Naifmvlog

Naifm vlog Gossip and News

හදිසි නීතිය හැදුනේ

“මීට කලින් හදිසි නීතිය දැම්මානම් මේ ප්‍රශ්නය මෙච්චර දුර යන්නෙ නැතිව ඉවරයක් කරගන්න තිබුණා” ඒ පසුගිය දිනවල නොයෙක් දෙනාගේ මුවින් කියවුණු වදනකි. මේ සා බලවත් යැයි කියවෙන හදිසි නීතියේ සුලමුල සොයා ගිය ගවේෂණයකට අනුව මෙම ලිපිය සැකසෙන්නේ එම මාතෘකාව අදට කාලෝචිතව ගැළපෙන නිසාය.

එක්දහස් නවසිය හතළිස් පහේ සැප්තැම්බර් දෙවැනිදා ටෝකියෝ වේලාවෙන් පෙරවරු දහයයි තිහට ඇමරිකා එක්සත් ජනපදයට අයත් මිසෝරි යුද්ධ නෞකාවේදී ජපානය මිත්‍ර පක්‍ෂයට යටත් වීමේ ලියවිල්ලට අත්සන් කරනු ලැබීමත් සමඟ ලෝක ඉතිහාසයේ ඉතාමත් බිහිසුණු යුද්ධය වශයෙන් සැලකෙන දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිමාවට පත්විය.මෙම යුද්ධයේ අවසානය ලංකාවට දෙආකාරයකින් බලපෑ බව දක්නට තිබුණි. පළමුවැන්න වූවේ එතෙක් සිහිනයක්ව තිබුණු, රටට ජාතික විමුක්තිය ලබා ගැනීමේ අපේක්‍ෂාව සාර්ථක වන බවට පෙර නිමිති දක්නට ලැබීමයි. දෙවැන්න විශාල ආර්ථික පීඩනයකට ලක්වැසි ජනතාවට මුහුණ දීමට සිදුවීමයි. බි්‍රතාන්‍යයේ හිරු නොබසින අධිරාජ්‍යය මෙම යුද්ධයට මුහුණ දුන්නේ තම සියලු සම්පත් ඒ කෙරෙහි යොමු කරමින්ය. එහි ප්‍රධාන පාර්ශ්වයක් වශයෙන් යුද්ධයේ වැය බරින් ප්‍රධාන කොටසකට උරදීමට බි්‍රතාන්‍යයට සිදුවිය. බි්‍රතාන්‍යයේ පමණක් නොව එම යටත් විජිතයන්හීද සියලු හැකියාවන් යුද්ධය කෙරෙහි යොමු කර තිබුණු බැවින් ශ්‍රී ලංකාවටද එම ඉරණමට මුහුණ දීමට හැර අන් විකල්පයක් නොවීය. අපේ රටට යුද්ධයෙන් දැඩි හානියක් හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් නොවුණු නමුදු බි්‍රතාන්‍යයේ වැය බරේ යම්කිසි කොටසකට දායක වන්නට ලංකාවටද සිදුවිය.

