Naifmvlog

Naifm vlog Gossip and News

මෙන්න මැණික් ගැන ඇත්තම තතු

මැණික්‌ යනු වාසනා මහිමයෙන් ලැබෙන සම්පතකි. වසර බිලියන ගණනක්‌ මුල්ලේ මහපොළව පතුලේ සැඟවී තිබෙන මැණික්‌ ගලක්‌ කිසිවකුට හමුවීම යනු ප්‍රාතිහාර්යක්‌මය. මහ පොළවේ අඩි සිය දහස්‌ ගණන් යටට කෙරෙන කැණීමකදී වුවද මැණිකක්‌ හමුවීම යනු අතිශය විරල භාග්‍යයකි. මේ මැණික්‌ රැජිනකගේ කිරුළකට, මේලයකට, කුමරියන්ගේ සූසැට අබරණ අතරට, මෙන්ම රූපිකාවන්ගේ සකල විධ ආභරණවලටද අනිවාර්ය ඛනිජ වස්‌තුවකි. ඒවා කපා ඔපදමා හැඩගැන්වීම වෙනම කලාවකි.මේ අගනා වස්‌තුව පොළොව යටින් මතුකර ගන්නට තාක්‌ෂණය පමණක්‌ නොව වාසනා ගුණයද වුවමනා වේ. මැණික්‌ සම්පත පොළොවෙන් ලබාගැනීම සඳහා ලොව අධිතාක්‌ෂණික ක්‍රමවේදයක්‌ තිබුණත් සහජ වාසනාවක්‌ හා සොබාදහමේ ආශීර්වාදයද එහිලා අත්‍යවශ්‍යය. දියදම් දිනිතියගේ වාසනාව උරගා බැලීමට මැණික්‌ සොයා මහ පොළවේ හැපෙන අය බොහෝය. මිණිපුර හෙවත් රත්නපුර යන නමද ලැබී ඇත්තේ ඒ සඳහාම සුවිශේෂ පුරවරයක්‌ හෙයිනි. රත්නපුරයේ පැල්මඩුල්ල ප්‍රදේශයේ කොට්‌ටාපිටිය ගම්මානයට අප ගියේද ඒ පිළිබඳ විමසා බැලීමටය.මේ ගම්මානයේ බැලූ බැලූ අත සරු කෙත් බිම්ය. ඒ අතරේ තැන තැන ඉදිවුණු මැණික්‌ පතල්ය. මේ පතල් බිම එක්‌ හිමිකරුවෙකුගෙ වුවත් පතලක්‌ පවත්වාගෙන යන්නේ හවුල් කරුවන් කිහිපදෙනෙකුත් එක්‌වය. මේ කොට්‌ටාපිටිය ගම්මානයේ එක්‌ හිමිකරුවකු වන ථුප කුමාර මහතා පතල් කර්මාන්තය ගැනත් මැණික්‌ ව්‍යාපාරය පිළිබඳව පැහැදිලි කිරීමක්‌ කළේ මෙසේය.අපේ පවුල් පරම්පරාවම පතල් ක්‌ෂේත්‍රයේ නියෑලුණු අය. අපේ පියාගෙන් පසුව මමත් මගේ සහෝදරයනුත් එක්‌වයි පතල් කර්මාන්තය කරන්නේ.

