Naifmvlog

Naifm vlog Gossip and News

ලෙදර් සපත්තු මිලදී ගනිද්දි බලාගෙන

අප සපත්තු පලඳින්නේ ආරක්ෂාවට, ලස්සනට දෙකටම. එසේම අප පලඳින සපත්තුවේ ගුණාත්මක බව මත බොහෝ දේ තීරණය වෙයි. විවිධ වර්ගයේ සපත්තු අද වෙළෙඳපොළේ පවතියි. ඒ සෑම සපත්තු වර්ගයක්ම ලස්සනයි. එහෙත් ගුණාත්මක බව වගකීමට කෙනකු නැත.මේ වන විට ලංකාවට විවිධ වර්ගයේ සපත්තු ආනයනය කරමින් පවතියි. සමහර සපත්තු සිංගප්පූරුවෙන් ගෙන්වන අතර සමහර ඒවා ගෙන එන්නේ චීනයෙනි. මේ ආකාරයට ගෙන්වන සපත්තු පැලඳීමෙන් පසු බොහෝ දෙනකුට ආසාත්මිකතා ඇති වෙයි. ඊට හේතුව වන්නේ එම සපත්තු නිර්මාණය කර ඇති අමුද්‍රව්‍ය අපේ ශරීරයට අනුගත නොවන හෙයිනි. ඒ නිසා සපත්තු පැලඳීමේදී හොඳ සපත්තු මොනවාදැයි හඳුනාගත යුතුව ඇත.විශේෂයෙන්ම සපත්තු පැලඳීමේදී බොහෝ දෙනකු ‘ලෙදර්’ වර්ගයේ සපත්තු පැලඳීමට කැමැතියි. එහෙත් අද වෙළෙඳපොළේ පවතින ලෙදර් සපත්තු නියම ලෙදර්වලින් නිර්මාණය වූවා නොවේ. හොඳ ලෙදර්වලින් නිෂ්පාදිත සපත්තු වෙළෙඳපොළේ තිබුණත් ඒවා වෙන්කර හඳුනාගැනීමටද අපහසු වී තිබේ.ලෙදර් සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට වෙළෙ¼දපොළට යන අවස්ථාවක සමහර විට අපට නියම ලෙදර් සපත්තු ලැබෙයි. නැත්නම් ලෙදර් කියා අනුකරණවලට රැවටීමට සිදුවෙයි. ඊට හේතුව වන්නේ ලංකාවේ පාරිභෝගිකයක් බොහෝ දෙනකු ලෙදර් කියන්නේ කුමක්ද කියා නොදැනීම නිසාය. එපමණක්ද නොව අප සපත්තු මිලදී ගැනීමට යෑමේදී අපට සපත්තු විකුණන කෙනාද ලෙදර් කියන්නේ කුමක්දැයි හරිහැටි දැනගෙන නොසිටින අවස්ථාද තිබේ.අපි ලෙදර් සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට යෑමේදී ඔහු කියන්නේ මේ ලෙදර් සපත්තු කියාය.

එසේම ලෙදර් ගැන හොඳට දන්න කෙනෙක් මේ හොඳ ලෙදර් දැයි කියා දිගු විමසීමක් කරන විට සපත්තු විකුණන අය ‘නෑ සර් මේවා ලෙදර් නෙවෙයි කියයි’ එහෙත් මේ අය මුලින්ම එවැනි දේ කියන්නේ නැත. මිලදී ගන්න අයද ලෙදර් ගැන දන්නේ නැත. එවැනි අවස්ථාවක පාරිභෝගිකයා රැවටෙන අවස්ථාද තිබේ.ස්වාභාවික සම් සපත්තු සාදන්නේ සතුන්ගේ හම්වලිනි. ලෙදර් සපත්තු සඳහා එදිනෙදා වැඩියෙන් භාවිත කරන්නේ එළහරක් සම්, එළුහම් සහ මී හරක් සම්ය. විශේෂයෙන්ම ගනකම සහිත ලෙදර් සපත්තු හදන්නේ මී හරක් සම් උපයෝගී කරගනිමිනි. හමුදාවට සපත්තු සැපයීමේදී බොහෝ විට ලෙදර් සපත්තු සඳහා යොදාගන්නේ මී හරක් සම්ය.ලෝකයේ සම් භාණ්ඩ නිෂ්පාදනය කරන අය තමන් නිපදවන සම් භාණ්ඩ සඳහා යොදා ගන්නේ මොන සත්ත්වයාගේ සම්ද කියා ටැග් එකකින් ප්‍රදර්ශනය කරයි. විශේෂයෙන්ම සම් වර්ග කීයක් භාවිත කළාද එම සම් වර්ග මොනවාද කියා මේ ටැග් එක හරහා පාරිභෝගිකයාටද හඳුනාගත හැකිය. තමන් මිලදී ගන්නා සම් භාණ්ඩය ස්වාභාවික සම්වලින් නිෂ්පාදිත දැයි කියා මේ අනුව හඳුනාගත හැකිය.නියමිත ලෙස ස්වාභාවික සම් මඟින් පදම් කර සපත්තු නිපදවා ඇතිද සම් ඉණ පටි නිපදවා ඇතිද බෑග් නිපදවා ඇතිද කියා සොයා ගත හැකි සරල ක්‍රමයක් තිබේ. එය සම්මත ක්‍රමයක් වුවත් ලංකාවේ භාවිත වන්නේ ඉතා අඩුවෙනි.ලෙදර් සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමට යන අයකුට එම සපත්තු ජෝඩුවේ එල්ලා ඇති භාවිත කළ අමුද්‍රව්‍ය සහිත ටැග් එක ගින්දරට ඇල්ලීමෙන් ස්වාභාවික සම්වලින් සපත්තු ජෝඩුව නිපදවා ඇත්ද නැද්ද කියා සොයා ගත හැකිය. ස්වාභාවික සම් මඟින් නිපදවා ඇති සපත්තු ජෝඩුවක් නම් එල්ලා ඇති එම ටැග් එක ගිනි ගන්නේ නැත.

