Naifmvlog

Naifm vlog Gossip and News

බත්තලන්ගුණ්ඩුවෙන් තවමත් මුහුදට යන අපූරු ධීවරයා අමිල

වරායවාසල පුංචි කඩ පොඩ්ඩ උෟරු බඩගින්නක් නිවා දැමීමට ප්‍රමාණවත් යැයි මම නොසිතුවෙමි. රතු හාලේ බත, අලුත් මාළු සමඟ පොල් සම්බෝලය පසුව එළැඹෙන දින උෟරු බඩගින්නට අත්තිකාරම් ගෙවන්න යැයි බල කළා කියමුකෝ. පය ඉක්මන් කළ යුතුය. පීඩාකාරී දවසක් ගෙවී වසන්තයේ තුරු ලතාවල සාරය නැවත උරා ගනිද්දී පවතින අසහනය නැවත මට දැනෙන්නට වූයේ වරාය ජැටියෙන් බෝට්ටුවට නඟින විටය. ගුණ්ඩුව දැන් කෙබඳු සිරියකින් ඇලළී ගිය තැනක්ද? අවුරුදු 3 1/2කට ගුණ්ඩුවට කිනම් බලපෑමක් කිරීමට හැකියාව ලැබී ඇත්ද? මගේ මිත්‍ර පාර්ශ්වයේ ටික්කාට හද පොපියන දෑ ගැන කියා පලක් වේද? දුර්වල හැඟීමක්, මානසික ගෙරවීමක් යම් පමණකට වේදනාවකුත් ඇතිමුත් එය තණපත් අග රැඳි පිනිබිඳක් බවට හැරවූයේ මහ බෝට්ටු බඳ තුළ කෙළිදෙළෙන් සිටි කුඩා එකාය. හීනියට දිග ඇදී යන ඇට බෝල සුදු යකඩ මාලයක් ගෙල රැඳි කාන්තාවක සමඟ ඔට්ටු වෙමින් සිටි කුඩා එකා පහදා දුන්නේ ගුණ්ඩුව වෙනස් වී ඇති නමුත් එය අනිවාර්යභාවයක් විය යුතු බවයි.එක් පසෙකින් ගන නිල්ල සමඟ ඇස ගැටෙන්නේ විල්පත්තුව නම් මනරම් වනාන්තරයය. අනෙක් පසින් කල්පිටිය දෙස ධීවර ජනාවාසය. එකී බිම් කඩවල් දෙක යා දෙක නොරත රත සේය. විල්පත්තුව මෙතරම් කලක් රැක ගැනීම වස් අප ප්‍රභාකරන්ට තුති පුද කළ යුතුමය. අළු පාට දුර්වල මැක්කන් කන්නට ගත් පිටක් ඇති සුනඛයෙක් මෙන් වූ කල්පිටිය ධීවර ජනවාස දෑස් දෙසින් නැඟී සිටිනු දුටු මගේ සිත එකලස් වූයේ බත්තලන්ගුණ්ඩුව දෙස බලා සිටිනා කහපාට රවුම් ඇස් කරකවන බකමූණෙක් නිසාය. උෟ යම් දුරකට ගාම්භීරය, උස්ය. උගේ කන් ඇසීම තියුණුය.

