Naifmvlog

Naifm vlog Gossip and News

වඳුරෝ දෙන්නෙක් ඉන්නවා නැටුම් කියා දෙන්න

මීට අවුරුදු තිස් හයකට පෙර මා නාට්‍ය කලාව ගැන ඉගෙන ගන්නට පටන් ගත් කාලයේම ප්‍රවීණ කලාකරුවන් රාශියක් දායක වූ නාට්‍ය නිර්මාණයකට හවුල් වන්නට මට අවස්ථාව ලැබුණි. ගුණසේන ගලප්පත්ති ශූරීන් නිර්මාණය කළ (සඳකිඳුරු) නාට්‍යයේ රූපවාහිනී නිෂ්පාදනයට මට හවුල් වන්නට අවස්ථාව ලැබුණේ මගේ නාට්‍ය ගුරුතුමිය වූ සෝමලතා සුබසිංහ මිස් නිසාය. අපි සැවොම ඈ ඇමතුවේ මිස් කියන ආදරණීය නාමයෙනි.1982-83 කාලයේ බ්‍රෙෂ්ට් රංග රීතිය ගැන වැඩමුළුවක් පවත්වන්නට (එවකට නැගෙනහිර) ජර්මනියේ වයිමාර් නාට්‍ය සරසවියේ මහාචාර්ය ෆ්‍රීට්ස් බෙනවිස්ට් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණියේය. එම වැඩමුළුවේ සම්බන්ධීකරණ කටයුතු හා පරිවර්තන කටයුතු කළේ සෝමලතා සුබසිංහ ගුරුතුමියයි. එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හැදෑරූ ගුරු ශිෂ්‍යයනුත්, අනෙක් පීඨවල ඉගෙනගත් ශිෂ්‍යයනුත් එකී වැඩමුළුවට සහභාගි වූහ. එම වැඩමුළුවේදී හෙන්රි ජයසේනයන් රචනා කළ දිරිය මව සහ ඇගේ දරුවෝ යන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ Mother courage and her children නාට්‍යයේ පරිවර්තනයේ නාට්‍ය ජවනිකා කිහිපයක් මහාචාර්ය ෆ්‍රීට්ස් බෙනවිස්ට්ගේ අධ්‍යක්ෂණයෙන් රඟපෑවෙමු. එහිදී දිරිය මව චරිතය රඟපෑවේ විජිතාවි නම් අධ්‍යාපන පීඨයේ ගුරු ශිෂ්‍යාවකි. කැප්ටන්ගේ චරිතය රඟපෑවේ ජැක්සන් ඇන්තනීය. ස්විස්වීස් චරිතය රඟපෑවේ මහේෂ් ජයවීරය. මහේෂ් එවකට දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකි. අයිලිෆ් චරිතය රඟපෑවේ මා ය. එම වැඩමුළුවේ අවසාන නිෂ්පාදනයේ රූගත කිරීමක් පරාක්‍රම නිරිඇල්ලයන්ගේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේ දී සිදුවිය.

