Naifmvlog

Naifm vlog Gossip and News

හනුමාන් ශිව ජීවාත්මන් ලෙසින්ද හඳුන්වති

අපට කිසියම් කරදරයක් දුකක් පැමිණි විට ජ්‍යොතිෂය වැනි ගුප්ත ශාස්ත්‍රවලිනුත් දෙවියන් වැනි නොපෙනෙන බලවේගවලිනුත් පිහිට පැතීම මානව වංශ කතාව තරම්ම පැරණි බව නොකියාම බැරිය. එමෙන්ම අපේ දේපොළක් අතුරුදන් වූ විටෙක හෝ සොරාගත් විටෙක හෝ ජ්‍යොතිෂය සේම අංජනම් නොහොත් අඳුනක් බැලීමද සිරිතකි.අඳුන් තුන් වර්ගයක් ගැන කියවේ. එකක් කළුවර අඳුනය. කළුවර අඳුන් සිරුරේ ආලේප කරගත් කල්හි නොපෙනී සිටීමට හැකියාව ඇතැයි කියත්. එය අපේ මන්ත්‍ර ශාස්ත්‍රය සමඟ බැඳුණු පැරණි ගුප්ත විද්‍යාවකි.අනෙක අඳුන් රූපලාවණ්‍ය ආලේපයකි. “ළඳුන් නෙත් අඳුන් ගල්වා” යන ලෙසින් පැරණි සාහිත්‍යයේ එසේ දැක්වෙන අඳුනය.තුන් වැනි ‘අඳුන’ හෙවත් ‘අඳුන්’ අංජනම් බැලීමය. අඳුන් බැලීම මහනුවර යුගයේදී නායක්කර් වංශිකයන් පැමිණීමත් සමඟ අපට ලැබුණු දෑවැද්දක් බවද මතයකි. නැතිවූ හෝ සොරාගත් හෝ යමක් ඇති තැන සොයා බලන අඳුන නැතහොත් අංජනමට අධිගෘහිත චරිත දෙකකි. ඒ ‘අංජනම් දේවිය’ සහ ‘හනුමන්තාය’.හනුමන්තා හනුමා ලෙසින් සිංහල ජන වහරේ ඇතත් දෙමළ ප්‍රජාව අතරේ හනුමාන්ය. මේ නම්වලින් හැඳින් වෙන සත්වයාට හෝ තැනැත්තාට හෝ සිංහල ප්‍රජාව සහ සාහිත්‍ය අතරේ එතරම් සැලකිල්ලක් හෝ ගෞරවයක් නැති තරම්ය. හනුමා ලෙසින් අමතනු ලබන්නේද එතරම් සැලකිල්ලක් නැති බැවිනි. එහෙත් ද්‍රවිඩ ජනතාවට හනුමාන් දෙවියෙකි. එසේම සුළුපටු දෙවියකුද නොවේ. අපේ වැඩි දෙනා හනුමාන් ගැන හෝ අංජනම් දේවිය ගැන හෝ තොරතුරුද දන්නා බවක් පෙනෙන්නටද නැත.