උෟ සම්පූර්ණයෙන් කටු පඳුරු කහ පැහැති මල් පොහොට්ටුවකි. බත්තලන්ගුණ්ඩුව = බකමූණාසෘති විපර්යාසයන්හි නොනවතින රිද්මය, සදාකාලිකව කරකැවෙන ජීවන චක්‍රය, කොන්තතරුව ලබාදෙන සතර දිශාව, ජීවිතය පිළිබඳ ආශාව නොවන්නට බත්තලන්ගුණ්ඩු ජීවිත අවදි නොවන ගානයි. ඒ පිළිබඳ කියන්නට මීගමුව මුන්නක්කරේ පළාතේ සිට ගුණ්ඩුවට ඇදෙනා හැලහොල්මනක් නැති ජීවිත දෙස බලා සිටිය යුතුය. බලාගත් අත බලාගෙන වතුර බූලියට ඔළුව තියාගෙන දෑස් සෙමින් වසාගන්නා ජීවිත……..මහ බෝට්ටුවේ පහළ කෑල්ලේ මාළු වැල්වල පැටලුම ලෙහන ජීවිත……..මිනිසුන්ට ඇත්තේ එකම එක ජීවිතයක් බවත්, ඉන් පිටත වෙනස් ජීවිතයක් නැති නිසා ජීවිතයේ ලබාගතයුතු වින්දනය නොපමාව ලබාගත යුතුයි සිතන ජීවිතවලට බත්තලන්ගුණ්ඩුවේ ජීවිත ලබාදෙන උවදෙස් – අදීරු කිනම්ද? ශේ්‍රෂ්ඨ ආදර්ශ අප තුළට ඇතුළුවන හැමවිටම අප පරාජිත ආත්මයන් බවට පත් නොවන්නේද?අප බෝට්ටු කඳ තුළ අඩ හෝරාවකට වැඩි කාලයක් මිඩංගු කර තිබිණි. තවත් පැය තුනක කාලයක් බෝට්ටුව බත්තලන්ගුණ්ඩුවට යෑමට ගතවේවි. මුහුදු පැය 4ක් යනු, හොඳින් මුහුද පවතින්නේ නම් මුහුදු සැතපුම් 60ක් පමණ ගෙවා දැමීමකි. කෝඩුකාරයන්ට පැය 4ක මුහුදු ගමනක් යනු බඩ කෝනිත්තන් කරන්නට ගන්නා පැය 2-3ක එකතුවකි. ඒ කෝනිත්තමට මක්කරලාවත් ඔළුව කෙළින් තියාගෙන සිටිය නොහැකිය. කළපු දිය රළ රිද්මය කැපී මහ මුහුද බෝට්ටුව දෙබෑ කරන්නට ගන්නේ කිනම් මොහොතකද බඩේ කෝනිත්තමට ඒ මොහොත සමානය. කාලයකට පසු මුහුදු ගමනක නිසා සහ පසුගිය දින දවසේ සරතැස නිවීමේ මෘදුක පානය සුපුරුදු අඩිය ඉක්මවූ නිසා මමද සිටියේ කැලැතුණු බඩක් ඇතිවය.

හැකි ඉක්මනින් ගුණ්ඩුවට යා හැකි නම් එය කෙතරම් ඉස්පාසුවක් ලබාදෙන කරුණක්ද? බෝට්ටු කඳ තිගැස්සෙමින් ගුණ්ඩුවේ පොළොව බදා ගැනීමට මානලයි. ඇන්ජින් පොල්ල මුහුදින් උඩට ඉස්සෙත්ම ගැස්ම පාලනය බෝට්ටුවටම හිමිවේ. බෝට්ටුවට ඇන්ජින් පොල්ල ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයෝ සේය. විටෙකදී සියලු සැප සම්පත් බෝට්ටු කඳට ලබාදෙන්නේ ඇන්ජින් පොල්ලය. දැන් බත්තලන්ගුණ්ඩුවට පය තිබිය යුතුය. වෙනසකට….අලුත් අත්දැකීමකට…… යන්නන්වාලේ යන ජීවිතය ජීවත් කිරීමට…..ගුණ්ඩුවට පැමිණි සියල්ලෝ කරදිය නොව මිරිදිය පාගාලමින් ගුණ්ඩුවේ පොළොවට පය තිබිය යුතුය. මහ වළවක් තුළට වැදීමට තිබුණා කියන්නේ කොන්ද කුදුවන තරමේ උළුවස්සක්ලුනේ.අමිල….ඔහු තමයි ගුණ්ඩුවේ සුමුදු අමුතු මිනිසා. ගුණ්ඩුවේ සිටින කල අපගේ කැපකරු පියා. මිනිසකු නම් ශිලා ලිපි කිහිපයකින් සමන්විත ඉතිහාසයක් තිබිය යුතුමයි. ඒ අතරතුර සිද්ධීන් දෙක තුනක් බ්‍රාහ්මීය අක්ෂරවලින් පැවැතුණාටත් කම් නැත. ඒවා ටැම් ලිපි වූවත් කම් නැත. අමිලට ඇත්තේ එවන් ඉතිහාසයකි. ඔහු නිවැරැදිව පැවසුවහොත් බත්තලන්ගුණ්ඩුවට අයත් පුද්ගලයකු නොවේ. ඔහු අනුරාධපුරයානුවෙකි. නිච්චියටම කිව්වොත් රාජාංගණයට සමීප අනුරාධපුර නිවන්තකචේතියේ උසස් අධ්‍යාපනය ලැබූ සිසුවෙක්. කොන්ත තරුවෙන් මඟ සලකුණු අසා අද දින දියඹට යනවා නම් ඔහු හැබැවින්ම සුමුදු අමුතු අයෙක් විය යුතුමනේ. ඇන්ජිමේ ගොරතරය අඩුවෙන විට මම අමිලගේ වාඩිය කොයි දෙස දැයි විමසා සිටියෙමි. එය පිහිටා තිබුණේ බත්තලන්ගුණ්ඩු පොලිසියට හා කතෝලික දේවස්ථානයට අතරමැද රිංගිය යුතු පටු අඩි පාරක් කෙළවරය. හිරු-හෙනහුරෙක් දක්වා දිගු දුර ඇදී ඇති නිසා අප නැවතත් පය ඉක්මන් කොට අමිලව සෙව්වෙමු. එක් එක් ලෙස තනා තිබූ වාඩි පෙළ පංකාදුය. ඒ ඒවා එකිනෙකට වෙනස්කම් ඇති නිසාය.

