Naifmvlog

Naifm vlog Gossip and News

රජකම් කළ නිශ්ශංකමල්ල

පසුගිය කාලය තුළ පත්තරවල, රූපවාහිනියේ මෙන්ම ගුවන්විදුලියේ ද ඡන්ද අපේක්ෂක දැන්වීම් වැහිවැහැලාය. විස්තරවලට පත්තර ඉඩ මදි නිසා ටැබ්ලොයිඩ් අතිරේක වශයෙන් ද දැන්වීම් ඉදිරිපත් කෙරිණි. ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඔක්තෝබර් 14දා සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ ප්‍රචාරණ වැඩවලට රුපියල් කෝටි 169ක මුදලක් වැයකර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පැවසුවේය.සෑම අපේක්ෂකයකුම මෙලෙස ප්‍රචාරණයට වියදම් කරන්නේ තම ප්‍රතිරූපය වර්ධනය කරගෙන ජනතා හදවත් තුළ තමන් කෙරෙහි කැමැත්තක් ඇතිකර ඒ ඔස්සේ කතිරය තම පැත්තට යොමුකර ගැනීමටය. අද පමණක් නොව පුරාණ රජවරු අතර ද තම ප්‍රතිරූපය පුම්බා ගැනීමේ උපක්‍රම පැවැති බව අපට හෙළිදරව් වේ. ඒ සඳහා ප්‍රබලම සාධක හමුවන්නේ පොළොන්නරුවේ දී ක්‍රි.ව. 1187දී රජවී වර්ෂ 9ක් රජකම් කළ නිශ්ශංකමල්ල රජුගේ සෙල්ලිපිවලිනි.නිශ්ශංකමල්ල මෙරට වැසියකු නොවේ. කාලිංග වංශිකයෙකි. විදේශීය ජන්මයක් සහිත ඔහුට තම පදවිය දැරීමේදී තර්ජන රාශියකට මුහුණදීමට සිදුවිය. එම තර්ජන නැතිකර ජනතාව අතර ජනප්‍රියත්වයක් ඇති කර ගැනීමට ඔහු උපක්‍රම රැසක් දියත් කළේය. ඒ සඳහා ඔහුට ඉන්දියාවේ ධර්මාශෝක රජු මෙහෙය වූ ප්‍රචාරණ උපක්‍රම ද පූර්වගාමී වන්නට ඇති බව පෙනේ. ඒ සඳහා ඔහු අගනා මහජන සම්බන්ධතා ක්‍රම භාවිතයට යොදාගෙන තිබෙන බව ඔහුගේ සෙල්ලිපිවලින් පැහැදිලිය.

මහා පරාක්‍රමබාහු ඇතුළු පෙර පාලකයන් මෙන් තම රාජ්‍යයට එල්ල වූ තර්ජන මැඩපවත්වා ගැනීමට නිශ්ශංකමල්ල හමුදාව ශක්තිමත් කර යුද්ධ ව්‍යාපාරයක් ගෙනගිය බව සඳහන් නොවේ. නිශ්ශංකමල්ලට පෙර රට පාලනය කළ මහා පරාක්‍රමබාහු යුගයේදී දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද යුද්ධවල නිරත වූ නිසා හමුදා වෙහෙසකරව සිටි බව පෙනේ. ඒ සඳහා වැයකිරීමට තරම් ධනයක් ද නිශ්ශංකමල්ලට නොතිබෙන්නට ඇත. එමෙන්ම යුද්ධ සඳහා විජාතික රජෙකුට හමුදාවල සහාය ලැබීම ද සැකසහිත විය. මේ නිසා යුද්ධමය ක්‍රියාමාර්ග තුළින් රටේ තමන්ට එරෙහිව නැගී සිටින ප්‍රාදේශීය ජනමතය හැඩගැස්වීමට වඩා ප්‍රචාරණ වැඩපිළිවෙළක් තුළින් ඔවුන්ගේ මනස සකස් කිරීමට නිශ්ශංකමල්ල තීරණය කළා විය හැකිය. ඔහුට ඒ සඳහා අශෝක රජුගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ මෙන්ම කෞටිල්‍ය ගේ අර්ථ ශාස්ත්‍රයේ උපදෙස් ද බලපාන්නට ඇත.නිශ්ශංකමල්ල ඒ සඳහා විවිධ උපක්‍රම යොදාගන්නට ඇති බව නොරහසක් වුවත් අද අපට සාධක වශයෙන් ඉතිරිව පවතින්නේ සෙල්ලිපි 35ක් සහ තඹපතක් පමණි. වැඩිම සෙල්ලිපි සංඛ්‍යාවක් හමුව තිබෙන්නේ මේ රජු අරභයාය. එමෙන්ම ඒවා අතරින් බහුතරයක් පිහිටුවා තිබෙන්නේ ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් මිස නිශ්චිත කාර්යයක් දැනුම්දීමට නොවේ. අගනුවර වූ පොළොන්නරුව සහ උතුරුමැද අනුරාධපුරයේ ද දකුණේ රම්බා විහාරය දක්වා ද වයඹ හලාවත වෙරළ තීරය දක්වා ද කඳුකරයේ සමනළ කන්දේ ද ඌව පළාතේ ස්ථාන රැසක ද නිශ්ශංකමල්ලගේ සෙල්ලිපි පැතිරී තිබේ.නිශ්ශංකමල්ලගේ දීර්ඝතම ශිලා ලේඛනය පොළොන්නරුවේ ගල්පොතයි.

