Naifmvlog

Naifm vlog Gossip and News

මහා හෙළ රැජන නීලකුම්බිලා

ජයතු! මහා රාවණ හෙළ පරපුරේ මූල බීජය වූ මහා හෙළ රැජන නීලකුම්බිලා පුවත නැවත සනිටුහන් කරමි. වසර දහස් ගණනකට පෙර හෙළ රාක්‍ෂ වංශ රජකුට දාව උපත ලැබූ නීලකෞෂිකා කුමරිය, පසු කලෙක යෝග විද්‍යා, වේද විද්‍යාන්ත පරයා විශ්වයේ මහා බලයක් බවට පත්විය. දැයට මහා ශක්තිය දායාද කළ ඒ අසහාය මහා නායිකාවගේ තතු අන්‍ය ජාතීන් විසින් හෙළ පොළව මතින් අතුගා දමනු ලැබීය. ලෙයට ලේ කකියන හෙළ යක්‍ෂ පරපුර අදටත් මේ පොළොව මත සිටින බැවින් ඒ හෙළ කුල දේවතාවිය පිළිබඳ ලියන්නට හා ඒ මහ අබිරහස ඉස්මතු කරන්නට වාසනාව ලදමි. මහා මේඝනාදයන්ට පින් සිදුවන්නට පරජාතීන් විසින් වසා දමන ලද සමහර කොටස් ඔබට දෙන්නට මට හැකියාව ලැබිණි. පුලස්ති මහා සෘෂිතුමන් මහ බ්‍රහ්ම දෙවියන්ගේ පුත්‍රයකු බව ඔබ නොදන්නවා විය හැකිය. එතුමන්ගේ අනෙක් සහෝදරයා වශිෂ්ට සෘෂිතුමන්ය.

මෙම දෙදෙනා සතු අසහාය බ්‍රහ්ම ඥානය තුළ හෙළ පොළොවට සියලු බලශක්තිය ලැබිණි. එයින් පුලස්ති සෘෂිතුමන්, යක්‍ෂ, නාග, රාක්‍ෂ, වංශිකයන්ගේ ගුරුතුමන් වීම අප ලද මහ භාග්‍යයකි.දැයක් ගොඩනංවන්නට ස්වයංපෝෂිත වන්නට නිසි ගුරුවරයකුගේ අසහාය නායකත්වය ඇවැසිය. එවන් වාසනාවන්ත ජාතිකයක් වූ අප තුන් ලොවම ජය ගනු ලැබිණි. එම ලෙයට දාව උපන් දසිස් රාවණයන්, කුම්භකර්ණයන්, මකර සෙන්පති, අමර සෙන්පති ඇතුළු රාක්‍ෂ සේනාපතිවරුන් මෙන්ම වාසල බණ්ඩාර කුමරු, වළගම්බා රජු, දුටුගැමුණු නරනිඳු වැනි මහ බලසම්පන්න නායකයන් මෙම හෙළ පොළොව, දෑස මෙන් සුරකින ලදී. එකලද මෙම රජවරුන් හා සෙන්පතීන් ‘වඩාමුඛී’ යන නාමයෙන් නිකුම්බිලා දේවතාවියට පුද පූජා තබන ලදී. අග්නි හෝම යාගයන් පුද දෙමින් හෙළ බලය ශක්තිමත් කරන ලදී. ඔබ අප කවුරුත් දන්නා කුවේණියද නිකුම්බිලා දේවතාවියගේ ශිල්ප හා යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍රය ලැබූ හෙළ රැජනකි. ඇය පිළිබඳ පුවත් ඉදිරි ලිපිවලින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙම පෙළගැස්ම තුළ රාවණ නිරිඳු පුත් කුමරුන් වූ මහා මේඝනාද කුමරුන්ට සය වැනි වියේදීම මෙම සියලු බල උකහා ගැනීමේ වාසනාව උරුම විය. අදටත් මේඝනාද කුමරුන් දත් නීලකුම්බිලා අබිරහස් හෝම යාග විධි අපට රහසකි. එහි ආරක්‍ෂාව පතා එම ශිල්ප ක්‍රම කුමරුන් විසින්ම, මුහුබත් කරන ලද අතර සමහරක් පුලුස්සා දමන ලදී. මෙම සියලුම ශිල්පයන්ගේ අධිපතීත්වය මහ ශිව දෙවිඳුන් හා මහ උමා මහේශ්වරිය සතුවේ.නීලකුම්බිලා මෑණියන්ට ස්වරූප හෝ අවතාර දහ හතරක් විද්‍යමාන වේ. මෙයින් තුනක් සෞම්‍ය ස්වරූප වන අතර ඉතිරි සියල්ලම අති භයානක රෞද්‍ර ස්වරූපයන් වේ. නාලන්දා ගෙඩිගෙය තුළ අදටත් මෙම ශක්තීන් සුරක්‍ෂිතව පවතී. එහි මූලික සැලැස්ම හා ස්ථානය, පරදේශක්කාරයන්ගේ සූක්‍ෂ්ම උපක්‍රම මත ජලයට යට වී වෙනස් වුවත් එම ශක්තිය මුලිනුපුටා දැමීමට නොහැකි විය.