විෂ්ණු, කතරගම, ශිව(ඊශ්වර), ගණපති, පත්තිනි, ලක්‍ෂ්මී සරස්වතී සහ කාලි යන ඉන්දියානු සම්භවයක් ඇති දේව පන්තියට සහ මහසෙන් සුමන සමන් අලුත්නුවර (දැඩිමුණ්ඩ) තනිය වල්ලභ, මින්නේරි කළුබණ්ඩාර සහ ගලේ බණ්ඩාර වැනි දේශීය දේව පන්තියට (මේ සියලු දෙනා අපේ රටේ ජන හිතකාමී, දෑහිතකාමී ජන ප්‍රධානීන් බව කරුණාවෙන් සලකත්වා) අපේ වැඩි දෙනාගේ ගෞරවයක් ඇතත් අංජනම් දේවිය සහ හනුමාන් යන දෙදෙනා දේවත්වයට අයත් වැදගත් දෙදෙනකු ලෙසට සලකනු ලබන්නේ නැත.අපේ සංස්කෘතියේ හස්තියා (අලියා), අශ්වයා, සුනඛයා, නාගයා (නයා) වැනි සතුන්ට කිසියම් සැලකිල්ලක් තිබුණද වඳුරන්ට නම් ඒ මායිමට හෝ පැමිණීමට හෝ හැකි වී නැත. හින්දු සහ විෂ්ණු භක්තිකයන් අතර (වෛශ්‍රවණයන්) මහා බලසම්පන්න දෙවියකු වශයෙන් අදහන සැලකෙන හනුමාන් සෙසු දෙවිවරුන්ගේ සම තත්ත්වයේ තබා වැඳුම් පිදුම් කරන්නෝද ලක්‍ෂ ගණනින් සිටිති.අංජනම් බැලීමේදී අංජනම් දේවියගේ නියෝගයට අනුව ඕනෑම ස්ථානයකට ගොස් නැතිවූ දෙයක් ඇති තැන පෙන්වා දෙන්නේ හනුමන්තාගේ විචක්‍ෂණ බුද්ධිය නිසාය. නැතිවූ දෙයක් සොරාගත් දෙයක් සොයාදීමට හැකි මිහිපිට සිටින බලවන්තයා හනුමාන් බව කියන සංකල්පය අපේ සංස්කෘතියට එකතු වූයේ හින්දූන්ගෙනි.

විෂ්ණු දෙවියන්ගේ එක් වේශයක් (අවතාරයක්) බව කියන රාමාගේ බිරිය වූ “සීතා” ඉන්දියාවෙන් පැහැරගෙන විත් අපේ රටේ සඟවා සිටියදී සොයා ගත්තේ හනුමා නිසා, “හනුමාන් නැති වූ දෙයක් සෙවීමට ලෝකයේ සිටින එකම අයෝමය වීරයා” යන හින්දූන් අතර පැලපදියම් වූ ඇදහිල්ල අපේ සංස්කෘතියටද එකතු වී තිබේ.ක්‍රිස්තු පූර්ව හතර වැනි (4) සියවසේ වාල්මිකී විසින් සංස්කෘත ශ්ලෝකවලින් ලියන ලද “රාමායණයේ” (රාම් හෙවත් රාමාගේ පැමිණීම-අයනය යනු පැමිණීමයි) ප්‍රධාන චරිතය රාම් (රාමා)ය. රාම් යනු විෂ්ණුගේ අවතාර (වේශ) දහයෙන් එකකි. (හින්දු සංස්කෘතියේ කියැවෙන “අවතාර” යනු අපේ සංස්කෘතියේ හැඳින්වෙන අවතාර හෙවත් අමනුෂ්‍ය (භූත) කොට්ඨාසයක් ලෙස නොසැලකිය යුතුය). හින්දු අවතාර යනු වෙනත් ආකාරයක ස්වරූපයක් (වේශයක්) ගැනීමකි. විෂ්ණු මිනිස් ලොව පහළ වන්නේ මිනිසුන් අතර අධර්මය වැඩි වූ විට ධර්මය රජකරවා ලෝකය බේරා ගැනීමට බව භගවත් ගීතිකාවේ සහ විෂ්ණු පුරාණයේ (පුරාණය යනු කතාව, කතාන්තරය හෙවත් පුරාවෘතයයි) සඳහන්ය.ශිව (ඊශ්වර) දෙවියන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම වේශයක් (අවතාරයක්) ගත හැකි බව ශිව පුරාණයේ සඳහන්වේ. විෂ්ණු මනු ලොව පහළ වූ විට ඔහුගේ ආධාර උපකාරයට ශිව වඳුරු වෙසක් (වේශයක්) ගෙන හනුමාන් ලෙස මිනිස් ලොව ඉපදුණු බව ශිව පුරාණයේ සඳහන්ය.