රූපවාහිනී සංස්ථාව පිහිටවනු ලැබුවේ එම වසරේම නිසාදෝ එම නිෂ්පාදනය රූගත කෙරුණේ තනි කැමරාවකිනි. එවැනි රූගත කිරීමකට තනි කැමරාවක් පමණක් එවීම ගැන මහාචාර්ය බෙනවිස්ට් බෙහෙවින් විශ්මයට පත් වූයේය.එම වැඩසටහන 1983 ජනවාරියේ පමණ නිමා වූ පසු නාට්‍ය පුහුණුවට එන ලෙස සෝමලතා සුබසිංහ ගුරුතුමිය මටත් මහේෂ් ජයවීරටත් කීවාය.පුහුණු වන්නට යන්නේ මොන නාට්‍යයදැයි අසන්නට අප දෙදෙනාටම ඕනෑ වූයේ නැත. විකෘති, තොප්පි වෙළෙන්දා, රන්මලී, පුංචි අපට දැන් තේරෙයි, ගමරාළ දිව්‍යලෝකෙ ගිය හැටි ආදී ළමා නාට්‍ය රාශියක් ඒ වන විටත් ඈ නිර්මාණය කර තිබුණාය. ඇගේ මගපෙන්වීම යටතේ ඒ ඕනෑම නාට්‍යයක රඟපාන්නට අපි කැමති වී උන්නෙමු.කෝට්ටේ කුඹුක්ගහදූව පාරේ පිහිටි ඇගේ නිවෙසට මමත් මහේෂ් ජයවීරත් ඈ කියූ දිනයේ දී ගියෙමු. “මගේ ළඟ ඉන්නවා හොඳ වඳුරො දෙන්නෙක්. උඹලට නටන්න කියා දෙන්න.” ඈ වඳුරන් යැයි කීවේ රෝහිතටත්, චන්දනටත්ය. ඔවුන්ට ඈ වඳුරන් යැයි කීවේ මන්දැයි අපට තේරුණේ නැත. ඇගේ තොප්පි වෙළෙන්දා නාට්‍යයේ වඳුරන්ගේ රංගනය දකින කාට වුව එම රංගනය අමතක නොවන්නේය. ඒ දෙදෙනාම ඒ වන විට වඳුරන්ගේ චරිත රඟපා තිබිණි.චන්දන පහතරට බෙරය වයද්දී නටන්නට නියමිත අඩිය රෝහිත අපට කියා දුන්නේය. පහතරට බෙරයට නටද්දී ඇඟට දැනෙන සොමිය ජීවිතයේ මුල්වරට හඳුනා ගත්තේ එදාය.එදා ඒ පුහුණු වූයේ ගුණසේන ගලප්පත්ති ශූරීන් නිර්මාණය කළ සඳකිඳුරු නාටකයේ බඹදත්ගේ සේනාවේ දුනුවායන්ගේ ගමන් තාල සහ නැටුම්ය. නැටුම කියා දුන් රෝහිත කරුණාරත්න ද බඹදත් සේනාවේ අයෙකි. එවකට වෙස්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටි ප්‍රසාද් සූරිආරච්චිත් මොහානුත් මමත්, මහේෂ් ජයවීරත් යන අපි සියලු දෙනා සතියක් පමණ බඹදත් සේනාවේ ගමන් අඩි ඉගෙන ගතිමු.

නැටුම් රස වින්ඳෙමු.නාට්‍යයේ පුහුණුවීම්වලට දිනෙන් දින අලුත් අංග එක්වෙන්නට ගත්තේය. එවකට කොළඹ සුජාතා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවෝ පිරිසක් කිඳුරියන්ගේ රංගනයන් පුහුණු වන්නට ආහ. හත් අට දෙනකුගෙන් සමන්විත කිඳුරියන්ගේ නැටුම් ද පහතරට නර්තන ආශ්‍රයෙන් සිත්ගන්නා අයුරින් සකස්ව තිබුණි. එවකට විකෘති නාට්‍යයේ (ප්‍රියංගනී) චරිතය රඟපෑ නිල්මිණී සිගේරා ද කිඳුරියන්ගේ කණ්ඩායමේ නැටුම පුහුණු වූවාය. කෙට්ටු ලස්සන කෙල්ලක් අපේ සිත්වල ඉන්නා කාල්පනික කිඳුරියක සිහිගන්වමින් ඉමිහිරි කටහඬකින් කිඳුරියගේ ගීතය ගායනා කරමින් රංගනය පුහුණු වූවාය. ඇය පසු කලෙක රාජ්‍ය නාට්‍ය උළෙලකදී ප්‍රධාන නිළිය සම්මානය හිමිකරගත් අතර රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් බවට පත් වූවාය. ඒ ප්‍රදීපා ධර්මදාස ශිල්පිනියයි.ඔය අතරවාරයේම නිශ්ශංක දිද්දෙණියගේ පියවි කටහඬෙන් පුහුණු වන දිනයක් පාසා කුඹුක්ගහදූවේ (මිස්ලා)ගේ නිවෙස සුන්දරත්වයෙන් ඉතිරී යන්නට ගත්තේය. ගජමන් පුවත නාට්‍යයේත්, සිංහබාහු හා මනමේ නාට්‍ය යුගලයේත් පෞරුෂයකින් හෙබි සුන්දර කටහඬකින් ගී ගැයූ දිද්දෙණිය සඳකිඳුරැ නාට්‍යයේ බඹදත් රජුගේ ගී ගයමින් අප අතර පුහුණුවීම මට අදහා ගන්නටත් බැරි තරම් ආනන්දජනක හැඟීමක් සිතේ ඇති කළේය. නාට්‍යයේ ගීවල තනු අතිශය සුන්දරය. ගීත රචනා ද එසේමය.සා මුවන් ද මත් ගජන් දකෙළිදෙළෙන් උදම් වියේකෝකිලාදි පක්ෂි රාවප්‍රේම ගී වසන්තයේසර්පිනාව වයමින් එම්.ආර්. චූලසිංහ සංගීතවේදියාණන් සංගීතය මෙහෙයවද්දී දක්ෂ ශිල්පියකු අතින් පහතරට බෙරය වැයේ. ගායනා පුහුණුවටත් නැටුම් පුහුණුවටත් යම්තමින් පාසලෙන් අස්වූ වයසේ පසු වූ කෞෂල්‍යා අනගි සහායක් දුන්නාය. අත්වැල් ගායනය මෙහෙය වූයේ ද කෞෂල්‍යාමය. දැන් නාට්‍ය පුහුණුව එකම රස ගුලාවකි. සංගීතයත් නර්තනයත් ගායනයත් ගරජාමෙට එකට මුසුවෙයි. නිර්මාණය කෙමෙන් කෙමෙන් එකලස් වෙයි.රැන්දූ බෘංග ගීතිකාසුගන්ධ මන්ද මාරුතේඅනංග දෝණි රංග භූමිමැව්වෙ කිමද හිමවතේදිද්දෙණියගේ මනරම් කඩහඬෙන් ඉක්බිතිව අත්වැල් ගායනයෙන් ගී රසාලිප්ත වෙයි.

නටන්නටත් රඟන්නටත් වයන්නටත් ඒ සියල්ල උගන්වන්නටත් නව යොවුන් වියේදීම ඉගෙනගත් චන්දන කිඳුරාගේ චරිතයට පණ පොවන්නට ගත්තේය.සඳකිඳුරු නාටකයේ පුහුණුවීම් ටිකෙන් ටික වර්ධනය වෙමින් නාට්‍ය ගොඩනැගෙද්දී ශක්‍ර දේවේන්ද්‍රයා රඟ මඬලට එන්නට ගත්තේය. රඟපාන්නට ගිය විට සක්කරයාට දෙවැනි නොවූ ජයලත් මනෝරත්නයන් සතුටු සාමීචියේ දී අතිශය නිහතමානි අපේ (මනෝ අයියා) ය. මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාටකවල රංගනයෙන් දායක වෙමින් දයානන්ද ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල යන නිර්මාණකරුවන්ගේ නාට්‍යයන් තම අනුපමේය රංග කුසලතාවෙන් ඔපවත් කළා වූ ජයලත් මනෝරත්නයන් චරිතයකට කෙමෙන් පිවිසෙමින් රංගනය පුහුණු වන හැටි දැකගැනීමේ භාග්‍ය මට උදා වූයේ නාට්‍ය ගැන හදාරන්නට පටන් ගත් ඒ මුල් අවධියේමය. මනෝරත්නයන් සිය අද්විතීය රංග කුසලතාව කරළියේ ප්‍රදර්ශනය කළ තල මල පිපිලා, ද්විත්ව, පුත්‍ර සමාගම ආදී නාට්‍ය කරළියට එන්නට පෙර කාලයයි.උපාලි විජේවර්ධන මහතා අතුරුදන් වී ඇති පුවත දස අත පැතිරෙන්නට ගත්තේ අප සඳකිඳුරු නාට්‍ය සෝමලතා මිස්ලාගේ ගෙදර පුහුණු වෙමින් ඉන්න කාලයේය. ඔහුට සිදු වූයේ කුමක්ද යන්න දැනගන්නට අප අතරින් වඩාත්ම කුතුහලයට පත් වී සිටියේත් උනන්දු වූයේත් මනෝ අයියාය. සවස හයේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ වූ සැණින් අපි මිස්ලාගේ නිවෙසේ උඩු මහලට ගොස් රේඩියෝවට සවන් දුන්නෙමු. කුඩා දරැවකු මෙන් ඒ පුවත ගැන කුතුහලය දල්වා සිටි මහා රංගවේදියාණන්ගේ සිත කෙතරම් සුන්දර වේදැයි මම ඒ කාලයේම සිතන්නට ගත්තෙමි.සෝමලතා සුබසිංහ ගුරුතුමියගේ අධ්‍යක්ෂණයෙන් ගොඩනැගුණු, ගුණසේන ගලප්පත්ති නිර්මාණවේදියාගේ රචනයක් වූ සඳකිඳුරු නාටකයට ප්‍රවීණයන් දායක වීම එතෙකින් නැවතුණේ නැත. නාට්‍යයේ ජවනිකා සියල්ල පුහුණු වී හරිහැටි එළාගත් පසුව, එවකට කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටා තිබූ සෝවියට් රැසියානු මිත්‍රත්ව මන්දිරයේ සති අන්තයක දී විශේෂ පුහුණු වීමක් සඳහා යොදා ගැනිණි. අපේ ගුරුතුමියගේ ආරාධනය පරිදි එදා පටන් ප්‍රවීණ ගායන ශිල්පී අතුල සෝමසිරි නාට්‍යයේ ගායනා ප්‍රාණවත් කරන්නට ලාලනී සෝමසිරි ශිල්පිනියත් කැටුව ආවේය. ඔවුන්ගේ දියණිය නිහාරිත් අත්වැල් ගායනයට සහාය වූවා මතකය.

