Naifmvlog

Naifm vlog Gossip and News

අකලට නාකි නොවීතරුණකම රැකදෙන වෙද රහස්

වයසට යෑම කාටත් ඇති ප්‍රශ්නයකි. සෑම විටම තරුණ බව රැක ගැනීමට හැමෝම වාගේ පෙලඹෙති. වෙළෙඳපොළේ ඇති ආලේපන, සබන් වර්ග පමණක් නොව රූපලාවණ්‍ය කටයුතු කරමින්ද බොහෝ දෙනකු උත්සාහ කරන්නේ තරුණ බව රැක ගැනීමටය.තරුණකම නැති වෙනවා කියන්නේ නාකියි කියන එකටය. නාකි යැයි බොහෝ විට අර්ථ ගන්වා ගන්නේ කිසි වැඩක් පළක් කර ගැනීමට බැහැ කියන එකටය. අද සමාජය තුළ සිදු වී ඇත්තේ එවැනි ක්‍රියාදාමයකි. වයසට ගියා. එහෙම නැත්නම් නාකියි කිව් විගස අපට එන හැඟීමක් වන්නේ අතපය පණ නැහැ, කොන්දේ අමාරුව, කොන්ද ඇද ගහනවා, ඇඟ රැලි වැටෙනවා, ඉසකෙස් ඉදෙනවා, දත් හැලෙනවා, හකු බොකු වෙනවා ආදී ලක්ෂණ මතුවෙයි. කෙටියෙන් කිව්වොත් ඇඟ දිරාපත් වෙයි.ඇත්තටම නාකි වීම දෙවිදියකට සිදුවෙයි. ඉන් එකක් වන්නේ වසයට නාකි වීමයි. අනෙක අකලට නාකි වීමයි. වයසට නාකි වීම ස්වාභාවික දෙයකි. එලෙස නාකි වීම වැළැක්විය නොහැකිය. එහෙත් අකලට නාකිවීම වැළැක්විය හැකිය. අද සමාජයේ බොහෝ දෙනෙක් නාකි වෙන්නේ අකලට වීමද විශේෂත්වයකි.ශරීරයේ ශක්තිය, තරුණ බව දිගටම පවත්වා ගෙන යෑම අපහසුය. එලෙස පවත්වා ගැනීමට ඕජස අවශ්‍ය වෙයි. ඕජස කියන්නේ සප්ත ධාතූන්ගේම තේජස් කොටසටය. නොයෙක් වැරැදි වැඩ නිසා නියමිත කාලයට කලින් සිරුරේ ඕජස සිඳී යයි. එවිට අකලට නාකි වීම සිදුවෙයි. මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී කරන්නේ ඕජස යළි වැඩි කිරීමය.

