Naifmvlog

Naifm vlog Gossip and News

මුද්දරයෙන් කියන ශිෂ්ට

හොරගොල්ල පෙළපතට වසර 1899 ජනවාරි 08 වැනිදා අලුත් අමුත්තෙක් පැමිණියේය. කොළඹ මෝදර “එළිහවුස්” මන්දිරයේදී උපත ලද මේ සිඟිත්තාව සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක කියා නම් තබන ලදි. කුමරුන්ගේ නම් තැබීමේ මංගල්‍යයට එවකට ලංකාණ්ඩුකාර සර් ජෝසප් වෙස්ට් රිජ්වේ (1896 – 1903) සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයන් ලෙසින් සහභාගී වූහ.මහමුදලි සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක සහ ඬේසි එස්ලින් ඔබේසේකර ළමාතැනීගේ එකම පුත්‍රයා ලෙසින් බිහිවූ මේ සිඟිති කුමරුන් මතු දිනෙක ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ වෙනස්කරන තීරකයා බැව් කිසිවකුත් කිසිලෙසකින්වත් නොසිතන්නට ඇත.ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලින් මූලික අධ්‍යාපනය ලද බණ්ඩාරනායක ශිෂ්‍යයා වසර 1915 දී කේම්බි්‍රජ් සීනියර් විභාගයට පෙනී සිටියේය. එහිදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ තෙවැනි තැන ලබාගත්තේ ලතින් සහ ඉංග්‍රීසි විෂයන්ට විශිෂ්ට සමාර්ථයක්ද සමඟිනි. පාසල් අධ්‍යාපනය නිමවීමෙන් අනතුරුව වසර 1919 දී බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ක්‍රයිස්ට්චර්ච් ආයතනය වෙත පියනැගුවේ උසස් අධ්‍යාපනය හැදැරීමටය.මේ පුංචි රටේ කීර්තිය පතුරවමින් බණ්ඩාරනායක සිසුවා සියලු සිසුන් අබිබවමින් අධ්‍යාපන කටයුතුවලද, ක්‍රීඩා, වාද විවාද, භාෂා ශාස්ත්‍ර සහ සාහිත්‍ය කලාවන් පිළිබඳවද මනා සේ උගත්තේය. තරුණ බණ්ඩාරනායකයන් විශ්වවිද්‍යාල ප්‍රජාව අතර කෙතරම් ජනප්‍රිය දැයි කිවහොත් වසර 1924 දී මුළු මහත් ආසියාවටම ගෞරවයක් ලබාදෙමින් ඔක්ස්ෆර්ඞ් සරසවි ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරයට පත්වූයේය.බණ්ඩාරනායක මහතා අති විශිෂ්ට කථිකයෙකි.

ඔහුගේ චතුර වාග් විදග්ධ බව සෙසු නායකයන් අතුරින් ඔහුව කැපීපෙනෙන සුවිශේෂී ලක්ෂණයකි. එතුමන් “ආසියාවේ රිදී සීනුව” (්ිස්ි ීසකඩැර ඔදබටමැ ධර්එදර) ලෙසින් හැඳින්වෙන්නේ එබැවිනි.ඔක්ස්ෆර්ඞ් සරසවියේ දී බණ්ඩාරනායක මහතාට තවත් සුවිශේෂී ශ්‍රී ලාංකිකයකු හමුවිය. ඔහු රාජ නීතිඥ එච්. ශ්‍රී. නිශ්ශංකයන්ය. එතැන් සිට ඔවුන් දෙදෙනා අතර ඇතිවන හිතවත්කම ජීවිත කාලය පුරා පැවතුනි.වසර 1925 පෙබරවාරි 24 වැනිදා බණ්ඩාරනායක තරුණයා දිවයිනට පැමිණියේ උපාධි දිනා අධිනීතිඥයකු ලෙසිනි. එදින ඔහු පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඔහු මෙසේ පැවසීය.“මට මුලින්ම කරන්නට වී ඇත්තේ ඉංගිරිසියෙන් කතා කරන්නට වීම ගැන සමාව අයැදීමයි. බොහෝ කලක් මගේ රටින් ඈත්ව සිටීම නිසා දක්ෂ ලෙස දිගටම සිංහල භාෂාවෙන් කතා කිරීමට මට නුපුළුවන. මගේ ඒ අඩුපාඩුව ඉක්මනින් මග හරවා ගත හැකි එකකි. වඩා වැදගත්ව ඇත්තේ මගේ හදවතේ ඇති පැහැදිලිකමයි. මට මෙහිදී සිංහලෙන් කතා කළ නොහැකි වුවද මට ඇත්තේ සම්පූර්ණයෙන්ම සිංහල හදවතක් බව තමුන්නාන්සේලාට සහතික වශයෙන් කියමි”(මූලාශ්‍රය – අමරසර, අමර හේවාමද්දුම)මහමුදලිතුමන්ට අවැසි වූයේ තමන්ගෙන් පසු එකී තනතුරු තම පුත්‍රයාට බාරදීමටය. නැතහොත් දිවයිනේ අග්‍රවිනිශ්චයකාර තනතුර තෙක් ඉහළ යැවීමටය. එහෙත් හිතුවක්කාර බණ්ඩාරනායක තරුණයා තෝරාගත්තේ දේශපාලනයයි. නිට්ටඹුවේ ගම් කාර්ය සභාවේ සභාපති බවට පත්වෙමින් බණ්ඩාරනායක මහතා තම දේශපාලන මුල්පොත හදාරණ ලදි.අධිරාජවාදයේ ගැති බවින් මිදී, යටත් බවින් මිදී නිදහස්, නිවහල් ස්වෛරී ජාතියක් ලෙසින් නැගි සිටීමට අප රටට ඇති හැකියාව සහ අවශ්‍යතාව හඳුනාගත් බණ්ඩාරනායකයන් දේශපාලනය ඒ සඳහා අවියක් කර ගත්තේය. ඒ අරමුණ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවිය.

