තිස්සේ කරන බැවින් මෙය සපුරා නතර කිරීම කළ නොහැක්කකි. එහෙත් මිටි කිරි භාවිතය හා පොල්තෙලින් බැදීම අනිවාර්යෙන්ම අඩු කළ යුතුය. පොල් වවන පහතරට ප‍්‍රදේශවල අධිකව පොල්කිරි භාවිත කරන අතර උඩරට ප‍්‍රදේශවල තෙලෙන් බදින ආහාර හෝ තෙම්පරාදු කරන වෑංජන අනුභව කිරීම ප‍්‍රවණතාවයකි. මේ දෙආකාරයින්ම සංතෘප්ත මේදය වැඩි වශයෙන් සිරුරට එකතුවේ. මින් සිදුවන්නේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි වශයෙන් සිරුරේ නිපදවීමයි. එය රුධිරනාළ අවහිරයටත් රුධිර පීඩනය වැඩි කිරීමටත් ඉවහල් වේ. ඔලිව් තෙල් ලංකාවේ නිපද නොවන අතර මිලෙන් ද වැඩිය. ෆාම් තෙල් ලෙස ප‍්‍රචලිත කටුපොල් වලින් නිස්සාරණය කරන තෙල්වල ද අධිකව සංතෘප්ත මේදය අඩංගු වේ. පොල්තෙල් වලට සාපේක්ෂව හිතකර වන අසංතෘප්ත මේද ෆාම් තෙල් වල අඩංගු වුවද අවසන් ප‍්‍රතිඵලය වන්නේ සංතෘප්ත මේදය නිසා හෘදරෝග අවදානම වැඩි වීමය. බඩඉරිඟු තෙල්, සෝයා තෙල් හා සූරියකාන්ත තෙල් වල අසංතෘප්ත මේදය වැඩිපුර අඩංගුවන බැවින් LDL) කොලෙස්ටරෝල් අඩු කිරීමට එවැනි තෙල් ඉවහල් වේ. එනමුදු මේ තෙල් වර්ග ද ලංකාවේ නිපදවන ඒවා නොවේ. එබැවින් මිල සාපේක්ෂව වැඩිය.

ලංකාවේ නිපදවන තලතෙල් මගින් අපට අවශ්‍ය වන අසංතෘප්ත මේදය ලබා ගත හැකි අතර මේද සංයුතිය අනුව තලතෙල් ලාංකිකයන්ට වඩාත් හිතකර තෙල් වර්ගය වන බව පෙනීයයි. පොල්තෙල් අනුභවය සිංහල ජනතාව අතර ප‍්‍රචලිත නොමැති මුත්ල දෙමළ ජනතාව කලකට ඉහතදී එය බහුලව භාවිත කරන ලදී. එහෙත් අවාසනාවන්ත ලෙස තලතෙල් භාවිතය අද ලංකාවේ එතරම් සුලභ නොවේ. ඉහත දැක්වූ කුමන හෝ තෙල් වර්ගයක ස්වභාවික කොලෙස්ටරෝල් අඩංගු නොමැති බව අවබෝධ කර ගත යුතුය. තෙල්වල කොලෙස්ටරෝල් නොමැති වුවද ඒවා අනුභව කිරීම තුළින් සිරුරේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වීම සිදු වේ. විශේෂයෙන්ම පෙර කී ලෙස, පොල්තෙල්, පොල්කිරි හා ෆාම්තෙල් අනුභවය සිරුරේ කොලෙස්ටරෝල් නිපදවීමේ ක‍්‍රියාවලිය සක‍්‍රීය කරයි. පොල්තෙල් හා පොල්කිරි වලින් හෘදයට අහිතකර තත්ත්වයක් ඇති වුවද ඉන් ලැබෙන රසයට අමතරවල වෙනත් යහපත් ප‍්‍රතිඵලද ඇති බව වාර්තා වේ. දියවැඩියාව හා ඇතැම් පිළිකා ඇති වීම කෙරෙහි පොල්තෙල් හා කිරිවල සාධනීය යහපත් ප‍්‍රතිඵල පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. එමෙන්ම ප‍්‍රතිශක්තිකරණය දියුණු වීමෙන් ඇතැම් වෛරස් රෝග වැළඳීම අඩු කිරීමටත් පොල්තෙල් හා කිරි ඉවහල් වන බවට ඉඟි ලැබී ඇත.

