Naifmvlog

Naifm vlog Gossip and News

සංවර්ධනය වෙනුවෙන් කළ

වානේ – අතුරුගිරිය ඔරුවලටයර් – කැලණිය ලෝහ භාණ්ඩ – යක්කලවාත්තු – එ‍ෙ¾ඩ්රමුල්ල කඩදාසි – වාලච්චේන සහ නූල් සහ රෙදි – තුල්හිරිය, වේයන්ගොඩ, වැල්ලවත්ත කපු නූල් – කපුවත්ත නයිලෝන් – සපුගස්කන්ද දාස ඩියුරෝ – කැලණිය ඒ කල කර්මාන්ත කලාපය රත්මලාන කර්මාන්ත කලාපය උපාලි ඉලෙක්ට්‍රොනික්ස් – හෝමාගම මැටලික්ස් ඉලෙක්ටි්‍රකල්ස් – පිටකෝට්ටේ පැරකුම් කිරි – පොළොන්නරුව පිටි සංස්ථාව, ධීවර සංස්ථාව, ටයර් සංස්ථාව ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාව පිඟන් භාණ්ඩ සංස්ථාව තුනී ලෑලි සංස්ථාව – ගින්තොට සීනි – කන්තලේ හා හිඟුරාන ෆෝසිලේන් පිඟන් – රත්තොට මිනිරන් – බෝගල කිරි මණ්ඩලය (දැන් මිල්කෝ සහ හයිලන්ඩ්) සිමෙන්ති – වාලච්චේන පොහොර සංස්ථාව – සපුගස්කන්ද ලැම්බ්‍රෙටා ස්කූටර් සහ ත්‍රිරෝද රථ.

හත් දෙයියනේ මේ මොනවාද? ලංකාවේ ඉදිරියට පටන් ගන්න තියෙන කර්මාන්ත ලිස්ට් එකක් වත්ද කියා ඉතිහාසය නොදන්න සමහරු කල්පනා කරනවා ඇත. ඇත්තෙන්ම ඔබ පුදුම විය යුතුම ය. ඉහත ලැයිස්තුවෙන් දැක්වෙන්නේ හැටේ හැත්තෑවේ මැතිනියගේ ආණ්ඩුව කාලේ ලංකාවේ බිහි වූ කර්මාන්ත, සංස්ථා සහ නිෂ්පාදන ය. මැතිනියගේ ආණ්ඩු කාලේ රටේ සැබෑ සංවර්ධනය වෙනුවෙන් කළ කී දේ ඉන්පසුව බලයට ආ කිසිම ආණ්ඩුවක් කළේ නැත. 77න් පසු මේ රටේ මිනිස්සු කළේ ජේ.ආර්.ගේ බහුබූත විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් චූන් වී ණයට කන ජාතියක් බවට පත් වීම විතර ය. ඉතිහාසය දන්න අය මෑතකදී කීවේ “මැතිනිය ආරම්භ කරපු කර්මාන්ත සහ සංස්ථා ජේ.ආර්.ටවත් මැතිනියගේ දියණිය චන්ද්‍රිකාටවත් විකුණලා ඉවරයක් කර ගන්න බැරි වුණා” කියා ය.ඇඳිරි නීතිය නිසා හිස් වෙලා තියෙන ලංකාවේ පාරවල්වල පසුගිය දශක කිහිපයේම දිව්වේ රටින් ගෙන්වන වාහන ය. කිලෝමීටර දෙකක් යන්න පැයක් බලාගෙන ඉන්න වෙන තරමට කොළඹ ට්‍රැෆික් තද වුණේ ඒ වාහන නිසා ය. ඒ තරමට ලංකාවේ මිනිස්සු අධික තීරුබදු ගෙවා පිටරට වාහන ගන්න පෙලඹිලා ය. ලංකාව අංග සම්පූර්ණ මෝටර් රථයක් එකලස් කළේ ඉන්දියාවටත් පළමුව බව බොහෝ දෙනා දන්නේ නැත.