අනාගතය පිළිබඳ විනිවිද දැක්මකින් යුක්ත විය. වසර 1926 දී එතුමන් මෙසේ ප්‍රකාශ කර සිටියේය.“ජනතාවගේ වුවමනාවන් සපිරෙන ආණ්ඩුවක් අවශ්‍ය වෙයි. ජනවාර්ගික මතභේද පවතින රටක බලය මධ්‍යගත වීම අහිතකරයි. එය භයානක වෙයි. ඒ නිසා ජනතා පැවැත්මට බලය විමධ්‍යගත වන ආණ්ඩුවක් අත්‍යවශ්‍ය වෙයි”මූලාශ්‍රය – ඔවුන් දේශපාලකයන් විය දේශපාලු නොවූහ – ඩොනල්ඞ් රත්නවීර“පළමුව සිංහලයින් සමගි කරවමුදෙවනුව සෙසු ජාතීන්ගේ විශ්වාසය දිනාගනිමු.” මේ බණ්ඩාරනායකයන්ගේ නිගමනයයිවසර 1924දී කොළඹ නගර සභාව වෙනුවෙන් සභිකයන් තෝරාගැනීමේ නාගරික මැතිවරණයට මරදාන අසුන වෙනුවෙන් බණ්ඩාරනායකයන් තරඟ වැදුණේය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ එවකට ලංකාවේ කම්කරු නායකයා ලෙසින් විරුදාවලිය ලත් ඒ. ඊ. ගුණසිංහ මහතායි. වැඩි ජන්ද 700කින් ගුණසිංහ මහතාව පරදවමින් අසුන ජයගත්තේ බණ්ඩාරනායක මහතා දේශපාලන දිවියේ තවත් ඉදිරි පියවරක් තබමිනි.වසර 1927දී සමස්ත ලංකා ගම්සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති වූ බණ්ඩාරනායකයන් ඒ වන විටත් ලංකා ජාතික සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වී සිටියේය. වසර 1927 – 1936 දක්වා ලංකා ජාතික සංගමයේ සාමාජිකයකු, ලේකම් භාණ්ඩාගාරික සහ සභාපති තනතුරු ද එතුමන් දරන ලදි.සර්වජන ජන්ද බලයේ අත්දැකීම ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශය මත වසර 1931 දී නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඇරඹෙන අතර එහි විශේෂ වැදගත්කමක් වූයේ සර්වජන ජන්ද බලය රටට හිමිවීමයි. ජන්ද බලය වයස අවුරුදු 21ට වැඩි ස්ත්‍රී පුරුෂ සියලු රටවැසියන්ට හිමි වූයේය. බි්‍රතාන්‍ය යටත් විජිතයෙන් ප්‍රථම වරට සර්වජන ජන්ද බලය හිමිවූ ප්‍රථම ආසියාතික රට ශ්‍රී ලංකාව බවට පත්විය.නව ආණ්ඩුක්‍රමය යටතේ පැවති මහ මැතිවරණයට වේයන්ගොඩ ආසනයෙන් ඡන්දයට ඉදිරිපත් වූ බණ්ඩාරනායක මහතා එම අසුනට නිතරඟයෙන් පත්විය.

