Naifmvlog

Naifm vlog Gossip and News

වට්ටෝරුවෙ බෙහෙත වෙනුවට ආදේශක බෙහෙත් ගුණද

ඉංග්‍රීසි වෙදකමේ බෙහෙත්වල අඩංගු රසායනික සංඝටක රෝගීන්ට දැන කියා ගත හැකි වුණත් ආයුර්වේද වෙදකමේ බෙහෙත් හේත්වලින් බොහොමයක කොයි කොයි ඖෂධ අඩංගු වේ දැයි දන්නේ වෙද මහත්වරැන් සහ වෙද හාමිනේලා පමණකි.බෙහෙත් වට්ටෝරු සියල්ල පරම්පරාවෙන් පිට නොයන්නත්, ඉංග්‍රීසි බෙහෙත්, ඖෂධ ලෝකය පුරා පැතිරෙන්නත් හේතුව පසුබිමේද ඇත්තේ විවාදසම්පන්න කරුණුය.ආයුර්වේද බෙහෙත් වට්ටෝරු තුළ සඳහන් කෙරුණු ඖෂධවලින් සොයාගත නොහැකි දුර්ලභ ගණයේ ඖෂධ වෙනුවට යොදන ‘ආදේශක ඖෂධ වර්ගවලින්’ බෙහෙත්වල ගුණ විනාශවී යාද?මෙකී කරුණුකාරණ සියල්ලටම පිළිතුරු දිය හැකි ආයුර්වේද ඖෂධ පිළිබඳ ප්‍රාමාණික දැනුම හා අවබෝධය ඇති පශ්චාද් උපාධිධර වෛද්‍ය පතිරගේ කමල් පෙරේරා සොයා අපි ගියෙමු.ආයුර්වේද වෛද්‍ය පතිරගේ කමල් පෙරේරා චීනයේ නන්ජින්හි ඖෂධවේදය පිළිබඳ ආචාර්ය උපාධිධරයෙකි. ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබූ ඔහු පර්යේෂණ, සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳ ජපානයේ ඩිප්ලෝමාවක් සම්‍ඟ උසස් අධ්‍යාපන වරම් හිමිකර ගත්තේය. ඖෂධ ආරක්ෂාව සහ ඖෂධවේදය පිළිබඳ ඔහු පුහුණුව ලබා ඇත්තේ ස්වීඩනයේ උත්සලා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙනි.

ආයුර්වේද වෛද්‍ය විෂේශඥයකු වන පතිරගේ කමල් පෙරේරා රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතන,කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයකුද වෙයි.ඔහු තම විෂය, එනම් නවීන ක්‍රමවේද ඔස්සේ අලුත් ආයුර්වේද වෙදැදුරන්ට විෂයයක් වශයෙන් උගන්වන, එසේම සායන පවත්වන, විදේශ දූත මෙහෙවරේද යෙදෙන වෛද්‍යවරයාය.මේ ඔහුගේ අදහස්“ආයුර්වේදයේ භේසජ්‍ය ග්‍රන්ථවලට අනුකූලව ඇති පුරාණ වට්ටෝරු අනුව ඖෂධ නිපදවනවා නම් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් ඉන් පරිබාහිරව යම් ඖෂධයක් නිපදවනවා නම්, එය ලියාපදිංචි කරලාත් නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. වට්ටෝරුවට අලුත් බෙහෙතක් ආදේශ කිරීමට පෙර අප පර්යේෂණ පැවැත්වීමේ ක්‍රියාවලියක් පැවැත්විය යුතුයි. එහෙම ක්‍රියාවලියක් අපේ රටේ නැහැ.පර්යේෂණ නැතිව ආයුර්වේද පෙති, කරල් වැනි ඖෂධ අප කොපමණ හැදුවත් එයට ලෝක සෞඛ්‍ය සංවධානයෙන් අනුමැතියක් ලැබෙන්නේ නැහැ. සැමවිටම ඖෂධ නිෂ්පාදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි.අප පැරැණි දේටම ඇලී-ගැලී සිටිනවාද? නැතිනම් ලෝකයට නිරාවරණ වෙනවාද? යළිත් වෛද්‍ය කමල්:“අපේ ළමයින්ට, ආයුර්වේදය හදාරන වෛද්‍ය වෘත්තියට එන නවකයන්ට ඒ පර්​ෙ‌ය්ෂණ ක්‍රමවේදත්, ප්‍රමිතිගතව නව තාක්ෂණයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීම පිළිබඳවත් අප දැන් උගන්වන නිසා පෙර නොතිබූ අවබෝධයක් දැන් තිබෙනවා.