ස්වාභාවික ලෙදර්වලින් නොව වෙනත් අමුද්‍රව්‍යකින් සපත්තු ජෝඩු නිපදවා ඇත්නම් එම ටැග් එක උණු වී යයි. එවිට නියම සම් සපත්තුවක්ද නැද්ද කියා හඳුනාගත හැකිය.ලෙදර් සපත්තු හඳුනාගත හැකි තවත් ක්‍රමයක් තිබේ. ලෙදර් සපත්තුවක් ඇල්ලීමෙන් දැනෙන වෙනස හා ලෙදර් විදියට කවලම් කර හැදූ අමුද්‍රව්‍ය හරහා නිපදවා ඇති සපත්තුවක් ඇල්ලීමෙන් ඒ වෙනස හඳුනා ගැනීමට හැකිය. එහෙත් අද ලෝකයේ ඇති තාක්ෂණික දියුණුව මත ලෙදර් නොවන අමුද්‍රව්‍ය යොදා නිපදවා ඇති සපත්තුද නියම ලෙදර් සපත්තු ලෙස නිපදවා තිබේ. ඒ නිසා මේ වෙනස නොදන්නා පාරිභෝගිකයන්ට නියම ලෙදර්ද නැද්ද කියා හඳුනා ගැනීමට අපහසු වනු ඇත. ඒ නිසා පාරිභෝගික ඔබ කළ යුත්තේ සපත්තුවේ ඇති ටැග් එක පුච්චා බැලීමයි. එමඟින් නියම ලෙදර් සපත්තුවක්ද කියා හඳුනාගත හැකිය.නියම ලෙදර් සපත්තුවක ඇති වෙනස වන්නේ එම සපත්තුව කකුලේ හැඩය අනුව සපත්තුවේ හැඩයද වෙනස් කර ගැනීමයි. නියම ලෙදර් සපත්තුවක් දැමූවිට දහඩිය දමන්නේ නැත. ලෙදර් සපත්තු පැලඳුව පසු ගඳක් එන්නේද නැත. සාමාන්‍ය මනුස්සයකුගේ හම වගේම ලෙදර් සපත්තුවද ක්‍රියාකාරී වෙයි. ලෙදර් සපත්තුවේ ඇති ඇසට නොපෙනෙන සිදුරු අතරින් වාතය ගමන් කරයි. එවිට පරිසර උෂ්ණත්වය අනුව සපත්තුව හැඩගැසෙයි. එසේම ඇසට නොපෙනෙන තරමේ සිදුරු අතරින් වාතය ගමන් කරයි.එහෙත් ලෙදර් සපත්තු කියා කෘත්‍රිම ලෙදර් ලෙස නිපදවා ඇති සපත්තුවේ මේ ලක්ෂණ දැකිය නොහැකිය. එහෙත් එම සපත්තුවට සිදුරු යොදා නිපදවන අවස්ථා තිබේ. නමුත් ඉන් නියම ලෙදර් සපත්තුවකින් වන කාර්යය සිදු වන්නේ නැත. එම සපත්තුව පැලඳුව විට දහඩිය දමයි. කකුල ගඳ ගසයි.