උපාලි විජේවර්ධන හදපු ‘උපාලි ෆියට්’ සහ ‘උපාලි මැස්ඩා’ කාර් දැකපු එවකට ඉන්දියන් අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිගේ පුත් සංජේ ගාන්ධි කීවේ… කවදා හෝ ඉන්දියාවේ ද ලංකාවේ වගේ මෝටර් රථයක් හදනවා කියා ය. ඔහු ජපානය සමඟ එක්වී ‘මරුටි‘ කාර් එක හදන්නේ ඒ සිතිවිල්ල අනුව ය. පසුව රජයට පවරාගත් ඒ මරුටි කොම්පැනිය මුළු ආසියාවේම කුඩා වාහන වෙළෙඳ ඒකාධිකාරයක් ඇති කර ගත්තේය. ලංකාවේ උපාලි ෆියට්-මැස්ඩා එහෙම්මම නැති වෙලා ගියේ ය.අද අපිට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද? සිරිමාවෝගෙන් පසු පාලකයෝ එක්කෝ මේවා වික්කා නැත්නම් වැහුවා. ලංකාවේ නිෂ්පාදන සියල්ල නවත්තලා ආදායම් මාර්ග නැති කරගෙන ජේ.ආර්.ගේ විවෘත ආර්ථිකේ පිහිටෙන් ඉදිකට්ටේ ඉඳන් ජාතික කොඩිය වෙනකන් හැමදේම රටින් ගේන්න ඉඩ දීලා වසර 43ක් හිටපු පාලකයෝ මේ රට ණය අගාධයට ඇද දැම්මේ ය. මේ රටේ ව්‍යාපාරිකයන්ට අතහිත නොදී, දේශීය කර්මාන්ත අගය නොකරමින්, ආනයන බදු ලිහිල් කරමින්, නවෝත්පාදනවලට සත පහක උදව්වක් නොදෙමින් මේ අය මේ රට අද පත් කර ඇති තත්ත්වය අපේ ඇස් පනා පිට සිදුවෙමින් පවතින්නේ ය. කොරෝනා මර බියෙන් ලෝකයේ සෑම රටක්ම අද හුදෙකලා වෙලා ය. ඒ සෑම රටක්ම, ඒ රටවල සෑම මිනිසකුම අද තනි වෙලා ය.

ලංකාව වැනි තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙය දරුණුවට බලපා ඇත. මේ රටට පරිප්පු, පිටි, සීනි, ලූනු, මිරිස්, සැමන් සිට හාල්මැස්සා දක්වා ගේන්නේ රටින් ය. ගාමන්ට්වලට මැෂින් එකේ, ඉදිකට්ටේ සිට නූල් පන්දම දක්වා ගේන්නේ රටින් ය. වාහනවල සිට පොඩි එවුන් පදින ට්‍රයිසිකලේ දක්වා ගේන්නේ රටින් ය. රෝහල්වලට බෙහෙත් ටිකේ සිට ඇඳන්, බෙඩ් ෂීට් දක්වා සියල්ල ගේන්නේ රටින් ය. කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සු පරිභෝජනය කරන දේවල්වලින් සියයට අනූනවයක් දේවල් ගේන්නේ රටින් ය. මේ රටේ නවෝත්පාදන මොළ තවදුරටත් ඕනෑ තරම් ඉතිරිව ඇත. නව කර්මාන්ත බිහි කරන්න කැමැති ව්‍යවසායකයෝ ඕනෑ තරම් ඇත. ඒ සඳහා උදාහරණත් ඕනෑ තරම් ඇත. ලෝකෙටම රථ වාහන එයාර් බෑග් සෙන්සර් එක හදන්නේ අපේ රටේ ව්‍යවසායකයකු ය. ලෝකෙටම හොඳම ඇඟලුම් නිර්මාණය වෙන්නේ මෙහේ කර්මාන්ත ශාලා තුළ ය. මෙහේ මෝටර් රථයක් හැදුවොත් සියයට හැටක් උපාංග මෙහේම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත. කොරෝනා නිසා නැවතත් ඒ ප්‍රවණතා එළියට එමින් පවතින්නේ ය. ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇතිවූවොත් මෙරට රෝහල්වල අයිසීයූ ඇඳන් ප්‍රමාණවත් නොවනු ඇති බව ඇසූ ලාංකික කර්මාන්තකරුවකු අයිසීයූ ඇඳන් මෙරටම හදන්න පටන් ගත්තේ ය. ඉදිරියේදී පිටරටටත් එම ඇඳන් සැපයෙනු ඇත. රෝගීන් හතරකට හුස්ම ගන්න යන්ත්‍රයක් හදන්න සිසුවකු සමත් වූයේ ය.

රෝගීන් හතරකට පාවිච්චි කළ හැකි වෙනිටිලේටරයක් හදන්න හෙද සේවකයකු සමත් වූයේ ය. රෝගීන් ළඟට නොගොස් ප්‍රතිකාර කරන රෝබෝ කෙනකු හදන්න තවත් සිසුවකු සමත් වුණේ ය. මේ විදියට එළියට එමින් පවතින්නේ මෙරට ජනතාවගේ සැබෑ නිර්මාණශීලි ජානමය හැකියාව ය. මේ උවදුර හයියක් කර ගනිමින්, මේ නව නිපැයුම්කරුවන්ට අත දෙමින්, දේශීය ව්‍යාවසායකයන් දිරිගන්වමින්, දේශීය ගොවියා දිරිගන්වමින් එදා මැතිනිය සිතූ ස්වයංපෝෂිත රට බිහිකිරීමට අද කදිම අවස්ථාවක් උදාවී ඇත. සිරිමාගේ කාලෙදි මෙන් නැවතත් මේ රටේ ජනතාවට ඉදිරියේදී පටි තද කරගන්නට සිදුවනු ඇත. ඒ පටි තද කර ගැනිල්ලේ උපරිම ඵල නෙළා ගන්නට ගෝඨාභයගේ ආණ්ඩුවට අවස්ථාවක් ලැබී ඇත. මේ අවස්ථාවත් මඟ හැරියොත් මේ ආණ්ඩුවෙනුත් වැඩක් නැත කියා ජනතාව කියනවා ඇත.මැතිනිය 1970 – 1975 කාලය තුළ ක්‍රියාත්මක කළ පස් අවුරුදු සැලැස්ම ගැන කළ කතාවක් පහත දැක්වෙන්නේ ය. එය අදටත් එසේම වලංගු වනු ඇත. “දැනට දිවයින මුළුල්ලේ පැවැත්වෙත ස්වදේශීය ව්‍යාපාරය ගැන වචන ස්වල්පයක් කතා කිරීමට ලැබුණු මේ අවස්ථාව මා ඉතා අගය කොට සලකන්නේ මෙරට නිපදවන දේ ප්‍රිය කරන කෙනකු වශයෙනි. කවර රටක හෝ වේවා, තමන්ගේ දිනපතා ජීවිතයට වුවමනා කරන නොයෙක් දේ ජනතාව විසින් තම රටේම උපදවා නොගත්තොත් ඒ රටේ ආර්ථික හා සමාජයේ දියුණුව ඇති කර ගැනීම ඉතාම දුෂ්කරයි.

කාලයක් තිස්සේ විදේශීය පාලනයක් යටතේ අපේ ජනතාව පුරුදු වූයේ ආණ්ඩුවේ හෝ වෙළෙඳ ආයතනයක හෝ රැකියාවක යෙදී පඩියකින් ජීවත් වීමයි. ගතවුණු කාලයේ යම් යම් උගත්කම් ලැබූ අය මිස කර්මාන්තවල හෝ ගොවිතැනෙහි හෝ යෙදෙන්නට, පුහුණුවක් ලැබූ පිරිස අඩු වුණේ ඒ නිසයි. ඉතා බරපතළ රැකී රක්‍ෂා හිඟයක් එක් අතකිනුත්, ජන ජීවිතයට වුවමනා නොයෙක් දේවලට රටේ ධනය පිටරටට ඇදී යෑම එක් අතකිනුත් සිදුවීම එහි විපාකය වුණා. ලංකාව අත් කරගෙන ඇති දේශපාලන නිදහසේ නිසි ඵල නෙළීමට නම් ආර්ථික නිදහසද අත්පත් කර ගත යුතු බව අවබෝධ කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුව ආහාර වගාව දියුණු කිරීමටත්, කාර්මික අධ්‍යාපනය පුළුල් කිරීමටත්, නොයෙක් කර්මාන්තවල දියුණුව සැලසීමටත් විධිවිධාන යොදාගෙන යන්නේ ඒ ආර්ථික නිදහස ජනතාවට ලබාදීමටයි. මෙරට කර්මාන්ත දියුණුවීමට නම් ඒ කර්මාන්තවලින් නිපදවන දේ මිලට ගැනීමට අපේ ජනතාව පුරුදු විය යුතුය. නිපදවන දේ අලෙවි නොවෙතොත් ඒ කර්මාන්තය හෝ නිපදවන ද්‍රව්‍යයේ තත්ත්වය හෝ දියුණු කළ නොහැකි බව අප කවුරුත් තදින් මෙනෙහි කළ යුතුය.මේ සම්බන්ධයෙන් අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් අපට ගන්නට ඇත්තේ ඉතාම වටිනා ආදර්ශයක්. මේ රටේ ජනතාව තමන්ගේ රටට කොතරම් ආදරයක්, භක්තියක් ඇත්ද යනු ස්වදේශ ද්‍රව්‍යවලට ඔවුන් දක්වන ඇල්මෙන් පෙනී යනවා.

