Naifmvlog

Naifm vlog Gossip and News

චිත්‍රපටි පහක ප්‍රධාන නිළිය මම

ටෙලිනාට්‍යයකින් උද‌ාරිව දකින්නේ බොහොම කාලෙකට පස්සේ. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?“සයිමන් නවගත්තේගම මහත්මාගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු සංසාරාරණ්‍යය අසබඩ ටෙලිනාට්‍යයේ ‘ළමාතැනීගේ’ චරිතය ඇත්තෙන්ම මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්. ළමාතැනී කියන්නේ කාලෙකට පස්සේ පුංචි තිරයේ බොහෝම ආසාවෙන් කරපු චරිතයක්. ඉතින් මට හැමද‌ාමත් විවිධ වූ චරිත ලබාදෙන අධ්‍යක්‍ෂවරු සියලුමදෙනාට ස්තුති කරනවා. පුංචි තිරයට වඩා ඇත්තටම මේ වසරේ වැඩි ඉඩක් ලබාදුන්නේ සිනමාවට. සංසාරාරණ්‍යය අසබඩ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම ටෙලිනාට්‍ය භාර ගත්තෙම නැහැ.”ඇයි සිනමාවට වැඩි ඉඩකඩක්?“ගොඩක් හොඳ චිත්‍රපටි නිර්මාණ කිහිපයක් මට ලැබුණා. මේ වසරේ මම ද‌ායක වුණු චිත්‍රපටි පහක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තිබෙනවා.

ඒ අතර ජැක්සන් ඇන්තනී මහත්මාගේ ‘එකගෙයි සොකරි’ ළඟදීම තිරගත වෙන්න නියමිතයි. චිත්‍රපටය තිරගත වෙන්න කලින් එකගෙයි සොකරි රූගත කරපු බිබිලේ ගමට ගිහින් සොකරි මඩුවක් නටන්න ඉදිරි සති කිහිපය තුළ බලාපොරොත්තුවෙන් ඉන්නවා. රටේ බලපාලා තියෙන වසංගත රෝගී තත්ත්වයත් එක්ක දැනට වැඩකටයුතු සියල්ලම අඩාල වෙලා තියෙනවා. ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම මේ වසංගත රෝගී තත්ත්වයන් මගේ රටෙන් තුරන් වෙලා යන්න කියලා.ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි මහතා, සරත් වීරසේකර මහතා, වී. ශ්‍රිවද‌ාසන් මහතා, බෙනට් රත්නායක මහතා මේ අයගේ මම ද‌ායක වුණු සිනමා නිර්මාණත් මේ වෙනකොට වැඩ අවසන් කර හමාරයි. මේ චිත්‍රපටි පහේම ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මම.චිත්‍රපටි කිහිපයකම එක දිගට වැඩ කරන්න ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි. මම සිනමා ගමන පටන් ගත්තේ පායා එන්න හිරු සේ චිත්‍රපටයෙන්. ඒ අඩිතාලම මගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් අද වෙනකොට ලබාදීලා තියෙනවා. විශේෂයෙන් දෙයක් කියන්න ඕන ඉදිරියේදී ටෙලිනාට්‍යවලින් මාව කාලෙකට දකින්න ලැබෙන එකක් නැහැ. තාවකාලිකව මම ටෙලිනාට්‍ය භාරගන්න එක නතර කළා.”ඒත් මිනිස්සු උද‌ාරිට තවමත් ආදරේ කරන්නේ පුංචි තිරයෙන් ආපු ‘සංසලා’ නිසා නේද?“ඇත්ත. අදටත් ගම්වල අය මට කතා කරන්නේ බොඳ මීදුම් එකේ සංසලා කියලා. උදාරි කිව්වම ගම්වල කවුරුත් මාව දන්නේ නැහැ.

