Naifmvlog

Naifm vlog Gossip and News

රෝහල්වල ඇති පණ ඇති දෙවිවරුන්ගේ කඳුලු කතාව

මේ දිනවල වැඩිදෙනෙකු මැසිවිලි නගන්නේ, ‘ගෙදරට ම වී සිටීමේ අපහසුව’ ගැන ය. එහෙත් කිසිදු ආකාරයක මැසිවිල්ලක් නොනගතත්, මේ දිනවල උපරිම වූ කායික පීඩනයක් සහ මානසික ආතතියක් උසුලන්නේ වෛද්‍යවරුන් ඇතුළත් වූ සෞඛ්‍ය කාර්යය මණ්ඩල යි. ඒ වෙනදා ඔවුන්ට හුරුපුරුදු රාජකාරී කටයුතු මේ දිනවල අතිශයින් ම සංකීර්ණ වී ඇති නිසා ය. විශේෂයෙන් ම ‘ඔවුන් අඳින ඇඳුමේ සිට’ සියල්ල ම සංකීර්ණ ය. සාමාන්‍ය ජීවිතයේ ඔවුන් පැවැත්වූ පවුල් සහ-සම්බන්ධතා පවා නතර කර තිබෙන මේ මොහොතේ විශාල වූ ජීවිත අවදානමක් ද සහිතව සිටින ඔවුන් කරන කැපකිරීම් අති මහත් ය.එයිනුත් මේ මොහොතේ වැඩිම කැපකිරීමක් කරන්නේ, අංගොඩ අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කනිෂ්ඨ සේවකයින් ය. ජාතිය ම විපතකට පත් වී සිටින මේ මොහොතේ ‘ඉදිරි ආරක්ෂක වළල්ලේ‘ සිටින අයි.ඩී.එච්. හි සේවයේ නියුතු තරුණ හෙද නිලධාරිණියක වන කුමාරි අමරසේන ‘අරුණ’ ට මෙසේ පැවසුවා ය.‘‘මේ වෙලාව වන විටත් අපේ රටේ වැඩිම ක-රෝනා රෝගීන් ප්‍රමාණයක් ඉන්නෙ අපේ රෝහලේ… දැනට ඒ ගණන 101 ක්… එයිනුත් 5 ක් විතර අයි.සී.යූ. ඉන්නවා… වෛද්‍යවරුන් ඇතුළු 80 ක් විතර වන අපේ හෙද – හෙදි සහ කනිෂ්ඨ සේවකයන් මේ මොහොතේත් ඉතා දැඩි මහන්සියකින් වැඩ කරන්නෙ මේ රෝගීන් ටික කොහොමහරි බේරගන්න…’’මේ මොහොතේ අපේ මුළු මහත් ජාතියේ ම ඉරණම රැඳී තිබෙන්නේ තිස්තුන්කෝටියක් දෙවිවරුන් අත නොව ලක්ෂ එක හමාරකට ආසන්න සංඛ්‍යාවක් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩලය අත බව තේරුම්ගැනීමට ඇය පැවසු පළමු වදන් කිහිපය ම ප්‍රමාණවත් විය.‘‘අපේ රටේ දැනට රෝහල්ගතව ඉන්න සහ මතුවටත් එන්න නියමිත රෝගීන් බේරගන්න නං පළමුවෙන් ම අපේ සෞඛ්‍ය සේවකයන් ආරක්ෂිත වෙන්න ඕන… ඒ නිසයි අපිට ප්‍රතිකාර කටයුතු අතරතුර පී.පී.ඊ. ඇඳුම ඇඳගෙන ඉන්න එක අනිවාර්යය කරලා තියෙන්නෙ…

ඒ වුණාට පැය ගණනක් ඒක ඇඳගෙන ඉන්න එකේ අමාරුව විස්තර කරන්න වචන නෑ… ඒ ඇඳුමින් මුළුමනින් ම අපේ ඇඟ සීල් වෙන හින්දා ඒක ඇතුළට හුළං පොදක්වත් එන්නෙ නෑ… ඒ හින්දා ඒක ඇඳලා පැයක් යනකොට යටින් ඇඳගෙන ඉන්න ‘පිජාමා ඇඳුම’ සම්පූර්ණයෙන් ම දාඩියෙන් තෙත් වෙනවා… ඇඟ ඇතුලෙන් දාඩිය ගලන කොට ඇඳන් ඉන්න ඇඳුමෙන් ම පිහදාන්න