ඉන්දියාවේ හැම රටවැසියෙක් ම තම රටේ සාදන දේ ම පාවිච්චි කිරීමටත්, පිටරට දේ තත්ත්වයෙන් කොතරම් හොඳ වුවත්, නොගෙන සිටීමටත් තදින්ම පුරුදුවී සිටිනවා. මේ දේශානුරාගය නිසා ඒ රට දැන් ලබාගෙන ඇත්තේ ඉතා උසස් දියුණුවක්. ඉන්දියාවේ වැසියන් කදාර් වැනි ගොරෝසු රෙදිපිළි පාවිච්චි කරන්නේ ඒවායේ මටසිළුටුකමක් හෝ මිල අඩුකමක් නිසා නොවෙයි. තම රටේ නිපදවන දේම ඇලුම් කිරීමෙන් ලැබෙන ජාතික මෙන් දියුණුව සලකාගෙනයි. දැන් ලංකාවේ කාදර් වැනි දළ රෙදි නොව, හොඳ සිනිදු රෙදිපිළි තැනෙන බව රහසක් නොවේ. දැනට රටේ නොයෙක් පළාත්වල පනස් දහසකට වැඩි පිරිසක් පේෂකර්මයෙහි යෙදී සිටිනවා. මේ රෙදිපිළි ජනතාව මිලදී ගත්තොත් එයින් අපේම සහෝදර සහෝදරියන් විශාල ගණනක ජීවනෝපාය සැලසෙන අතර කර්මාන්ත දියුණුවීමෙන් නිපදවන රෙදිපිළිවල තත්ත්වයද තවත් උසස් කරගන්නට පුළුවන් වෙයි. මේ රටේ පේෂකර්මාන්තය දියුණුවට තිබුණු ලොකුම අඩුපාඩුවක් නම් ඊට වුවමනා කරන නූල් නොසෑදීමයි. මේ රජයෙන් වේයන්ගොඩ පිහිටුවනු ලැබූ විශාල කර්මාන්තශාලාවෙන් ඒ අඩුපාඩුව බොහෝ දුරට පිරිමැසෙනවා ඇති. ලංකාවේ රෙදි වියන්නන් අතින් නිපදවනු ලැබූ සරොම් ලක්‍ෂ ගණනක් නොවිකිණීම, පසුගියදා ගබඩාවල ගොඩගැසී තිබීම, කොතරම් කනගාටුදායකද? එයින් පෙනී ගියේ කොතරම් බරපතළ ජාතික දුර්වලකමක්ද?මේ අලුත් අවුරුදු උත්සවය වැනි ජාතික උත්සවවලදීවත්, ස්වදේශීය රෙදිපිළිවලින්ම සැරසෙන්නට මහජනයා අධිෂ්ඨාන කරගත්තොත්, එය පේෂකර්මයට පමණක් නොව, මුළු රටටම සෙතක් වනවා ඇත.ස්වදේශීය ව්‍යාපාරයේ මූලික පරමාර්ථයක් වන්නේ රටේ දියුණුවට ඉතා වුවමනා ජාතික ඇල්ම හා දේශානුරාගය රටවැසියන් තුළ ඇති කිරීමයි. එක් එක් රටවැසියා තුළ තමන්ගේ රට ගැන විශේෂ ඇල්මක් නැති නම් රටක් දියුණු වන්නේ නැහැ. ජනතාවගේම යහපත තකා ඇති කළ ජනසතු ව්‍යාපාරවලින් පවා බලාපොරොත්තු වුණු ප්‍රයෝජන සම්පූර්ණයෙන්ම ලබන්නට බැරි වී ඇත්තේ සෑම අංශයකින්ම දැන්විය යුතු ඒ දේශානුරාගය හිඟවීමයි. රෙදිපිළි ඇතුළු මේ රට නිපදවන නොයෙක් දේ ඇත. තම රටේ හා ජාතියේ නාමයෙන් වැඩියෙන් ප්‍රිය කිරීමේ පුරුද්දක් ජනතාව තුළ මුල්බැස්සීමට කාන්තාවන්ට අති විශාල සේවයක් කළ හැකි බව මා හොඳින් ම දන්නේ අත්දැකීමෙනුයි. නිපදවන ද්‍රව්‍යවල තත්ත්වය කොතරම් ඉස්තරම් කර ගැනීමත්, රැකී රක්ෂා සුලබ කර ගැනීමත්, මෙරට කර්මාන්ත දියුණු කිරීමෙන් රට සංවර්ධනය කර ගැනීමත් සඳහා මේ ස්වදේශීය ව්‍යාපාරයට මුළු හිතින් උපකාර වන මෙන් සියලුම රටවැසියන්ගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. දිවයින පුරා පැවැත්වෙන ස්වදේශීය සතිය ලංකාවේ සෞභාග්‍යය ළඟා කරගැනීමේ ප්‍රබල පියවරක් වේවා!”