Naifmvlog

Naifm vlog Gossip and News

මොළයේ හටගන්නා පිළිකා තත්ත්වයන්ට ප්‍රතිකාර කරන අලුත්ම තාක්ෂණය

මොළයේ හටගන්නා පිළිකා තත්ත්වයන් (Cancers and tumors) අතරින් වඩාත්ම අන්තරායකාරී ලෙස සැලකෙන්නේ Glioblastomaයි. බෙහෙවින් දරුණු එමෙන්ම ඉතා ඉක්මනින් පැතිර යන පිළිකා තත්ත්වයක් ලෙසද එය ප්‍රචලිතය. අනෙක් අතට එය විවිධ අන්දමේ සෛල විකෘතිතා ඇති කරන්නකි. එබැවින්ම, ශල්‍යකර්ම විකිරණය හෝ රසායනික චිකිත්සාව (Chemotherapy) යනාදී කවර ක්‍රමයකින් වුව ඊට ප්‍රතිකාර කිරීම අසීරුය. එහෙත් මේ අසීරුතාව ජයගන්නට, මොළයේ පිළිකාවට ප්‍රතිකාර පහසු කරන්නට මඟක් හඳුන්වා දෙන්නට Rensselar හි ජෛව විද්‍යා ඉන්ජිනේරුවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන ක්ෂේවියර් ඉන්ට්ස් සමත්ව තිබේ. Rensselaer Polytechnic Institute වෙනුවෙන් ඔහු මෙකී අධ්‍යයනයට දායක වී ඇත්තේ Mount Sinai හි ඉකෑන් වෛද්‍ය විද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාලයක පර්යේෂක කණ්ඩායමක් සමඟය. මේ පිළිබඳ පළමුවරට සඳහන්ව තිබුණේ Science Advances ජර්නලයෙහිය. ඔවුන් සඳහන් කරන්නේ ඉබේජින් හා බයො ප්‍රින්ටින් යන ක්‍රම දෙක ඒකාබද්ධ කරමින් මොළයේ පිළිකා (Glioblastoma ද ඇතුළුව) පිළිබඳව වඩා පැහැදිලි අධ්‍යයනයක යෙදිය හැකි බවය. Center for Modeling, Simulation and Imaging for Medicine (CeMSIM) හි සම අධ්‍යක්ෂවරයාද වන ඔහු මේ පිළිබඳව දරන්නේ මෙබඳු මතයකි.

“මේ පිළිකා විශේෂය (Glioblastoma) සතු සංකීර්ණ පිළිවෙළ, ස්වභාවය ගැන හඳුනා ගැනීම බොහොම වැදගත්. ඒවා නිර්මාණය වන විදිහත් හඳුනාගන්නට බැරි තරමට සංකීර්ණයි. අනෙක් අතට එහි ලක්ෂණත් රෝගියාගෙන් රෝගියාට වෙනස්.”බයෝප්‍රින්ටින් යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ ජීවී සෛල සමඟ ක්‍රියා කළ හැකි ද්‍රව්‍යයන් යොදා ගනිමින් සිදුකරන්නා වූ ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයයි. එය වෛද්‍ය විද්‍යාවේ යහපත වෙනුවෙන් අද දවසේ ඉහළ කාර්යභාරයක් උසුලන්නකි.මෙකී වෛද්‍ය කණ්ඩායම මෙහිදී කළේ පිළිකා සෛල (Tamorcells) මෙන්ම අදාළ රුධිර නාල (Blood Vessels) බයෝප්‍රින්ට් කිරීමයි. ඒ ආකාරයෙන් බයෝප්‍රින්ට් රුධිර නාල නිර්මාණය කිරීම රසායනික චිකිත්සාව මෙන්ම අදාළ ඔෟෂධ ළඟා කරවීමේ ක්‍රියාවලිය සඳහාද උපකාරී කර ගත හැකි බව මේ පර්යේෂක කණ්ඩායමේ අදහසයි. මේ ආකාරයේ ඉහළ අවදානමක් සහිත මොළයේ පිළිකා සඳහා ප්‍රතිකාර කිරීම ඉතා අසීරු කටයුත්තක් වී ඇත්තේ ඊට අදාළ ඔෟෂධ එහි ළඟා කරවීමේ අපහසුව නිසාය. එයට හේතුව නම් ඒවා එහි ළඟා වීම වළකනු පිණිස සෛල බිත්තිවල නිර්මාණය වන Blood – Brain Barrior නම් වන බාධකයයි. මෙන්න මේ බාධකය මඟහැර ගන්න අපට පුළුවනි බයෝප්‍රින්ටින් හරහා. අපට පුළුවන් කෙළින්ම අදාළ ඔෟෂධය අවශ්‍ය තැනටම ලබා දෙන්න මේ ප්‍රබල තාක්ෂණය පාවිච්චි කරගෙන” වෛද්‍ය කණ්ඩායම පවසන්නේ ජයග්‍රාහී විලාසයකිනි. ඉන්ට්ස් ඇතුළු කණ්ඩායමේ ජයග්‍රහණය එය නොවේ.