හිතෙනවා… සාමාන්‍යෙයන් ටික වෙලාවක් යද්දි මුහුණ අතපය තැන් තැන්වල කසන්න ඕන වෙනවා… ඒ වුණාට ඒ ඇඳුම ඇන්දට පස්සෙ ඇඟ කසන්න නෙමෙයි, අත්වලින් ඒ ඇඳුමවත් අල්ලන්නවත් බෑ… රෝගීන් එක්ක ළඟින් ම වැඩකරන අපි හැමවෙලාවෙම හිතන්නෙ අපේ ඇඳුමේ පිට කවරයේ ක-රෝනා වෛරස් එක තැවරිලා තියෙනවා කියලා…‘‘ඇය පවසන විදියට ඇස්වල ආරක්ෂාව සඳහා මේ ඇඳුම සමග අඳින, ඇස් වෙත ම ‘සීල්’ වී තිබෙන, විනිවිද පෙනෙන ප්ලාස්ටික් ‘ගොගල්ස්’ වල නිතර නිතර මීදුමක් බැඳී පෙනීම අවහිර වන අතර පැය කිහිපයක් එකදිගට එය බැඳගෙන සිටීමෙන්, ‘නළල් වටය’ රිදීම ද නොවැළැක්විය හැකි ය.කඳ, ඇස, ඉස පමණක් නොව, ඔවුන් මේ ඇඳුම ඇඳගත් විට තමන්ගේ දෑත් සහ දෙපා ද තැම්බෙන තරමේ අභ්‍යන්තර උණුසුමක් ද දරා යුතු ය.‘‘කකුල් වලට නං හිර වෙන්න ඉටිකවර තුන හතරක් ඇඳලා උඩින් බූට් දාගන්නවා… අත්වලට ග්ලවුස් කුට්ටං පහක් විතර එකපාර දානවා… මොකද හදිසියෙන් හරි එකක් ඩැමේජ් වුණොත්, වැඩ කරන අතරෙ මාරු කරන්න බෑ… අනික අත්වලින් නිතරම රෝගීන් අතපත ගාන හින්දා අත් දෙක තමයි ගොඩක් ම ආරක්ෂා කරගන්න ඕන… සාමාන්‍යයනුත් නිතර දාඩිය දාන කෙනෙකුට මේක දරාගන්න හරිම අමාරුයි… මම දවසක් දැක්කා අපේ කනිෂ්ඨ සේවකයෙක් ඇඳුම් ගලවන කොට එයාගෙ බූට් එකේ වතුර වගේ දාඩිය පිරිලා තිබුණා… එයා බූට් ගලවලා ඒක ඇතුළෙ තිබුණු දාඩිය එළියට වක්කරන වීඩියෝ එකකුත් මං ගාව තියනවා…’’ ඇය පවසන්නී ය.‘‘මේ ඇඳුමට මේ තරම් දාඩිය දානව නං, ප්‍රතිකාර අතරතුරදි වෛද්‍යවරුන් හෙද හෙදියන් විජලනය වෙන්නත් පුළුවන් නේද…?’’ඒ ප්‍රශ්නය ලියුම්කාරියගෙනි.‘‘ඔව්…

ඒ නිසා අපිට ඒ ඇඳුම අඳින්න කලින් වතුර බෝතලයක් බොන්න අනිවාර්ය කරලා තියෙන්නෙ… එහෙම බිව්වත්, ඇඳුම ඇඳගෙන ටික වෙලාවක් යනකොට ක්ලාන්ත ගතියක් දැනෙනවා…’’ ඇය පවසන්නී ය. මේ ඇඳුම ඇඟලා ගත් විට, මොනම හේතුවකටවත් එය නැවත ගැලවිය නොහැකි නිසා, වැසිකිළි කැසිකිළි යාමට සිදුවුවහොත් කුමක් කරනේදැ‘යි අප ඇසූ පැනයට ඇය පැවසුවේ මෙවැන්නකි.‘‘දැනට අපි පැය තුනක් හතරක් කොහොම හරි වැසිකිළි නොයා ඉවසගෙන ඉන්නවා… දැනට ඉන්න රෝගීන් කළමනාකරණය කරගන්න ඒක ප්‍රමාණවත්… නමුත් ඉදිරියෙදි රෝගීන් වැඩි වුණොත් එහෙම අපටත් චීනෙ හෙද හෙදියන්, වෛද්‍යවරුන් වගේ ‘පැම්පස්‘ අඳින්න වෙයි…’’ක-රෝනා රෝගීන් අතර සිටින නිදන්ගත ආබාධ ඇති අය, එනම් හෘද රෝගීන්, වකුගඩු රෝගීන් වැනි අයගේ ප්‍රතිකර්ම කිරීමේ අපහසුතාවය ද අමරසේන හෙද නිලධාරිණිය අතින් මෙසේ විස්තර විය.