මෙවන් යහපත් මෙන්ම හෘදරෝග සම්බන්ධයෙන් අහිතකර බව පෙන්වන පොල්තෙල් හා පොල්කිරි අප විසින් භාවිත කරන්නේ කෙසේද? සියලූ විද්‍යාත්මක කරුණු පදනම් කර ගත් විට වඩාත්ම සුදුසු ක‍්‍රමවේදය වන්නේ අඩුවෙන් පොල්කිරි භාවිතයත් මිටි කිරි ස්වල්පයක් වෑංජන වලට යෙදීම හෝ දියකිරි භාවිතය අවම ලෙස පොල්තෙල් හෝ ෆාම්තෙල් භාවිතයට පුරුදු වීමයි. ඔබගේ නිවසේ පොල්තෙල් බෝතලයත් සමඟම අසංතෘප්ත මේදය අඩංගු තලතෙල් හෝ සූරියකාන්ත තෙල් හෝ සෝයා තෙල් යන වර්ගවලින් එකක් තබා ගෙන විවිධ ආහාරවලට විවිධ තෙල් වර්ග භාවිතය තවත් හොඳ ක‍්‍රමයකි. මසක් අවසනදී මේ දෙආකාරයේම තෙල් සමානව භාවිත කර තිබේ නම් තුලිත වූ මේද සංයුතියක් අපට ලැබී ඇති බව පෙනේ. පොල් සම්බල් අප කාටත් පුරුදු කවුරුත් කැමති කටට රහට කෑහැකි ආහාරයකි. පොල් සම්බල්වල තන්තු බහුලව අඩංගු බැවින් එයින් ලැබෙන අවාසිදායක ප‍්‍රතිඵල අඩුකරගත හැක. තන්තු ආහාරයට එකතු වීමෙන් සිරුරේ කොලෙස්ටරෝල් අඩුවීමද දියවැඩියාව හා බඩවැල් ආශ‍්‍රිත රෝග සම්බන්ධව සෞඛ්‍යානුකූල ප‍්‍රතිඵල ලබාගත හැක. එහෙයින් පොල් සම්බල් හා ආහාරයට පොල් එකතු කිරීම තෙල් හා කිරි තරම් ම අයහපත් නැත.

පොල්තෙල් පිළිබඳ ඇති තවත් දුර්මතයක්්් නම් අධික උෂ්ණත්වයේදී එමගින් නිපදවන ට‍්‍රාන්ස් මේදය, නම් ඉතා අහිතකර මේද කොටස් ඇති නොවන බවයි. එහෙත් අධික උෂ්්ණත්වයට තෙල් රත්කිරීමෙන් ඕනෑම තෙල් වර්ගයක අහිතකර රසායනික සංයෝග ගණනාවක් ඇති විය හැක. එබැවින් කිසිම තෙල් වර්ගයක් නැවත නැවත භාවිතයත් ගැඹුරු තෙලෙන් බැදි ආහාර නිතර අනුභවයත් නුසුදුසු වේ. වීදී දෙපස ඇති වඬේ, මුරුක්කු, මෙන්ම කට්ලට් පැටිස් බදින තෙල් හා සුප‍්‍රකට තරුපන්තියේ හෝටල් හා ආපනශාලාවල ද එකම තෙල් නැවත නැවත හාවිත කරන බව නොරහසකි. එබැවින් එවැනි ස්ථාන වලින් ආහාර ගන්නා විට ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. මේ රසායන සංඝටක පිළිකා, දියවැඩියාව හා හෘද රෝගවලට අවධානම වැඩිකරයි. කොත්තු හා ෆ‍්‍රයිඞ්රයිස් වලට යොදන්නේද ෆාම් තෙල් බව අමතක කළ යුතු නැත.