පැරැණි වෛද්‍ය ක්‍රම ගන්න නවකයන් කැමැති නැති ප්‍රවණතාවකුයි පේන්න තිබෙන්නේ. පැරැණි වට්ටෝරු වෙනස් කිරීමට හැකියාවක් නැහැනෙ. පාරම්පරික වෛද්‍යවරුන් ඒ කාලෙ පර්යේෂණ පැවැත්වූයේ යම් ඔෟෂධයක් ලෙඩාට දීලා බලල, හරි ගියොත් ඒක දිගටම දෙන විදිහකට. ඇතැම්විට ජීවිත පවා අහිමිවෙන්න ඇති, බෙහෙත් වැරැදීමෙන්. නමුත් අලුත් බෙහෙත් ඖෂධ නිපදවන්නේ එසේ නොවේ. නව තාක්ෂණයෙන්. ආචාර ධර්ම පද්ධතියක් මුල් කරගෙන. පැරණි වට්ටෝරු ක්‍රමයත් අපට යාවත්කාලීන කරගන්න වෙලා තියෙනවා. ඒ වගේ ලෝක සෞඛෟ සංවිධානය (WHO) ක්‍රමවේදයට යටත් වෙන්නත් සිද්ධවෙලා තිබෙනවා.“අපි ඉන්නේ බෝඩර්ලයින් එකේ. අපේ දේශීය ඖෂධ ඇත්තේ යම් සීමා රේඛාවක. අපේ දේ ගැන ප්‍රශ්න කිරීමත් අපට ප්‍රශ්නයක් වෙලා. අප කළ යුත්තේ අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්වා නිෂ්පාදනය අප අතට ගැනීමයි. නමුත් එය තවමත් සිදුවන්නේ නැහැ. අපට ඖෂධ ලියාපදිංචි කිරීමේ ස්ථානයකුත් තිබෙනවා. බටහිර වෛද්‍යවරුන්ටත් තියෙනවා. මේ දෙවිදිහක දෙකක් ඇයි?වට්ටෝරු කතාව එන්නේ ඊළඟටය.දේශීය වට්ටෝරුවල මූලාශ්‍රය ඇත්තේ ආයුර්වේද සංග්‍රහයේය. අප ඒ වට්ටෝරු බලනවා. ඒ වට්ටෝරුවල සොයා ගන්න බැරි බෙහෙත් ඒ වගේම දුර්ලභ බෙහෙත් වර්ග සඳහන්ව තිබෙනවා නම් ආයුර්වේද සංග්‍රහයේම තියෙනවා ඊට යොදන අදේශක ඔෟෂධ. මේ ආදේශක ඖෂධවලත් ප්‍රශ්න තියෙනවා. ඒවා පර්යේෂණවලට ලක්විය යුතුයි. පර්යේෂණ නොකර ලෝකය හමුවට අපට යන්න බැහැ.දැන් පිළිකාවට ඖෂධ රැසක් අපට තිබෙනවා. ඒ වගේම ඩෙංගු සඳහාත් ඖෂධ සොයා ගැනෙනවා. අප හොඳ නිෂ්පාදන තත්ත්ව යටතේ ඒවා නිෂ්පාදනය කරනවා නම් පිටරටින් ගෙන්වන ඖෂධවලින් සියයට පනහක් අඩු කරගන්න පුළුවනි. එක්කෝ ඒවා නැත්තටම නැති කරන්නත් පුළුවනි.වකුගඩු රෝගය සඳහා තවම “කේස් එක” හොයා ගන්න මුදල්​ වෙන් කරනවා මිස ඖෂධයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා මුදල් වෙන්විමක් නැහැ. ක්ෂේත්‍ර කටයුතු සඳහා පමණක් මුදල් වෙන් කිරීම ප්‍රමාණවත් නැහැ.