ටෙලිනාට්‍යවල නැහැ කියලා මම ප්‍රේක්‍ෂකයන්ට අසාධාරණයක් කරන්නේ නැහැ. මොකද මම ඉදිරියේදී චිත්‍රපටි ගණනාවක ඉන්නවා. ටෙලිනාට්‍යවලත් මාව නිතර දැක්කොත් සල්ලි දීලා ටිකට් එකක් අරගෙන මම රඟපාන චිත්‍රපටයක් බලන්න ප්‍රේක්‍ෂකයෝ එන්නේ නැහැ කියලා මට හිතුනා. ටෙලිවල ටික කාලෙකට රඟ නොපාන එක කිසිම බලපෑමකින් තොරව පෞද්ගලිකව මම ගත්ත තීරණයක්.තවමත් ප්‍රේක්‍ෂක හදවතේ සංසලා ජීවත් වෙනවා. අද ළමාතැනීට ප්‍රේක්‍ෂකයෝ ආදරය කරනවා. ඉස්සරහට සේදර මැණිකෙටත් ආදරේ කරාවි කියලා මම විශ්වාස කරනවා.”උද‌ාරි සොකරි මංගල්‍යයට ලංකාවට ආපු ගමන් ද තාම ලංකාවේ ඉන්නේ?“එකගෙයි සොකරි චිත්‍රපටයේ ගීත එළිදැක්වීමට මම ජනවාරි මාසේ ලංකාවට ආවා. දුවගේ අධ්‍යාපන කටයුතු නිසා මම නැවත විදේශගත වුණා. නැවත ලංකාවට ආවේ මීට සති දෙකකට ඉහතදී.”සේදර මැණිකේ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු?“වෙනස්ම චරිතයක් කරන්න මම ගොඩක් ආසාවෙන් බලා ඉඳපු කාලෙක තමයි ජැක්සන් ඇන්තනී මහත්මයා මට මේ නිර්මාණයට කතා කළේ. ආරාධනා කරාට ඒක මේ වගේ නිර්මාණයක් කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඇත්තටම ජැක්සන් ඇන්තනී මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා මම ගැන විශ්වාසයක් තියලා සේදර මැණිකේගේ චරිතය මට ලබාදුන්නාට. මම හිතනවා ඒ චරිතය මම සාර්ථකව කළා කියලා. මේතාක් මම එවැනි චරිතයක් රඟපාලා තිබුණේ නැහැ.”ඒ අත්දැකීම ඔබට කොහොමද දැනුණේ?“ඒ අත්දැකීම ගැන කියන්න මට වචන නැහැ.

චිත්‍රපටය බැලුවට පස්සේ මම ජැක්සන් ඇන්තනී මහත්මයා ළඟට දුවලා ගිහින් කිව්ව සේදර මැණිකේ මගේ මුළු ජීවිතේටම ඇති කියලා. මම හිතනවා සේදර මැණිකේව ප්‍රේක්‍ෂකයෝ ආදරයෙන් වැළඳ ගනීවි කියලා. තවත් නොබෝ දිනකින් අපි සොකරි බලලම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර කතා කරමු. මාව සේදර මැණිකේ කළාට ජැක්සන් මහතාට අනේකවාරයක් ස්තුති කරනවා. පිඹුරෝ විමානයක බිබිලේ ගමේ මාසයකුත් දවස් 27කුත් ගතකරපු සුන්දර දවස් ටික මගේ ජීවිතේ කවද‌ාවත් අමතක වෙන්නේ නැහැ.”උද‌ාරිගේ විදෙස්ගත පදිංචියත් එක්ක කලා කටයුතු ඉදිරියේදී මගහැරේවි ද?“ඇත්තටම දුව මේ වසරේ ජනවාරි මාසේ පළමු වසරට භාර දුන්නා. දුව ඉපදෙනකොටම සැමියාගේ තීරණය වුණේ දුවට සිංගප්පූරුවේ අධ්‍යාපනය ලබාදෙන්න ඕන කියලා. දුවගේ අධ්‍යාපනය සහ සැමියාගේ රැකියාව එක්ක අපි දැන් පදිංචි වෙලා ඉන්නේ සිංගප්පූරුවේ.කලා කටයුතුවලට මම නිතරම ලංකාවට ඇවිත් යනවා. ජීවිතේ ටිකක් කාර්යබහුලයි. මොකද රටවල් දෙකක් අතර කරන ගනුදෙනුවක් නිසා. කලා කටයුතුවලින් අයින් වෙන්න කියලා හස්බන්ඩ් මට කවද‌ාවත් බලපෑම් කරලා නැහැ. මම රංගන ශිල්පිනියක් වෙනකොටත් විවාහ වෙලා හිටියේ. ඔහු හොඳ අවබෝධයකින් ජීවත් වෙන කෙනෙක්. මම නිර්මාණයකට ද‌ායක වෙද්දී උපරිම සහයෝගය, මානසික සුවය මට සැමියා උපරිමයෙන්ම ලබාදෙනවා. මම නිර්මාණ කටයුතුවලට ලංකාවට ආවම දුවගේ වැඩ කටයුතු අධ්‍යාපන වැඩ සියල්ලම කරන්නේ සැමියා. ඒ සහයෝගය සහ තේරුම් ගැනීම මට ගොඩක් වටිනවා.මොන දේ කළත් හැමද‌ාමත් මගේ ජීවිතේ අංක 1 වෙන්නේ මගේ පවුල. හැබැයි පවුලේ අවශ්‍යතාවක් මත මට කලාව අතාරින්න වුණොත් යම් දවසක කලාව අතෑරලා පවුල වෙනුවෙන් තීරණයක් ගන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. මම හිතනවා එහෙම වෙන එකක් නැහැ කියලා. මොකද මම මගේ ප්‍රේක්‍ෂකයින්ගේ හිත රිද්දන්න කැමැති නැහැ.”