1936 දී දෙවන වරටත් වේයන්ගොඩ මන්ත්‍රීවරයා බවට පත් වූ හෙතෙම එතැන් සිට 1947 දක්වා වසර 11ක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලනය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.20 වැනි සියවස මෙරටට උදාවන්නේ අධිරාජ්‍ය විරෝධි හැඟීම් තීරණාත්මකව ඉස්මතුවෙමින් තිබු පරිසරයකය. විශේෂයෙන් බි්‍රතාන්‍යයේ සහ ප්‍රංශයේ යටත්විජිත බැම්මෙන් වෙළී සිටි රටවල් ස්වරාජ්‍යය පිළිබඳ අදහස මුදුන් පමුණුවා ගැනීම සඳහා සංවිධානාත්මකව පෙළගැසීම ඇරඹෙනුයේ මෙම වකවානුවේදීය.ජාතික, ආගමික, සංස්කෘතික, භාෂා යනාදි විවිධ හැඩයන්ගෙන් ඇරඹි මෙම අධිරාජ්‍ය විරෝධී හඩට දේශීය නායකත්වය ලබා දුන්නේ අනගාරික ධර්මපාලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, ජෝන් ද සිල්වා, කුමාරණතුංග මුනිදාස, හේමපාල මුනිදාස, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ආනන්ද රාජකරුණා, පී. ද. එස් කුලරත්න ආදි ගිහි පැවිදි උගතුන්ය. මෙම බොදු පුනරුද ව්‍යාපාරයට සමගාමීව උතුරේ දෙමළ ව්‍යාපාරය අරුමුගම් නාව්උර් මැතිතුමන්ද, මධ්‍ය කඳුකරයේ මුස්ලිම් ව්‍යාපාරයේ සිද්ධි ලෙබ්බේ තුමන්ද ඇරඹූහ.වසර 1934 මැයි 19 වැනිදා බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් “සිංහල මහා සභාව” නම් සංවිධානයක් බිහිවිය. බණ්ඩාරනායක මහතා ස්වකීය ජාතික තලයේ දේශපාලන මුද්‍රාව මෙරට දේශපාලන භූමියේ ස්ථාවර කරගත්තේ සිංහල මහ සභාව මගිනි.ජාතික සංවර්ධනය උදෙසා ජාතික නිදහස අවැසි බවත් ජාතික නිදහස ළඟාකර ගැනීමට ජාතිය සමගිකළ යුතු බවත් බණ්ඩාරනායක දර්ශනය විය. ජාතිකමාමකත්වය සහ චරිත ශුද්ධිය වර්ධනය කිරීම තුළින් ගුණගරුක, විනය ගරුක සමාජයක් බිහිකළ යුතුය යන්න එකී දර්ශනය තුළ ගැබ්ව තිබුණි.

“ජාතික නිදහස් සටනේ ගාමක බලවේගයක් ලෙස ක්‍රියාකිරීමටත්, සමගි සම්පන්නවීමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාත් සිංහල මහ සභාව වැනි ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබේ. ”මූලාශ්‍රය- ලක්මිණ 1934 මැයි 10තවද බි්‍රතාන්‍ය ආගමනයෙන් මෙරට අනගාරික ධර්මපාලතුමන් වැනි ජාතික වීරවරයන් අතින් එය ඉටුවීමක් එකී කාරයභාරයේ වර්තමාන කොටස්කරුවන් වීමේ අවශ්‍යතාව සහ ජාතික වගකීම පුවත්පත මගින් අනාවරණය කරනු ලැබ තිබුණි.මහා කවි ආනන්ද රාජකරුණා, කුමාරණතුංග මුනිදාස, ඩී. එම්. රාජපක්ෂ, පියදාස සිරිසේන යනාදිහු සිංහල මහ සභාවේ කැපී පෙනෙන නායකයෝ වූහ.සංවිධානයේ ව්‍යාප්තියට සමගාමීව ජාතික නිදහස් ව්‍යාපාරයට සහයෝගය ලබාදීම සඳහා “ස්වදේශ මිත්‍රයා” “සිංහල බලය” ඉංග්‍රීසි බසින් “ද නේෂන්” යන පුවත්පත් තුළින් සිය මතවාදය ජනගත කරන ලදි.බණ්ඩාරනායක මහතාගේ අවිවේකි සහ කාරය බහුල දිවියට අස්වැසිල්ලක් ලබාදීම සඳහා ඔහුට සුදුසු විවාහ යෝජනාවක් උදෙසා මාපියෝ වෙහෙස වූහ. දිවයිනේ ප්‍රභූ පවුල් වලින් විවාහ යෝජනා කොතෙක් පැමිණිය ද බණ්ඩාරනායක මහතාගේ සිත්ගත්තේ සිරිමාවෝ රත්වත්තේ තරුණිය කෙරෙහිය. වසර 1940 ඔක්තෝබර් 03 වැනිදා නව යුවළ විවාහප්‍රාප්ත විය. මේ මංගල්‍යය සඳහා බණ්ඩාරනායක මහතාගේ කැමැත්ත ලබාගැනීමට මාපියන්ට කොන්දේසි රැසක් සැපිරීමට සිදුවිය. මංගල ඇඳුම සිංහල ක්‍රමයට සකස් කිරීමට, කුලහීන යැයි සම්මත අයට ද මංගල්‍යය සඳහා ආරාධනා කිරීම ඉන් සමහරකි.සිංහල ජාතිකත්වය වදන්වලට සීමා නොකර ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම සඳහා සිය සරණ බන්ධනය අවස්ථාවක් කර ගැනීමට බණ්ඩාරනායක චරිතයේ සුවිශේෂි බවට කදිම නිදසුනකි.