ක්‍රිස්තියානි සම්ප්‍රදායක් නිතැතින්ම ඒවායේ නික්මේ. එක් වාඩියක සිටිනා තරුණ මවක් බිලිඳු තොලින් මුදා ගන්නා ලද ළැම හැට්ටයෙහි සඟවා ගන්නා ලද්දේ අප පිටස්තරයන් වන නිසාද නොවේ. ඒ ළදරු බඩ පොඩ්ඩට ගුඩුස් යැවිය යුතු නිසා යැයි හඟමි. තවත් වාඩියක පොල් කොළ කුරුසය පාමුලට වී දැල් පැටලුම් ලෙහන්නෙකි. පැටලුම බුරුල් වෙත්තම ඔහුගේ මුහුණ පියකරු බවින් ඉලිප්පේ. ඔහු උරමින් සිටින්නේ සිගැරැට්ටුවේ අන්තිම අදියරය.“අමිලගේ වාඩිය කොහෙද? මම ඔහුගෙන් පවසා සිටියෙමි. “අයිස් කැඩෙන සද්දේ එන්නේ ඒ වාඩියෙන්, ඉස්සරහටම යමු.” ඒ ඔහු පිළිවදන් ගොනු කළ ආකාරයය.“විශාල දෙබොක්කාවක් මැද්දට වන්නට ඇති අමිලගේ වාඩිය කොයිවෙලාවේදීත් මිනිසුන් රොද බැඳගත් තැනකි. අයිස් කැඩිල්ලේ හඬ ඔවුන්ගේ හඬ පරයමිනි. ඒ අයිස් පෙට්ටිගත වන්නේ මාළුවන්ගේ බරට සමපාතවය. කොට කලිසමෙන් සැරසුණු ධීවරයෝ කිහිපදෙනෙක් එක සීරුවට මාළු ඇසුරුමේය. කාට්ලෝන් හැට්ටයකින් සැරසුණු නොඋස් කාන්තාවක් ඔවුන්ට හූ මිටි ලබා දේ.“ප්‍රභාත් අයියා..පණිවුඩය ලැබුණා එන විත්තිය. බෝට්ටුව ගාවට ගෝලයකුත් යැව්වා. මම දැනගත්තා. එහෙ මෙහෙ පොඩ්ඩක් ඇවිදලා කරලා ඒවි කියලා. ඉතින් කොහොමැයි ජීවිතය….මෙතන පොඩ්ඩක් ඉඳලා ගෙවල් වාඩිය පැත්තට යමු. කෑම ලෑස්ති කරලයි තියෙන්නේ.” අමිල නොනවතින කියවිල්ලකය. ඔහුගේ වචන තුළ ඇත්තේ ජීවිත වන්දනාවක බරය. මිත්‍රකමක ඇති පරිමාවය.

