Naifmvlog

Naifm vlog Gossip and News

ජේ ආර් ජයවර්ධන කීව රස කතා

වර්තමානයේදී මෙන්ම 1955 කාලයේදී (පෙබරවාරි) එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය ඉතා උත්සන්නව පැවැතිණි. 1955 පෙබරවාරි මස වන විට ඩඩ්ලි සේනානායක මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන සිටියේය. අගමැති ධුරය හෙබවූයේ සර් ජෝන් කොතලාවල මහතාය. පක්ෂයේ නායකත්වයට පත්වීමේ ලොකු බලාපොරොත්තුවක් ජේ.ආර්. ජයවර්ධන මහතාට මතු වී තිබිණි. එවකට ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකා පාර්ලිමේන්තුවේ සභා නායක, කෘෂිකර්ම සහ ආහාර අමාත්‍ය ධුරය හෙබවීය. සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය, ආරක්ෂක හා විදේශ කටයුතු ධුර හෙබවීය.සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව කිරීම, බෞද්ධ කොමිෂන් සභා වර්තාව රජයට විරුද්ධව පෙළ ගස්වා තිබීම, 1953 මහා හර්තාලයෙන් පසු එජාප රජයට එරෙහිව ජන මතයක් ගොඩනැඟී තිබීම, බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ල.නි.ප. රජයට අභියෝගයක් වීම, සම සමාජ කොමියුනිස්ට් පක්ෂ එජාපයට එරෙහිව පෙරමුණ ගැනීම ප්‍රධානම ප්‍රබල ජන මතයක් ගොඩනැඟී තිබිණි.

මේ අතරතුර 1955 පෙබරවාරි මාසයේදී එජාපයේ මහ සමුළුවක් කැලණියේදී පැවැත්වීමට විධිවිධාන සකස් කර තිබිණි.මේ ප්‍රබල යෝජනා සියල්ලටම වඩා ඉහළ යෝජනාවක් එවකට දැදිගම මන්ත්‍රි හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමුළුවට ඉදිරිපත් කළේය. “සුරාව හා සූදුව මෙරටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතුය” යන යෝජනාව ඩඩ්ලි සේනානායක මහතා ඉදිරිපත් කළේ එවකට එ.ජා. පක්ෂයට සහයෝගය දුන් නායක හිමිවරුන්ගේ ප්‍රබල ඉල්ලීමකට දැඩි අවධානය යොමු කරමිනි. මාලේවන ඤාණිස්සර, තලල්ලේ ධම්මාලෝක, බෙල්ලන්විල හේමරතන ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා එකල එජාපයේ ප්‍රබල භූමිකාවන් විය.සුරාව සහ සූදුව මේ රටින් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ යෝජනාවට උපනායක ජේ.ආර්. ජයවර්ධන මහතා මුල පටන්ම විවිධ තර්ක ඉදිරිපත් කරමින් හරහට සිටියේය. ඔහු මේ පිළිබඳව සභාව දැනුවත් කළද අනු කොමිටි මට්ටමේදීම ජේ.ආර්.ගේ කණ්ඩායමට අන්ත පරාජයක් හිමි විය. තමන්ගේ මතයට එරෙහිව වෙනත් මතයක් ඉදිරිපත් වන අවස්ථාවලදී ජේ.ආර්.ගේ සුප්‍රසිද්ධ නහය රතු පැහැයට පත්වීම ස්වාභාවික ලක්ෂණයකි.කෝපයෙන් නහය රත්පැහැ කරගත් ජේ.ආර්. සභාවේදී සුපුරුදු ලෙස සෙමින් නැඟිට සිට ගැඹුරු හඬ අවදි කළේය.