ලෝකය පුරා පැතිර තිබුණු ආහාර හිඟය, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, මහා ආර්ථික පරිහානිය, උද්ධමනය, රැකියා විරහිතභාවය ආදී කරුණු දැඩි ලෙස දැනෙන්නට පටන්ගෙන තිබුණි. මෙම තත්ත්‍වයට වැඩිපුරම ලක්වූයේ නාගරික කම්කරු පංති ජනතාවයි. ලැබෙන සුළු වැටුපෙන් ජීවිතය ගැටගසා ගැනීම ඉතා අපහසු කාර්යක් වූවේය. වඩාත් බරපතල ගැටලුවක් වූවේ පෞද්ගලික අංශයේ සමාගම් තම සේවකයන් බහුල ලෙස සේවයෙන් ඉවත් කිරීමයි. යුද්ධය පැවති කාලසීමාව තුළද ආහාර හිඟය ආදී දුක් පීඩාවන්ට මුහුණදුන් කම්කරු පන්තිය යුද්ධය නිමාවීමෙන් පසුවද තවදුරටත් දුකට පත්වීම ගැන ඔවුහු කෝපයට පත් වූහ. ඒ නිසා මහා වැඩවර්ජනයකට යාමට බොහෝ දෙනා එකඟ වූහ.කොළඹ රෝලන්ඞ්ස් සමාගමෙන් අස්කරන ලද කම්කරුවන් සියයක් දෙනා ආපසු වැඩට ගන්නා ලෙසත් තවත් අයිතිවාසිකම් කීපයක් දිනා ගැනීම මුල් කොටගෙන වැඩවර්ජනයක් ආරම්භවූවේ ඒ අනුවය. මෙයට පුද්ගලික අංශයේ ආයතන රාශියක්ද සම්බන්ධ වූ අතර එම වර්ජනයට රාජ්‍ය අංශයේ සේවකයෝද එක් වූහ. එතෙක් කිසිදු අවස්ථාවක ලංකාවේ වැඩවර්ජනයකට සම්බන්ධ නොවූ රජයේ ලිපිකරුවෝද මෙවර සටනට එක් වූහ. එයට ප්‍රතිචාර වශයෙන් යටත් විජිත රජය ගත් පියවර වූවේ රජයේ ලිපිකරු සේවා සංගමයේ සභාපතිවරයා වූ ටී. බී. ඉලංගරත්න මහතා ඇතුළු සමිති නායකයන් 19 දෙනෙකු රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමයි. මෙම තත්ත්‍වය පදනම් කර ගනිමින් 1947 සමස්ත මහා වැඩවර්ජනය දියත් විය.

මේ වන විට ප්‍රකාශයට පත්කර තිබුණු නීතියෙන් කියවුණේ සියලුම ගොවියන් තමන් නිපදවන වී බුසලක් රුපියල් හයක සහතික මිලකට රජයට විකිණීම අනිවාර්ය බවයි. ආහාර මිල අහස උසට නැග තිබෙන අවස්ථාවක තම නිෂ්පාදන එවැනි අඩු මිලකට රජයට විකිණීමට බලකිරීම අසාධාරණ බව ගොවියෝ පෙන්වා දුන්හ. එහෙත් යටත් විජිත රජය මෙම යෝජනා නොපිළිගත්තේය. මේ සම්බන්ධයෙන්ද අරගල බහුල විය. ගොවි ජනතාවට බලපාන නොයෙක් ප්‍රශ්නවලට අදාළව රටේ නොයෙක් ප්‍රදේශවලින් මෙවැනි ගොවි සටන් පැන නැඟීම ආරම්භ විය. පළමුවෙන්ම හේවාගම් කෝරලේ අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල, අතුරුගිරිය, හෝමාගම ආදී ප්‍රදේශවලින් නිතිපතාම පාහේ කොළඹට ගොවි පෙළපාළි පැමිණීම සිදුවුණි.මෙම ගොවි – කම්කරු දෙපාර්ශ්වයේම සටන්වලට ප්‍රබලව නායකත්වය දුන්නේ එවකට ඉතා බලවත්, ශක්තිමත් සංවිධාන ව්‍යුහයකින් යුතුව සිටි ලංකා සමසමාජ පක්ෂයයි. එම පක්ෂය මෙම සටන්වලින් ජය ලබා ජනප්‍රිය වීම ඉංග්‍රීසි ආණ්ඩුවට හිතකර නොවන බව පාලකයෝ වටහා ගත්හ. බඩු මිල අඩුකිරීම, වැටුප් වැඩි කිරීම ආදියට ඉංග්‍රීසි පාලකයන්ට ආර්ථික ශක්තියක් නොතිබුණි. නොබෝ දිනකින් නිදහස ලැබීමටත් එවකටත් ක්‍රියාත්මක වෙමින් පැවති සර්‍වජන ඡන්ද බලය යටතේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ආසන්නයේදීම ක්‍රියාත්මක වීමට පැවති නිසාද සමසමාජය බලවත් වීම මෙම අවස්ථාවේදී සුදුසු නොවන බව යටත් විජිතවාදීහු තේරුම් ගත්හ.