ඖෂධ පර්යේෂණය කිරීමටත් මුදල් වෙන්විය යුතුයි. එසේ නැතිව අප ලෝකයට ඉදිරිපත් කරන දේශීය ඖෂධය ප්‍රතික්ෂේප වෙන ස්වභාවයකුයි ඇත්තෙ. මෙහෙම අප කොපමණ කලක් සිටින්නද?අපෙන් ඉගෙනුම් ලබන ආයුර්වේද ළමයින්ට අප බටහිර වෛද්‍ය ක්‍රමයත් උගන්වන්නේ ඒ අයට බටහිර ඖෂධ දෙන්න කියන්න නෙමෙයි. අපේ දේශීය ඖෂධත් ඒ මට්ටමට ගන්නයි.පශ්චාද් උපාධිධරයකු වන පතිරගේ කමල් පෙරේරා ආයුර්වේද වෛද්‍යවරයා ශ්‍රී ජයවර්ධනපුර ආයුර්වේද රෝහලේ ‘ආතරයිටිස්’ රෝගින්ට ප්‍රතිකාර කරන සායනයක් පවත්වාගෙන යන අතර ප්‍රමිතිගත දේශීය වෙදකම සොයා එන රෝගින් කොපමණදැයි බලන්නට ඒ සායනයෙන් හැකි බව පැවසූ ඔහු ආදේශක ඔෟෂධ රාශියෙන් කිහිපයක් විද්‍යුත් තැපෑලට යොමු කළේය. මේ එම ඔෟෂධයි.වෘද්ධදාරක, වෘක්ෂරුහා, ස්ත්‍රීදුග්ධ (තණකිරි), ස්වර්ණ භස්ම, රජත භස්ම, ස්වර්ණමාක්ෂික (රන්මැසිදෑ), සෛන්ධවලවණසිනා (සීනි), ශාලි (ඇල්වී), හංස ඩිම්බ (බිත්තර), ශුක්ල සර්ෂ්ප (එළ අබ) සෞරාෂ්ට්ර මෘත්තිකා (සුරත්මැටි) එළකිරි, එළුකිරි, මූදු ලුණු හෝ බළල් ලුණු, පෝරන් ලුණු, පඩිකර්පටට් (වියළී පුපුරන ලද මඩ), බණ්ඩශර්කරා, (සූකිරි) රක්ත චන්දන ඉඟුරු පියලි, හරංකහ කපුර්ද්වය (කපුරු දෙක), වෙඩි ලුණු, ෂෂ්ටි (හැටදාවී) සුදු ඉරමුසු, සාමාන්‍ය ව්‍යවහාර අබ, ගම්මිරිස් මුඩමහණමල්, වරාහීකන්ද බලා, කිරිබදු අල, බැබිල මුල්, එළකටරොළු, ඉරිවේරිය, කොට්ටං, තිප්පිලිමුල්, පොල්පලා, ගොටුකොළ, සුදු සීනි, පරණ උක්හකුරු, කුකුළු, හංස හෝ හාමස්, මුතුබෙලි කටු භස්ම අශ්වගන්ධා (අමුක්කරා හාතවාරිය, ආදී ආදේශක ඖෂධ රාශියකි.