“…අප දුටු වාර්තාවල හැටියට සුරාව, සූදුව තහනම් කරනවා නම් පසුගිය අවුරුද්දේ (1954) මේ රටේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධි වෙලා තියෙන්නේ කාන්තාවන් නිසා. මම මේ ගරු සභාවෙන් අහන්න කැමැතියි, ඇයි තමුන්නාන්සේලා ගැහැනු තහනම් කරන යෝජනාවක් ගේන්නේ නැත්තේ ඇයි කියලා”සභාව තුළ මේ යෝජනාව මහත් ආකූල ව්‍යාකූල තත්ත්වයකට පත්විය.එම සිද්ධියෙන් අවුරුදු හරියටම දහයකට පසු එළැඹුණු 1965 මහ මැතිවරණයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන මහතා එවකට රාජ්‍ය අමාත්‍ය ධුරය දරද්දී සුරාව, සූදුව යෝජනාව නොව කාන්තාවන් තහනම් කළ යුතු යෝජනාව යළි ඉස්මතු විය1965 මාර්තු 22 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන මහතා දකුණු කොළඹ බහු මන්ත්‍රි ආසනයේ පළමුවන මන්ත්‍රි වශයෙන් නිතරගයෙන් පත්වූයේය. 1942 පටන් සුපුරුදු කැලණිය අසුනට ජේ.ආර්. තරග නොකළේය. මේ ගැන ජේ.ආර්. වරක් පැවැසුවේ සුපුරුදු අසුනට ඉදිරිපත් වූවා නම් ශ්‍රී ල.නි. පක්ෂයේ අපේක්ෂක ආර්.ඇස්. පෙරේරා තමන් පරාජයට පත් කරන බවය. අගමැති ඩඩ්ලි සේනානායක රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන ලද්දේ ජේ.ආර්.ය.1960 ජූලි මැතිවරණයේදී බොරැල්ල ජයග්‍රහණය කළේ ශ්‍රී ල.නි.ප.යේ ඩබ්ලිව්. ඩැනිස්ටර් සිල්වා නොහොත් දඩිබිඩි සිල්වාය.

හිටපු මන්ත්‍රිවරයා වූයේ ආර්.ඩී. ලෙනෝරාය. ඡන්ද පෙත්සමක් නිසා කැලණියට 1964 ජනවාරි 18දා අතුරු මැතිවරණයක් පැවැත්විණි. ලංකා සම සමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන තියුණු තරගයකින් බොරැල්ල ජයග්‍රහණය කළාය. 1965දී ඇම්.එච්. මොහොමඩ් (එජාප) තියුණු තරගයකින් විවියන් ගුණවර්ධන පරාජය කළේය. විවියන් පරාජය කරන්නට එ.ජා.පක්ෂයේ උපනායක ජේ.ආර්. ජයවර්ධන උපරිමව වෙහෙසුණේය.මැතිවරණ පරාජයෙන් පසු ලංකා සම සමාජ පක්ෂයේ දිනපතා ජනදින පුවත්පතෙහි පාර්ලිමේන්තු වාර්තාකාරිනිය වශයෙන් විවියන් මාධ්‍ය මෙහෙවරක නියුක්ත වූවාය. විවියන් සෑම අවස්ථාවකම පාර්ලිමේන්තු ලොබියේ සිට ජේ.ආර්.ගේ ප්‍රකාශවලට ප්‍රතිවිරුද්ධ අදහස් පැවැසුවේ දරුණු කර්කශ උපහාසවලිනි. එවකට කථානායක ඇල්බට් ඇෆ්. පීරිස් කෙතරම් අවවාද හා ඉල්ලීම් කළත් විවියන් ඒ ගැන තැකුවේ නැත.රාජ්‍ය අමාත්‍ය ජේ.ආර්. කතාව පටන් ගත් වේලාව පටන් මහජන ගැලරියේ පිටුපස සිටි විවියන් පැන පැන බාධා ඉදිරිපත් කළාය. ජේ.ආර්. කිහිප අවස්ථාවක් ගොරෝසු පැහැති මුහුණුවරින් යුතුව හැරී බැලුවත් බාධාව නතර වන ගතියක් පෙනෙන්නට හැඟෙන්නේ නැත.ජේ.ආර්.ට ශ්‍රී ලංකාවේ කාන්තාවන් බහුතරයක් සිටීමේ ඉතිහාස කතාව යළිත් සිහිපත් විය. විවියන්ගේ අවකැපෙන කතාවලට පිළිතුරක් දෙමින් තරමක් ශබ්ද නඟා මෙසේ පැවැසීය.“කථානායකතුමනි, මං හරි කැමැතියි කාන්තාවන් මගේ ඉදිරියේ ඉන්නවා නම් පස්සෙන් නොවෙයි. කාන්තාවන් පස්සෙන් ඉන්න කොට මොනම දෙයක්වත් කරන්ට බෑ.”එවිට විවියන්ගේ රතිඤ්ඤා පුපුරන හඬ තුන්හුලස් රතිඤ්ඤා හ¾ඩින් ඉහළ ගියේය. ඇය නිශ්ශබ්ද වූයේ සම සමාජ පක්ෂයේ විපක්ෂයේ ජේ‍යෂ්ඨයන්ගේ අවවාද කිරීම්වලින් පසුවය.