මේ තාක්ෂණය හරහා මොළයේ පිළිකා සෛලවලට අදාළ ප්‍රතිකර්මය ලැබේද යන්නත් එය සිදුවන වේගය හා ස්වභාවය හඳුනාගන්නටත් ඔවුන් විසින් නව තාක්ෂණවේදයක් හඳුනාගෙන තිබේ. මේ අලුත් ක්‍රමවේදය හරහා ඉතාමත් කඩිනමින් බයෝප්‍රින්ට් කරන ලද පටකවල ඡායාරූප ලබා ගන්නට පිළිවන්කම තිබේ. මෙහිදී විහිදෙන්නේ ඉතාමත් අඩු, අවම මට්ටමේ ආලෝකයක් බැවින් සෛලවලට සිදුවන්නට ඇති හානියද ඉතාමත් අවමය.ඔවුන් පවසන්නේ මේ අලුත් සොයා ගැනීම හරහා මෙතෙක් මොළයේ පිළිකාවලට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් යොදාගෙන තිබෙන බයෝප්‍රින්ටින් හා ඉමේජින් තාක්ෂණයට සියයට සියයක සහායක් ලැබ ඇති බවය. බයෝප්‍රින්ටින් ක්‍රමය හා එහි වාසි අවාසි ගැන සියල්ල හෙළිදරව් වී තිබුණද රාමුවෙන් රාමුව, පියවරින් පියවර එය ක්‍රියාත්මක වන ආකාරය හඳුනාගන්නට, නිරීක්ෂණය කරන්නට ඉඩ ලැබෙන්නේ මෙකී තාක්ෂණික ක්‍රමවේදය හරහාය.“අපි මේ සොයා ගත්ත අලුත් තාක්ෂණය මීට පෙර තිබුණු තත්ත්වවලට වඩා එහා ගිය එකක් බව පැහැදිලියි. මේ තාක්ෂණය ෆ්ලෝරෙසින්ස් මයිකේ‍රා්ස් කොපි ක්‍රමයටත් එහා ගිය ක්‍රමයක් බව අපට විශ්වාසයි. මේ හරහා අපට ලැබෙන වාසි කිහිපයක්ම තිබෙනවා. එකක් අපට දැකගන්න පුළුවන්, ඒ සෛලවල වර්ධනය කොහොමද කියලා පියවරින් පියවරට දැනගන්න. අනෙක් අතට ඒවා කොහොමද ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන්නේ කියන එකත්.”එමෙන්ම ඉන්ට්ස් පවසන්නේ විවිධ ඔෟෂධ වර්ගවල එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය සඳහාද මේ තාක්ෂණය යොදාගත හැකි බවයි. ඒ නැතත් මොළයේ හටගන්නා වූ පිළිකා සෛලවල ස්වභාවය ගැනත් ඒවායේ ක්‍රියාකාරීත්වය පැතිරීමේ වේගය මෙන් අනුගමනය කළ යුතු ප්‍රතිකාර ක්‍රම හඳුනාගැනීම සඳහාද මෙයින් ලැබෙන සහාය සුළු කොට තැකිය නොහැකිය.