ලංකාවේ නිපදවන නියම ලෙදර් සපත්තුවලද ඉහත කී ආකාරයේ ටැග් එකක් ඇත. කෘත්‍රිම ලෙදර් නිපදවන අය තව දෙයක් කරයි. කෘත්‍රිම ලෙදර්වලින් සපත්තුව නිපදවා එය නියම ලෙදර් සපත්තුවක් කියා පෙන්වීමට නියම ලෙදර් යොදාගෙන ටැග් එක පමණක් හදයි. සපත්තුව මිලදී ගන්නා කෙනා අර ටැග් එක ගින්දරට ඇල්ලුවද පිච්චෙන්නේ නැත.ඔහු එම සපත්තු දෙක ඉන් පසු මිලදී ගනියි. ඔහු සිතන්නේ ඒ නියමිත ලෙස නිපදවා ඇති ලෙදර් සපත්තු දෙකක් කියාය. නමුත් එය කෘත්‍රිම ලෙදර් සපත්තු දෙකකි. මේ නිසා දිගු කාලයක් ලෙදර් සපත්තු පලඳින අයද මීට රැවටීමට පුළුවන. පාරිභෝගිකයා රවටන මෙවැනි ක්‍රියා අපේ රටේ ක්‍රියාත්මක වන අවස්ථා තිබේ. නමුත් ලෙදර් සපත්තු පලඳින ලෙදර් ගැන නියමිත දැනුමක් ඇති අයකු එලෙස රැවටීමට හසු නොවෙයි.ලෙදර් සපත්තු පැලඳීම ඇත්තෙන්ම හොඳය. එම සපත්තු පැලඳීම සෞඛ්‍යයට හිතකරය. එසේම ලෙදර් සපත්තු ජෝඩුවක් මිලදී ගැනීමෙන් පසු බොහෝ කාලයක් පාවිච්චි කළ හැකිය. මෙම සපත්තු ජෝඩුවක් පැලඳූ පසු එය කකුලේ හැඩේට හුරුවෙයි. නමුත් කෘත්‍රිම ලෙදර් සපත්තුව කකුලේ හැඩයට නොව සපත්තුවට ඕන ලෙස හැඩයක් සකසා ගනී. නියම ලෙදර් සපත්තුවක් පැලඳීමේදී සපත්තුව අල්ලන්නේ නැතිව කකුලෙන්ම දා ගැනීමට හැකිය. නමුත් කෘත්‍රිම ලෙදර් එකක් එලෙස පැලඳීමට බැරිය. අතින් අල්ලා තදකර දැමීමට සිදු වෙයි.නියම ලෙදර් සපත්තු පැලඳුව පසු ගලක හෝ වැදී සපත්තුවට යම් හානියක් සිදු වුවත් එය පුපුරා හම ගැලවෙන්නේ නැත. කෘත්‍රිම ලෙදර් සපත්තුවක් ගලක වැදි යම් හානියක් සිදුවූ විට එතැනින් පුපුරා කෑලි ගැලවෙයි. නමුත් නියම ලෙදර් සපත්තුවක් එලෙස හානියක් සිදු වූ විට පොලිෂ් කිරීමෙන් පසු යථා පරිදි සකස් වෙයි.

එසේ නැතත් කෘත්‍රිම ලෙදර් සපත්තු මාස 3-4ක් පලඳින විට හම යෑමට පටන් ගනී. නමුත් නියම ලෙදර් සපත්තුවක් නියමිත ප්‍රමිතියට නිසි පදම් කිරීමට ලක්කොට හදන නිසා හම යන්නේ නැත.අද වෙළෙඳපොළේ මඟ තොටේ තියාගෙන විකුණන ලෙදර් සපත්තු බොහොමයක් කෘත්‍රිම ඒවාය. නියම ලෙස ලෙදර් සපත්තු නිපදවන සමාගම් ඇත්තේ කිහිපයකි. විශේෂයෙන්ම චීනයෙන් ගෙන්වන සපත්තු කෘත්‍රිම ලෙදර්වලින් නිපදවා ඇත. ඒවා ලස්සනය. විවිධ හැඩවලට නිපදවා ඇත. මිලද අඩුය. ඒනිසා පාරිභෝගිකයා රැවටෙන අවස්ථා වැඩිය. මෙම සපත්තු පැලඳීමෙන් පසු කකුල්වල බිබිළි හට ගනී. ඒවා කැසීමට පටන් ගනී. තුවාල වෙයි.ඊට හේතුව වන්නේ එම සපත්තු නිපදවා ඇති අමුද්‍රව්‍ය අපේ සමට ඔරොත්තු නොදීමයි. මෙම ලෙදර් සපත්තු පැලඳීමෙන් පසු දහඩිය දමයි. සපත්තු ගැලවීමෙන් පසු ගඳක් වහනය වෙයි. ඒ නිසා මඟතොට මෙන්ම වෙළෙඳපොළෙ තුළද ලෙදර් සපත්තු මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.බැලූ බැල්මට මේ වෙනස සොයා ගැනීම අපහසුය. නියම ලෙදර් සපත්තු නිපදවීමේදී සමේ මැද කොටස ගන්නේ නැත. ඔවුන් ගන්නේ උඩ සම සහ යටි සම මස් සහිත කොටසය. සමහර සපත්තු නිපදවන්නත් කරන්නේ උඩ සම හා මැද සම කොටස ගෙන ඒ මැදට කෘත්‍රිම සමක් දමයි.මේ ආකාරයට නිපදවන සපත්තු මෙන්ම රෙක්සින් යොදා නිපදවන සපත්තුද ලෙදර් සපත්තු කියා වෙළෙඳපොළේ විකිණීමට තිබේ. අපේ තරුණ පරපුර මේ නිසා රැවටෙන අවස්ථා තිබේ. පැෂන් එකට කියා ලෙදර් සපත්තු පැලඳීමේදී නියම ලෙදර් සපත්තු පැලඳුවේ නැත්නම් ඇතිවෙන්නේ ලෙඩ ගොඩකි. ඒ නිසා වෙළෙඳපොළේ ඇති ලෙදර් සපත්තු මිලදී ගැනීමේදී දෙවරක් සිතිය යුතුය.