Naifmvlog

Naifm vlog Gossip and News

පොළොන්නරු රාජධානියේ දළදා මාලිගාවල අතීත කතාව

අනුරාධපුර රාජධානිය බිඳ වැටීමෙන් පසු තවදුරටත් එය රාජ්‍ය මධ්‍යස්ථානය වශයෙන් පවත්වාගෙන යෑම අනාරක්‍ෂිත යැයි සැලකූ සිංහල පාලකයෝ 11 වැනි සියවසේදී පොළොන්නරුව සිය රාජ්‍ය මධ්‍යස්ථානය කරගත්හ. අනුරපුර සමයේ රජවරුන්ට ජනතා සහයෝගය ලබාගැනීමේදී මෙන්ම රට පාලනය කිරීමේදීත් ඉටු දෙවියා වූයේ ශ්‍රී මහ බෝධීන් වහන්සේය. මෙරටට බුදු සමය ගෙන ඒමේ සිට ලක් ජනතාවගේ මෙලොව ජීවිතයේ දියුණුවත් වාසනාවත් පරලෝ ජීවිතයට අර්ථ සිද්ධියක් ලබාදීමේ බලය හා හාස්කම ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත පැවැති යැයි විශ්වාසයක් විය. දළදා වහන්සේගේ ආගමනයෙන් අනතුරුව උන්වහන්සේ විෂයෙහිද මෙබඳු විශ්වාසයක් ගොඩනැඟෙන්නට විය. එහෙත් දළදා වහන්සේ පිළිබඳව අභයගිරි විහාර දෙකෙහි පැවැති මතභේදය නිසාත් ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙන්ම අනෙකුත් පූජනීය වස්තූන් විෂයෙහි පැවැති ගෞරවාදරය නිසාත් අනුරාධපුර සමයෙහිදී ශ්‍රී මහ බෝධියට තරම් බලයක් දළදා වහන්සේට ලැබුණේ යැයි සිතීම දුෂ්කරය. රාජ්‍ය මධ්‍යස්ථානය අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරුවීමත් සමඟම එම බලය නිරායාසයෙන්ම දළදා වහන්සේට උරුම විය. ඊට හේතුව වූයේ රාජධානියෙන් රාජධානියට ශ්‍රී මහ බෝධීන් වහන්සේ ගෙන යා හැකි නොවූවද දළදා වහන්සේ කවර තැනකට වුවද ගෙන යා හැකි තත්ත්වයක පැවැතීමය. මේ නිසා පොළොන්නරුව සමය උදාවීමත් සමඟ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ ප්‍රධාන සංකේතය බවට පත්වූහ.

මේ අනුව පොළොන්නරු රාජධානිය ආරම්භ වීමෙන් පසුව දළදා වහන්සේ පොළොන්නරුවට ගෙන ආ පළමු වැනි විජයබාහු රජු දළදා වහන්සේ උදෙසා මන්දිරයක් කරවා එයට නිරන්තරයෙන් පුද පූජා පැවැත්වූ අයුරු මහා වංසයේ සඳහන් වේ. 11 වැනි සියවසේ ඇති වූ සොළී ආක්‍රමණයේ ප්‍රතිඵල වශයෙන් අඩසියවසක් පමණ ඔවුන්ගේ ආධිපත්‍ය පැවැතිණි. මේ නිසා එතෙක් පැවැති අනුරාධපුර රාජධානිය තවදුරටත් මෙරට පාලන මධ්‍යස්ථානයක් නොවීය. සොළී පාලන සමය තුළ රටට වූ විනාශය අතිවිශාලය. සිංහල රජවරුන් විසින් ඉදිකර තිබූ රජමාලිගා, විහාරාරාම ඔවුන් විසින් විනාශ කර දමන ලදී. සොලී පාලන ක්‍රමයේ පැවැති ප්‍රචණ්ඩභාවය නිසා රාජ්‍ය වංශිකයෝත්, කුලීනයෝත්, භික්‍ෂුන් වහන්සේත් රජරටින් ඉවත්ව ගියා පමණක් නොව දිවයිනද හැර ගියෝය. දේශීය නිර්මාණ ශිල්පීන්ට පිළිසරණක් නැතිව යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් එතෙක් පැවැති