හන්තාන කඳුවැටිය එකල අවරගිර නම් විය. අවරගිරි යක්‍ෂණිය නමින් මා සතු මන්ත්‍රවල දැක්වෙන්නේ මෙම හන්තාන කඳුවැටියයි. මෙය අක්‍රිය කර ඇති ගිනි කන්දකි. මහ ශක්ති කදම්භයක් හන්තාන කඳුවැටිය සතු වේ. දෙපසින් ගලන මහවැලි නදිය මෙන්ම, එහි භූගෝලීය සාධක හා පිහිටීමේ ගුප්ත බව එය මනාවට පැහැදිලි කරයි. හන්තාන කඳුවැටිය තුළ ඇවිදීමට ගිය සමහර කණ්ඩායම්වලට නීලකුම්බිලා අවතාරය පියවි ඇසින් දර්ශනය වී ඇති අයුරු මෙන්ම, මස් පුලුස්සා කා නොමනා ලෙස හැසිරෙන අයවලුන්ට මඟ වැරැදී රාත්‍රිය පුරා නිදිවර්ජිතව තාඩන පීඩනවලට ලක්වීමට සිදුවීම වැනි දේවල් සිදුව ඇත. අදටත් එහි පාරිශුද්ධත්වය එතුමියගේ සේනාවන් විසින් ආරක්‍ෂා කරනු ලබයි.යම් දිනෙක ඔබට පත්තිනි මෑණියන් හා කාලි මෑණියන් මෙන් ඇයවද තම අම්මා ලෙස පිළිගැනීමට කාලයක් එළඹෙනු ඇත.

එහෙත් අප හෙළ භූමිය පරයන්ට ගැති කරනා නීච අදීන ජාතියක් ලෙස හංවඩු ගැසීම නවතාලිය නොහැකිය. සෑම නිවෙසකම නීලකුම්බිලා දේවතාවිය නමින් පහනක් දැල්වෙන දිනෙක, හෙළ ජාතියම එක්සේසත්ව එතුමියට පින් අනුමෝදන් කරන දිනෙක ඔබගේ ජයග්‍රහණය සනිටුහන් වනු ඇත. මෙය අප රට නායකයන්ගේ නෙතට දර්ශනය වේවායි යන්න මා දකිනා තවත් සිහිනයකි. එදිනට අපද ලොව බලවත්ම ජාතියක් බවට පත් වෙනවා නිසැකය.නීලකුම්බිලා දේවතාවිය වන්දනා කරන මන්ත්‍ර හා ශ්ලෝක බොහෝ දෙනා මාගෙන් විමසයි. නමුත් යම් යම් ආරක්‍ෂිත හේතූන් මත ඒවා තවත් එළිදැක්වීමට මට අවසර නැත. නමුදු ඉක්මන් දිනෙක මම ඒවා කොටස් වශයෙන් එළිදැක්වීමට බලාපොරොත්තු වෙමි. හෙළ ජාතියක් ලෙස එක්සේසත්ව, එක්සිත්ව අප වැටී ඇති අගාධයෙන් ගොඩ ආ යුතුය. මා ඔබ සැමගෙන් ඉල්ලන ඉල්ලීම එයයි.සියලු ජීවීන්ට ශාන්තිය සැලසේවා.