‘‘අපේ රෝහලට ඇතුළත් වුණු එක් රෝගියෙක් වකුගඩු රෝගියෙක්… අපිට එයාව ඩයලයිසිස් කරන්න නිතර නිතර මාලිගාවත්තට ගෙනියන්න සිද්ද වුණා… මොකද අපේ රෝහලේ ඩයලයිසින් යුනිට් එකක් නෑනෙ… ඒ වෙලාවට ඇම්බියුලන්ස් එකක රෝගියත් එක්ක යන එන එකත් කළේ අර ඇඳුම පිටින්ම යි… සමහර දියුණු රටවල නං මේ ඇඳුමට එයා කන්ඩිෂන් සිස්ටම් එකක් තියනවා… හැබැයි අපිට ඉතින් එච්චර දියුණු දේවල් කරන්න බෑනෙ… තියන සම්පත් ටිකත් පරිස්සමට තමයි පාවිච්චි කරන්නෙ…’’අඩුපාඩු රාශියක් මධ්‍යයේ ඔවුන් මේ ආකාරයෙන් හෝ රාජකාරී කටයුතු කළමනාකරණය කරගනිද්දී ඔවුන්ගේ පවුල් වල අය ද ඔවුන් වෙනුවෙන් කරන ‘කැපකිරීම්’ අති මහත් ය.‘‘අයි.ඩී.එච්. එකේ ඉන්න ස්ටාෆ් එකෙන් වැඩි පිරිසක් මේ වෙලාවේ රෝහලේ ම නේවාසිකාගාර වල නැවතිලයි ඉන්නෙ… මමත් දැන් මාසයක් තිස්සෙ රෝහලේ ම නැවතිලා ඉන්නවා… මගේ ගෙවල් තියෙන්නෙ රත්නපුර ගොඩකවෙල… මම තාවකාලිකව නැවතිලා හිටියෙ හෝමාගම නැන්ද කෙනෙකුගෙ ගෙදර… නමුත් ක-රෝනා රෝගීන් අපේ රෝහලට එන්න පටන්ගත්තට පස්සෙ මම හෝමාගම ගෙදරවත් නොගිහින් මෙහේ ම නතර වුණා… මේ දවස්වල අපිත් එක්ක රෝහලේ ම නැවතිලා ඉන්න අය අතරෙ කිරි දෙන අම්මලත් ඉන්නවා… ඒ අයගෙ කුඩා දරුවො බලාගන්නෙ තාත්තලා, නැත්නම් ආච්චි අම්මලා…

මං වගේම ඒ අයත් මාසයක් විතර තිස්සෙ ගෙවල් වල ගිහින් නෑ…’’කෙසේ වෙතත් කොළඹ අවට නිවෙස් තිබෙන අයගෙන් කිහිපදෙනෙක් ‘ඇම්බියුලන්ස්’ රථවල නැගී නිවෙස් වෙත ගොස්, තම තමන්ගේ නිවෙස් දොරකඩ ‘අත්‍යවශ්‍ය බඩු මලු තබා’ ඈතින් සිට ‘අත වනා’ පැමිණි අවස්ථා තිබුණත් දුර බැහැර කුරුණෑගල, ගාල්ල, මාතර අය ට මාසයක් විතර තිස්සේ සිය පවුල් වල සාමාජිකයන් මුණගැසී තිබෙන්නේ ‘දුරකථන තිරයෙන්’ පමණි. මේ අතර ක-රෝනා රෝගීන් සුළු ප්‍රමාණයක් රඳවා තිබෙන රාගම, හෝමාගම වැනි රෝහල්වල හෙද හෙදියන් මෙන් ම වෛද්‍යවරුන් ද තවමත් රාජකාරී නිමා වී සිය නිවෙස් වෙත යන නමුත් ඔවුන් ද මේ වන විට පවුල්වල සාමාජිකයින් සමඟ පවත්වන සම්බන්ධතා අතිශයින් ම සීමා කර ඇත.‘‘මම වැඩකරන්නෙ රාගම රෝහලේ ඕ.පී.ඩී. එකේ… රෝහලකදී අලුත් ක-රෝනා රෝගියෙක් මුලින්ම මුණගැහෙන සම්භාවිතාව තියෙන්නෙ අපට… ඒ නිසා අපි දැනට එන රෝගීන් ඕ.පී.