Naifmvlog

Naifm vlog Gossip and News

ධර්මපාලතුමාගේ ගුරු හාමුදුරුවන්ගේ

ඩේවිඩ් හේවාවිතාරණ දරුවා කුඩා කාලයේ සිටම මාලිගාකන්දේ විදේ‍යාදය පිරිවෙනේදී ඉගෙන ගත්තේ එහි වැඩ වාසය කළ පූජ්‍ය හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත හිමියන්ගෙනි. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් මේ පින්බිමට වඩින විට හෙයියන්තුඩුවේ හිමියන්ද ඒ සමඟම මුල්ගුරු භූමිය වූ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ සිටම පැමිණි හිමිනමකි. එහෙයින්ම උන්වහන්සේ පිරිවෙනේ පරිපාලනය පිළිබඳව වගකිවයුතු තානාන්තරයක් දැරුවකු වශයෙන්ද ගණන් ගැනිණි. මේ හෙයින් උන්වහන්සේ දෙවැනි වූයේ නායක හිමිපාණන්ට පමණි. සුමංගල නාහිමියන් සමඟ සෑම වගකිවයුතු කටයුත්තකදීම මූලිකව සිටීමට උන්වහන්සේට කිසිවකුගේ විධානයක් අවශ්‍ය නොවීය.මුත්තණුවන්ගේ පාර්ශ්වයෙනුත්, පියාණන්ගේ පාර්ශ්වයෙනුත් විදේ‍යාදය පිරිවෙන ඇරැඹීමටද මුල්වූ ප්‍රභූන් දෙදෙනකුගේ දරුවකු වූ ඩේවිඩ් වෙත පතපොත පිළිබඳව දැනුම මෙන්ම දහම් අධ්‍යාපනයද නොඅඩුවම ලබාදීමට උන්වහන්සේ කටයුතු කළහ. මෙම දරුවා මතුවට රටට, ජාතියට හා බෞද්ධාගමටද මහ මෙහෙයක් ඉටුකරන පුද්ගලයකු බවට පත් කිරීමටද උන්වහන්සේගේ අදහස විය. පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලැබීමෙන් පසුව දරුවා කතෝලික පාසල් කිහිපයකම වැඩිදුර අධ්‍යාපනය ලැබුවද නිවාඩුවට නිවෙසට පැමිණි හැම දිනෙකම තමන් වෙතට පැමිණි අනතුරුව සියලු තොරතුරු පැවැසීම නිසා ඒ කිසි කලෙකත් ඔහු වෙත පැවැති තෙරුවන පිළිබඳ බැතිය පලුදු වී නැති බවද දේවමිත්ත හිමියෝ තේරුම් ගත්හ.

ඒ හැම විටෙකම තමන්ට අත්දකින්නට ලැබුණු හැම තොරතුරක්ම තමන්ට නොසඟවා පැවැසීමෙන් ඉන් පසු තමන් දුන් නියත උපදෙස් දරුවා පිළිගත් සැටිත් දුටුවිට උන්වහන්සේ සිතා ගත්තේ කිසි කලෙක මේ දරුවාගේ සිත අකටයුත්තකට, අන්‍යාගමික බලපෑමක් වෙත යටත් නොවන බවය.කොටහේනේ ශාන්ත බෙනඩික් විදුහලේ දරුවා අධ්‍යාපනය ලබන සමයෙහි සෑම උදයකම පන්තියේ කටයුතුවලට සහභාගි වන්නට පෙර කන්‍යා මරියතුමියගේ ගුණ වර්ණනා කෙරෙන යාච්ඤාවක් ගායනා කිරීමටද පන්තියේ ගුරු පූජකතුමා විසින් ඩේවිඩ් දරුවාට නියම කරනු ලැබිණි. ඔහු එය අනෙක් කතෝලික ශිෂ්‍යයන්ටද නොදැවැනි වන අන්දමින් සිදුකළ අතර කුඩා ඩේවිඩ් ශිෂ්‍යයා පල්ලියේ සිදුකළ තවත් සුවිශේෂී කාරණයක්ද විය. එනම් පල්ලියේ විශේෂ දිනයන්හිදී තම ගෙවත්තේ පිපුණ මල් නෙළාගෙන ගොස් අල්තාරය මලින් සැරසීමය. මෙවන් කටයුතු පිළිබඳව ඩේවිඩ් දරුවාගේ සිත කතෝලික ධර්මය කෙරෙහි මනා ලෙස යොමුවෙමින් තිබෙන බව තේරුම් ගත් පූජක ගුරුතුමන් කවදා හෝ මේ බෞද්ධ දරුවා තම බුදු බැතියෙහිම පිහිටි බව කාටත් රහසක් විය.ක්‍රමයෙන් ගැටවරයකුව එවකට ඉංග්‍රීසි ආණ්ඩුවේ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ලිපිකාර විභාගයට ඉදිරිපත් වීමටද දරුවා සුමංගල නායක හාමුදුරුවන්ගේද තම ගුරුවර දේවමිත්ත හිමියන්ගේද අදහස විමසා සිටියේය. එයට ඒ හිමියන්ගේද අනුමැතිය ලැබිණි.