ඕජස වඩන බෙහෙත් වර්ග තිබේ. ඒවා රසායන නමින් හඳුන්වයි.රසායන කියන්නේ රස රක්තාදී සප්ත ධාතුවටය. එම ධාතු සිරුරට ලබා දෙයි. වෙනත් විදියකට කිවහොත් ලෙඩදුක් නසනුයේ යමක්ද එය රසායනයකි. නවීන විද්‍යාවට අනුව මේ කාර්ය සිදුවන්නේ හෝමෝන චිකිත්සාවේදීය. සතුන්ගේ අණ්ඩ ග්‍රන්ථිවල සාරය රැගත් බෙහෙත් තිබේ. ඒවා හෝමෝන චිකිත්සාව මඟින් ශරීරගත කරයි. එහෙත් එක්වරම මෙම ක්‍රමය සාර්ථක නොවන අවස්ථාද තිබේ. නමුත් ආයුර්වේද විද්‍යාවට අනුව කරන ප්‍රතිකාර ක්‍රමය ශරීරයට අහිතකර නැත.රසායන ඔෟෂධ වර්ග ඕනෑ තරම් ආයුර්වේද වෙදකමේද තිබේ. එහි සත්‍ය බවක් තිබේ. අතුරු ආබාධ නැත. ආයුර්වේදයට අනුව රසායන ඔෟෂධ වර්ගයක් වෙයි. එය ආචාර රසායනයයි. චරක ආචාර්යානන්ද සිය සංහිතාවේ චිකිත්සිතස්ථනයේ පළමු අධ්‍යයනයේ එකළොස් වැනි සිලොමිත් ආචාර රසායනය ගැන විස්තර කරයි.“සංචිවාදිත මකේ‍රාධමද්‍යාත්ම ප්‍රචනේන්ද්‍රියම්ශාන්තං සද්වෘත්තං නිරතංවිද්‍යාත් නිත්‍ය රසායනම්”ඇත්ත කියන කේ‍රා්ධ නොකරන මත් පැනින් හා අධික මෛථුන්‍යයෙන් තොර බර වැර නොදරන ශාන්ත ප්‍රියාවාදී සතුටු සිත් ඇති වැඩිහිටියනට ගරු කරන කරුණාවන්ත නිරහංකාර දවාලට නොනිදන රෑට නිදි නොමරණ හොඳ සිතිවිලි ඇති ආධ්‍යාත්මික පවිත්‍රතාවකින් යුක්ත දිනන ලද ඉඳුරන් ඇති පුද්ගලයා නිතර නිතර රසායන සේවනය කරන්නේය. ආචාර රසායනයෙන් දැක්වෙන්නේ සද් ආචාර ධර්ම සාරධර්ම රාශියකි.

මේ සාරධර්ම රැකීමෙන් සිත පිරිසුදු වේ. නිරෝගී වේ. ඉන් සිතේ ඇතිවන පුබුදුව ගතට බලපායි. ඉහත ශ්ලෝකයෙන් කියැවෙන්නේ එයයි.ආචාර රසායනය මානසික චිකිත්සාවකි. මානසික සෞඛ්‍ය සංවර්ධනය කොට ඒ මඟින් ශාරීරික සෞඛ්‍ය සංවර්ධනය කිරීමට ආදියේ සිටම සාර්ථක උත්සාහයක යෙදුණෝ ආයුර්වේද ආදි කතුවරුය.සිනාසී කරවන්න යන උවදෙස ආචාර රසායනයේ හරයයි. එය නිතර නිතර ගන්නා වූ පුද්ගලයාගේ සිතේ කේ‍රා්ධයක් හෝ වෛරයක් හෝ නැත. සොම්නසින් පිරී ඉතිරී ගිය හිතක් එවැනි පුද්ගලයකුට තිබේ. සතුට හොඳම රසායනයකි. ආයුර්වේදයට අනුව සතුට යනු පරම ධනයකි.ඔය තරම් කේන්ති ගන්න එපා. ඉක්මනට නාකි වෙයි යනුවෙන් තරහා ගන්නා කෙනකු දුටු විට අප කියයි. එම කාරණා අනුව එය සත්‍යයකි. සිනාසෙන පුද්ගලයා මහත් වේ යැයිද කියමනක් තිබේ.සිනාසෙන විට මහත් වෙනවා නම් තරහා ගියවිට නාකි වෙන්නේ ඇයිද කියා විමසිය යුතුය. තරහා ගත් විට ශරීරයේ ක්‍රියාකාරිත්වය එහෙම පිටින්ම වෙනස් වෙයි. මුහුණ රතු වෙයි. දත් හපයි. ඇතැම් විට වෙව්ලයි. ඇඟ උණුසුම් වෙයි. කලින් නැති ශක්තියක් ඇති වෙයි. ඊට හේතු කිහිපයකි. අපගේ ශරීරයේ ඇඩ්රිනලින් හා නෝර් ඇඩ්රිනලින් යන හෝමෝන තිබේ. කේන්ති ගන්නා විට මේ හෝමෝන දෙක වැඩි වැඩියෙන් වහනය වෙයි.තරහා ගන්නා විට ශරීරයේ අමතර ශක්තියක් ඇති වෙයි. මේ ශක්තිය වැඩියෙන් දහනය වීම වැළැක්වීමට රුධිරය එකතු වෙයි. මේ නිසා ලේ ධාතුව දූෂණය වෙයි. එය ශරීරයට සෘජුවම බලපායි.මේ ක්‍රියාදාමය කාලයක් තිස්සේ සිදුවන විට දූෂිත රුධිරයේ අපවිත්‍ර පදාර්ථ එකතුවීම දිගමට සිදුවෙයි. ඒ නිසා රුධිර නාළ ඇතුළු කොටස ගන වෙයි.