විවාහයෙන් අනතුරුව මැතිනිය සමගින් කොළඹ කුරුඳුවත්තේ හිල්ෆෙඞ් චන්ද්‍රවංකයේ මන්දිරයකට පදිංචියට පැමිණි බණ්ඩාරනායක මහතා ඉක්බිතිව රොස්මිඞ් පෙදෙසේ “ටින්ටපල්” මන්දිරයේ ස්ථිර පදිංචියට පැමිණියේය. බණ්ඩාරනායක මහතා අවසන් ගමන් යනතෙක් පදිංචිව සිටියේ මෙම නිවසේය.බණ්ඩාරනායක සිරිමා යුවළට සුනේත්‍රා චන්ද්‍රිකා නමින් දියණියන් දෙදෙනෙකු ද අනුර නමින් පුත්‍රයෙකු ද ලැබ ඉතාම සෙනෙහෙබර මා පියන් බවට පත්වූහ.වසර 1947 දී සෝල්බරි ව්‍යවස්ථාව හඳුන්වා දීමත් සමග දේශපාලන පක්ෂ ක්‍රමයට මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාව මතුවිය. වසර 1946 සැප්තැම්බර 6 වැනිදා ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව, මුස්ලිම් සහ ද්‍රවිඩ කණ්ඩායම් කිහිපයක් එක්ව නව ආණ්ඩුක්‍රමය යටතේ මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නමින් නව පක්ෂයක් බිහිකරගත්තේය. ඩී. එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස යෝජනා කරනු ලැබුවේ බණ්ඩාරනායක මහතා විසිනි. බණ්ඩාරනායක මහතා පක්ෂයේ උපසභාපතිවරයකු ලෙස පත් කෙරිණි.එක්සත් ජාතික පක්ෂය බිහිකිරීම සඳහා සිංහල මහ සභාවේ දායකත්වය ලැබීම ඇතැම් බුද්ධිමතුන්ගේ විවේචනයට ලක්විය. ඊට පිළිතුරු ලෙසින් බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ “ජාතික නිදහස උදෙසාත්, නව පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ශක්තිමත් පක්ෂයක් ඇතිකිරීම සඳහාත් සිංහල මහ සභාවේ අනන්‍යතාව එලෙසින්ම තබා ගනිමින් එක්වීමට තීරණය කළ බවයි”සෝල්බරි ව්‍යවස්ථාවට අනුව වසර 1947 මහ මැතිවරණය ජූලි 23 – අගෝස්තු 20 දක්වා දින 19ක් පුරා පැවති අතර එක්සත් ජාතික පක්ෂයට මුළු ආසන 95ක් ආසන 43ක් ලබාදෙමින් ජයග්‍රාහීව නිමාවිය.