එම ගායන ශිල්පී දෙපළගේ පුතණුවන් ඒ වන විටත් ඩබ්ලිව්.ඒ. අබේසිංහ ප්‍රවීණයන් ලියූ “පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා” ගීතය ගායනා කොට ගායන ලෝකයට පිවිස සිටියේය. පාසල් යන වයසේ පසු වූ අතුල-ලාලනී ගායක යුවළගේ පුත්‍රයා ද නාට්‍යයේ පුහුණුවීම් රස විඳිනවා මම දුටිමි.සියලු ප්‍රවීණයනුත් අප වැනි සරසවි සිසුනුත් ළමා හා යොවුන් රංග පීඨයේ යෞවනයනුත් පාසල් ශිෂ්‍යාවනුත් සංගීත ශිල්පීනුත් ඒකරාශී කරගෙන සඳකිඳුරු නාට්‍ය රූපවාහිනී නිෂ්පාදනයක් සඳහා නැවත ගොඩනැගීමේ දක්ෂතාවත් පරිචයත් උනන්දුවත් සොඳුරු ආඥාදායකත්වයත් සෝමලතා සුබසිංහ ගුරුතුමියට තිබුණාය. සංගීතයේ නැටුමේ ගායනයේ රංගනයේ සිදුවන ඕනෑම වෙනසකට ඈ අතිශය සංවේදීය. නිර්මාණයේ ප්‍රාණවත් බව යම්තමින් හෝ අඩුවෙන තැනක් වී නම් ඇය එ සැණින් එය වටහාගෙන නිවැරදි කළාය. “උඹල වරද්දපංකො, ධම්ම මට වඩා සැරයි. හොඳට බැණුම් අහන්න වෙයි හරියට කළේ නැත්නම්” එකී නිර්මාණයට ප්‍රවීණයන්ගේ දායකත්වය එතෙකින් අවසන් නොවන බව මිස්ගේ එම අවවාදයෙන් මම දැනගතිමි. කෝට්ටේ නාග විහාරයේ දී එළිමහනක මෙම නාට්‍ය රූගත කිරීමට දින නියම වී තිබිණි. රූපවාහිනී නිෂ්පාදනය අධ්‍යක්ෂණය කිරීමේ කාර්යය පැවරී තිබුණේ ධම්ම ජාගොඩ නිර්මාණවේදියාණන්ටය. නාට්‍ය රූගත කිරීමේ කතාව තවත් දිගය.එදා කිඳුරියගේ චරිතය රඟපෑ ප්‍රදීපා ධර්මදාස පසු කලෙක රටම හඳුනන ගායන ශිල්පිනියක වූවාය. ප්‍රසාද් සූරිආරච්චි දක්ෂ රංග ශිල්පියකු බවට පමණක් නොව දක්ෂ නීතිඥයෙක් බවටද පත් වූයේය. නාට්‍යයේ සියලු පුහුණුවීම්වලට සහාය වෙමින් ගායනාවලට එක්වූ කෞෂල්‍යා ප්‍රනාන්දු වේදිකාවේත් කුඩා තිරයේත් සිනමාවේත් හොඳම නිළිය සම්මානය කිහිප විටක්ම දිනා ගත්තාය. කිඳුරාගේ චරිතය රඟපෑ චන්දන, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන අලුත්ගේය. සතියේ දිනවල විශ්වවිද්‍යාලයේ සිසුන්ට ගැඹුරු ආර්ථික විද්‍යා න්‍යායන් කියා දෙන ඔහු සති අන්තයේ මැටි අනමින් නටමින් ගයමින් වයමින් තවමත් කුඩා දරුවන්ට නිර්මාණශීලීත්වයේ අගය කියා දෙයි.රංගනයේ අපරිමිත අගය කියා දුන් සෝමලතා සුබසිංහ ගුරුතුමියත් ධම්ම ජාගොඩ නිර්මාණවේදියාත් අතුල සෝමසිරි ගායන ශිල්පියාත් අද අප අතර නැති බව කියන්නට මා උනන්දු නොවන්නේ ඔවුන් කළ මෙහෙවර ගැන තව බොහෝ දේ කියන්නට ඕනෑ නිසාය. නාට්‍ය රූගත කරන දිනයේ ගුණසේන ගලප්පත්ති ශූරීන්ව මම ජීවිතයේ පළමු සහ අන්තිම වතාවට දැක ගතිමි.