ගුණ්ඩුවේ හුදකලාවෙන් නිදහස්වීමේ නොතිත් ආශාවය. කළපු දෙසින් හමා එන අකීකරු සුළඟින් වාඩියේ පියැස්සේ පොත් අතු මැදින් ඉස්සී ගැලවී පියෑඹීට වෙර දරන්නා සේ…..ප්‍රිය මිත්‍රවරුනි! සියල්ලටම ප්‍රථම අමිල ගැන පවසා සිටිය යුතුමයි.“අමිල උපදින්නේ අනුරාධපුරයේය. අමිලගේ තාත්තා ඔහු උපදින විටත් දූපත්වාසියෙකි. ධීවර මුදලාලිවරයෙකි. අමිල තාත්තාගේ ජීවිතයෙන් ලබන අත හිත නිසා දූපතට නොපැමිණ අනුරාධපුරයේ ගාල් වේ. නිවන්තකචේතිය මැදි විදුහලෙන් සමුගන්නා අමිල උර දෙන්නේ නිවෙසේ ජීවන බර ඇදීමටය. පෙර සඳහන් කළ පරිදි ඒ සඳහාද තම පියාගේ අතහිතය. අමිල කියන ලෙස ඔහුගේ පියා කිසිදු දිනෙක මෙය කළ යුතු යැයි, මෙය නොකළ යුතු යැයි නීති පැනවූවෙක් නොවේ. තමුන්ට රිසි කුමක්ද ඒ සඳහා වැඩි කැපකිරීමක් කළ යුතු බවලු අමිලගේ පියාගේ මතය. ඒ මතය ඔස්සේ සිය ජීවන ගමන සකසා ගන්නා අමිල බස් හිමියෙක් බවට පත්වන්නේ කෙටි කාලයකිනි. කොළඹ, අනුරාධපුරය මෙන්ම අනුරාධපුරයට තදාසන්න පෙදෙස් කරාද අමිලගේ බස් සේවාව ව්‍යාප්ත වන්නේ ඔහු අඩු වයස් සල්ලිකාරයකු බවට පත් කරමිනි. මේ දෙස බලා සිටින්නෝ සියල්ලෝ සුදුස්සෝ නම් නොවේ. නුසුදුස්සන් හා අමිල අතර ගැටුම ආරම්භ වන්නේ ඔය අතරතුරදීය. සියල්ල ඉතාමත් වේගයෙන් එපා වන සුළු යැයි හඟන අමිල තම ජීවිතයේ වීරයා සොයා එන්නේ බත්තලන්ගුණ්ඩුවටය. ඒ තම කෝටිපති ජීවිතය අත්හැර දමාය. බත්තලන්ගුණ්ඩුවට පැමිණි අමිල සිය පියා විසින් නැවත වරක් පිළිගනු ලබන්නේ සම සිත් ඇතිවය. “උඹට ඕනි නම් ආයේ පාරක් නැඟිටින්න පුළුවන්. නොවුවමනා නම් හිටිය තැන නතර වෙන්නත් පුළුවන්.” පවසන පියා ගුණ්ඩුවේ සිට නැවත ජීවිතය ඇරැඹීමට අමිලට ලබාදිය හැකි සියලු පහසුකම් ලබා දෙන්නේ නගරයට වඩා දූපතේ ජීවිතය කර්කශ බව ප්‍රායෝගිකව අත්විඳින්නට ඉඩකඩ ලබාදෙමිනි. අමිල දූපත කරා පැමිණියේ සියල්ල අතහැර දා නම් නොවේ. ඔහුට දියණියන් දෙදෙනෙකි. තම දියණියන්ට පියකු නොමැති අඩුව කෙලෙස සම්පූර්ණවේ දැයි සිතන අමිල ඒ සිතුවිල්ල මතින්ම දූපත අතහැර දමන්නේ නැත.