ආයුර්වේද පාරම්පරික වෛද්‍ය ප්‍රසන්ජන ද සිල්වා අපට වෛද්‍ය වට්ටෝරු කිහිපයක් සමඟ එම වට්ටෝර තුළ දුර්ලභ ඖෂධ වෙනුවට යොදන ආදේශක ඖෂධ කිහිපයක්ද වි. තැපෑලෙන් එවා තිබණේය.මේ ඒවායින් කිහිපයකි.ආදේශක ශාක ඖෂධ ප්‍රතිනිධි ශාක වශයෙන් හඳුන්වන වෛද්‍ය ප්‍රසන්ජන (Substitutes for herbals) වට්ටෝරු තුළ අන්තර්ගත ඖෂධ දුර්ලභවීම නිසා පමණක් නොව එ්වා අධික මිල ගණනින් යුක්ත වීම නිසාද ප්‍රතිනිධි ශාක යොදන බව පවසයි.කස්තුරි වෙනුවට කපු කිනිස්ස ඇට, රත්නිටුල් වෙනුවට දැත්ත අල හෝ කරල් හැබ, කස්තුරි මංජල් වෙනුවට හරංකහ, රත්හඳුන් වෙනුවට රත්කිහිරිය, බිංකොහොඹ වෙනුවට කිරාන, ක්ෂීර කාකෝලි වෙනුවට හාතවාරිය, දාරුහරිද්‍රා, වෙනුවට වෙනිවැල්ගැට, වැල්කහඹිලියා වෙනුවට යවාස, දේවදාලි වෙනුවට තිත්ත වැටකොළු, ගජතිප්පිලි වෙනුවට තිප්පිලි මුල්, සිරිවැඩි බැබිල වෙනුවට බෙහෙත් අනෝදා, අතිවිඩයන් වෙනුවට කලාඳුරුඅල, වාද්දදාරු වෙනුවට ගිරිතිල්ල, පුස්වැන්න වෙනුවට උඳුපියලිය හෝ හීන් උඳු පියලිය, කට්ඵල වෙනුවට ඇත්දෙමට, මහකලාඳුරු වෙනුවට කලාඳුරු අල දෙගුණයක්, තුවරලා වෙනුවට ජටාමාංශ වැනි ප්‍රතිනිය ශාක ඖෂධ යෙදීම 1961, පනත් අංක 31 යටතේ ආයුර්වේද ප්‍රතිනිය ශාක හා ඖෂධ 143ක් සඳහන් කොට තිබේ.වෛද්‍යාචාර්ය ප්‍රසන්ජන ද සිල්වා, වට්ටෝරු රාශියක් අතුරින් කිහිපයක් එවා තිබුණේ වඩාත් ප්‍රතිනිධි ශාක පැහැදිලි කර ගැනීමටය. ඒ මෙසේය.මේ සන්නිපාත උණ හටගත් විට දෙන ඖෂධයකි.බිං කොහොඹ, රසකිඳ, වියළි ඉඟුරු, තිප්පිලි කළං 3 බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා උදේ සහ සවස මී පැණි සහ සීනි දමා තේ හැඳි 1 බැගින් දින 6ක් බීමට දෙන්න.

මේ වට්ටෝරුවේ බිම් කොහොඹ වෙනුවට කිරාන නම් ශාක ඔසුව යෙදිය හැකි බව දක්වා ඇත.මේ වට්ටෝරුව රුධිරගත ලේ පිරිසුදු වීමටය. අරළු, බුළු, නෙල්ලි, රස කිඳ, දුම්ඇල්ල, රත්හඳුන්, කොහොඹ පොතු, පාවට්ටා මුල් කළං 1යි, මංචාඩි 10 බැගින් වතුර පත 8 එකට සිඳුවා පත 1/2 බැගින් අනුපාන වශයෙන් තිප්පිලි කුඩු තේ හැඳි 1/2ක් ශුද්ධ ගුගුල් තේ හැඳි 1/2ක්ද දින 7ක් උදේ හවස බිමෙන්මෙහි රත් හඳුන් වෙනුවට රත් කිහිරිය යෙදිය හැකි බව පනතේ හැටියට දක්වා තිබේ.සෙම් අතීසාරය රෝගයට ලබාදෙන කෂායේ මේ වට්ටෝරුව දෙස බලන්න.සිවිය මුල්, අතිවිඩයන්, සුවඳ කොට්ටන්, දියමිත්ත මුල්, කුළුරෑණ, කළං 2, මංචාඩි 8 බැගින් වතුර පත, 8:1ට සිඳුවා පත 1/2 බැගින් මී පැණි තේ හැඳි 1ක් දමා උදේ – හවස බීමෙන් දින 3කදි සෙම් අතීසාරය සුවපත් වෙන බව දැක්වේ. මෙහි අතිවිඩයන් වෙනුවට කලාඳුරැ අල යොදා ගන්නා බව සඳහන් කොට තිබේ.පාර්ලිමේන්තු පනතක් අනුව ප්‍රතිනිධි හෙවත් ආදේශක ශාක ඖෂධ නම්කර තිබුණත් ඒවා යොදා වට්ටෝරු යාවත්කාලීන​ කෙරුණත් පරීක්ෂණ නිරීක්ෂණ සහ නිගමන ඔස්සේ ඒවා ස්ථානගත වේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිවිතර අනුව ඖෂධ සකසා චීනය නොබෙල් ත්‍යාගය ලැබුවා මෙන් අපටද ලෝකයේ යම් තැනක් දේශීය ඖෂධ පැත්තෙන්ද හිමිකර ගැනීම දුෂ්කර වන්නේ නැත. අනෙක් පැත්තෙන් පනත මගින් වෙදැදුරන් ඖෂධ වට්ටෝරු සැකසීමේදී යම් නියාමනයක් සිදුකර තිබීම අපට කිසියම් බලාපොරොත්තුවක් දැල්වීමට සමත් බව කිව හැකිය.