Naifmvlog

Naifm vlog Gossip and News

අන්තර්ජාලයෙන් ලෙඩවලට බෙහෙත් හොයන කෙනෙක්ද

අද වනවිට බොහෝ දෙනා දෛනික කටයුතු අතරේ කෙටි කාලයක් හෝ සමාජ මාධ්‍යයන්හි සැරිසැරීමට යොදාගන්නවා. මෙසේ සමාජ මාධ්‍යවල සැරිසරන විට එදිනෙදා තමාට මතුවන ගැටලුවලට සමාජ මාධ්‍ය ඔස්සේ විසඳුම් සොයන්නටත් ඔවුන් උත්සාහ ගන්නවා. ඇතැම් අය තමාට ඇති රෝගී තත්ත්වයන්ට පවා උපදෙස් පැතීමට යොදාගන්නේ සමාජ මාධ්‍යයයි. මෙහි තිබෙන අයහපත් තත්ත්වය පිළිබඳවයි දැන් අපි ඔබට කියන්නෙ. විවිධ පුද්ගලයන් තමාට යම් රෝගී තත්ත්වයක් මතු වූ විට එම රෝගයේ ලක්ෂණ සඳහන් කරමින් ඒවාට කළ යුතු පිළියම් පිළිබඳව විමසමින් ඒවාට ලබාගත යුතු ඔෟෂධ පිළිබඳ විමසමින් අන්තර්ජාලයේ වෙබ් පිටුවලට” Face-Book පිටුවලට ප්‍රශ්න යොමු කර ඇති අයුරු ඔබ ඕනෑ තරම් දැක ඇත. ඒවාට ලබාදී ඇති පිළිතුරු නිර්දේශ කර ඇති ඔෟෂධ ආදියත් ඔබ දැක ඇත. ඇතැම් අය මෙවැනි ඔෟෂධ පවා නොපැකිළව භාවිත කරනවා. මෙය ඉතාම අවදානම් සහගත තත්ත්වයක්. බොහෝ අය ප්‍රචාරණ කටයුතු සඳහා මුහුණු පොත, වෙබ් පිටු ආදිය භාවිත කරනවා.

ඔෟෂධ ආදිය අලෙවිය සඳහාත් වෛද්‍යමය කටයුතු සඳහාත් වෙන්වුණු වෙබ් පිටු ගණනාවක් අන්තර්ජාලයේ තිබෙනවා. විවිධ පෙති වර්ග, සිරප් වර්ග, පෝෂණ අතිරේකයන්, රූපලාවණ්‍ය සඳහා වන විවිධ ආලේපන, උදරය අඩුකර ගැනීමට තිබෙන උපකරණ ආදී බොහෝ දෑ අන්තර්ජාලය ඔස්සේ අලෙවි වනවා. ඔෟෂධ වර්ග විවිධ නම්වලින් අන්තර්ජාලය ඔස්සේ අලෙවි වනවා. නමුත් ඔබ මෙවැනි දෑ පිළිබඳ ඉතා සැලකිලිමත් විය යුතුයි. ඕනෑම අයකුට ඕනෑම තැනක සිට මෙවැනි ව්‍යාපාරයක් කරගත හැකි නිසා ලියාපදිංචියක් අවශ්‍ය වන්නේත් නැහැ. ඒ වගේම රජයේ අධීක්ෂණයෙන් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව තිබෙනවා. ලියාපදිංචි නොවන නිසාවෙන් කිසිවකු වගකීමක් දරන්නේත් නැහැ. මෙවැනි නිෂ්පාදන දුරකථන ඇමතුම් හරහා මුහුණු පොත හා සම්බන්ධ වී අලෙවි කරන නිසාවෙන් ඒ සඳහා ස්ථාවර ස්ථානයක්, ප්‍රමිතියක් සහිතව පවත්වාගෙන යන්නේත් නැහැ. සමාජ මාධ්‍ය ඔස්සේ අනුමත නොවූ සහ කල් ඉකුත් වූ ඔෟෂධ වර්ග, භාණ්ඩ ආදිය කිසිදු දේශීය හෝ විදේශීය සහතිකයක් නොමැතිව අලෙවි විය හැකියි.

එම නිසා රෝගී තත්ත්වවලදී සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට පිළියම් සොයන අය මේ පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතුයි. රෝගී අවස්ථාවකදී කළ යුතු පූර්ව පරීක්ෂණ, පූර්ව රසායනාගාර පරීක්ෂණ ආදී කිසිවක් කළ නොහැකි නිසාත් සමාජ මාධ්‍ය ඔස්සේ පිළිතුරු ලැබෙන්නේ අනුමාන කර ඇති රෝගී තත්ත්වයන් සඳහා වන නිසාවෙනුත් ප්‍රතිකාර වැරදීමට තිබෙන ඉඩකඩ වැඩියි. මෙවැනි තත්ත්ව නිසා අතුරු ආබාධ ඇතිවීම, විවිධ සංකූලතා ඇතිවීම, වැරදි ඔෟෂධ භාවිතයෙන් රෝගී වූ පසු රෝගය හඳුනාගත නොහැකිවීම ආදිය සිදුවෙනවා. මරණය පවා ළඟාවිය හැකි අවස්ථාත් තිබෙනවා. අනෙක් පැත්තෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට වෛද්‍ය උපදෙස් ලබාදෙන පුද්ගලයන්ගේ වෘත්තීයභාවය පිළිබඳව හරිහැටි නොදැන මෙවැනි ඔෟෂධ ගැනීම ඉතාම අවදානම් සහගතයි. අප සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගත්විට රෝගී ලක්ෂණ, රෝගී තත්ත්වය පිළිබඳ ඉතිහාසය ආදිය පිළිබඳව වෛද්‍යවරයා හඳුනාගනු ලබනවා. ඕනෑම වෛද්‍ය ක්‍රමයක් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මත පදනම් වෙනවා. මේ සංකීර්ණ ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ කළ හැක්කක් නොවේ. එම නිසා වඩාත් වැදගත් වන්නේ තමාට යම් රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඒවාට අන්තර්ජාලය ඔස්සේ විසඳුම් සොයනවාට වඩා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගැනීමයි.