Naifmvlog

Naifm vlog Gossip and News

දිවයින පුරා ඇඳිරි නීතිය

ක-රෝනා වසංගතය පාලනය කිරීමේ උපක්‍රමයක් වශයෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබියදී එය නොතකමින් ගල්කිස්ස ද සේරම් ප්‍රදේශයේ පිහිටා ඇති සුඛෝපභෝගි සංචාරක හෝටලයක් වටලා එම අවස්ථාවේදී මත්පැන් අලෙවිය සිදු කරමින් සිටි චීන ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සමත් වී ඇත.

එසේම සුරාබදු නිලධාරීන් විසින් එම සංචාරක හෝටලයේ මත්පැන් විකිණීම සඳහා අවශ්‍ය සුරාබදු බලපත්‍රය ඉල්ලා සිටියද අදාළ චීන ජාතිකයන් විසින් එය ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම මත එම මත්පැන් කවුන්ටරය හා මත්පැන් ගබඩාවද සුරාබදු නිලධාරීන් විසින් මුද්‍රා තැබූ බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. තවදුරටත් සිදු කරන ලද විමර්ශනයන්ගෙන් අනාවරණය වූයේ මෙම හෝටලයේ චීන ජාතිකයන් 140ක් පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට එම කාලය අවසන්ද වී ඇති බවටය.

තවද මෙම සංචාරක හෝටලය තුළ චීන ජාතිකයන් සඳහා වෙළෙඳසලක් පවත්වාගෙන යන අතර එහි තිබී තීරු බදු නොගෙවන ලද චීනයේ නිෂ්පාදිත සිගරැට් 9000ක් සොයා ගැනීමටද සුරාබදු නිලධාරීන්ට හැකි විය. ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු 600,000.00ක් ඉක්ම වන බව සුරාබදු නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් චීන ජාතිකයා ඇප මත මුදාහළ අතර ඉදිරියේදී අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරීමට නියමිතව ඇත.සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතාගේ උපදෙස් මත සුරාබදු අධිකාරි චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්. හේමන්ත, සුරාබදු පරීක්ෂක ප්‍රදීප් සේනාරත්න ඇතුළු පිරිස සමඟ මෙම වැටලිම සිදු කර තිබේ.චාමර අමරසූරිය