එවකට මෙරට ආණ්ඩුකාරධූරය දැරූ සර් හෙන්රි මන්ක් මේෂන් මුවර්ගේ අවශ්‍යතාව මත නව නීති මාලාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී. මහජන ආරක්ෂක පනත යන නමින් හැඳින්වූ මෙම නීති මාලාව සම්මතවීමට එම සභාවේ මන්ත්‍රීවරුන්ට ගතවූවේ පැය එකහමාරක පමණ සුළු කාලයක් යැයි ලේඛනගතව තිබේ. මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ අවිස්සාවේල්ල රාජ්‍ය මන්ත්‍රී පිලිප් ගුණවර්ධන, රුවන්වැල්ල රාජ්‍ය මන්ත්‍රී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, මොරවක රාජ්‍ය මන්ත්‍රී දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, බිබිල රාජ්‍ය මන්ත්‍රී විජයානන්ද දහනායක, හම්බන්තොට රාජ්‍ය මන්ත්‍රී ඩී. ඒ. රාජපක්‍ෂ යන මහතුන් පස්දෙනා පමණි. හදිසි නීතිය යනුවෙන් වර්තමානයේදී පවා හඳුන්වන්නේ මෙම මහජන ආරක්‍ෂක පනතේ ඇතුළත් විධිවිධානයන් බව මෙහිලා සඳහන් කිරීම වටී. රැස්වීම් පැවැත්වීම, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, ජනතාව ඒකරාශී කර ගැනීම, පෙළපාළි පැවැත්වීම මෙම නීති යටතේ නීති විරෝධී කළ හැකිය. අඳුරු නීතිය පැනවිය හැකිය. මෙම බලතල යොදවා 1947 මහා වැඩවර්ජනය මැඩපවත්වන ලද අතර ඒ වෙනුවෙන්ම 1947 ජුනි 05 වැනි දින ගෝල්පේස් පිටියේ සිට කොළොන්නාවට පැමිණෙමින් තිබූ දැවැන්ත පෙළපාළියටද දෙමටගොඩදී වෙඩි තබා විසුරුවා හරින ලදී. මෙහිදී පී. කන්දසාමි නමැති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ජීවිතක්‍ෂයට පත් වූවේය. කම්කරු පන්තියේ අරගලය වෙනුවෙන් දිවි පිදූ වීරයෙකු ලෙස සලකා පී. කන්දසාමි මහතා සිහිකිරීම වමේ ව්‍යාපාරය විසින් සිදුකරගෙන එනු ලබයි.

ඒ හදිසි නීිතියේ ප්‍රථම අත්දැකීම සේ සැලකේ.එක්දහස් නවසිය පනස් තුනේදී ඩඞ්ලි සේනානායක රජය කම්පනයට පත් කළ මහා හර්තාලය අවස්ථාවේදී නැවතත් හදිසි නීතිය පනවා එම මහජන විරෝධතා ව්‍යාපාරය මැඩ පවත්වන ලද බව අපි දනිමු. එම අරගලයේදී ආරක්‍ෂක හමුදා වෙඩි පහරින් පුද්ගලයන් නව දෙනෙකු මරා දැමුණු අතර සිය ගණනක් අත් අඩංගුවේ රඳවා ගනු ලැබීය.වැඩි දේශපාලන කලබලකාරීත්වයක් නොතිබූ එක් දහස් නවසිය පනහේ දශකයේ මතුවූ ඉහළම අර්බුදය වූවේ 1958 දෙමළ සිංහල ජාති භේදවාදී අරගලයයි. මෙම අර්බුදයේදී හදිසි නීති පනවා තත්ත්වය පාලනය කිරීමට බණ්ඩාරනායක අගමැතිතුමා කටයුතු කළේය. සෝල්බරි ආණ්ඩුක්‍රමයට අනුව හදිසි නීතිය පැනවීමෙන් පසු රාජ්‍ය පාලනය කිරීමේ වැඩි බලය හිමිවන්නේ බි්‍රතාන්‍ය කිරීටය නියෝජනය කරන අග්‍රාණ්ඩුකාරවරයාටය. එවකට එම ධූරය දැරූ සර් ඔලිවර් ගුණතිලක මහතා ඉතා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ බැවින් සේනාධිනායක වශයෙන් තමා සතු වගකීම් නිසි ලෙස ඉටු කළේය. සර් ඔලිවර් මෙසේ සටහන් කර තිබුණි. “රට තුළ උද්ගතව තිබුණ භයානක තත්ත්වය මග හරවා ජාතිභේද ගින්න නිවා දැමීමේ භාරදුර කර්තව්‍ය මම සතුටින් භාර ගත්තෙමි. සන්නද්ධ හමුදාවන්ට අණ දෙමින් හොඳින් හෝ නරකින් ප්‍රශ්නය විසඳිය යුතු හෙයින් මා වෙත පැවරී තිබුණ රාජකාරියත්, වගකීමත්, පිළිබඳව මම ඉතා අවබෝධයෙන් සිටියෙමි. බහුතර සිංහල ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූු අගමැතිතුමාට කළ නොහැකි දේවල් මට කළ හැකිය.

මා කිසිම පක්‍ෂයකට අයිති නැති ස්වාධීන පුද්ගලයෙකු වන හෙයින් අගමැතිතුමාට හෝ වෙනත් ඇමතිවරයෙකුට හෝ කළ නොහැකි දේවල් මට කළ හැකිය. ඒ සඳහා මට අවස්ථාව තිබුණි. මා වෙත පැවරී තිබුණේ සිංහල හෝ ද්‍රවිඩ හෝ ඡන්දදායකයන් සැනසීම නොව අපක්‍ෂපාතව රටේ ප්‍රශ්න විසඳීමය. එහෙයින් රට පුරා පැතිරෙන ආරංචි නැවැත්වීම සඳහා මම ප්‍රවෘත්ති පාලනයක් ඇති කිරීමට තීරණය කළෙමි.”ප්‍රවෘත්ති පාලනය පිළිබඳව එවකට ඔබ්සර්වර් පත්‍රයේ ප්‍රධාන කතෘවරයාව සිටි ටාසි විට්ටච්චි මහතා පනස් අටේ හදිසි අවස්ථාව නම් වූ තම පොතේ සඳහන් කර ඇත්තේ මෙසේය. “හදිසි අවස්ථාව ප්‍රකාශයට පත්කර පැය කිහිපයකින් අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් පුවත්පත් කතුවරුන් කැඳවා පැවැත්වූ සාකච්ඡාව මුල සිට අග දක්වා ඉතා දක්‍ෂ රඟපෑමකි. අප රජගෙදරට ළඟාවත්ම අග්‍රාණ්ඩුකාරතුමාගේ ප්‍රධාන ආරච්චි තැන අප වෙත පැමිණ ප්‍රධාන කාර්යාලය වෙත අප ගෙන ගියේය. මේසය අසල නැගී සිටි සර් ඔලිවර්, ටැලිපෝන් රිසීවරය කනේ තබාගෙන වෙඩි තියන්න, මැරෙන්න වෙඩි තියන්න. මායි අණ දෙන නිලධාරියා භය නැතිව වෙඩි තියන්න. තුවක්කු තියෙන්නෙ වෙඩි තියන්නයි. මේ ආදී වශයෙන් සිය මේසය මත තිබුණ ටෙලිපෝන් යන්ත්‍ර හය වරින් වර නාද වෙද්දී අණ දීම පටන් ගත්තේය. රකුසු මුහුණක් ඇතිව සිටි සර් ඔලිවර් අප දෙස නිකමට හෝ බැලුවේ නැත. තැති ගත් අපි විශාල කන්තෝරු කාමරයේ එක් මුල්ලකට වී මේ රඟපෑම බලාගෙන සිටියෙමු. හදිසියේම ටෙලිපෝන් නාද වීම නතර විය. අප දෙස බැලූ සර් ඔලිවර් දත් තිස් දෙකම පේන සේ සිනාසෙමින් “සමාවෙන්න මිත්‍රවරුනි! ප්‍රමාද වීම ගැන සමාවෙන්න.

” කියමින් අප වෙත පැමිණ අතට අත දෙමින් කුළුපග ලෙස අප පිළිගෙන අසුන් ගැනීමට සැලැස්සුවේය.ප්‍රවෘත්ති පාලනය කිරීමට තමා තීරණය කළේ රටේ තත්ත්වය ඉතා දරුණු අතට හැරි ඇති නිසා බව ඔහු කිවේය. තමාගේ අවසරයක් නොමැතිව කලබල පිළිබඳව අකුරක්වත් පළ නොකරන ලෙස ඔහු අපෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය. රට යථා තත්ත්වයට පත්වන තුරු තමාට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටි සර් ඔලිවර් තව විශේෂ පුද්ගලික උදව්වක්ද ඉල්ලා සිටියේය. සිද්ධින් වාර්තා කරද්දී රට පාලනය කරන්නේ තමා බව හැඟෙන පරිදි කිසිවක් නොලියන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. රට පාලනය කරන්නේ තමා බව ඔහු ඉගියකින් අපට දැන්වුවේ එසේය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පළමු රජය පවතිද්දී 1962 දී මහා වැඩවර්ජනයක් නිසා රටේ හදිසි නීතිය පනවා තිබීම හේතුවෙන් හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කිරීමට ගිය රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය ව්‍යර්ථ කර දැමීමටද හදිසි නීතිය උපකාර විය. මෙහි බරපතලම අවස්ථාවක් ලෙස සඳහන් කළ යුතු වන්නේ 1971 ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන ලද සන්නද්ධ කැරැල්ලය.කලක් තිස්සේ රහසිගත සංවිධානයක් දේශපාලන වශයෙන් ඒකරාශී වෙමින් සිටින බවත් එය කැරලිකාරී අරගලයකට දැනුමෙන් සහ ආයුධ බලයෙන් සන්නද්ධ වෙමින් සිටින බවත් ආරක්‍ෂක අංශ වෙත තොරතුරු ලැබෙමින් තිබුණි. ඈත ගම්බද ප්‍රදේශවල විශාල ලෙස ආයුධ එකතු කරමින් තිබුණු අතර තෝරාගත් ස්ථානවල ආයුධ නිපදවන කම්හල්ද පිහිටුවා තිබුණි. ආරක්‍ෂක අංශද මේ ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වීමට යොමු විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ආයුධ තොග පිටින් අත්අඩංගුවට පත් විය. රජය සහ ජ.වි.පෙ අතර යුද්ධයක් ඇතිවීමේ අවදානම පැහැදිලිවම දක්නට තිබුණි.මෙම පසුබිම සලකා 1971 මාර්තු මස 16 වැනිදා රජය විසින් මහජන ආරක්‍ෂක පනතට අනුව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන ලදී. හදිසි නීති පැනවීමෙන් පසු ජාතිය අමතා ගුවන් විදුලියෙන් කතා කළ අගමැතිනිය මෙසේ ප්‍රකාශ කළාය. “මේ රටේ ජනතාව මුදා ගැනීම සඳහා යැයි කියමින් කාලයක සිට රහස් සංවිධානයක් ක්‍රියාත්මක වූ බව අපි දනිමු. මාගේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නිසා අපට විරුද්ධව කටයුතු කරන අයටත් නිදහසේ කටයුතු කිරීමට ඉඩදී සිටියෙමු. එහෙත් සුළු පිරිසක් එකතු වී මහා භයානක තත්ත්‍වයක් ඇති කිරීමට අර අඳින බව හෙළි වී ඇත. ඒ ඒ පළාත්වල බිහිසුණු අවි ආයුධ එකතු කර ජනතාව බියගන්වා තමන්ගේ කටයුතු කරගෙන යන බවද හෙළි වී ඇත. රටේ කලබල ඇති කර අවුල් සහගත අවස්ථාවක රටේ බලය අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ බවද අනාවරණය වී ඇත. මේ රටේ ලේ වැගිරීම් අති වෙනවාට අපි කැමතිද? හරි පාලනය බිඳ වැටී කලබලකාරී තත්ත්වයක් ඇතිවනවාට අපි කැමතිද? කිසි සේත්ම කැමති නැත. එවැනි කලබල හා නොසන්සුන්කම් දුරුකර රටේ නීතියක් සාමයක් සුරැකීම පිණිස ඔබ හැමගේ නොමසුරු ආධාරය රජයට ලබා දෙන්න. එම සහයෝගය රජයට දෙන ලෙස වෘත්තීය සමිතිවලින් තරුණ සමිතිවලින් හා වෙනත් මහජන සංවිධානවලින් මා ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.”රජය හා කැරලිකාරී සංවිධානය අතර සිවිල් යුද්ධය ආරම්භ විය. දිගින් දිගටම ඇදිරි නීතියද පැනවුනි. අවසානයේදී සමුහ ඝාතනයකින් කැරලිකාරී බලවේග මර්දනය කිරීමට ආරක්‍ෂක හමුදා ක්‍රියාකළ ආකාරය කාටත් දක්නට ලැබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය හා ලංකා කොමියුනිස්ට් පක්‍ෂය යන තුන් හවුල 1970 මැයි මාසයේ පැවැත්වූ මැතිවරණයෙන් අති විශාල බලයක් ලබාගෙන රජයක් පිහිටුවන ලදී. ස්වභාවයෙන්ම සිදුවන්නක් මෙන් ටිකකලක් ගත වෙද්දීම මෙම පක්‍ෂ අතර ආරවුල් නිර්මාණය වන්නට විය. 1971 ජ.වි.පෙ කැරැල්ල මැඩ පැවැත්වීමේදී සිදුවූ බව කියන සමහර දේ, තමාගේම නායකයා රජයේ මුදල් ඇමතිවරයා වුවත් උග්‍ර බඩු හිඟයක් ඇති වීම, මිල ඉහළ යාම, පෝලිම් යුගයක් නිර්මාණය වීම ආදිය සමසමාජ පක්‍ෂ බිම් මට්ටමේ සාමාජිකත්වයේ නොසතුටට හේතු විය. එම විරෝධතාව ක්‍රමයෙන් දැඩි වී සමසමාජ මන්ත්‍රීවරු රජයෙන් ඉවත් විය යුතුයැයි කියන මතයක් දක්වා තත්ත්වය මෝරා පැමිණියේය. කෙතරම් බාධා පැමිණියත් රජය තුළ ඇමතිධුර දැරීමට සමසමාජ නායකයෝ කැමැත්ත දැක්වුහ. එසේද වුවත් පහළ සාමාජිකත්වයේ හඬට ප්‍රතිචාර නොදක්වා සිටීමට ඔව්හු අකමැති වුහ. මේ දිනවලට සමසමාජ වෘත්තීය සමිති සම්මේලනයේ සංවත්සරයද යෙදී තිබීම නිසා විශාල රැස්වීමක් සහ පෙළපාළියක් සංවිධානය කිරීමට සමසමාජ නායකයෝ තීරණය කළහ. මෙම තුන් හවුල් රජයේ අසමගිය රටට ප්‍රකාශවෙන තීරණාත්මක සිද්ධියක් බවට පත්වීම නිසැක බව අගමැතිනියත් ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් වටහා ගෙන සිටියහ. පෙළපාළිය පැවැත්වීමට නියමිත දින අගමැතිනිය සිටියේ විදේශගතවය. වැඩ බලන රාජ්‍ය නායක වශයෙන් කටයුතු කළේ එවකට සභානායක මෛත්‍රීපාල සේනානායක මහතාය. රජය ගත් තීරණයක් අනුව හදිසියේම ඇදිරි නීතිය ප්‍රකාශයට පත්විය. රැස්වීම සහ පෙළපාළිය අහෝසි විය. තමන්ගේ පක්‍ෂයද ඇතුළත් රජයක් පවතිද්දී ඇදිරි නීතිය පනවා තමන්ගේ පෙළපාළිය තහනම් කිරීම සමසමාජයේ ක්‍රියාකාරීන්ට අදහාගත නොහැක්කක් වුවේය. සභාග රජය බිඳී යාමේ ආරම්භය සනිටුහන් වන්නට ඇත්තේ එදිනය.මහජන ආරක්‍ෂක පනතේ (හදිසි නීතියේ) විධිවිධාන කොතෙක් බරපතළද යන්න වටහා ගැනීමට හොඳම නිදසුන වන්නේ ඕනෑම රජයකට එය පවත්වාගත හැකි උපරිම කාලසීමාව මාසයකට සීමා කර තිබීමය.