එක්සත් ජාතික පක්ෂයට එරෙහි කණ්ඩායමක් “යමුනා” නිවසට කැඳවා අගමැති පදවියට බණ්ඩාරනායක මහතාගේ නම යෝජනා කිරීමේ සැලසුමක් ඇතිබැව් එච්.ශ්‍රී. නිශ්ශංකයන් විසින් දන්වනු ලැබිණ. එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ බණ්ඩාරනායක මහතා මේ අවස්ථාවේදී ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සේනානායක මහතාට අවැසි ශක්තිය ලබාදිය යුතු යැයි ප්‍රකාශ කළේය.“ඉකුත් මහා මැතිවරණයෙන් පසුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට පණහකට වැඩි පිරිසක් නියෝජනය කළ කණ්ඩායම් වරින්වර හමුවී මා අගමැති පදවිය පිළිගන්නේ නම් මා යටතේ ඔවුන් සියලු දෙනාම සේවය කිරීමට කැමැති බව දන්වා සිටියහ. මේ බව ආණ්ඩුකාරතුමන්ට පවා සැලකිරීමට එම පිරිස සූදානමින් සිටියහ. එහෙත් මේ යෝජනාවට එකඟ නොවී ප්‍රතික්ෂේප කෙළෙමි.මූලාශ්‍රය – ඔවුන් දේශපාලකයන් මිස දේශපාලු නොවූහ.“යමුනා සාකච්ජාව” නමින් දේශපාලන කරළියේ ප්‍රකට වූයේ මෙම සිදුවීමයි.බණ්ඩාරනායක මහතා තනතුරු පසෙකලා රට, ජාතිය වෙනුවෙන් දේශපාලනයේ යෙදුණු බවට මෙම සිදුවීම කදිම නිදසුනකි. නව රජයේ සෞඛ්‍යය හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් බණ්ඩාරනායක මහතා කැබිනට් මණ්ඩලයට එක්විය.සිංහල මහ සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ ප්‍රථම කොට ස්ථිරසාර ආණ්ඩුවක් ඇති කිරීමටය. එනමුදු ඉන් අපේක්ෂිත සෙසු අරමුණු ඉටු නොවනා බැව් බණ්ඩාරනායකයන්ට වටහා ගැනීමට වසර 1948 – 1951 දක්වා වසර 3ක කාලයක් ගතවිය.

අමාත්‍ය මණ්ඩලය තුළ හිද ඒ සඳහා ගෙන ගිය අරගලය ප්‍රතිඵල රහිත විය.තමන්ද සහභාගී වී සිටින ආණ්ඩුවක් රට පාලනය කරන විට රටට අහිමි වී ගිය නිදහස, භාෂාව, සංස්කෘතිය, සාහිත්‍යය කලාවට ඇති වටිනාකම් හීනවී යාම පිළිබඳව සිංහල මහ සභාවේ සාමාජිකයෝ දැඩි කනස්සල්ලට පත්වූහ. මෙම සිදුවීමේ කූටප්‍රාප්තිය වසර 1951 ජූනි 9 වැනිදා මාදම්පේ පැවති සිංහල මහ සභාවේ සම්මේලනයේදී සිදුවිය. එහිදී සම්මත වූ යෝජනා මාලාවක් ආණ්ඩුවට ඉදිරිපත් කර ඒ සඳහා ගනු ලබන පියවරයන් පිළිබඳ විමසා බැලීමට සම්මේලනයට අවැසි විය. එකී යෝජනා මෙසේය : සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළ යුතුය. පස් වසරකදී තුරග තරග තහනම් කිරීම. මත්පැන් තහනමට නීති සම්පාදනය කිරීම. බුද්ධ ශාසනය, බෞද්ධ කටයුතු ද දියුණු කරනු පිණිස වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීම. ආයුර්වේදය රජයේ සෞඛ්‍ය අංශය යටතේ දියුණු කර පවත්වාගෙන යාම. රාජ්‍ය සේවක ප්‍රශ්න ගැන ක්‍රියාත්මක වන කොමිසන් සභාවක් පත් කිරීම. අග්නි දිග ආසියාතික හා මැද පෙරදිග රටවල් සමග මිත්‍ර ගිවිසුම් ඇතිකර ගැනීම.“මාදම්පේ සම්මේලනයේ” යෝජනා ලෙසින් දේශපාලන කරලියේ ප්‍රකටව පවතිනුයේ මෙම ලියවිල්ලයි. මෙම එකදු යෝජනාවකටවත් ඩී. එස්. සේනානායක රජය අනුමැතිය ලබා නුදුන්නේය. වසර 1951 ජූලි 12 වැනිදා පාර්ලිමේන්තුවේ සභානායක, පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා තමන් දැරූ සියලු තනතුරු පසෙකලා ජනතාවට සේවය කිරීමේ පරම චේතනාව පෙරදැරි කරගෙන එක්සත් ජාතික පක්ෂයෙන් අභිනික්මන් කළේ නව මගක් කෙරෙහි විශ්වාස කරමිනි.