එය දැඩි වෙයි. අධික රුධිර පීඩනය හටගැනීම මෙහි අවසන් ප්‍රතිඵලයකි. එය නාකි වීමේ මුල් පියවරයි.අධික රුධිර පීඩනය වැලඳුණු පසු තරහා ගන්නා වාරයක් වාරයක් පාසා නාකි වීම සිදුවෙයි. මේ ක්‍රියාදාමය දිගින් දිගටම සිදුවන විට නාකි වී ශරීර අභ්‍යන්තරයේ ලෙඩ හට ගනී. ඒ නිසා සෑම විටම සිනාසිසී සතුටෙන් සිටීම කළ යුතුය. කෙනකුගේ බලය තියෙන්නේ බල පුළුවන්කාර කමක යැයි සිතුවොත් එය වැරැදිය. පුද්ගලයකුගේ බලය කියන්නේ නිරෝගීකමටය. අපි ලෙඩක් දුකක් හැදුණු විට ඉක්මනින් ප්‍රතිකාර කරන්නේ අපට නැතිවුණු බලය නැවත අත්පත් කරගැනීමටය. ශරීරයේ බලය උපරිමයෙන් ඇතිවිට ලෙඩ දුක්ද හට නොගනී.බොහෝවිට වයසට යෑමට නැත්නම් බලය නැතිවීමට අප ගන්නා ආහාර රටාවද බලපායි. අප මොන තරම් හොඳ ආහාර ගත්තත් එය ශරීරයට නිසි ලෙස දිරවූයේ නැත්නම් පලක් නැත. කොතරම් බඩගිනි තිබුණත් මොන ආහාර ගත්තත් ඉන් ප්‍රයෝජනයක් නැත්නම් ශරීරය කෙට්ටු වෙයි. ඉන්පසු ශරීරයට කොතරම් ආහාර වැටුණත් පලක් නැත. ශරීරයේ කෙට්ටු වීම සිදුවෙයි.ආහාරවල රසය නොයෙක් ක්‍රම හරහා ලබාදිය හැකියි. සමහර විටෙක කාපු කෑමවලින් වැඩක් නැහැ. මොන තරම් කෑවත් බඩගිනියි කියා කියන්නේ අදාළ කෑම රසය නිසි ලෙස ධාරණය නොවීම නිසාය. මේ නිසා ශරීර වර්ධනයට අවශ්‍ය ධාතුවල වර්ධනයක් සිදු නොවේ. ශරීරය කෙට්ටුවීමට පටන් ගැනීම තුළ හිසකෙස් අකලට වැටෙයි. දත් මුල් දියවෙයි. ඇස් ගිලී යයි. හකු බොකුවී වැහැරී යයි. අකලට නාකිවීම පටන් ගනී. මේ ආකාරයට ටිකෙක් ටික ශරීරය ජරාවට පත් වෙයි.එවැනි අවස්ථාවක අග්නිය රැකගෙන තරුණකම රැකගත හැකි ක්‍රම කිහිපයකි. ඉන් පළමු වැන්න වන්නේ නිසි වේලාවට ආහාර ගැනීමට පුරුදු වීමය. පිටින් කෑම ගැනීම හෝ අවේලාවේ කෑම ගැනීම නොකළ යුතුය. බඩ පිරෙන්න කෑම ගැනීම සුදුසු නැත. හොඳට සකස් කළ ආහාර පමණක් ගත යුතුය.