වෙනත් රජවරු මෙන් නොව නිශ්ශංකමල්ල එකම කරුණු මාලාවක් සෙල්ලිපි රැසකම සඳහන් කරයි. තම චරිතය පිළිබඳ සංස්කෘත ශ්ලෝකයකින් සෙල්ලිපිය අරඹන රජු ඊට පසු රාජ පරම්පරාව සඳහන් කර පඬි රට විජයග්‍රහණය, තුන් රජය පැදකුණු කිරීම, ජනතාවගෙන් පෙර පාලකයන් අය කළ අධික බදු බර ඉවත් කිරීම, දාන ශාලා පිහිටුවා ආහාර පාන ලබාදීම, තුලාභාර දාන දීම ඇතුළු තම චරිතයේ කීර්ති නාමය ඉහළ නංවන කරුණු සඳහන් කරයි.යම්කිසිවෙක් තම චරිතය ගොඩනංවා ගැනීමට දැවැන්ත ප්‍රචාරය (Propaganda) යොදා ගනී. හැරල්ඩ් ලැස්වෙල් සඳහන් කරන්නේ දැවැන්ත ප්‍රචාරය වාචික, ලිඛිත, රූපමය හෝ සංගීතමය ආදී විවිධ ස්වරූප ගන්නා බවයි. තම ප්‍රචාරණ පරමාර්ථ ඉෂ්ට කරගැනීමට විවිධ ආයතන සහ පුද්ගලයන් යොදාගන්නා උපක්‍රම වශයෙන් නම් පටබැඳීම, විශේෂ වදන් භාවිතය, පැවරුම, චරිත සහතිකය, සාමාන්‍ය ජනතාව ආදී කරුණු ලැස්වෙල් සඳහන් කරයි. එම අංග කිහිපයක් නිශ්ශංකමල්ල යොදාගත්තේ කෙසේදැයි සලකා බලමු.නම් පටබැඳීම් (Name Calling)මෙහිදී කෙරෙන්නේ කිසියම් නරක නාමයක් පටබැඳීමෙන් එම පුද්ගලයා සමාජයෙන් ප්‍රතික්ෂේප කිරීමකට ලක්කිරීමයි. අදත් එය බහුලව දැකගත හැකියි. මඩපෝස්ටර්, මඩ ඡන්ද ව්‍යාපාර ගැන පසුගිය දිනවල අපටත් අසන්නට ලැබුණි. මේ සඳහා බොරැව සමාජ ගත කිරීමක් කළ යුතුය. නිශ්ශංකමල්ල තමන්ට තර්ජනයක් වන ප්‍රතිරූප මර්දනයට එය යොදාගෙන තිබේ. අනුරාධපුර රුවන්වැලි දාගැබ පුවරු ලිපියේ ඔහුට රාජ උරුමයට මඟපෑදු පළමුවැනි පරාක්‍රමබාහු රජු පිළිබඳව සඳහන් කර ඇත්තේ අධික බදු බර නිසා ජනතාව පීඩාවට පත්කළ පාලකයකු වශයෙනි.