ඩී. එකේදිම වෙන් කරගන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා… හදිස්සියෙන් හරි සැක හිතෙන රෝගියෙක් මුණගැහුණාම අපි එයාව වෙනම කාමරයකට ඇරලා, එළියේ ඉඳන් දුරකථන ක්‍රමයකින් කතා කරන්න පටන් ගත්තා… ඒ වුණත් නොදැන හරි අපිට රෝගියෙක් මුණගැසෙන්න ඉඩ කඩ තියෙනවා… ඒ නිසා අපි අපේ ගෙවල් වලට යනකොට පුළුවන් තරම් එළියෙදිම විෂබීජ ඉවත් කරගෙන යන්න උත්සහ කරනවා… පී.පී.ඊ. ඇඳුම ගලවලා රෝහල ඇතුළෙදිම හොඳට නාගෙන තමයි ගෙදර යන ඇඳුම ඇඳගන්නෙ… පී.පී.ඊ. එකට යටින් අඳින පිජාමා ඇඳුම පොලිතින් බෑග් දෙකක විතර දාලා ගැටගහගෙන ගෙදර අරන් යනවා… ඊට පස්සෙ ගෙදර ගිය ගමන් ම, අපි ඇඳගෙන යන ඇඳුම් වෙනමත්, රෝහලේ දි ඇඳපු පිජාමා එක වෙනමත් සබන් කුඩු භාජනයක පොඟවලා පැයක් දෙකක් තියෙන්න හරිනවා… ඊට පස්සෙ ගෙදර ඇතුළට යන කොටත් තව පාරක් එළියෙන් ම නා ගන්නවා… ඊට අමතරව අපි රෝහලට දාන සපත්තුවක්වත් ගෙදර ඇතුළට ගන්නෙ නෑ… ඒවා එළියෙන් ම තියල තමයි ගෙට යන්නෙ…’’ යි පවසන්නේ රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය රෝෂිණී සෝලංගාරච්චි මහත්මිය යි.ඇය වැඩිදුරටත් පවසන්නේ මෙසේ ය.‘‘මම පුළුවන් තරම් ගෙදරදිත් වෙනම ඉන්න බලනවා…

මගේ පුතාල දෙන්නගෙන් එක්කෙනෙක් වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට ගිහින් ඉන්නවා… අනෙක් පුතාටත් අවුරුදු 18 ක් විතර වෙන හින්දත්, එයත් වෛද්‍යවරයෙකු ම වෙන්න බලා පොරොත්තුවෙන් ඉගෙන ගන්න හින්දත් එයා දන්නවා මම වෙනම ඉන්න ඕන බව… ඒත් පුංචි ළමයි ඉන්න වෛද්‍යවරුන්ට ළමයින්ගෙන් බේරිල්ලක් නෑ… ඒ අයට තමයි ගොඩක් ම අමාරු…’’මේ අතර රාගම රෝහලේ ම සේවය කරන තවත් වෛද්‍යවරයෙකු ‘අරුණ’ ට පැවසුවේ මෙසේ ය.‘‘මගේ වයසක අම්මයි, නෝනයි, බබාලා දෙන්නයි ගෙදර ඉන්නෙ… ඒ නිසා මම මේ දවස්වල ගේ ඇතුළටවත් යන්නෙ නෑ… මගේ වාහනය දාලා තියෙන ගැරිජ් එකට ම අල්ලලා තියෙන ගබඩා කාමරේට ඇඳක් දාලා තියෙනවා… කොහොම වුණත් මම මේ දවස්වල නිදාගන්නෙ ඒ ඇඳේ… මගේ කෑම ටිකත් නෝනට කියලා එතැනටම ගෙන්න ගන්නවා… විශේෂයෙන් ම මම මෙහෙම කරන්නෙ මගේ මහලු අම්මා නිසා…’’මේ අතර තවත් වෛද්‍යවරුන් මේ දිනවල තමන් සාලයේ පුටුවක නිදාගන්නා බව පවසන අතර ඇතැම් වෛද්‍යවරුන් සිය නිවෙස් වෙත යන්නේ අවුරුදු දෙකේ තුනේ වයස්වල දරුවන් නිදාගත් පසුව ය. ඒ ක-රෝනා ගැන හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් වෙනදා මෙන් ඇඟේ එල්ලීමෙන් සහ කරේ නැගීමෙන් වළක්වනු පිණිස ය.