ඉන් එහාට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවේ නිසි අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍යම සිද්ධියකි. මහජන ආරක්‍ෂක පනතේ 5 වැනි වගන්තිය අනුව මහජන ආරක්‍ෂාව වෙනුවෙන් මහජන සාමය පවත්වාගෙන යාමටත්, කැරැල්ලක් මැඩපැවැත්වීමටත්, ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවාවන් පවත්වාගෙන යාමත් උදෙසා මෙම බලතල ක්‍රියාත්මක කළ හැකිය. එකී පනතේ 12 වැනි වගන්තිය යටතේ සන්නද්ධ සේවාවන් නොපමාව සේවය සඳහා කැඳවීමේ බලය 16 වැනි වගන්තිය යටතේ ජනාධිපතිතුමාට බලය පැවරේ. මෙම සංකීර්ණ නීතිමය තත්ත්වයන් විග්‍රහ කිරීම දීර්‍ඝව සිදුවිය යුත්තක් වන අතර සරලව මේ අයුරින් වටහා ගැනීම ප්‍රමාණවත් යැයි සිතමි.මෙරට අගමැතිධුර දැරූ විශිෂ්ට ගණයේ ප්‍රජාතන්ත්‍රවාදීයෙකුවුත් කීර්තිමත් දේශපාලකයෙකු වුත් ඩඞ්ලි සේනානායක මහතා 1961 සැප්තැම්බර් මස 29 වැනිදා හදිසි නීති විවාදයේදී විපක්‍ෂ නායක වශයෙන් පාර්ලිමේන්තුව අමතමින් කළ කථාවේ උපුටාගත් සටහනකින් මෙම ලිපිය අවසන් කිරීම සුදුසු යැයි මම සිතමි.“ඔබලාට වැටහෙනවාද? ඔබ හැම මේ හදිසි නීති ආවරණය යටතේ පනවාගෙන ඇත්තේ මහා දරදඩු නීති බව. ඒවා අද නීති බවට පත්වෙලා ඩැමොක්ලීස්ගේ කඩුව මහජන රැස්වීමට යන හැම දෙනාගේම ඔළුවට උඩින් වැනෙනවා. ඔබේ නීති රාශියක් මම කැඩුවා. තවදුරටත් මේ කඩුව හැම දෙනාගේම හිසට උඩින් වැනෙනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. මහජනයා ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගි වීම නැවතීම හෝ අදහස් ප්‍රකාශ කිරීමට විරුද්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි.ඔබ මේ පවත්වාගෙන යන හදිසි නීති තත්ත්වය විහිළුවක්, ඔබලාට ඒ ගැන කිව හැකි නිදහසට කරුණක් නැහැ. මේ ක්‍රමය වෙනස් කරන්න කියා මා ඉල්ලා සිටිනවා. ඔබ අදහස් කරන ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට හදිසි නීතිය ප්‍රකාශ කිරීමට ඔබට අයිතිය සහ බලය තියෙනවා. එහෙත් විරුද්ධ පක්‍ෂය එක්ව කරන මේ ඉල්ලීම තුළ ඇති හරය වටහාගෙන හදිසි නීතිය ඉවත් කරන්නැයි මම ඉල්ලා සිටිනවා.”