“මාලු පරාක්‍රමබාහු වහන්සේ පූර්ව රාජ චරිත ඉක්මැ කළ ඇති දඩ අවිනයෙන් පීඩිතව දිළිඳුවැ ගොස් සොරකම් කොට ජීවත් වන බොහෝ ජනයා… (රුවන්වැලි සෑ පුවරු ලිපිය) මේ නිසා ජනතාව දිළිඳු කමින් මිදවීමට අවුරුදු ගණනකට බදු අත්හැරිය බව නිශ්ශංකමල්ල සෙල්ලිපි පවසයි.විශේෂ වදන් භාවිතය (Glittering Generasity)මෙහිදී සිදුකෙරෙන්නේ භාවිත කරන නමට අමතරව විශේෂ සද්ගුණයක්, වීරත්වයක් අඟවන පදයක් ඊට එක්කිරීමයි. මෙයින් එම චරිතයට අමතර වටිනාකමක් එක්වේයයි අදහස් කෙරේ. අදත් අපට ඡන්ද කාලෙට විවිධ උප පදවලින් තමන් හඳුන්වාගැනීමට අපේක්ෂකයන් උත්සාහ ගන්නා ආකාරය සුලබව දැකිය හැකිය. නිශ්ශංකමල්ල රජු මේ උපක්‍රමය බහුලව යොදාගෙන තිබේ. මේ විරුද නාම භාවිතය පසුකාලීන රජවරුද යොදාගත්තේ තම දුර්වලකම් වසා ගැනීමේ උපක්‍රමයක් වශයෙනි. නිශ්ශංකමල්ල රජු තම රාජකීය නාමයට පොදු ජනතාව තුළ ගෞරව සම්ප්‍රයුක්ත බියක් ඇතිකිරීම ද ප්‍රෞඪ ගති ලක්ෂණ එක්කිරීමටද උත්සහ දරා ඇත. මේ ඒ අතරින් කිහිපයකි.• සිරිසඟබෝ වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල කාලිංග චක්‍රවර්ති වහන්සේ (හැටදාගේ පුවරු ලිපිය)• ශ්‍රී සිංහ ප්‍රරේෂ්වර ලංකේෂ්වර කාලිංග චක්‍රවර්තින් වහන්සේ (හැටදාගේ පුවරු ලිපිය 2)• සිරිසඟබෝ කාලිංග පරාක්‍රමබාහු වීරරාජ නිශ්ශංකමල්ල අප්‍රතිමල්ල මහරජා වහන්සේ (පොළොන්නරුව ගල්පොත)මෙලෙස විවිධ නාමයන් භාවිත කළා පමණක් නොව ඒවා භාවිතයට ඔහු සුදුසු බවද සඳහන් කර තිබේ. “නිශ්ශංකමල්ල යන විරුදයට සුදුසුවැ..” ආදී වශයෙනි.පැවරුම (Transfer)මෙහිදී සිදුවන්නේ අධිකාරී බලය, අනුමැතිය හා ගරුත්වය චරිතයට එක්කර ගැනීමයි.