‘‘අපේ රෝහලේ වැඩ කරන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය රෝගයෙන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ දිනවල වෙනම ආරක්ෂිත වැඩපිළිවෙළ කිහිපයක් ම ක්‍රියාත්මක කරනවා… එකක් තමයි ඕ.පී.ඩී. එකට එන සැක සහිත රෝගීන් පරීක්ෂාවට වීදුරු කාමරයක් භාවිත කරන එක… එතැනදි අපිට එළියෙ ඉඳන් දුරකථන මාර්ගයෙන් රෝගියා එක්ක කතා කරන ගමන් පිටින් ඔවුන්ව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා… අනික තමයි රෝහල තුළ යාම ඊම වෙනුවෙන් රෝගීන්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් වෙන වෙනම මංතීරු දෙකක් භාවිතා කිරීම… අනික තමයි පී.පී.ඊ. ඇඳුම් ලබාදිමත් ඒවා භාවිතයෙන් පසු විනාශ කිරීමත්… ඒ වගේම විශේෂිත රසායන දියරයකින් නිතර නිතරම මුළු රෝහලම විෂබීජ හරණය කරනවා…

ඊට අමතරව අපේ කාර්ය මණ්ඩලය රෝගීන් සමඟ දක්වන සම්බන්ධතා අවම කරන්න ‘රොබෝ යන්ත්‍රයක්’ භාවිත කිරීම… මේ වෙනකොට ඒ රොබෝ හරහා තමයි අපි රෝගීන්ට බේත් හේත් පවා යවන්නෙ… පසුවට රෝගීන්ට උණ බලන උණ කටු ආදියත් රොබෝ හරහා යවන්න බලාපොරොත්තු වෙනවා…’’ ක-රෝනා රෝගීන් රැක බලන රෝහලක් වන හෝමාගම මූලික රෝහලේ සැලසුම් අංශය භාරව සිටින වෛද්‍ය සුගිත් විජේසුන්දර මහතා ‘අරුණ’ ට පැවසුවේ ය.‘‘අපේ වෛද්‍යවරු දැනට නං රාජකාරියෙන් පස්සෙ ගෙවල් වලට යනවා… ඉදිරියෙදි රෝගීන් වැඩිවුණොත් එහෙම ඔවුන්ට ගෙදර යන්න බැරිවෙයි… ඒ වෙලාවට ඒ අයව රෝහල තුළම රඳවා ගන්න සැලසුම් කරන්න වෙනවා… ගෙදර ගියත් අනුගමනය කරන්න ඕන පිළිවෙත් දැනටමත් අමාත්‍යංශය මගින් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ලබල දීලා තියෙනවා… හැමෝම තමනුත් තමන්ගේ පවුලේ අයත් ආරක්ෂා වෙන විදියට ඒ උපදෙස් පිළිපදිනවා…’’ ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.රෝහල තුළ ම නොසිටියත්, එළියේ නිවෙස්ගතව නිරෝධායනය වන, ක-රෝනා රෝගීන් විය හැකි බවට සැක කරන පුද්ගලයන් භාරව කටයුතු කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද මේ මොහොතේ කරන කැපකිරීම් සුළුපටු නැත.‘‘මට ඊයෙ රෑ හදිසියෙම කෙනෙක් කතා කරලා කිව්වා, එයා 19 වැනිදා රෑ තමන්ගෙ කුලී රථයෙන් විදේශිකයින් පිරිසක් ගුවන් තොටුපළට ගෙන ගිය බවත්, මේ වන විට ඔහුටත්, ඔහු සමඟ නිවසේ සිටින මවටත් කෙරෝනා රෝග ලක්ෂණ පහළ වී ඇති බව… මම වැඩ කරලා ගෙදර ආපු ගමන්මයි ඒ කෝල් එක ආවෙ… ඊට පස්සෙ මම ආපහු ඇම්බියුලන්ස් එකකුත් කතා කරෙගෙන එතැනට ගිහින් ඒ රෝගියා රාගම රෝහලට ඇරියා…