ප්‍රථමයෙන්ම අදාළ විභාගයෙන් සමත්ව ලිපිකාර නිලයෙන් රජයේ සේවයට එක්වන විට ඩේවිඩ් තරුණයා සිටියේ එකුන් විසිවැනි වියේය.තමන්ට රටේ පාලනයට සුදුසු වූ අන්දමට දේශීය පිරිසකට මනා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම ඉංග්‍රීසි පාලකයන්ගේ ප්‍රධාන අරමුණ වූවා යැයි කියන අන්දමටම එයට සුදුස්සකු වූ ඩේවිඩ් තරුණයා මෙසේ රාජකාරියෙහි යෙදී සෙසු අයටද නොදෙවැනිව ලිපිකාර මෙහය මනාව ඉටුකරන්නට හුරු වූයේය. මෙසේ ඔහු වසර ගණනාවක් එම සේවයෙහි යෙදී සිටියේය. සෙන්පති ඕල්කට්තුමා හා එංගලන්තයේ පූජකයකු ලෙස සිට පසු කලෙක පරම විඥානාර්ථ ධර්මය වැලඳගෙන මෙහි පැමිණි චාල්ස් වෙබ්ස්ටර් ලෙඩ්බීටර් තුමන්ද දකුණු පළාතේ පැවැත්වීමට බලාපොරොත්තු වූ ඉංග්‍රීසි දේශන සිංහල භාෂාවට පරිවර්තනය කරන්නට සුදුස්සකු අවශ්‍ය බව හෙළිවූයේය. මෙහිදී සුමංගල – ඕල්කොට් දෙපළ මෙවන් ප්‍රශ්නයකට මැදිව සිටින බව දුටු ‍ෙදාන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමෝ එයට තමන්ට පිළියමක් යෙදිය හැකි බව සිතාගෙන කතා කළහ.“අවසර නායක හාමුදුරුවනේ, මගේ ඩේවිඩ් පුතා ඔය කටයුත්තට සුදුසුයි කියලා මා හිතනවා. පුතා දැනට ආණ්ඩුවේ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුවේ ලිපිකුරුවෙක්නේ.

තුන් මාසයකට නිවාඩුවක් අරගෙන මගෙ පුතාව මේ කටයුත්තට භාරදෙන්න මට පුළුවනි” යනුවෙන් මුදලිතුමෝ කියා සිටියහ. තමන් ප්‍රථමයෙන් මේ විදේ‍යාදය පිරිවෙනේ කතාවක් පැවැත්වූ වෙලේ මුදලිතුමා මෙයට වසර හතරකට පෙරදී තම කුඩා පුතාව හඳුන්වා දුන් සැටිත් එම දරුවා පසු කාලෙකදී තමන් මෙහි පැමිණි අවස්ථාවන් සෑම එකකදීම හමුවී කතාබස් කළ සැටිත් ඕල්කොට් සෙන්පතිතුමාට මතක් විය.දකුණු පළාතේ එම විශේෂ චාරිකාව උදෙසා ‍ෙදාන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා තම වඩු කර්මාන්තයෙන් අමුතුම තාලේ තට්ටු දෙකේ බර කරත්තයක්ද සාදා දුන්නේ ගමන් පහසුව සැලසෙනු පිණිසය. එතුමාගේ නව සැලැසුමක් අනුව සාද දෙන ලද එම තට්ටු දෙකේ බර කරත්තයේ පහළ තට්ටුවේ සෙන්පති ඕල්කට් ලෙඩ්බීටර් දෙපළටද ඉඩ පහසුකම් සැලසී තිබිණි. ගොනුන් දෙදෙනකු බඳින ලද මේ අපූරු තට්ටු දෙකේ බර කරත්තයට ගොනුන් දක්කන්නෝ දෙදෙනකුද වෙනත් කටයුත්තෙහි සහායට ගැටවරයකුද සපයා දී මේ විදේශීය ප්‍රභූන් දෙදෙනගේ ආරක්ෂාව උදෙසා මහමඟදී ඇති විය හැකි සොර සතුරු හෝ වන මෘගයන්ගේ බාධා වැළැක්වීම උදෙසා අතකට මුගුරක් බැගින් ගත් සවිමත් තරුණයන් දෙදෙනකු සපයාදී, කරත්තයේ යට තට්ටුවේ වූ ගබඩාවේ වියළි ආහාරද ගබඩා කර එම ගමනට වැයවන වියදම් ‍ෙදාන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා විසින්ම සලසා තිබිණි.

සෙන්පති ඕල්කොට් හා ලෙඩ්බීටර්තුමන් විසින් දකුණේ විහාරස්ථාන හා නගර ගම්මානවලදී පවත්වනු ලබන ඉංග්‍රීසි දේශනා සිංහලට පරිවර්තනය කර දීමේ කාර්යයද ඩේවිඩ් තරුණයාට එතරම් අසීරු කරුණක් නොවීය. මේ වනවිට ඔහු සිංහල බෞද්ධ ආකල්ප පිළිබඳවද දැනුමක් ලබා තිබූ හෙයිනි.මේ වන විට සුදු ජාතීන් තුන්ගොල්ලක් මෙන්ම ජාතියක් වශයෙන් හා බෞද්ධ ආගමිකයන් වශයෙන්ම පීඩනයට පත්වී සිටි තමන්ට සුදු ජාතිකයන් දෙදෙනකු ගෙන්ව මෙසේ සැනසිලි වදන් කියැවෙන විට මීට පසුව සිංහල ජාතියටත් බෞද්ධාගමිකයන්ටත් හොඳ අනාගතයක් උදාවෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් ඇතිවිය.මෙසේ සෙන්පති ඕල්කට්තුමාත්, ලෙඩ්බීටර්තුමාත් සමඟ දකුණේ සුවිසල් ප්‍රදේශයක සංචාරය කිරීමෙන් පසුව ඔවුන්ගේ කතා සිංහලට නැඟීමෙන් පසුව ගම්මුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර ඔවුන්ද කිසිසේත් බලාපොරොත්තු නොවූ තරම් විය. විහාරස්ථාන හා ගම්මානවලදී ඩේවිඩ් තරුණයාටද ඔවුන්ගේ ඉමහත් ගෞරවාදරයට ලක් වන්නට සිදුවිය. මේ ඓතිහාසික චාරිකාව අවසානයේ ගැටවරයා ආපසු අගනුවරට සැපත්වූයේ බයිබලයේ සඳහන් වූ නමක් වූ තම නාමය ගැන කලකිරීමකිනි.‘නායක හාමුදුරුවනේ මට මගේ නම වෙනස් කරගන්න ඕනෑ කියලා මට හිතෙනවා.

බයිබලයේ නමක් වෙනුවට මට ආර්ය සිංහල නමක් ගන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ” ඩේවිඩ් තරුණයා හික්කඩුවේ නාහිමියන් සමඟ කීවේ තම ගුරු හිමියන් වූ දේවමිත්ත හිමියන්ද ළඟ සිටියදීය.“ඔව් දරුවා, ඒක හොඳයි, ඒත් අලුත් නමක් ගැන හිතලා තියෙනවාද?” යි නාහිමියෝ පැවැසූහ. එහෙමයි. මම හිතනවා මට ධර්මපාල කියන නම ගැළපෙනවා කියලා’යි ඩේවිඩ් කියා සිටියේ කලින් දේවමිත්ත හිමියන් සමඟද ඒ ගැන කියා තිබුණ නිසාය.”“බොහොම හොඳයි දරුවාට ඩේවිඩ් නමට වඩා ධර්මපාල නම ගැළපෙනවා. තමා දැන් ඉතින් අද ඉඳලා මේ දරුවා ඩේවිඩ් නෙවෙයි, ධර්මපාල” යනුවෙන් සුමංගල නාහිමියන්ද ඒ නම අනුමත කළහ. ඒ සමඟම ධර්මපාල තරුණයාට දක්නට ලැබුණේ තමන් පෙනී සිටි විභාගයකින්ද ඉහළින්ම සමත් වී තිබීම නිසා ලිපිකාර තනතුරෙන් ඉහළ තත්ත්වයක්ද සමඟින් වේතනයද වැඩිවන බව කියා දෙපාර්තමේන්තුවෙන් ඔහුගේ නමට එවා තිබුණු ලිපියකි. පියාණන් එයට කැමැති වූ නමුත් ධර්මපාල තරුණයා මේ වන විට පත්ව සිටියේ ආණ්ඩුවේ තනතුරින් ඉවත්ව තම සේවය බුදු දහමෙහි දියුණුව වෙත කැප කිරීමේ අදහසටය.පසුව එසේ රාජකාරියෙන් ඉවත්ව එයින්ද අනතුරුව තම නිවෙසෙන්ද ඉවත්ව පරම විඥානාර්ථ කාර්යාලයේ පදිංචිව අනගාරිකව පසු කලෙක එතුමන් ශ්‍රී මත් අනගාරික ධර්මපාල නාමයෙන් බැබළුණේද ගුරු හිමියන් වූ පූජ්‍ය හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත නාහිමියන්ගේ පූර්ණ අනුමැතියත්, ආශීර්වාදයත් ඇතිවය.

මෙසේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමන්ගේ සේවය සමාජ හා ශාසනික වශයෙන් මෙරටට පමණක් සීමා නොවී ලෝකයේ රටවල් ගණනාවකටම විහිදී ගොස් එතුමෝ ජාත්‍යන්තර කීර්තියටද ලක්වූහ. මේ අතර අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ වර්ෂ 1911 අප්‍රේල් 29 වැනිදා අපවත් වූහ. මේ වන විට පිටරටක සිටි නිසා ධර්මපාලතුමාට නාහිමියන්ගේ අවසාන කටයුතුවලට සහභාගිවීමට ඉඩ ලැබුණේ නැත.වර්ෂ 1922 මාර්තු මාසයේ දිනෙක කම්වූ පරිද්දෙන් පූජ්‍ය හෙයියන්තුඩුවේ ශ්‍රී දේවමිත්ත නාහිමියෝද අපවත් වූහ. එම අවස්ථාවේදී ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමෝ මෙරට සිටියෙන් තම ගුරු හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල මොඩල් ෆාම් කනත්තේදී අත්‍යාලංකාරයෙන් සිදුකරන්නට ධර්මපාලතුමන් වගබලා ගත්හ. විදේ‍යාදය පිරිවෙන් කෙරෙහි උන්වහන්සේ තුළ පැවැති කැපවීම ගැන මනාව දත් දස දහස් ගණන් පිරිස පැමිණ අවසන් ගෞරවය දැක්වූහ.බොරැල්ලේ මොඩල් ෆාම් පිට්ටනියේ දර සෑය බැඳ තිබුණේ එකල සුපුරුදු පරිදි පුවක් ගස් හතරක් සතර කෙළවරේ සිටුවා තිබෙන පරිද්දෙනි. එහි නාහිමියන් පරිභෝග කළ සිවුරු සතර කොනින් බැඳ තිබුණේද එකල ආදාහනවලදී කෙරෙන චාරිත්‍රයක් පරිද්දෙනි. චිතකයට ගිනි දැල්වූ විට එම ගිනි දැල්ල නැඟී ගොස් එම සිවුරද දැවීයෑම සිරිතය.

මෙහිදී අවසන් ආගමික පිළිවෙත් ඉටුකරලීමෙන් පසුව චිතකයට ගිනි දල්වනු ලැබීය. ක්‍රමයෙන් වැඩි වූ ගිනි දැල්ල එම සිවුරු පසා කරමින් නැඟෙනු එහි සිටි සියලු දෙනාම දුටහ. එහෙත් එයින් නැඟි ගිනිදැල්ල තරමකට නිවී යද්දී පිරිසට දකින්නට ලැබුණේ කිසිදු හානියක් සිවුරට සිදු නොවුණු බවයි. නැතහොත් සිවුරට ගිනි නොඇවිළුණ බවයි. මේ දුටු සියලු දෙනාම සාධුකාර දෙන්නට වූහ. ස්වල්ප වේලාවකට පසුව මහා සුළඟක් හැමීය. එයින් සිවුර පුවක් ගස් හතරට බැඳ තිබූ ගැට බුරුල් වී ලෙහී සිවුර චිතකය උඩ පාවෙන්නට පටන් ගත්තේය. මෙහිදී විස්මයට පත් ජනකාය සාධුකාර පවත්වන්නට වූ අතර තවත් ස්වල්ප වේලාවකින් පසුව ඔවුන්ට දකින්නට ලැබුණේ එම සිවුර ටිකෙන් ටික උඩ ගොස් නොපෙනී ගිය බවය. සැදැහැවතුන්ගේ සාධුකාරයෙන් පරිසරය ගිගුම් නද දෙද්දී සියල්ලන්ම පාහේ කතා කළේ හෙයියන්තුඩුවේ දේවමිත්ත හිමියන්ගේ සීලගුණය නිසා මෙම ආශ්චර්යජනක සිද්ධියක් මෙසේ සිදුවූ බවය. ධර්මපාලතුමෝද එය නැරැබූූවේ දෙනෙත් පුරා ගලන කඳුළු දහරින් යුතුවය. මෙය තමන් දුටු ආශ්චර්යජනක සිද්ධියක් බව එතුමෝ සඳහන් කර ඇත. එයටද වසර ගණනාවකට පසුව වර්ෂ 1933දී එතුමන් ශ්‍රමණ භූමියට පිවිසෙන විට තම නාමය වශයෙන් ‘සිරි දේවමිත්ත ධම්මපාල’ නාමය ගත්තේද එසේ තමහට ගුරුවූ පූජ්‍ය හෙයියන්තුඩුවේ දේවමිත්ත’ නාහිමියන්ට ගුරු ගෞරවය දක්වනු පිණිසය.සෝමසිරි කස්තුරිආරච්චි