එබැවින් හනුමාන් “ශිව ජීවාත්මන්” ලෙසින්ද හඳුන්වති.සීතා (ජානකී) රාවණාගෙන් බේරා ගැනීමට හනුමා හෙවත් හනුමාන් සමඟ ලංකාවට සටනට පැමිණි සෙසු වඳුරු හමුදාවද ශිව සහ විෂ්ණු දෙවියන් සමඟ දෙව් ලොවින් පැමිණි ඔවුන් දෙදෙනොගේ හිතැතියන් සහ සේවක කාරකාදීන් වේ. ඒ ඉගැන්වීම් අනුව හනුමාන් යනු ශිව දෙවියන්ගේ වානර වේශයකි. ඒ නිසා හනුමාන් ශිව දෙවින් ලෙසින් ශිව භක්තිකයන් විසින් පුදනු ලැබේ. එමෙන්ම හනුමාන් විෂ්ණු දෙවියන්ගේ සමීපතම භක්තිවන්තයා සහ ආධාරකරු ලෙසින් සලකා විෂ්ණු භක්තිකයන් විසින් පුද පූජා පවත්වනු ලැබේ.ශිව දෙවියන් නටරාජ ලෙසින්ද හඳුන්වනු ලැබේ. ඊට හේතුව ශිව නර්තනයට අධිපති දෙවියන් බැවිනි. (ඔහු තාණ්ඩව නැටුම රඟන අයුරු දැක්වෙන ප්‍රතිමාව ඉතාම ප්‍රසිද්ධ එකකි) එහෙත් ශිව දෙවියන් පවා මෝහනය කළ හැකි නාටිකාංගනාවක් දෙව් ලොව විසුවාය. ඇය නමින් මෝහිනියයි. මෝහිනී දිනක් ශිවට පෙනෙන්නට රංගනයක යෙදුණාය. ශිව ඒ රංගනය දෙස දෙනෙත් පිය නොහෙළා බලා සිටියේය. මෝහිනිය සිය රැඟුම අවසන් කර තමා දෙස අනිමිස ලෝචනයේ යෙදී සිටින ශිව දෙවියන් දෙස ස්ත්‍රී ලාලිත්‍යයෙන්ම මොහොතක් බලා උන්නාය.“ඔබට මොනවද ඕනෑ” රැඟුමෙන් මෝහනය වී සිටි මහ දෙවියා(ශිව) මෝහිනියගෙන් ඇසුවේය.ඇය තත්පර කීපයක් නිරුත්තරව ඔහුගේ මුහුණ දෙස බලා සිටියාය.

“ගරුදේවයන් වහන්ස, ඔබ වහන්සේගේ ප්‍රජනන ශක්තියෙන් බිඳක් (බිඳුවක්) මට දෙන්න” ඕ ආයාචනා කළාය.ශිව මඳක් කල්පනා කළේය. අනතුරුව ඉල්ලීම ඉටු කළේය. මෝහිනිය ඒ මහානර්ඝ වස්තුව දෝතට ගත් ගමන් සිය කල්‍යාණ මිත්‍ර වායු හෙවත් මාරුත (සුළං) දෙවියා සොයා ගොස් ඔහුට පරිත්‍යාග කළාය.වායු දෙවියාගේ අතිශය මිත්‍ර වඳුරු ජෝඩුවක් අසල වනයේ විසූහ. වඳුරු සැමියා “කේසරී” නම් වූවේය. ඔහුගේ බිරිය “අංජානි” හෙවත් “අංජානා” විය. ඒ දෙදෙනාට දරුපල නොවූයෙන් සිටියේ මහත් මනස්-තාපයෙනි. මාරුතද ඒ ගැන සිටියේ වික්‍ෂෝපයෙනි. අනපේක්‍ෂිතව තමා අතට පත් මේ මහානර්ඝ වස්තුව පරිත්‍යාග කළ යුත්තේ නම් හිතෛෂී කේසරීගේ බිරියට බව එකහෙළාම තීරණය කළ මාරුත වහාම ඇය සොයා ගියේය.අංජානි ශෛව භක්තික හෙවත් ශිව දෙවියන් අදහන්නියක් වූවාය. එසේම ඇය පාර්වතියගේ (ශිවගේ බිරිය) අන්තේවාසික සේවිකාව වශයෙන් කලක් ශිව වාස භවනයෙහි සේවය කළාය. එහෙත් ඇගේ ප්‍රමාද දෝෂයකින් සිදුවූ අත්වැරැද්දක් නිසා ඇයට සේවය අහිමිවිය.සිද්ධිය මෙසේය.