මේ පතල අපි පටන් ගත්තේ මීට අවුරුදු එකහමාරකට කලින්. මීට අමතර තවත් පතල් කිහිපයකුත් තිබෙනවා. නවීන තාක්‌ෂණික මෙවලම් හැටියට අපි උපයෝගී කරගන්නෙ විදුලි මෝටර් පමණයි. අනෙක්‌ හැම දෙයක්‌ම ස්‌වභාවික සම්පත්. පරිසරය සුරැකෙන අයුරින් සාම්ප්‍රදායික තාක්‌ෂණික ක්‍රම විතරයි අපි භාවිත කරන්නෙ.පතලක්‌ ආරම්භයට පෙර මැණික්‌ බහුලව පවතින ඉඩම් හඳුනාගෙන තමයි හැම කටයුත්තක්‌ම ආරම්භ කරන්නෙ .වත් පිළිවෙත් කරලා සමන් දෙවි හාමුදුරුවන්ගේ ආශීර්වාදය ලබාගෙන තමයි පතලක්‌ ආරම්භ කරන්නෙ. එදිනෙදා වැඩත් එහෙමයි.පතලක්‌ පවත්වාගෙන යන්න විශාල මුදල් සම්භාරයක්‌ වුවමනා වෙනවා. මේ සඳහා හවුල්කරුවන් වශයෙන් තවත් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගන්නවා. පතලක වියදම් කරන හා සැපයුම්කරුවන් මෙන්ම මෙහි වැඩ කරන සුළු සේවකයින් කම්කරුවන් හැමදෙනාම හවුල්කරුවන් වශයෙනුයි හඳුන්වන්නෙ. මැණික්‌ ලැබීමෙන් පසුව ඔවුන්ගේ කොටස්‌ ඔවුන්ට හිමිවෙනවා. මේ ක්‍රම වේදය නිසා කම්කරුවන් තුළ මහත් ධෛර්යයක්‌ විශ්වාසයක්‌ ඇති වෙනවා. පතලත කැණීම් කිරීමෙන් පසුව ලැබෙන මැණික්‌ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් සෑම හවුල් කරුවෙකුටම නියමිත සාම්ප්‍රදායික ප්‍රතිශතයන්ට අනුකූලව බෙදා දෙනවා. මෙය විනිවිද පේන අයුරින් සිදුවෙන නිසා හැම හවුල්කරුවෙකු තුළම විශ්වාසය තහවුරු වෙනවා. ඒ නිසා අවුරුදු ගණනාවක්‌ වුණත් පතල් පවත්වාගෙන යැමට පහසු වෙනවා.පතලක්‌ නිසි අයුරින් ආරක්‌ෂිතව පවත්වාගෙන යන්න තාක්‍ෂණික ක්‍රම පිළිබඳව පුළුල් දැනීමක්‌ තියෙන්නෙ ප්‍රධාන බාස්‌ උත්නැහේට. ඔහුගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ තමයි හැම පුවක්‌ රිටියක්‌ම මුහුණත් ලෑල්ලක්‌ම සවිවන්නෙ.

අපිට හමුවුණු මේ පතලේ ප්‍රධාන බාස්‌ හෙවත් ඒ පුංචි මහත්තයා පතලක්‌ හදන හැටිද විස්‌තර කළේය.”පතලක ඉල්ලම්පස තෙක්‌ වළ කපා “මාලවල” හෙවත් කේන්ද්‍රවල ලී තට්‌ටු දෙකක්‌ තුනක්‌ වගෙ සවිකරනවා. මුල් කණු හෙවත් ප්‍රධාන කණු දමා ප්‍රධාන වළ සවිකර ගන්නවා. මුළු පතලෙම ප්‍රධාන කාර්යයන් සිදුවන්නේ මේ වළ තුළිනුයි. දොaනා පිරීම ආරම්භ කරන්නෙ මින් පසුවයි. දෝනාවේ වහල හෙවත් වහල්තැන්න පුවක්‌ රිටි උපයෝගී කරගනිමින් සවිකරනවා. ඇලපත් කීරී යොදා බිත්ති දෙපැත්තට ඇලපත් කණු දමා ශක්‌තිය බිමට යොමුවෙන අයුරින් සකසනවා. මුහුණත්ලෑල්ල හෙවත් හරහට ලෑලි සවිකර ශක්‌තිය සමඟ ආවරණය සිදුවෙනවා. කණින හැම බිත්තියකම කුඩා කැකිල්ල මිටි තදකරමින් පුවක්‌ රිටි යොදා සිරකර ගන්නවා. බිත්ති තුළින් දෝනාවට ජලය කාන්දුවීම වැළැක්‌වීමට මේ සාම්ප්‍රදායික ක්‍රමය අති සාර්ථකයි. බිත්ති කාලයක්‌ ආරක්‌ෂා කිරීමටත් කැකිල්ල යෙදීම තමයි හොඳම ක්‍රමය. මෙහෙම කැණීම් කරගෙන යන දෝනාවක දහදෙනෙක්‌ වැඩ කළත් දවසකට සම්පූර්ණ කරන්න හැකි වන්නෙ අඩි දෙකහමාරක තරම් කුඩා කොටසක්‌. එයිනුත් මැණික්‌ සහිත ඉල්ලම් පස්‌තට්‌ටුව තියෙන්නෙ ඉතා අඩු ප්‍රමාණයක්‌.කැණීම් කර දෝනාව සකසමින් පස්‌ ගොඩට ගෙන එනවා. ඉල්ලම් පසට උඩින් පිහිටි පස්‌ එක ගොඩකටත් ඉල්ලම් පස්‌ තවත් තැනකත් තැන්පත් කරනවා. පතල් භූමියෙහි වෙන්කර අසුරා ගත් කුඩා වළක්‌ සහිත ප්‍රදේශය කමත යෑයි හඳුනනවා.මේ කමත හෙවත් කුඩා වළට දෝනාවෙන් ගෙන එන ඉල්ලම් පස්‌ තැන්පත් කරනවා. මේ කමත පිරෙනතුරු දින ගණනාවක්‌ රෑ නිදි වරමින් කිහිප දෙනෙකු ආරක්‌ෂා කරනවා. කමත සම්පූර්ණයෙන්ම පිරුණට පසුව නැකත් බලා දේවාශීර්වාදය ලබාගෙන ගැරීම සුබ මොහොතින් ආරම්භ කරනවා. ගැරීම් වළ හෙවත් වෙන්කරන ලද ඇසුරුම් වළක්‌ මේ සඳහා යොදා ගන්නවා.

හාම්පුතුන් ඉදිරියේදීම එක දිනකදීම ගැරීම සිදු වෙනවා. ලැබෙන ගල් හාම්පුතුන්ගේ අතට පිළිගැන්වීම හැමෝගෙම හිත්වලට සතුටක්‌ ලැබෙන දසුනක්‌.මේ මැණික්‌ වෙන්දේසියේ විකිණීමෙන් පසුව වියදම් කපා හැර අපට හිමි කොටසෙහි ඉතිරි මුදල් හිමිවෙනවා. ඒ ලැබෙන මුදලින් තමයි පතල් වැඩ නැති කාලෙට ජීවත් වෙන්නෙ. සමහරු මුදල් වියදම් කිරීම පිළිබඳව නොදැනුවත්කම නිසා අසරණ විදිහට ජීවත්වන අයත් ඉන්නවා. පතල් කම්කරුවන්ගේ රැකියාව ඉතා වෙහෙසවන රැකියාවක්‌ වුණත් මේක මහා වාසනාවන්ත රස්‌සාවක්‌. විඩාව නිවෙන්න පතල් කවියක්‌ දෙකක්‌ කියන එකත් අපේ සිරිතක්‌.පතලක්‌ තුළදී හෝ දෝනාවක්‌ තුළදී කෙනෙකු අනතුරට පත්වන්නේ ඔහුගේම වරදකින්. හොඳ සිහි කල්පනාවෙන් තමන් කරනදේ නිසි අයුරින් ඉටු කරනවා නම් කාටවත් අනතුරක්‌ සිදුවන්නෙ නැහැ. අපේ රටේ දෝනාවල සිදුවන අනතුරු අඩුවෙන්නට හේතුව සාර්ථක සාම්ප්‍රදායික ක්‍රම උපයෝගී කරගැනීමයි.බුද්ධියෙන් ක්‍රියා කිරීමයි. මේ හැම දේකටම වඩා සමන් දෙවිහාමුදුරුවන්ගෙ රැකවරණය කියලයි අපේ විශ්වාසය.ඔහු පැහැදිලි කළ කරුණු අතරින් පසක්‌ වන එක්‌ කරුණක්‌ ඇත. ඒ පරිසරයට හිතකර අයුරින් සොබාදහමේ සම්පත් රැකගනිමින් මැණික්‌ පතල් කර්මාන්තයේ නියෑළෙන මිනිසුන් හට දේවාශීර්වාදය හිමිවන බවය.පතල් කර්මාන්තයේ නියෑළෙන කම්කරුවාගේ සිට කුඩා හා මධ්‍ය ව්‍යාපාරිකයන් වෙනුවෙන් මෙන්ම මැණික්‌ ව්‍යාපාරය පිළිබඳව ලොවම දැනුවත් කිරීම හා මැණික්‌ ව්‍යාපාරය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය විසින් නවතම වැඩපිළිවෙළවල් රාශියක්‌ දියත් කර ඇත. මේ පිළිබඳව පතල් කම්කරුවන් හා සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් සමග ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති රෝහාන් දළුවත්ත මහතාගෙන් ද අපි විමසීමු.”පරිසරයට හානි නොවන අයුරින් මැණික්‌ ලබාගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රම මගින් පතල් පවත්වාගෙන යැම නිසා පතල් කර්මාන්තයට විශාල සේවයක්‌ සිදුවෙනවා. මැණික්‌ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම සඳහා රජය නව ක්‍රම වේදයන් රාශියක්‌ මේ වනවිටත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. මෙය අපට විශාල විනිමයක්‌ ලබාදෙන කර්මාන්තයක්‌ ලෙස දියුණු කිරීම අපේ වගකීමයි.