පිළුණු හෝ හීල් වූ ආහාර ගැනීම සුදුසු නැත. කෑමට පෙර දුම් පානය සුදුසු නැත. තේ පානය කෑමට පෙර නොකළ යුතුය. දැඩි බඩගින්නක් නැත්නම් සැහැල්ලු ආහාරයක් පමණක් ගන්න. හොඳට ආහාර ගැනීමට නම් මුලින්ම කෑදර කමට ආහාර ගැනීමෙන් වැළකිය යුතුය.ආහාරවලින් පමණක් තරුණ බව රැකගත නොහැකිය. ඒ සඳහා මනසද හොඳින් තියාගත යුතුය. විශේෂයෙන්ම රාග, ද්වේශ, මෝහ චේතනාවලින් කිලිටු නොවිය යුතුය. සිතේ කරදර ඇත්නම් නිතර නිතර තරහා එන්නේ නම් මනස විකෘති වෙයි. විශේෂයෙන්ම මනස විකෘති වන චිත්‍රපට ආදිය බැලීම නොකළ යුතුය.විශේෂයෙන්ම රාත්‍රියේ නින්දට යන්නේ නම් ඒ අවස්ථාවේම නිදා ගැනීම කළ යුතුය. එක් එක් දේ සිතමින් ඇඳේ එහාට මෙහාට පෙරළීම නොකළ යුතුය. රාත්‍රියේ අපි නින්දට යන්නේ වෙනත් සිතිවිලිද සමඟය. ඇඳට ගියවිට එම සිතිවිලි ඉවත් කළ යුතුය. එසේ නොවුණහොත් නිදි යහනේදීද අපේ ශරීරයේ ධාතු ක්‍රියාත්මක වී රුධිර ධාතුව අපිරිසුදුවීමට පටන් ගනී. දවල් කාලයේ සිදුවීමක් රාත්‍රි නින්දට යන විට මතකයට එන්නේ නම් අප වැඩිපුර ඒ ගැන සිතයි. සමහර විටෙක අපි මේ විදියට නොහැසිරුණා නම් හොඳ යැයි කියමින් පසුතැවිලි වන අවස්ථාද තිබේ. මේ නිසාද සිදුවන්නේ අපේ ශරීරයේ ලේ අපිරිසුදු වීමයි. කේන්තිය ඇති වීමයි. එහි අවසන් ප්‍රතිඵලය වන්නේද අපි නාකි වීමයි.නාකි වීම සාමාන්‍ය දෙයකි. නමුත් අකාලයේ නාකි වීම අසාමාන්‍ය දෙයකි. පවුලේ දුවා දරුවන් අතර පමණක් නොව යහළු හිතමිතුරන් අතරද කොන්වීමටද පුළුවන. නැතහොත් මේ අයව මඟහරිමින් ඔබ නැතිව ජීවත් වීමටද උත්සාහ ගනී. ඒ නිසා අකාලයේ නාකි නොවී තරුණ බව රැකගත හැකි ක්‍රමවේද සහ වෙද රහස් ආයුර්වේදයේ තිබේ. කොණ්ඩදෙණිය වෙද පරම්පරාව සතු වෙද රහස් අනුව අකලට නාකි නොවී ජීවිතය ජය ගන්නා හැටි කියා දෙයි. මෙම වෙද පරම්පරාවේ 60 වැනියා වන චන්ද්‍රසේකර වෙද මහතා සතුව ඊට අදාළ ප්‍රතිකාර තිබේ. එවිට අකලට නාකි නොවී තරුණකම රැකගත හැකිය.