මේ දවස් ගත වෙන්නෙ මේ විදියට තමා… උදේ වැඩ පටන්ගත්තම, මහ රෑ වෙනකනුත් එකදිගට වැඩ… මම වැඩකරන ජාඇල ප්‍රදේශයේ නිරෝධායනය වන පුද්ගලයින් සහිත නිවාස 400 කටත් වඩා තියෙනවා… ඒ හැම එකක්ම මමත් තවත් පී.එච්.අයි.ල නව දෙනෙකුත් තමයි නිරීක්ෂණය කරන්නෙ… ඊට අමතරව මේ දවස් වල වෙළඳපොලට යන මස් වර්ග, මාළු වර්ග පරීක්ෂා කරන්න වෙනවා… කල් ඉකුත් වුණු ආහාර තොග මුදාහැරෙනවද බලන්න වෙනවා… බරපතළරෝගාබාධ තියෙන අයට අවශ්‍ය බෙහෙත් ඔසුසල වලින් අරගෙන දෙන්නත් වෙනවා… සමහර බෙහෙත් තියෙන්නෙ කොළඹ ඔසුසල් වල විතරයි… ඇඳිරි නීති වෙලාවෙ ඒවා ගෙන්න ගන්න පහසුකම් නැති අයට ඒවා ගෙනත්දෙන වැඩපිළිවෙළ හදන්න වෙන්නෙත් අපට… ඊට අමතරව හදිසි කටයුත්තකට දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයකට යන අයට ඇඳිරිනීති බලපත්‍ර ලබාදෙන්න කලින් ඒ අයට සහතික නිකුත් කරන්නෙත් අපි… මේ වගේ රාජකාරි ගණනාවක් හින්දා අපි මේ දවස් ගත කරන්නෙ කන්න බොන්නවත් නිදහසක් නැතිව…’’ජාඇල ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයවර්ධන මහතා ‘අරුණ’ ට කීවේ ය.ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙසේ ය.‘‘කිසිම කෙනෙකුට ගෙදරින් එළියටවත් බහින්න එපා කියන මේ වෙලාවෙ අපේ ගෙදරින් එළියට යන එකම කෙනා හැටියට මම මේ දවස්වල හරියට පරිස්සම් වෙනවා… හරියට නිරෝධායනය වෙච්චි කෙනෙක් වගේ වෙනම කාමරයක තමයි ඉන්නෙත්… රෝගීන් විය හැකි අය මුණගැහෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා අපිත් ටිකක් අවදානම් තත්ත්වයක ඉන්නෙ… ඒ නිසා අපි හරහා ගෙදර අයට රෝගය යාම වළක්වන්නයි එහෙම කරන්නෙ…’’මේ වෙලාවේ අපේ සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, කනිෂ්ඨ සේවකයන් කරන කැපකිරීම් වල හැටියට පොදු මහජනතාව හැටියට අප කළ යුතු කැපකිරීම මොනතරම් සුළුපටු ද…? අපට තිබෙන්නේ සුළු සුළු අඩුපාඩු ඇතොත්, ඒවා විඳ දරාගෙන, ‘ගෙදරට ම වී සිටීම’ පමණි.ආරක්ෂිත ඇඳුම ඇඳගත් හෙදියන් දෙදෙනෙක්අයි.ඩී.එච්.රෝහලේ වෛද්‍යවරු පිරිසක්ලංකාවෙන් හමුවූ මුල්ම ක-රෝනා රෝගියාට ප්‍රතිකාරකළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය