Naifmvlog

Naifm vlog Gossip and News

තොරතුරු ආරක්ෂා කළ සයිමන් මාමා

මෙරට යක්ෂ – නාග පරම්පරාවෙන් පැවැත එන පිරිස් තවමත් මෙරට ජීවත් වෙති. එලෙස යක්ෂ පරම්පරාවෙන් පැවැත එන පිරිස් අදටත් ජීවත් වෙන්නේ යක්කුරේ ප්‍රදේශයේය. මහිංගණය, දිඹුලාගල මාර්ගයෙන් ගොස් නුවරගලට ගිය විට යක්කුරේ ගම හමුවෙයි.යක්ෂ පරම්පරාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පමණක් නොව සිය පාරම්පරික දේද ආරක්ෂා කරමින් යක්කුරේ ගමේ ජීවත්වූ අය අද නැත. එහෙත් තම වරිගයා වෙනුවෙන් තම පෙළපත රැකගත් මිනිසෙක් අපට හමු වී තිබිණි. ඒ වෙනකවුරුත් නොව ඒ සයිමන්ය. සයිමන් මාමා ලෙස අප සමඟ එක්වෙමින් යක්කුරේ පරම්පරාවේ තොරතුරු රටට හෙළි කළේය.එහෙත් මීට මාස කිහිපයකට පෙර හදිසියේ රෝගාතුර වූ සයිමන් මාමා වැනිදා මෙලොව හැර ගොසිනි. සයිමන් මාමා මට මුලින්ම හමුවන්නේ යක්ෂ පරම්පරාවේ තොරතුරු සෙවීමට යක්කුරේට ගිය අවස්ථාවකදීය.සවස 4.30ට පමණ මම රියැදුරු අජිත්, එස්.බී. සොමිපාල මහතා හමුවීමට යන්නේ යක්ෂ පරම්පරාවේ තොරතුරු දැන ගැනීමටය. මහත්තයෝ දැන් යන්න බැහැ. උදේ පාන්දර ආවොත් යක්කුරේ දූපතට ගිහින් අපේ උරුමය හරියට බලාගන්න පුළුවන් යැයි සයිමන් මාමා කීය.සයිමන් මාම කී පරිදි අපි පසුදින උදෑසන යක්කුරේ පිහිටි කලිංග දූපතට යෑමට පිටත් වුණෙමු.

අක්කර 35ක පමණ විශාලත්වයෙන් යුත් කාලිංග දූපත පිහිටියේ මහවැලි ගඟ මැදය. එම දූපත මෙරට යක්ෂ පරපුරේ පළමු වාසස්ථාන පිහිටි භූමියයි. කාලිංග මාඝ ආක්‍රමණවලින් පසු කාලිංග දූපත අතහැර ගඟෙන් මෙගොඩට විත් පැරැණි යක්කුරේ ගමේ මේ පරම්පරාවේ අය පදිංචි වූහ. කාලිංග දූපතට යෑමට පෙර ආරක්ෂා වීම කළ යුතුය. ඒ කාලිංග දූපතේ සිටි අලි ගහනය නිසාවෙනි. මහත්තයෝ අලි ආවොත් මොකද කරන්නේ සයිමන් මාමා ඇසීය. දුවමු මම කීවෙමි. දූපතේ දුවලා බේරෙන්න බැහැ. ඒක අලි විමානයක් සයිමන් මාමා කීය.අපට කරන කිසි දෙයක් නොකියා සයිමන් මාමා අලින්ගෙන් කරදරයක් නොවීමට අලි මන්තර කියා ජප කරගත් වැලි ටිකක් ගෙන තිබිණි. දිවා ආහාරය පිණිස බිස්කට් සහ ජලය පැණි බීමද රැගෙන අපි කාලිංග දූපතට ගියෙමු. ගමන ඉතා දුෂ්කරය. මහවැලි ගඟෙන් එගොඩ වී කාලිංග දූපතට යා යුතුව ඇත. ඉණ වටක් ජලයේ බැස අපි එම ගමන ගියෙමු. ගඟ මැදට ගිය විට මහත්තයෝ ගඟේ කිඹුලෝ ඉන්නවා යැයි සයිමන් මාමා කීවේය. ගඟේ මැද සිට මොන පැත්තට ගියත් කම් නැත. ගමන අතරමඟ නොනවතා අපි කාලිංග දූපතටම ගියෙමු.මේ ගමනින් පසු කාලිංග දූපත වටා ගෙවුණු පැය තුනක පමණ කාලයකින් සයිමන් මාමා අප වෙත ගොඩාක් ළංවිය. වයස අවුරුදු 83ක් වුවත් ඔහු කාගේවත් උදවු උපකාර ගැනීමට අකැමැති විය.

කාලිංග දූපතේ කතාවෙන් පසු අපි යක්කුරේ ගමට කිහිප වතාවක්ම ගියෙමු. ඒ සෑම වතාවකම සයිමන් මාමා සිය පරම්පරාවේ සැඟවුණු බොහෝ දේ අපට කීවේය.යක්ෂ පරපුරේ මුල්ගමට අප ගියේද සයිමන් මාමා සමඟය. අපට ඔහු සමඟ හැරීමටවත් බැරිය. 1936 ඉපිද වයස අවුරුදු 83ක් වුවත් ඔහු තවම කඩිසරය. පසුගිය දිනෙක සයිමන් මාමා බැලීමට ගිය විට ඔහු සිටියේ අසනීපයෙනි. අසනීපය සහ අමාරුව පසෙක දමා අප සමඟ බොහෝ තොරතුරු කතා කිරීමට සයිමන් මාම ඉදිරිපත් විය.‘මව්බිම’ පුවත්පතින් යක්ෂ පරපුරේ ඉතිහාසය ගැන දිගින් දිගටම කතා පළවන විට විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සයිමන් මාමාව සම්බන්ධ කර ගන්නේ ඔවුන්ගේ නිබන්ධන සාර්ථක කර ගැනීමටය.තමන් හමුවීමට එන ඕනෑම අයකු ඉතා සුහදශීලීව පිළිගන්නා සයිමන් මාමා නැවත ඒ මතකයන් කාටවත් නොදෙනු ඇත. ඒ ඔහු මෙලොව හැර ගොස් සිටින හෙයිනි.මියගියේ පුද්ගලයෙකි. නමුත් සයිමන් මාමා යනු දත්ත ගබඩාවකි. ඒ දත්ත ගබඩාවෙන් මින් පසු කිසිදු තොරතුරක් ගැනීමට නොහැකි වනු ඇත. වසර තුනක කාලයක් මා සමඟද ඉතා සුහදව සිටි සයිමන් මාමා මැයි මස 10 දින මිය ගියේය. නමුත් සයිමන් මාමාගේ මතකයන් තවම රැඳී ඇත. සයිමන් මාමා දුන් දැනුම තවමත් අප අතර ඇත. එහෙත් අවාසනාවකට මෙන් යක්කුරේ ගමේ සිය පාරම්පරික දැනුම දන්නා වෙනත් අයකු නොමැති බවද කනගාටුවට කරුණකි.සිය ජීවිතයේ අවසන් හෝරාව වනතුරු නොසැලී සිටි සයිමන් මාමා අවසානයේ තෝරාගත්තේ මරණයයි. සයිමන් මාමාගේ මරණය සුන්දර නැත. ජීවිතය අවසානයේ බොහෝ සේ දරු මුනුපුරන් සමඟ රැඳුණු සයිමන් මාමා සියල්ල අතහැර ගොස් ඇත. ඔහු වෙනුවෙන් අපට කීමට ඇත්තේ සයිමන් මාමා ඔබට නිවන් සුව කියා පමණි. ප්‍රගීත් සම්පත්