නිර්මාණයන් විනාශ වී යෑමේ ප්‍රතිඵලයක් වශයෙනුත් සිංහල නිර්මාණ සම්ප්‍රදාය යටපත්වී ගියේය. මේ නිසා සොළී පාලන සමය තුළ ඉදිවූයේ දේශීය නිර්මාණයන් නොව දකුණු ඉන්දීය සම්ප්‍රදායට අයත් ගොඩනැඟිලිය. මේ සම්ප්‍රදාය ආදි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසයෙන්ම පැනනැඟී ආවක් නිසා ඒවා තුළ වුවද මෙරට පැරැණි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ යම් යම් ලක්‍ෂණ විද්‍යමාන වන බව සෙනරත් පරණවිතාන දක්වයි. මෙම පරාධීන යුගයෙන් පසු සිංහල ජාතියේ ස්වාධීනත්වය නැවතත් ඇති කරලීමට සමත් වූ පළමු වැනි විජයබාහු රජු පොළොන්නරුව සිය රාජධානිය කර ගත්තේය. ඔහුගේ අභිලාෂය වූයේ සිංහල ජාතියත් බුද්ධාගමත් දේශීය ශිල්ප කලා සම්ප්‍රදායනුත් පෙර පැවැති තත්ත්වයට ගෙන ඒමය.ඒ අනුව හෙතෙම ජාති හිතෛෂී ආගමාමක සිංහල කලා ශිල්පීන් නැවතත් එක්තැන් කරවා විනාශ වී ගිය කර්මාන්තයන් පිළිසකර කරවීමටත් නව කර්මාන්ත ආරම්භ කිරීමටත් කටයුතු කළේය. මෙහි ප්‍රතිඵල වශයෙන් එදවස ගොඩනඟන ලද ඉතා වැදගත් පූජනීය ස්ථාන නම් මෙදවස අටදාගය නමින් හැඳින්වෙන දළදා මාලිගා ගොඩනැඟිල්ලයි.විජයබාහු රජුගේ ඇවෑමෙන් පසු දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමේ වගකීම භාරගත් වේලයික්කාර කුලී හේවායන් විසින් පිහිටුවන ලද දෙමළ සෙල් ලිපියක් අනුව මේ ගොඩනැඟිල්ල පළමු වැනි විජයබාහු රජු විසින් ඉදිකරනු ලැබූ දළදා මාලිගාව යැයි හඳුනාගෙන තිබේ. එහෙත් මේ ගොඩනැඟිල්ල අද ප්‍රකටව පවතින්නේ අටදාගය යන නමිනි. විජයබාහු රජගේ නියමය පරිදි නුවරකල් දේවසෙනෙවිරත්තාර් විසින් දළදා පාත්‍රාධාතුන් වහන්සේ තැන්පත් කිරීම සඳහා විජයරාජපුරම්හි නොහොත් කුලනරියෙහි (පොළොන්නරුව හෝ පුලස්ථිපුර) ගොඩනැඟිල්ලක් ඉදිකරවූ බව වේලයික්කාර සෙල් ලිපියෙහි දැක්වේ. මේ ගොඩනැඟිල්ල ඉදිකිරීමෙන් පසු අභයගිරි මහ විහාරයට අනුබද්ධ උත්තරෝමූල ආයතනයේ තැන්පත්ව තිබූ දළදා පාත්‍රා ධාතුන් වහන්සේගේ නිත්‍ය ගන්ධ කුටිය එය විය. මෙම දා යුවළ සමඟ බුදු රදුන්ගේ ප්‍රතිමාවක්ද තැන්පත්ව තිබූ බවත් එහි වාර්ෂිකව නෙත් තැබීමේ උත්සවයක් පැවැති බවත් වාර්තා වේ. විජයබාහු රජුගෙන් අනතුරුව ඇති වූ කලබලකාරී තත්ත්වයන් නිසා මොග්ගල්ආර තෙරණියෝ ඇමැතිවරුන් හා සාකච්ඡා කොට දළදා වහන්සේගේ ප්‍රධාන දළදා මාලිගාවේ ආරක්‍ෂාව වේලයික්කාර කුලී හේවායන්ට භාර කළහ. පොළොන්නරුවේ තෝපා වැවට නැඟෙනහිරිනුත්, පැරැණි නගරයට උතුරිනුත් පිහිටි චතුරස්‍රය නමින් හැඳින්වෙන උස් වේදිකාවක් වෙයි.