අංජානි ශිව වාස භවනයේ සිටි දිනෙක මහා මේඝ ගර්ජනා සහිත ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට පටන්ගත්තේය. ශිව ධ්‍යානයකට සමවැදී භාවනානුයෝගීව සිටියේය. පාර්වතී සිටියේද ඒ ආසන්නයේය. ඇගේ තනි නොතනියට අංජානිද ඒ සමීපයේ ම ගැවසුණාය. ඒ මොහොතේ හදිසියේ විදුලියක් කොටා අකුණක් පුපුරා ගියේය. ඉන් ඉමහත් සන්ත්‍රාසයට පත් අංජානි භාවනානුයෝගීව සිටි ශිවගේ උකුළට පැන්නාය. ඒ සිද්ධිය පාර්වතී කම්පාවට පත් කළේය. ඉන් පසු කිසි දිනෙක තම වාසභවනයට නොඑන ලෙසට අංජානිට අවවාද කර සේවයෙන් පහ කළ පාර්වතී කේසරී සමඟ වනයේ වසන ලෙස ඇයට නියෝග කළාය.අංජානි සිය සැමියා සමඟ එසේ වනයේ වෙසෙමින් දරුවකු ලබාදෙන ලෙසට ශිව දෙවියන් යදිමින් පුද පූජා පැවැත් වූවාය.මාරුත (වායු) දෙවියා මහ දෙවියන් (ශිව)ගෙන් ලද දරු බීජය රැගෙන අංජානි සොයා යන විට ඇය ඒ අවස්ථාවේ සිටියේ ද කඳු මුදුනක ශිව දෙවියන්ට පුද පූජා පවත්වමිනි.අංජානියගේ පතිවතට හානියක් නොවන පරිද්දෙන් කටයුතු කිරීමට සිතා ගත් මාරුත ඇගේ දකූණු කනෙන් ඇගේ සිරුරට ඇතුළු වී ශුක්‍ර බින්දුව ගර්භාශයේ තැන්පත් කෙළේය. ඒ අනුව කාලය ගතවෙද්දී අංජානිගේ දරු ගැබ මෝරන්නට වූ අතරේ තම දරුවකු අංජානියගේ කුසෙහි වැඩෙන බව ශිව දෙවියන් දිවැසින් දුටුවේය. සිද්ධිය රහසක් නොවීම සඳහා හෙතෙම ඒ පුවත දේව සභාවේදී දේව ගණයාට පවසා ඔවුන් දැනුවත් කළ අතර දස කල් යල් එළැඹුණු කල අංජානි වඳුරු පැටවකු බිහි කළාය. සෙසු වඳුරු දරුවන්ට නොතිබුණු අන්දමේ විශාල හනුවක් (හක්ක) අංජානිගේ දරුවාට තිබිණි. ‘හනු’ යන්නෙහි අර්ථය විචක්ෂණ බුද්ධියත්, විශාල කාල ශක්තියක් ඇති විරාගිකයා බව වේදයේ සඳහන් වේ. ඒ අනුව වඳුරු දරුවා “හනුමාන්” නම් විය.