ජනප්‍රිය සහ බොහෝ දෙනා අතර ගෞරවයෙන් සැලකෙන නාමයක් උපයෝගී කරගෙන අදාළ පුද්ගලයා ප්‍රකටවීම මෙහිදී සිදුකෙරේ. නිශ්ශංකමල්ල රජු පරාක්‍රමබාහුට තම සෙල්ලිපිවලින් දොස් කීවත් ඔහුගේ නාමය තම නාමය ජනප්‍රිය කරවීමට ඈඳාගෙන තිබේ. එමෙන්ම දැහැමි රජකෙනෙකු ලෙස ප්‍රකට සිරිසඟබෝ නාමය ද ඔහු තමාට පවරාගෙන ඇත.• සිරිසඟබෝ කාංලිග පරාක්‍රමබාහු වීර රාජ නිශ්ශංකමල්ල.. (පොළොන්නරුව ගල්පොත)• ශ්‍රී කාලිංග ලංකේශ්වර අප්‍රතිමල්ල වීරරාජ නිශ්ශංකමල්ල පරාක්‍රමබහු… (රන්කොත් වෙහෙර පුවරු ලිපිය)ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ලෝකය අවබෝධ කරගැනීම මත මහජන මතය වෙනස් කළ හැකිබව මයිකල් මාර්ගොලිස් සහ ඒ. මෝසර් යන සන්නිවේදන විශේෂඥයන් පවසා තිබේ. ජනතාවගේ ආදායම වැඩිවීම, බදු බර අඩුවීම වැනි කරුණු නිසා පාලකයකු කෙරෙහි හිතකර සිතුවිලි රට තුළ හටගනී. නිශ්ශංකමල්ල තම චරිත ලක්ෂණ අතර ජනතා සේවය ද පුන පුනා සඳහන් කළ පාලකයෙකි.ඔහුගේ ජනතා සේවය අතර ත්‍යාගශීලීත්වය ඉහළම තැනක ලා සඳහන් කරයි. සුබසාධක වැඩසටහන් ඔස්සේ ජනතාව සමෘද්ධිමත් කිරීම එහි අංගයකි. පොදු ජනතාවට විවිධ දෑ පරිත්‍යාග කිරීමට ඔහු දාන ශස්ත්‍ර නම් දානශාලා පිහිට වූ බව සඳහන්ය.

ශ්‍රී පුරය, ශ්‍රී වාස පුරය, අනුරාධපුරය, නිශ්ශංකපුරය, කාලිංග විජය පුරය, මහපුටුපය, ශොනය, කාලිංගය, රාමේෂ්වරම එම දානශාලා පිහිට වූ ස්ථානය. මේ අතරින් ස්ථාන කිහිපයක්ම තිබෙන්නේ ඉන්දියාවේය.නිශ්ශංකමල්ල තම බරට මෙන්ම දේවිය හා පුතණුවන්ගේ බරට ද තුලාභාර දාන බහුලව දුන් බව සෙල්ලිපිවල සඳහන්ය. දකුණු ඉන්දීය ආක්‍රමණය අවසානයේ ජයග්‍රාහී ලීලාවෙන් දෙන ලද තුලාභාර දාන ගැන සෙල්ලිපිවල බහුලව සඳහන් කර තිබේ.ජනතාවට යැපීම සඳහා ඉඩම් පැවරීම, වහලුන්, ගවයන්, පැවැරූ ඉඩම්, උරුම හා වස්ත්‍රාභරණ ආදී සහන දීමනා ද ඔහු බහුලව ලබාදී ඇත. සහන සැලසීම පමණක් නොව ආගම කෙරෙහි කැපවීමද පාලකයෙකුට අත්‍යවශ්‍යය. නිශ්ශංකමල්ල පවසා ඇත්තේ ලක්දිව බුදු සසුනට අයිති බවය. “බුදු සසුන අයිති ලක්දිව අබෞද්ධ චෝල පාණ්ඩ්‍ය ආදීන් නොසිටිය යුතුය” යයි ඔහු සඳහන් කරයි.ඒ අතරම පූජනීය ස්ථානවලට ඔහු දැක්වූ ගෞරවය ද අපට දැන ගැනීමට ලැබේ. “දාගැබ් වහන්සේ පෙනෙන මානයේදීම වාහනයෙන් බැස ශ්‍රී පාදයෙන් රුවන්වැලි මළුවට බැස” ආදී වශයෙනි.කිසිවකුට බය නොමැති නිර්භීත පුද්ගලයකු වීම රජකු සතු විය යුතු මූලික ගුණාංගයකි. නිශ්ශංකමල්ලගේ සෙල්ලිපිවල ඔහුගේ නිර්භීත බව පැහැදිලි කෙරෙන වගන්ති රැසකි.• “උදාගල් මුදුන්පත් හිරුසේ සතුරන් දුරු දුරලා” (ගල්පොත)• “පඬි රට තුන් මසක් හින්දැ සමාන ප්‍රතිමල්ලයන් නැති හෙයින් තුලාභාර නැගී භය එළවා රටින් බිසෝවරු ගෙන පඬුරු ගෙන්වා” (කන්තලේ ගල් ආසන ලිපිය)• කිසි තැනෙකත් සැකයක් නැතිවැ සිවුරඟ සෙනඟ පිරිවරා පඬිරට දෙවරක් වැඩැ (කිරිවෙහෙර පුවරු ලිපිය)