මෙහි පැරැණි ආගමික ගොඩනැඟිලි සමූහයක අවශේෂයන් දක්නට ඇත. ථූපාරාමය, වටදාගය, අටදාගය, හැටදාගය, සත්මහල් ප්‍රාසාදය හා තවත් කැඩී බිඳී ගිය පිළිම ගෙවල් කිහිපයක්ද ඒ අතර දක්නට ඇත. මේ ගොඩනැඟිලි සමූහය තුළ ආර්ය, ද්‍රවිඩ, කාම්බෝජ හා ඇතැම් විට බුරුම නිර්මාණ ශිල්පීය ලක්‍ෂණ පවා දක්නට ලැබෙන බව බෙල් සඳහන් කරයි. එහෙත් මේ මතය සාවද්‍ය බව පරණවිතාන පවසයි. පුරාවිද්‍යා වාර්තාවල මේ භූමි භාගය හතරැස් මළුව යන නමින් හඳුන්වනු ලබන නමුත් පොළොන්නරු යුගය මුළුල්ලේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නට ඇත්තේ දළදා මළුව යන නම යැයි සාධක සහිතව පරණවිතාන සූරීන් පෙන්වා දෙයි. නිශ්ශංකමල්ල රජු දළදා මළුව තුළ ශෛලමය දළදා ගෙයත්, වටදාගෙයත් ඉදිකළ බව පූජාවලියේ සඳහන් වන බැවින් පරණවිතාන දක්වන පරිදි දඹදෙණි සමයේ පවා මෙය දළදා මළුව නමින් ව්‍යවහාරයේ පැවැති බව පෙනේ. මෙම හතරැස් මළුව තුළ ඇති ගොඩනැඟිලි මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ජේතවනාරාමයේ නටබුන් විය හැකි බැව් කොද්රින්ටන් විසින් පෙන්වාදී ඇත. හොකාර්ට් ගේ‍රගල්ද එම මතය පිළිගනියි. මේ හඳුනා ගැනීමට පදනම් වී ඇත්තේ පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද ගොඩනැඟිලි සමූහ දකුණේ සිට උතුරට පිළිවෙළින් මහාවංසයේ දක්වා තිබෙන අයුරු සලකා බැලීමය. එහෙත් මහාවංස කතුවරයා පරාක්‍රමබාහු රජගේ ගොඩනැඟිලි සමූහ අනුපිළිවෙළින් දැක්වූයේද යන්න පරණවිතාන සැක කරයි. එසේම මෙහි ඇති වටදාගයත් පරාක්‍රමබාහු රජගේ කෘතියක් නොවන බව ඔහුගේ පිළිගැනීමයි. මේ නිසා හතරැස් මළුව තුළ ඇති ගොඩනැඟිලි පැරැණි ජේතවන විහාරයට අයත් ඒවා නොවන බව ප්‍රබල සාධක ඇති බවට ඔහු දක්වයි.මෙම හතරැස් මළුව පිහිටා ඇත්තේ පොළොන්නරු නගරය වටා කරන ලද ප්‍රකාරය ඇතුළතය. නගර අභ්‍යන්තරයෙහි භික්‍ෂුන් වහන්සේ උදෙසා ආරාම ඉදිකිරීම එහි පැවැති සම්මත චාරිත්‍රයට පටහැනිය. හැම විටම භික්‍ෂු ආරාම ඉදිකරන ලද්දේ නගරයෙන් පිටතය. ඒවා නගරයට වඩා අෑත් වූයේත් නැත. මෑත් වූයේත් නැත.

මේ නිසා රජ මාලිගාව ආසන්නයේ භික්‍ෂු ආරාම ඉදිකරන්නට ඇතැයි සැලකීම දුෂ්කරය. මහාවංසයේ ජේතවන විහාරය අවට පොකුණු අටක් ඉදිකළ බව දක්වන නමුත් මේ හතරැස් මළුව තුළ අවට එකදු පොකුණක්වත් මෙතෙක් සොයාගෙන නැත. මේ මළුව තුළින් සොයාගෙන ඇති සෙල් ලිපිවලද ජේතවන විහාරය පිළිබඳ කිසිදු සඳහනක් හමුවී නොමැත. මේ නිසා හතරැස් මළුව තුළ ඇත්තේ ජේතවන විහාරයේ අවශේෂ නොවන බවට පරණවිතාන දක්වන මතය පිළිගැනීමට ඉඩ ඇත. මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමියන් සිය දළදා ඉතිහාසය සහ සංස්කෘතිය නම් කෘතියෙහි පොළොන්නරු රාජධානි සමය තුළ දළදා වහන්සේ උදෙසා විහාරාරාම ඉදිකළ බව එලෙස සඳහන් කරයි. කුරුණෑගල සමයේදී හෝ ඊට ආසන්න යුගයකදී රචනා කරන්නට ඇතැයි විශ්වාස කරනු ලබන දළදා පූජාවලියෙහි සොළීන් ලංකාවට පැමිණ බොහෝ කලක් ලංකාව තම පාලනයෙහි තබාගෙන දළදා පාත්‍රා ධාතුන් වහන්සේ හා මිනිබෙරය සොළී දේශයට රැගෙන ගිය බවත් පසු කලෙක රජ පැමිණි සිරිසඟබෝ නම් රජකු චෝල දේශය ආක්‍රමණය කොට දළදා පාත්‍රා ධාතුන් වහන්සේ හා මිණිබෙරය නැවත ලංකාවට රැගෙන ආ බවත් සඳහන්ව තිබේ.නමුත් චූල වංසයේ හෝ වෙනත් කිසිදු මූලාශ්‍රයක චෝල පාලන සමයේදී දළදා වහන්සේ චෝල දේශයට රැගෙන ගිය බවට සඳහන්ව නැති බැවින් එම කරුණ සත්‍ය ලෙස ගත හැකි නොවේ. එම විස්තරය ගෙන හැර දැක්වීමෙන් පසුව ඊට ප්‍රතිවිරෝධී ලෙස පූජාවලිය සඳහන් කරන්නේ ගජබාහු නම් රජ සමයෙහිදී සොළීන් විසින් රැගෙන ගිය දළදා පාත්‍රා ධාතුන් වහන්සේ තමන්ගේ බාහු බල වික්‍රමයෙන් ඔවුන් හා යුදකොට ලංකාවට නැවත රැගෙන ආ බවකි. මෙම ප්‍රකාශයන් දෙකෙන් පළමු කරුණ වන්නේ චෝල ආක්‍රමණිකයන් විසින් රැගෙන ගිය දළදා වහන්සේ සිරිසඟබෝ රජු නැවත රැගෙන ආ බවට සඳහන් කොට ඇති නමුත් දෙවැනි ප්‍රකාශයේදී එය ගජබා නම් රජකු විසින් ආපසු මෙරටට රැගෙන ආවා යැයි කියන කතා ප්‍රවෘත්තියයි. පළමු වැනි ගබජා රජු චෝල දේශය ආක්‍රමණය කරන බව පූජාවලිය, පැරැකුම්බා සිරිත, රාජාවලිය සහ සුළු රාජාවලියද සඳහන් කරයි. එම නිසා එය බැහැර කළ යුතු මතයක් නොවේ. එහෙත් පළමු වැනි ගජබා රජුගේ පාලන සමය වන විට දළදා වහන්සේ ලංකාවට වැඩම කොට නොතිබූ බැවින් මෙම විස්තරය ඇතුළත් වන ගජබාහු රජු යනු පළමු වැනි ගජබා රජු නොව දෙවැනි ගජබාහු රජු යැයි අනුමන කළ හැකිය. එහෙත් මෙම සිද්ධිය පිළිබඳව සවිස්තර කතාවක් කළ නොහැක්කේ ඒ පිළිබඳ ඇති පුරාවෘත්ත බහුල නිසාය.