“දූපතට ආවට පස්සේ මට හැමදේම ආයෙ හොඳින් දැනෙන්න පටන් ගත්තා. දූපතට එද්දිත් මම හැමදාම හවසට අඩියක් ගහන එක පුරුද්දක් කරගෙනයි තිබුණේ. දූපතට ඇවිදින් දූපතේ මිනිසුන්ගේ ජීවිත ළඟින් ඇසුරු කරන්න තාත්තා මට අවස්ථාවක් ලබාදුන්නා. ඒ වෙලාවේදී මම තේරුම් ගත්තා ජේසු ස්වාමි දරුවෝ ඉස්ඉස්සෙල්ලාම ප්‍රාතිහාර්ය පෙන්නුවේ කනාත් නුවර සරණ මංගල්‍යයේදී වතුර වයින් කරලා වුණත් ඒ කියන්නේ එදා ජේසු ස්වාමි දරුවෝ බීම අනුමත කළත් දූපතේදී එය ප්‍රායෝගිකව නොගැළපෙන බව. මිදිවලින් මිදි යුෂ, පලතුරුවලින් පලතුරු යුෂ. ඒ සියල්ලක්ම මම එක විනාඩියෙන් අතහැර දැම්මා. අතහැර දැමීම ඊගාව දවසට කල් තබන්න මම සූදානම් වුණේ නෑ. ඒක දැනගත්තු මගේ තාත්තා ගොඩක් සතුටු වුණා. තාත්තට තේරුම් යන්න ඇති මම ආයේ කවමදාවත් දූපත අතහැරලා නොයන විත්තිය. ඔන්න තාත්තා දැන් මට දේවල් කියලා දෙන්න අරගෙන. මිනිස්සු සත්ප්‍රසාද ලබාගත්තට පස්සෙයි මුහුදුට බහින්නේ. උඹ මුහුදුට බැස්සේ මගේ සත්ප්‍රසාදය හිමිවුණාට පස්සේ. තාත්තා එහෙමයි මට කිව්වේ. ඒ එක්කම තාත්තා මට කියලා දුන්නා හබක් දවසේ ඔරු මුහුදට දාන්නේ නැති විත්තියත්. මුහුද කොච්චර භයානකද? එහෙම නැත්නම් අපි කොච්චර භයානකද කියන එක තාත්තා උදාහරණ ගෙනල්ලා දුන්නේ ඉල් පන්දුවේ ගැවසෙන දැති මෝරු පෙන්නලා. හැබැයි ඒ එක්කම වතුර පහළට විහිදෙන තල් ඉරුවලට මාළු රැවටෙන විත්තියත් තාත්තා මට කියලා දුන්නා. ඔන්න ඔය ටික හරියටම තේරුම් ගත්තට පස්සෙයි මම ගුණ්ඩුවේ ජීවිතයට හුරු වුණේ. මේ වෙද්දී ධීවර ජීවිත කියන්නේ අපේ තාත්තලාගේ ජීවිතවලට සාපේක්ෂව ගොඩක් වෙනස් දෙයකට.

දැන් ඇත්තටම ධීවර ජීවිත තාක්ෂණයත් එක්ක පැටලිලා. හැබැයි මම හැමදාම උත්සාහ දරන්නේ අපේ ජීවිත යම්තාක් දුරකට හෝ සංකීර්ණ කර නොගන්න. එකිනෙකට වෙනස් මාළු වර්ග මුහුදේ ඉන්න විත්තිය අපි හොඳින් දන්නවා නම් මොකටද කලබලකාරී ජීවිතයක්. ඒ විදිහට හිතුවාම හුදකලා දූපතක තනියම වුණත් ජීවත් වෙන්න ඇහැකි. දූපතේ ජීවිතය සරල පහසු නෑ. ඇත්තටම ගත්තොත් දූපතේ ජීවිතය වියදම්කාරී ක්‍රියාවක්. අපි ඒ හැමදේටම මුහුණදිය යුතුයි. ඒ සියල්ල සිදුවිය යුත්තේ අපට අපව නැති නොකරගෙන.ජීවිතය ඒ විදිහයි. මම හැමදාම මුහුදට යන්නේ අලුත්ම අලුත්ම ගමනක් යනවා කියලා හිතාගෙන. හැම රළගෙඩියක්ම මට අලුත්ම අලුත්. ඒ වගේම හැම මාළුවෙක්ම අලුත්ම අලුත්. කදිරමලේ කන්ද තමයි මගේ දෙවියෝ වැඩ ඉන්නේ. හැම ජාතියකටම අදාළ දෙවිවරු. හැබැයි මම විජය කුමාරයාගෙන් පැවතගෙන එනවා කියලා විශ්වාස කරන්නේ නෑ. මම දූපතට ආවට පස්සේ දූපතේ ගොඩක් දේවල් සිද්ධ වුණා. කාර්තිව් දූව දියවලාවටම ගියා. උච්චමුනේ, පල්ලියවත්ත දූවවල් අතර තිබුණු වෙල්ලේ දූව කළපුව ගිල ගත්තා. පරිසරය වෙනස් වෙද්දී මිනිස්සු වෙනස් වෙනවා. කවුරුවත් කාටවත් බෝයාවක් නෙවෙයි. හැමෝම බැටළු කකුල් වගේ දියඹට පෙනෙන මුඩයන්කාල් තරු පොකුරුට ආදරෙයි. හරියට නොසෙල්වෙලා තියෙන මතුපිට මුහුදට ආදරය කරනවා වගේ. මගේ දරුවෝ කවම කවදාවත් දූපතට එන එකක් නැහැ. ඉන්න දරුවා දූපතෙන් යන එකකුත් නෑ. හැබැයි ඒ අය මුහුදු රස්සාව තෝරගනීද කියලා කියන්නත් බැහැ. ඒ හැමදේම දැනගෙන මම අදටත් මහ මුහුද එක්ක.